
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉකුත් සතියේ සුවිශේෂි කටයුතු රැසකට සම්බන්ධ විය. පොපි මල් දිනය යෙදී තිබුණේ ඉකුත් 28 දාමය. එදින පෙරවරුවේ ජනාධිපති හමු වූ සේවා මුක්ත භට සංගමයේ සභාපති මේජර් ජනරාල් උපුල් පෙරේරා පළමු පොපි මල ජනාධිපතිවරයාට පැලඳවීය. ඒ අතරේ උපුල් පෙරේරා තම සංගමය වෙනුවෙන් කොවිඩ් අරමුදලට රුපියල් මිලියනයක්ද එදිනම ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව ඩොලර් පන්ලක්ෂයක් (රුපියල් මිලියන 92.5) කොවිඩ් අරමුදලට පරිත්‍යාග කළා.
ලංකාගම සිංහරාජ වනය විනාශ කරමින් දැවැන්ත පාරක් ඉදිකරන බවට සමාජ මාධ්‍ය ජාලවල පළවූ ප්‍රවෘත්තියේ සත්‍ය සොයා ගෙන ජනපති ලංකාගමට ගියේ ඉකුත් සෙනෙසුරාදාය. එහි ගිය ජනපති දුටු දෙයින් ප්‍රවෘත්තිය බොරු මවාපෑමක් බව පසක් කර ගත්තේය. ඔහු එගම මිනිසුන් සමඟද සාකච්ඡා කර අලුතින් ඉදිකරන මාර්ගය ඉදිකර ගෙන යන්නට උපදෙස් දුන්නා පමණක් නොව ලංකාගම මැදින් ගලා යන ගිංගඟට ඉහළින් ඇති වැල් පාලම වෙනුවට ස්ථිර පාලමක් හදා දෙන්නට ද පොරොන්දු විය.
“සර් අපි ජීවත් වෙන්නෙ අමාරුවෙන්. ලෙඩෙක් අරන් රෝහලට යන්න පාරක් නෑ. මේ ගම වළගම්බා රජ දවස සිට පැවැත එන ගමක්. අපේ තේවතුවල තේ දලු ප්‍රවාහනය කර ගන්න පහසුකම් නෑ. පාසැල් දරුවන් විඳින්නේ මහ දුකක්” ලංකාගම ගැමියෝ ජනපතිට කීවෝය. ඒ අතර පුංචි දරුවෙකු තමන් ඇඳපු චිත්‍රයක් අතැතිව ජනාධිපතිවරයා ඉදිරියේ සිට ගත්තේ ඒ චිත්‍රය ජනාධිපතිට දෙන්නටය.
“මොකක්ද පුතේ ඔය චිත්‍රය” ජනාධිපති පුංචි පුතා ළඟට කැඳවා විමසීය.
දරුවා මොකුත් නොකියා චිත්‍රය ජනපති අතට පත් කළේය.
“ආ... ඔයා ඇඳලා තියෙන්නෙ මගෙ පොඩි කාලේ චිත්‍රයක්නෙ.” යැයි කියූ ජනපති දරුවාගේ හිස අත ගා ආශිර්වාද කෙළේය.
ජීවන වියදම් පිළිබඳ අනුකාරක සභාව පැවැත්වුණේ ඉකුත් සතියේ ජනපතිගේ ප්‍රධානත්වයෙනි. “කහ හා තවත් කෘෂි බෝග කීපයක් ආනයනය සීමා කිරීමෙන් ඒවායේ මිල ඉහළ ගිය බව ඇත්ත. එහෙම කියල නැවත මේවා ආනයනය කරන්න ඉඩ දෙන්න බෑ. අපේ රටේ කෘෂි බෝගවලට හොඳ මිලක් ලබා දී ගොවි ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණින් ගත් මේ තීරණ වෙනස් කරන්න බෑ” ජනාධිපති සිටි ස්ථාවරය එහිදී කීවේය.
“ඔව් සර්, දැන් කව්පී, උඳු, රටකජු, තල, කුරක්කන් සහ ලූනු වගාවන් දැන් සාර්ථක වී තිබෙනවා. ඒවත් ආනයනය කරන්න අවශ්‍ය වෙන්නෙ නෑ.” නිලධාරීන් ජනාධිපතිවරයාට පෙන්වා දුන්නා.
සමෘද්ධි ගෘහ ආර්ථික ක්ෂුද්‍ර මූල්‍ය ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌණ උපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉකුත් සතියේ ප්‍රාදේශීය සංවර්ධන බැංකු මූලස්ථානයට ගියේ එහි කටයුතු සොයා බලන්නටය.
“අපේ ගැමි ජනතාව ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වලට ණය වෙන්නෙ රජයේ බැංකු සාමාන්‍ය ජනතාවට සමීපව කටයුතු කරන්නෙ නැති නිසයි. ප්‍රාදේශීය බැංකුවලට පුළුවන් ජනතාවට සමීප වෙන්න. ගැමි ජනතාව ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලෙන් බේරා ගන්න ප්‍රාදේශීය බැංකුව ගැමියාට සමීපව ඔවුන් ගේ අවශ්‍යතා හොඳින් හඳුනා ගන්න. ඔවුන්ගේ ආර්ථික කටයුතුවලට ප්‍රාදේශීය සංවර්ධන බැංකුව හොඳ මඟ පෙන්වන්නෙක් වෙන්න.”
රාජ්‍ය අමාත්‍යවරයා නිලධාරින්ට උපදෙස් දුන්නේය. ෂෙහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයා ඉකුත් තුන්වැනිදා මාලදිවයිනේ මහ කොමසාරිස් හමු වූයේ කොළඹ පිහිටි ඔහුගේ කාර්යාලයේදීය. දෙරට අතර පවතින සුහද සබඳතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීම මෙම හමුවේ අපේක්ෂාව විය.
ශ්‍රී ලංකාවේ සිටින මාලදිවයින් වැසියන් ගේ සුබ සාධන කටයුතු පිළිබඳ අවධානය යොමු කරන ලෙසද දෙරටම පොදු ධීවර, සංචාරක කටයුතු ප්‍රවර්ධනයට හැකි සෑම සහයක්ම ලබා දෙන බව මාලදිවයින් මහ කොමසාරිස් ඕමාර් අබ්දුල් රෂාක් රාජ්‍ය අමාත්‍යවරයාට කීවේය.
අගමැති මහින්ද රාජපක්ෂ ඉකුත් දෙවනදා හදිසියේම ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් නිල නිවසට ගියේය. ඒ අභාවප්‍රාප්ත හිටපු ඉන්දියානු ජනාධිපති ප්‍රතාබ් මුකර්ජි වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කරන්නටය. ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර අද පවතින දැඩි මිත්‍රත්වයට එක් හේතුවක් වූයේ හිටපු ජනාධිපති ප්‍රතාබ් මුකර්ජි බව පෙන්වා දුන් අගමැතිවරයා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් නිල නිවසේ ඇති අමුත්තන්ගේ සටහන් පොතේ මුකර්ජි හිටපු ජනාධිපතිවරයා සම්බන්ධයෙන් විශේෂ සටහනක් තැබීය.
මේ අතර මෙදිනම ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකිරා සුගියාමා අරලිය ගහ මැදුරේදී අගමැති මහින්ද රාජපක්ෂ හමු විය. මැතිවරණ ජයග්‍රහණයත් නැවත අගමැති ධුරයට පත්වීම ගැනත් තානාපතිවරයා අගමැතිවරයාට සුබ පැතීය. මෙරටේ යටිතල පහසුකම්, ජල අවශ්‍යතාව, අපජල කළමනාකරණය, කෘෂි කර්මාන්තය, මානව සම්පත් සංවර්ධනය හා ත්‍රස්තවාදය පිටු දැකීම සඳහා අවශ්‍ය වන පරිදි ආධාර සැපයිය හැකි බව ජපාන තානාපතිවරයා මෙහිදී අවධාරණය කෙළේය.
“කොවිඩ් වසංගත අවධානම දුරු වූ විට ජපාන සංචාරකයන් ශ්‍රී ලංකාවට යොමු කිරීමට අපි මැදිහත් වෙනවා. දිගුකලක් දෙරටේ පවතින මිතු දම නව මානයකින් ඉහළට ගෙන යාමට නව රජය සමඟ එක්ව කටයුතු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.” යැයි ජපාන තානාපති සුගියාමා සඳහන් කෙළේය.
ජනාධිපති ඉකුත් සතියේ ඉඩම් කළමනාකරණ රාජ්‍ය ව්‍යාපාර, ඉඩම් හා රාජ්‍ය දේපළ රාජ්‍ය අමාත්‍යාංශය සමඟ සාකච්ඡාවක් කැඳවා තිබුණි. අමාත්‍යවරු මෙන්ම අමාත්‍යාංශයේ ඉහළ නිලධාරින් ඊට සහභාගි වී සිටියහ.
“මම රට පුරාම චාරිකා කරලා ඒ හැම ප්‍රදේශයකම ජනතාව සමඟ සාකච්ඡා කළා. හුඟක් මිනිස්සු තමන් පදිංචි ඉඩමට ඔප්පුවක් නැතිව පීඩාවට පත්වෙලා ඉන්නෙ. සමහර අයට වගා කරන ඉඩමට නිරවුල් ඔප්පු නෑ. මේ ගැටලුව වහා විසඳිය යුතුයි. නිරවුල් ඉඩම්වලට මාස තුනක් ඇතුළත ඔප්පු ලබා දෙන්න කටයුතු කරන්න ඕනේ” ජනාධිපති එහිදී අවධාරණය කෙළේය. ආයතන ප්‍රධානීන් ලෙස ජනාධිපතිවරයා පත් කර ඇති පුද්ගලයන් සම්බන්ධයෙන් ඉකුත් සතියේ විවිධ විවේචන එල්ල වෙමින් තිබුණි. ඇතැම් ආයතන ප්‍රධානීන් වෙනස් කර ලෙස ජනාධිපතිවරයාට බලපෑම් කෙරෙමින් තිබුණි.
“මේ පත්වීම් මම සිදු කළේ රටේ ස්වෛරීභාවය ජාතික ආරක්ෂාව සහ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක කිරීමට වැනි සුවිශේෂි කරුණු සලකා බලලයි. ගැඹුරින් සිතා බලා සිදු කර ඇති මෙම පත්වීම් වෙනස් කොකරන බවද එවැනි බලපෑමක් කරන්නට කටයුතු නොකරන ලෙසද නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලීමක් ද කර තිබුණේය.
තම ගෙදර බල්බයේ ස්වීචය හා ටිප් ස්විචය ගැන පමණක් දන්නා බව කියූ විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ඉකුත්දා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ හමු වූයේ මෙරට විදුලි ක්ෂේත්‍රයේ උන්නතිය සඳහා මූල්‍ය හා තාක්ෂණ සහය ලබා ගැනීම සඳහාය. විදුලිබල අමාත්‍යාංශයේදී පැවැති මෙම හමුවේදී දෛනිකව ඉහළ යන විදුලි ඉල්ලුම සපුරාලීම සඳහා ස්ථාවර පිළියම් යෙදීමේ අවශ්‍යතාව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
“පැය 24ම අඛණ්ඩවම විදුලිය සපයන දකුණු ආසියාවේ රටවල් අතර ප්‍රමුඛයා ශ්‍රී ලංකාවයි. ශ්‍රී ලංකාවේ විදුලි ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් ඉන්දියාවේ මූල්‍ය හා තාක්ෂණ සහය ලබා දෙනවා. ඒ වාගේම පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති වෙනුවෙන් තම රටේ ඉංජිනේරු ඥානයද ආයෝජකයන්ද යොමු කරන බව” ශ්‍රී ලංකාවේ ඉන්දීය කොමසාරිස් මෙහිදී සඳහන් කෙළේය.
අමාත්‍ය ආචාර්ය බන්ධුල ගුණවර්ධනයන්ට මෙවර හිමි වී ඇත්තේ වෙළඳ අමාත්‍යාංශයයි. එහෙත් ඔහු අධ්‍යාපන අමාත්‍යාංශයට දක්වන්නේ ඇල්මකි. තමන් උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විදියට තාක්ෂණ ආයතනයේදී ආරම්භ කළ ව්‍යාපෘතියක් නිසා සියයට සීයක්ම දේශීයව නිෂ්පාදනය කළ බැටරියක් ඉකුත්දා පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමට රැගෙන ආවේ එහි අගය ගැන ඇමැතිවරුන්ට කියන්නටය.
“මේ බැටරිය 100% දේශීය නිෂ්පාදනයක්. මේක නැවත නැවත ආරෝපණය කරලා පාවිච්චි කරන්න පුළුවන්. ආරෝපණය කරන්නේ සූර්ය ශක්තියෙන්. අවුරුදු හයක වගකීමක් එක්ක මේ බැටරිය දැන් මිලදී ගන්න පුළුවන්. විදේශීය බැටරිවල මිලෙන් 50%කට අඩුවෙන් මේ බැටරිය දෙන්න පුළුවන්.” යනුවෙන් බන්ධුල අමාත්‍යවරයා බැටරිය ගැන පුරාජේරුව ඇමැතිවරුන්ට කීවේය.
“වෙළඳ පොළට නිකුත් කරන්න පෙර ඇමැතිවරු මේ බැටරිය පාවිච්චි කරන්න. එතකොට ඇමැතිවරුන්ගේ ගෙවල්වල විදුලිය විසන්ධි වීම් නැති වෙයි.” ජනාධිපතිවරයා කීවේය.
මිරිජ්ජවිල උද්භිත උද්‍යානය බලන්න සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග ඉකුත්දා හම්බන්තොට ගියේ ඔහුගේ රාජ්‍ය අමාත්‍ය ඩි.වී. චානක සමඟය.
“මේක ලස්සන තැනක්. මේ තැන ගැන හොඳ ප්‍රචාරයක් දෙන්න.” ප්‍රසන්න එහිදී නිලධාරින්ට කීවේය.
“අපේ රටේ මිනිස්සු මේ වගේ ලස්සන තැන් බලන්න රස විඳින්න කැමතියි. ඩි.වී. චානක කීවේ ප්‍රසන්න අමාත්‍යවරයා ගේ ප්‍රකාශයට සහය පළ කරමින්ය.
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ඉකුත් සතියේ වැඩි කාලයක් ගත කළේ තමන්ට මැතිවරණයේදී සහය දුන් ජනතාවට කෘතඥතාව පළ කිරීමටය.
“මේ ආණ්ඩුව බලයට ආවේ පොරොන්දු මල්ලක් දීලානෙ. මේ පොරොන්දු ඉටු කරන්න අපි ආණ්ඩුවට කල් දී බලාගෙන ඉන්නවා” සජිත් තමන්ට සහය දුන්නු අය සමඟ කීවේය.
“මේ ආණ්ඩුව කියපු තරම් දේවල් කරන්නෙ නෑනේ.” මරික්කාර් සජිත්ට කීවේය.
විපක්ෂ නායක කාර්යාලයේ සෑම පෝය දිනකම ධර්ම දේශනාවක් පැවැත්වීමට තීරණය කර ඉකුත් පෝදා ද ධර්ම දේශනය පැවැත්විණි. ඊට සහභාගි වී සිටි අශෝක අබේසිංහ කීවේ “ඔබතුමා විපක්ෂ නායක කාර්යාලයට බදාදා එනවා කියල තමයි පත්‍රවල තිබුණේ” කියලයි. “ජනතාවට සේවය කරන්න නැකත් බලන්න බෑ. මම ඒකයි මට පුළුවන් මුල්ම දවසේ විපක්ෂ නායක කාර්යාලයේ වැඩ පටන් ගත්තේ” සජිත් කීවේය.
“හැම පැත්තෙන්ම පරිසරය විනාශ කරනවා. සිංහරාජය විනාශ කරනවා. වගුරු බිම් ගොඩ කරනවා” ජේ. සී. අලවතුවල සජිත්ට කීවේය.
“මේ ආණ්ඩුව ඉස්සෝ වගාවට කියල ආනවිලුන්දාව තෙත් බිම් ගොඩ කරනවා” හේෂා විතානගේද කතාවට හවුල් විය.
“අන්තිමට ඩෝසර් ඩැයිවර් කෙනෙක්ට වරද පටවලා වගකිව යුතු අය බේරෙන්නයි හදන්නේ” අශෝක අබේසිංහ කීවේ සිනාසෙමින්ය.
මේ කතා අහගෙන සිටි සජිත් “පරිසරය විනාශ කරලා රටක් හදන්න බෑ” යැයි කීවේය.
වෙබ් මාධ්‍යවේදී චතුරංග ඩෙස්මන් අල්විස් පොලිසිය අත්අඩංගුවට ගත්තේ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් අනුවය. සජිත් ඩෙස්මන් වෙනුවෙන් නීතිඥ සහය ලබා දීමට කටයුතු කර ෙඩස්මන්ගේ නිවසට දුරකථනයෙන් කතා කළේය. “අපි චතුරංග වෙනුවෙන් පෙනී සිටිනවා. මම චතුරංග වෙනුවෙන් අධිකරණයේ පෙනී ඉන්න නීතිඥ කණ්ඩායමක් සූදානම් කළා” යැයි සජිත් චතුරංග ගේ බිරිඳට කීවේය.
සමගි ජන බලවේගයේ හරීන් ප්‍රනාන්දුට ද ඉකුත් සතියේදී අලුත් වගකීමක් පැවරුණේය.
“හරීන් දැන් අපි ගමට බහින්න ඕනේ. රට වටේ ගමින් ගම ගිහිල්ල ප්‍රාදේශීය මට්ටමින් පක්ෂය ශක්තිමත් කරන යාන්ත්‍රණය හදන්න.” සජිත් හරීන්ට කීවේය.
“මට ඒක කරන්න පුළුවන් බිම් මට්ටමේ ඉඳලා. පක්ෂය ශක්තිමත් කරන වැඩපිළිවෙළක් මට තිබෙනවා.” හරින් සජිත්ට උත්තර දෙමින් අලුත් වගකීම බාර ගත්තේය.
එජාප නායකත්වය ගැන ඉකුත් සතියේද දැඩි කතාබහක් ඇති වූයේ රනිල් වික්‍රමසිංහ හා කෘත්‍යාධිකාරි මණ්ඩලයේ සාමාජිකයන් අතරය. රනිල්ට හිතවත් මේ පිරිස එජාප නායකත්වය අපේක්ෂා කරන නව දෙනෙකු ගැන ඔවුන්ගේ නම් කියමින් එකිනෙකා විවේචනය කළේය.
“කරු ඉස්සරහට තල්ලු කරන්නේ මීට කලින් නායකත්වය ඉල්ලපු කොළඹ ප්රබලයෙක්ලු නේද? දැන් රුවන් විජේවර්ධනත් නායකත්වය ඉල්ලනවා.’ අයෙක් කීවේය.
රුවනුත් අනෙක් අය වගේ නායකත්වය ඉල්ලා ගෙන කැම්පේන් කරනවා ඇති. ඒකට එයාටත් අයිතියක් තියෙනවානේ” රනිල් ඊට පිළිතුරු දෙමින් කීවේය.
“රුවන් නායක්වයට පත් වුණොත් ඔහුට වඩා වයසින් වැඩි අයට අභියෝගයක් වෙයි කියල සමහරු කියනවා”
“රුවන්, අකිල දෙන්නාම එක වයසේ අයයි. ඔවුන්ට වඩා වයස වැඩි අයට පක්ෂයේ නායකත්වයට පත් වෙන්න බැරි නම් පක්ෂයේ ඉහළ තනතුරක් ලබා ගන්න උත්සාහ කරන්න ඕනේ.” රනිල් වික්‍රමසිංහ කීවේ තම කැමැත්ත රුවන් හෝ අකිලට තිබෙන බවට ඉඟියක්ද කරමින්ය.
“එජාප ව්‍යවස්ථාව අනුව පක්ෂයේ නායකත්වයට එන්න පුළුවන් වෙන්නේ බෞද්ධයකුට විතරද?” තවත් ප්‍රශ්නයක් රනිල්ට යොමු විය.
“නෑ එහෙම එකක් නෑ. පක්ෂයේ සාමාජිකයෙක් නම් පක්ෂ නායකත්වයට පත්වෙන්න ඔහු සුදුස්සෙක් වෙනවා.” රනිල් කීවේය.