
කොවිඩ් - 19 වසංගතය හේතුවෙන් ලොව සෑම රටකම ප්‍රාථමික හා ද්විතීයික පාසල් වැසීගිය බවත් එය බිලියන 1.5 කට වැඩි ඉගෙනුම ලබන දරු පිරිසකට සෘජුව බලපෑ බවත් යුනෙස්කෝ සංවිධානය පසුගියදා වාර්තා කළේය. එහෙත් අප රට මේ සියලු අභියෝගයන් පරදවමින් කොවිඩ් අභියෝගයට සාර්ථකව මුහුණ දුන්නා පමණක් නොව ලොව අන් සියලු රටවලට සාපේක්ෂව ලක්ෂ 45 ක් වූ දරු පිරිසකට යළිත් පාසල් දොරගුළු විවෘත කරන්නට සමත්වීම අද ලෝක වාර්තාවක් අතරටද එක් වන්නේය.
යුනිසෙෆ් ආයතනය පසුගියදා ලෝකයාට පැවැසුවේ කොවිඩ් 19 පරදා ආරක්ෂිතව සිසුන් පාසල් යැවූ ප්‍රථම දකුණු ආසියාතික රට ලෙස ලංකාව හැඳින්විය හැකි බවයි. යුනිසෙෆ් ආයතනයේ අදහස මෙසේ ලොවට ප්‍රකාශ කළේ එහි නියෝජිත ටිම් සූටන් මහතාය.
“COVID-19 සඳහා ඵලදායී ලෙස ප්‍රතිචාර දැක්වීම පිළිබඳව ශ්‍රී ලංකාවට අපි සුබ පතන්නෙමු. එමඟින් පාසල් විවෘත කර ළමයින් සුරක්ෂිතව ගෙන ඒම සඳහා දකුණු ආසියාවේ ප්‍රථම රටවල් අතරට පැමිණීමට හැකි වී තිබේ” යනුවෙන් යුනිසෙෆ් ආයතනයේ නියෝජිත ටිම් සුටන් මහතා පැවැසුවේ ප්රශංසනාත්මකවය. යුනිසෙෆ් ආයතනය ශ්‍රී ලංකාව පැමිණි මේ ගමන්මඟ තවදුරටත් විග්‍රහ කරමින් ඔහු පැවැසූයේ “පාසල් වසා දැමීමේදී ලංකාවේ අධ්‍යාපනය අඛණ්ඩව පැවතුණා. දරුවන්ට වඩාත්ම අවදානමට ලක්විය හැකි ස්ථාන අවම කර ඉගෙනීමට හොඳම ස්ථානය පාසල බවට පත් කරන්නට ඔවුන්ට හැකිවුණා. දැන් ඔවුන්ගේ ගුරුවරුන් සහ මිතුරන් සමඟ ධනාත්මක, ආරක්ෂිත පාසල් පරිසරයක සිටින බව අපි දනිමු. කෙසේ වෙතත්, COVID-19 අවදානම තවමත් පවතී. අපගේ පණිවිඩය සරල වන්නේ එබැවිනි ”යනුවෙන් එහි හැඳින්විණි.
මාර්තු මස 12 වැනිදා කොවිඩ් අවදානමින් මිදෙන්නට වැසු පාසල් යළි මාස 5 කට පසු එනම් පසුගිය අගොස්තු 10 වැනිදා සියලු දරුවන්ට යළිත් පාසල් දොරටු විවෘත කරමින් ආරම්භ කළ ගමන මේ වන විට ලොවම ප්‍රශංසා කරති. ඒ ජනාධිපතිවරයා, අගමැතිවරයා, හිටපු අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුම හා වත්මන් අධ්‍යාපන ඇමැති ජී.එල් පීරිස් ප්‍රමුඛ රජය හා සෞඛ්‍ය නිලධාරීන් ලබා දුන් සෘජු නායකත්වයටය. මේ වන විට ඒ තත්ත්වය තවත් ඉදිරියට යමින් එළඹෙන සැප්තැම්බර් මස 8 වැනිදා සිට යළිත් පෙර තිබු පාසල් පරිසරය ඇති කරන්නට මේ වන විටත් රජය හා නව අධ්‍යාපන ඇමැති ජී. එල්. පීරිස් මහතා ප්‍රමුඛ අධ්‍යාපන හා සෞඛ්‍ය බලධාරීන් කටයුතු කරමින් සිටිති. මාස කිහිපයකට පාසල් දරුවන්ගේ අධ්‍යාපනය බිඳ වැටුණද පාසල් පද්ධතියේ සියලු අභියෝගවලට මුහුණ දෙමින් පන්ති කාමරයේ සිට පාසල් පරිබාහිර සමාජයම යළි ප්‍රතිනිර්මාණය කරමින් ගෙන ගිය මේ වැඩ පිළිවෙළ අද ලොවටම ආදර්ශයක් ගෙන දෙන්නේය. සංවර්ධනය වෙමින් පවතින රටක් යැයි හංවඩු ගැසු ලේබලයෙන් මිදෙමින් දියුණු රටවලට පවා කරන්නට නොහැකි වූ විස්මිතයන් කොවිඩ් හමුවේ කරමින් මේ වන විටත් යුනිසෙෆ් ආයතනයේ ප්‍රශංසාව හිමිවි ඇත.
කොරෝනා වසංගතයය හේතුවෙන් මේ වන විටත් ලොව බොහෝ රටවලට පාසල් යළි විවෘත කරන්නට නොහැකි වී ඇත්තේ දරුවන්ගේ සුරක්ෂිතබව තහවුරු කිරීමට නොහැකි නිසාවෙනි. එක්සත් ජනපදය වැනි ඇතැම් දියුණු රටවල පවා මේ වන විටත් පාසල් ආරක්ෂිතව විවෘත කරන්නට හැකිවී නැත. ඒ පාසල් විවෘත කළද මේ වසංගතය පාලනය කළ නොහැකි නිසාවෙනි. ලොව බොහෝමයක් රටවල් මේ වන විට දරුවන්ගේ අධ්‍යාපනය හමුවේ අසරණ වි ඇත. ඊශ්‍රායලය පාසල් නැවත විවෘත කළද නිරෝධායන නීති අනුගමනය නොකිරීමෙන් බොහෝ පන්ති කාමර සිසුන්ගෙන් පිරෙන්නට විය. මේ තත්ත්වය පුපුරා ගොස් ගුරුවරුන් පවා කොරෝනා වෛරසයෙන් මිය යන්නට වූ අතර අවසානයේ දරුවන්ගේ ආරක්ෂාව පතා පාසල් යැවීම නතර කරන්නට දෙමවුපියන්ට සිදුවිය. බොහෝමයක් රටවල යළි පාසල් විවෘත කිරිම දරා ගත නොහැකි වු මිල අධික ක්‍රියාවකි. එක්සත් ජනපදයේ ප්‍රාථමික සහ ද්විතීයික පාසල්වලට මේ වන විට ඩොලර් බිලියන 13.5 ක ෆෙඩරල් සහනයක් ලැබී ඇත. කෙසේ වෙතත් මෙම රටේ පාසල් නැවත විවෘත කිරීමට ඩොලර් මිලියන 328 ක් වැයවන බව ගණන් බලා ඇත. කොවිඩ් පුපුරා යාම හේතුවෙන් 2020 මාර්තු මාසයේ සිට ඉන්දියාවේ පාසල් සියල්ල වසා දමා ඇත. තවමත් ඉන්දියාවේ පාසල් නැවත විවෘත කිරීමේ දිනය අවිනිශ්චිතයි. සමහර මාධ්‍ය වාර්තාවලට අනුව, 2020 සැප්තැම්බර් 1 සිට නොවැම්බර් 14 දක්වා පියවරෙන් පියවර පාසල් නැවත විවෘත කිරීමට ඉන්දීය රජය සැලසුම් කරමින් සිටියි. බොහෝ යුරෝපීය හා නැගෙනහිර ආසියානු රටවල පාසල් ද යළි ආරම්භ කර ඇත්තේ මේ වසංගතයේ යම් පාලනයක් හෝ සිදුවන දිනයක් නොතකාය. සැප්තැම්බර් මාසයේදී පාසල් නැවත විවෘත කිරීමට එංගලන්තය ද සූදානම් වෙමින් සිටියද තවමත් ඒ සියල්ල අවිනිශ්චිතය..
පාසල් යළි විවෘත කිරීම ලොවට අභියෝගයක් වෙද්දී ලංකාව ඒ අභියෝගයන් ජය ගනිමින් කිසිදු සහනාධාර පවා නොලැබ ආ ගමන ප්‍රශංසනීය ය. ඉන්දියාවේ හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත ලංකාවේ පාසල් විවෘත කිරීම ගැන අදහස් දැක්වූයේ මේ ආකාරයෙනි. “......ඔවුන් කොවිඩ් නිරෝධායන නීති අකුරට අනුගමනය කරන්න කටයුතු යෙදුවා. ගුරුවරුන් කාර්ය මණ්ඩලය කලින්ම පැමිණ පාසල් සකස් කිරීමේ කටයුතු කළා. ඔවුන් කොවිඩ් වසංගතයෙන් පසුව සාර්ථකව පාසල් විවෘත කළා පමණක් නොව අගොස්තු 5 වැනිදා මහ මැතිවරණයක්ද පැවැත්වුවා..“යනුවෙනි.
මේ විස්මිතයන් සියල්ල සිදුකළේ කොයි ආකාරයෙන්ද? හිටපු අධ්‍යාපන ඇමැතිවරයා හා නව අධ්‍යාපන ඇමැතිවරයා නියෝජනය කරමින් නව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මෙසේ පැවසීය.
“අපි පාසල් යළි විවෘත කළේ ලෝක සෞඛ්‍ය සංවිධාන හා අපේ සෞඛ්‍ය බලධාරීන් දුන් නිර්දේශවලට අනුවයි. අපිට ලොකු අභියෝගයක් වුණේ සුරක්ෂිත පාසල් පරිසරයක් ඇති කරන්නේ කොහොමද කියන එකයි. කෙසේ වෙතත් අපි ඒ අභියෝගය ජය ගන්නට හැකිවුණා. මේ අතර දරුවන්ගේ අධ්‍යාපනය කඩා වැටෙන්නට ඉඩ දුන්නේ නැහැ. රටේ සෑම පාසලකටම කොවිඩ් වෙනුවෙන් යළි පාසල් ප්‍රතිනිර්මාණය කිරීමට රුපියල් මිලියන 600 ක ප්‍රතිපාදන ලබා දුන්නා. මේ සියල්ල කළේ පක්ෂ විපක්ෂ භේදයකින් තොරව ඒකායන අරමුණින්. එක් පැත්තකින් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා සිටින දෙයක් වන්නේ මේ වසංගතයේ අවසානයක් දකින්න තව කාලයක් යන බව. මේ නිසා අපි කෙසේ හෝ මේ අභියෝගය ජය ගත යුතු වුණා. පාසල් විභාග පැවැත්විය යුතු වුණා. පාසල් ඇරීමේ අභියෝගය ජය ගනිමින් රජය කෙසේ හෝ සුරක්ෂිත පාසල් පරිසරයක් ඇති කළා. ඒ වගේම මේ වන විට එන ඕනෑම අභියෝගයකට සාර්ථකව මුහුණ දීමේ හැකියාව අප සතුයි. නමුත් අපි කිසි විටකත් කොවිඩ් අවදානමින් මිදීමේ හැකියාවක් නැහැ. අපි මේ සියල්ල කරන්නේ ඒ අවදානම අතදරා ගෙනයි...“ ඒ නව අධ්‍යාපන ලේකම්වරයාය.
අධ්‍යාපන අමාත්‍යාංශය ලොකු පොඩි පාසල් භේදයකින් තෙරව සෑම පාසලකටම මේ අවදානමින් මිදිමේ අභියෝගය දරන්නට පාර කපා දුන්නේය. රජය ආ ඒ ගමන් මඟට දුෂ්කර පාසල් එක්වූයේ මේ ආකාරයෙනි.
“අපේ පාසල සිසුන් 355 ක් සිටින ගමේ දුෂ්කර පාසලක්. අපිට ඇත්තෙන්ම කොවිඩ් අවදානමක් තිබුණේ නැහැ. එහෙම කියලා අධ්‍යාපන අමාත්‍යාංශය අපිව අත් හළේ නැහැ. අනිකුත් පාසල් වගේම අපේ පාසලටත් අවශ්‍ය සියලු පහසුකම් ලබා දුන්නා. පාසල්වල අවශ්‍යතාවයන් අනුව හා යම් වර්ග කිරීම් වලට යටත්ව අවශ්‍ය සියලු ප්‍රතිපාදන ලබා දුන්නා. ලබා දුන් සෞඛ්‍ය උපදෙස් අපි වගකීමෙන් ක්‍රියාත්මක කළා. රජය කොරෝනා වසංගතයේදි ලබා දුන් නායකත්වය ඉතාව වටිනා දෙයක් වුණා. ඒ වගේම දරුවන් නිවසේ සිටින කාලයේ ඒ දරුවන්ගේ හැකියා වර්ධනය කරන්න හොඳ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළා. දරුවන්ට යම් යම් නිර්මාණාත්මක දේ සිදු කරන්න අවස්ථාව ලබා දුන්නා.....“ ඒ ලංකාවේ දුෂ්කර පාසලක් වන මහියංගනයේ රොටලවෙළ පාසලේ විදුහල්පති සරත් රූපසිංහය.
කොවිඩ් අවදානම දැනුණු නාගරික පාසල්ද සුරක්ෂිත පරිසරයක් ඇති කරන්නට හැකිවූයේ නිසි නායකත්වය නිසාවෙනි. මෙහිදි සෞඛ්‍ය බලධාරීන් ලබා දුන් නිසි සෞඛ්‍ය උපදෙස් පාසල් බලධාරීන් විසින් අනුගමනය කිරීම හේතුවෙන් සිසුන් වැඩි නාගරික පාසල් පරිසරද අද සුරක්ෂිත වී ඇත. ලබන මස සිට මේ පාසල්ද යළිත් සුපුරුදු පාසල් පරිසරයටම එක් වන්නේය.
“පාසල කියන්නේ පොදු සමාජයේ හරස් කඩක්. කොවිඩ් ආරම්භයත් සමඟ රජය ගත් දූරදර්ශී ක්‍රියාවක් තමයි පාසල් වසා දැමීම. දෙවැනුව විදුහල්පතිවරු නිසි වැඩ පිළිවෙළක් යටතේ දුරස්ත අධ්‍යාපනය ක්‍රියාත්මක කළා. මෙහිදි අධ්‍යාපන අමාත්‍යාංශය සාධනීය වැඩ පිළිවෙළ රැසක් ක්‍රියාත්මක කළා. පාසල් යළි විවෘත කිරීමේදි පියවරෙන් පියවර ලබා දන් සෞඛ්‍ය නිර්දේශ හා උපදෙස් ගොඩාක් වැදගත් වුණා. අද සෑම පාසල් පරිසරයක්ම කොවිඩ් වසංගතයෙන් මිදිලා. දරුවන්ට සුරක්ෂිතයි. මෙය අපි ලද සුවිශාල ජයග්‍රහණයක්...“ ඒ හෝමාගම මහින්ද රාජපක්ෂ විදුහලේ විදුහල්පති එම්.ආර්.ඩී කසුන් ගුණරත්නය.
කොවිඩ් වසංගතය විසින් දකුණු ආසියාවේ ළමුන් මිලියන 430 කට වැඩි පිරිසකට ඉගෙනීම කඩාකප්පල් කර ඇති අවධියක ඒ සියලු අභියෝග හා වියදම් කරට ගනිමින් 10,175 ක් වු පාසල් පද්ධතිය මෙන්ම ලක්ෂ 45 ක් වූ සිසු පරපුරට නැවතත් පාසල් විවෘත කරන්නට අපිට හැකිවීම ඇත්තෙන්ම ලෝක වාර්තා අතරට එක් වන්නේය.