
‘දෙයක් වේ නම් යම් සුදුස්සාටම අයිති විය යුතු‘ වේ. එය එසේම වේ දැයි බැලීමට අපි කාන්තා දිනයේ ටවර් හෝල් රඟහලට ගියෙමු.
හුරුපුරුදු මුහුණු රැසක රැඳි සුපසන් සිනාවෙන් ටවර් රඟහල පිරී තිබෙනු පෙනිණි. ඒ බොහොමයක් දෙනා පැමිණ සිටියේ තම දරුමුණුපුරන්ද කැටුවය. අතීතයේ රට පුරා මෙවැනි වේදිකා රැසක රඟ දැක්වූ නාට්‍යයක ගෞරවණීය පාත්‍ර වර්ගයා වූ ඔවුහු ඒ අභිමානය නිහතමානීව විඳ ගන්නට පැමිණ සිටියහ.
සීනු තුනක් නාද විය. තිරය මදක් විවර වෙද්දී මහා ජන ඝෝෂාවක් ඇසිණි. අවලාද කියන මහලු මිනිසෙක් වටකරගත් පිරිසකි. ඔහු දිසාපති හාමුදුරුවන්ට පෙත්සමක් බාර දීමට අවශ්‍ය බව කියයි. එය වළක්වාලන පිරිස අතරින් ඉදිරියට එන පූරක මෙහි සිදුවන විශේෂ කරුණ ඔහුට දැනුම් දෙයි.
“මේ සීයේ මෙතන පෙත්සම් දෙන තැනක් නෙවෙයි. අද මේ අය මෙතැනට රැස් වෙලා ඉන්නේ, මීට අවුරුදු 50ට කලින් ඒ කියන්නේ 1967 මාර්තු 8 වැනිදා වේදිකා ගත කරලා අද වෙනතුරු නොකඩවා දර්ශන 4800ක් ප්‍රදර්ශනය කළ ‘හුණු වටෙයේ කතාව‘ කියන වේදිකා නාට්‍යයේ ස්වර්ණ ජයන්ති උලෙළ සමරන්න.“
‘හුණුවටයට 50යි‘ කියනවාත් සමඟම ෂෙල්ටන් ප්‍රේමරත්නයන්ගේ මියුරු සංගීත හඬ සර්පිනාවේ සර පුවරු අතරින් මතු විය. අඩසිය වසක් පුරා හුණුවටයේ කතාවෙන් මොහොතකටවත් වෙන් නොවූ ප්‍රවීණ නළු නිමල් ජයසිංහ ගායන වෘන්දය සමඟ මෙසේ ගායනය ඇරැඹූවේය.
“ඈත එක් යුගයක ලෙයින් නැහැවුණු සමයක කවුකාස්කි නගරයක සාපලත් නගරයයි නම් වූ... විසුවා යුව රාජයෙක්...“
ඒ හුණුවටයේ කතාවේ ඇරැඹුමයි. ජර්මන් ජාතික විප්ලවීය නාට්යෙව්දියකු වූ බර්ටෝල් බ්‍රෙෂ්ට් ගේ ‘ද කොකේසියන් චෝක් සර්කල්‘ නම් පෙළ හුණු වටයේ කතාව ලෙස සිංහලට පරිවර්තනය කොට නිෂ්පාදනය කළේ මෙරට සිටි ප්‍රවීණ නාට්‍යවේදියකු හා රංගධරයකු වූ හෙන්රි ජයසේනයන්ය. අසඩක්, ගෘෘෂා වැනි නම් එලෙසම භාවිත වුවත් එය කෙතරම් අපට සමීප වූවාද කීවහොත් හෙන්රි ජයසේනගේ හුණුවටයේ කතාවට බර්ටෝල් බ්‍රෙෂ්ට් ගේ සම්බන්ධයක් ඇති බව පවා ප්‍රේක්ෂකයන්ට අමතක වන තරම් විය. මුල් නිෂ්පාදනයේදී හෙන්රි ජයසේනයන් තැබූ සටහනක් කියවීමේදී එයට හේතුව පැහැදිලි විය.
“බර්ටෝල් බ්‍රෙෂ්ට්ගේ ‘කොකේසියානු හුණුවටය‘ නැමැති නාට්‍යයට පදනම වූයේ අවුරුදු හයසියයකටත් වඩා පැරැණි චීන නාට්‍යයක් බැව් කියැවේ. එයට වස්තු වූ කථාව, උමංදාවෙහි එන මහෞෂධ කුමරුන් විසඳූ ‘දරු ප්රශ්නය‘ කතාවට සමාන වූ බැව් සිතීමට ඉඩ තිබේ. එය බණ පොත් කියවා ඇති, බණ අසා පුරුදු ඇති, මෙරට කවුරුන් වුවද දන්නා කථාවකි...බ්‍රෙෂ්ට් සිය නාට්‍ය කිහිපයකටම වස්තු බීජ සොයාගෙන ඇත්තේ අපරදිගින් නොව පෙරදිගිනි. ඔහුගේ රචනා විලාසය හා ඔහුගේ නිෂ්පාදන හා රංග ක්‍රම උපක්‍රම ආදියද පෙරදිග සම්ප්‍රදායට නැඹුරු වූ ඒවාය. පොතේ ගුරු, ගායක පිරිස, නැටුම්, සංගීතය, බෙර වාදනය ආදී පෙරදිග නාට්‍ය සම්ප්රදායනට හුුරු අංග බ්‍රෙෂ්ට්ගේ නාට්‍යවල බහුලය.“
හැදූ මවත් වැදූ මවත් අතරින් සැබෑ දරු සෙනෙහස සොයා යන මේ කතාවේ ඇති දේශපාලන පසුබිමද අපේ රටට ගළපන්නට ජයසේනයන්ගේ භාෂා භාවිතය මැනෙවින් සමත් විය. මේ සියල්ල එක් වූ නාට්‍යය නැරඹූ ප්‍රවීණ සිනමාවේදී තිස්ස අබේසේකරයන් පවසා තිබුණේ, “හෙන්රි ජයසේන කලාකරුවා මින් මතු කිසිදු නිර්මාණයක් නොකළත් කමක් නෑ, මේ නාට්‍යය පමණක් වුවත් හොඳටම ඇති.“ කියාය.
එවන් නිර්මාණකරුවකු වෙනුවෙන් උපහාර දැක්වීම සිය පළමු රාජකාරිය බව දන්නා කෘතවේදී ශිල්පීන් සම්ප්‍රදායික පොල්තෙල් පහන් දැල්වීමෙන් පසු හුණුවටයේ කතාව රටට උරුම කළ හෙන්රි ජයසේන කලා කරුවාණන් සහ ඔහුගේ සාර්ථකත්වයේ දැවැන්ත සෙවනැල්ල බඳු වූ බිරිය මානෙල් ජයසේන කලාකාරිනියට පුෂ්පෝපහාර පවත්වන මොහොත එළැඹීයේය. එදා අසඩක්ගේ සහ ගෘෘෂාගේ ඡායාරූපත් හඬත් ප්රක්ෂේපන යන්ත්‍ර මඟින් තිරයේ සටහන් වද්දී හෙන්රි මානෙල් යුවලගේ එකම පුතු සුදාරක ජයසේන, වේදිකාවේ මේසයක් මත සිට ප්‍රේක්ෂාගාරය දෙස සිනා මුසු මුහුණින් බලා සිටින්නා සේ වූ සේයා රූ මල් මාලාවලින් සරසා දණ ගසා වැනදේය. ඒ මොහොතේ ඔහුගේ දෑස්වල දිලිසුණු මව්සෙනෙහසත් පියසෙනෙහසේත් ආලෝකය හෙන්රි මානෙල් යුවළට ආදරය කළ බොහෝ දෙනකුගේ සිත් සසල කළ බව අඩ අඳුරේ වුව දැකිය හැකි විය. ඉන්පසු නව නිෂ්පාදනයේ නළු නිළියෝ ද සිය ගුරු මවුපිය දෙපළට උපහාර දැක්වූහ.
නිවේදන කටයුතු කළ නළු ප්‍රසන්නජිත් අබේසූරිය සුදාරකගේ මතක අවදිකරන්නට ආරාධනා කළේය. මෙවන් උත්සවයක් සංවිධානය කළ ‘නළු කැළ‘ ඇතුළු සියල්ලන්ට ස්තුති කළ ඔහුගේ මතක මෙසේ විය.
“හුණුවටය මට වඩා ටිකක් වැඩිමල්. මමත් එකේ මයිකල් කුමාරයාට රඟපෑවා. ඒ නිසා රටවටා දර්ශනවලට කණ්ඩායම සමඟ බස් රථයේ ගිය ගමනේ හරිම සුන්දර මතක තිබෙනවා... තාත්තා නාට්‍යය කළා වුණත් අම්මා තමයි කණ්ඩායම එකට රඳවාගත්තේ. 67 ඉඳන් 98 වනතුරු එක දර්ශනයක්වත් අම්මා ගෘෘෂාව මඟහැරියේ නෑ. අලුත් කණ්ඩායම පුහුණු වුණේ තාත්තා ඉන්න කාලෙමයි.
ඉන්පසු අරාධනය ලැබුණේ හෙන්රි ජයසේනයන් යටතේ මකරා නාට්‍යයේ ලාන්ස්ලොට් ලෙස රඟපා කලා ලොවට පිවිස වම් ඉවුරේ සිනමාකරුවකු වී‘හංසවිලක් චිත්‍රපටය‘ තනා එහි හෙන්රි ජයසේන සහාය නළු චරිතයට ගත් ප්‍රවීණ කලාවේදී ධර්මසිරි බණ්ඩාරනායකටය.
“මම හුණුවටය බැලුවේ අවුරුදු 16ක පාසල් ශිෂ්‍යයෙකු හැටියට රුපියලේ ටිකට් එකකට. අද මම නාට්‍යකරුවෙකු වුණේ එදා ඒ නාට්‍යය බැලූ නිසා. ඒ නාට්‍යය අපට චින්තනයක්, දේශපාලන දර්ශනයක් දුන්නා. හුණුවටයේ හැම දෙබසක්ම, ගීතයක්ම අපට කටපාඩම්. ඒ පාඩම්කරලා නෙවෙයි. නාට්‍ය කලාවේ ශ්‍රේෂ්ටත්වය තමයි ඒ මතක හිටීම. ඒ තමයි නාට්‍ය සංස්කෘතිය කියන්නේ.”
‘නළු කැළ‘ගේ ඊළඟ උත්සාහය වසර 50ක් පුරා හුණුවටයේ කතාවේ සියලු නිෂ්පාදන හා බැඳී සිටි පාත්‍රවර්ගයා හඳුන්වා දෙමින් ඔවුන්ට උපහාර පිදීමය. ඒ අතර ජීවන කරළියෙන් සමුගත් සංඛ්‍යාව 20ක් විය. ජීවතුන් අතර සිටියද හුණුවටයෙන් මිදුණු නළුනිළියන් 53ක්, අත්වැල් ගායනයේ 19ක්, සංගීතය සැපයූ 15ක්, ආලෝකකරණ ශිල්පීන් 4ක් සහ වේශ නිරූපන ශිල්පියකු මෙන්ම වර්තමාන කණ්ඩායමේ සමස්ත ශිල්පීන් 35 දෙනා වෙනුවෙන් ඒ උපහාරය පිරිනැමිණි. ඒ අතර මයිකල් කුමාරවරුන් 18 දෙනකි. පළමු නිෂ්පාදනයේ මයිකල් කුමරුට දැන් වයස 57කි. වර්තමාන කුමරු අවුරුදු 6ක පමණ සිඟිත්තෙකි.
ඒ අතර විශේෂ වූයේ අඩසියවසක් පුරාම හුණුවටයේ රැඳුණු ප්‍රවීණ නළුවන් දෙදෙනා වන නිමල් ජයසිංහ හා චූලා කාරියවසම් වෙනුවෙන් දැක්වූ විශේෂ උපහාර තිළිණයි. ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ගෙන්ද ඔවුන් ලද සම්මාන තම රංගන ජීවිතයේ පනස් වසක් වෙනුවෙන් ලද උත්තම උපහාරය වනවාට සැක නැත.
නව නිෂ්පාදනයේ ශිල්පීන් සඳහා 35 දෙනාට සම්මාන පිරිනැමීමට ප්‍රවීණ කලාකරුවන් මෙන්ම ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතාද එක් විය.
සියලු දෙන වේදිකාවේ සිටියදී පැරැණි රංගන මතක අවදි කරන්නටැයි ඉල්ලීමක් ආවේ වත්මන් ගෘෘෂා රුවිනි මනම්පේරිගෙන්ය. ඒ අනුව නටාලියා අබෂ්විල්ලිව සිටි ගුණවතී ගුණවර්ධන පළමුව දෙබස් ඛණ්ඩයකින් රසික මතක අවදි කළාය. ප්‍රවීණ රංගධර විජේරත්න වරකාගොඩගේ ගැඹුරු හඬ ප්‍රේක්ෂාගාරයේ කෙළවරේම සිටින්නන්ගේ සවන්පත් දක්වාම මිහිරක් ගෙනාවේ පූරකගේ ගීතයකිනි.
“ජෝර්ජී අබස්විල්ලි කෙසේ නම් විස්තර කරන්නද ඔහු, ඔහු සැපෙන් සිටියා...
තාම පුළුවන් - තාම පුළුවන් “ ගීතය අවසානයේ ‘වරක්ස් අය්යා‘ පැවසුවේ ටවර් රඟහල දෙදරන තරම් අත්පොලසන් දෙන රසිකයන් තවත් රසවත් කරමිනි. එදා මෙන්ම විසිල් පාරවල් දෙකක් වැදෙනු ඇසිණි. ඉන් පසු ඉදිරියට ආවේ සෝමසිරි අලකොලංග රංගන ශිල්පියාය. ඔහු සමඟ එක්වූයේ රංගවස්ත්රයෙන් සැරසුණු නව සෙබළුන් දෙදෙනාය. කොරගසන සෙබළා ද සමඟ ඔවුහු ආචාර පෙළපාලියේ මෙන් යති.
“යුද්දෙට මං ගියා
ගෑනි ගෙදර තියා
මගෙ යාළුවො මං එනතුරු
උන්දැ බලාගයි නිරතුරු!
තව... හයියෙන්.“
ආයෙත් වරක් අත්පොලසන් නදින් ටවර් රඟහල පිරීයයි.
මෙසේ මුල් නිෂ්පාදනයේ කීපදෙනකුම තම කොටස් කළ පසු ඉදිරියට ආවේ ප්‍රවීණ නිළියක වන යසවතී අබේරත්නය. ඇය ලුඩොවිකාගේ දෙබස් ඛණ්ඩයක් සමඟ ගස්සපස්සාගෙන ගියාය. එයින් ප්‍රේකෂකාගාරය පමණක් නොව ප්‍රසන්නජිත් පවා කුල්මත් වූ සේය. ඔහු එය වචනයට පෙරළීය. “අද මෙහෙමනම් එදා කොහොම තියෙන්න ඇද්ද? බලහත්කාරකමක් වුණ එක ගැන ආයේ අහන්නත් දෙයක් තියෙනවාද ලුඩොවිකාට?”
වසර පනහක මතක පිළිබඳ නිමල්- චූලා දෙපළ සමඟ කතා කරන්නටද අප අමතක කළේ නැත.
“මුලින්ම ආවේ කෝරස් එකට. අදවෙද්දි මේ නාට්‍යයේ චරිත 20ක් කරලා තියෙනවා. එය ලොකු භාග්‍යක්. නාට්‍ය කණ්ඩායමේ සිටි අපේ පුතාලා දූලාම තමයි වරින් වර මයිකල් කුමාරයා වුණේ. පරම්පරා තුනක අය දැන් රඟපානවා.“ ‘නිමල් අය්යා‘ ගේ මතක දෝරේ ගලන්නට විය.
“ෂෙල්ටන් මාස්ටර් හුළඟේ හඬ ගන්න අලුතින්ම බ්ලෝවරයකුත් හැදුවා. අපේ සියවැනි දර්ශනය පැවැත්වුණේ 1969. එදා ජර්මනියේ ගෘෘෂා, බ්‍රෙෂ්ට්ගේ බිරිඳ හෙලේනා වයිග්ල් හෙන්රිට සුබපතලා එවූ විදුලි පණිවුඩය තමයි මේ.“ ‘චූලා අය්යා‘ අපට පෙන්වීය.
ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකිකයන් යොදාගෙන නිර්මාණය කළ නාට්යයේදීද අසඩක් වූ හෙන්රි ජයසේනයන්ගේ මෙන්ම අනෙක් චරිතවල රංගවස්ත්‍ර මෙරට නළු නිළියන්ට ලබාදුන් අයුරුද, ජර්මානුවන්ගේ චෝක් සර්කල්වලට වඩා අපේ හුණුවටය ඉස්තරම් යැයි ඇමරිකානු නාට්‍යකරුවකු කී ආකාරයද, ලින්කන් තියටර් එකේ නාට්‍යයකින් මනුස්සකම් උගන්වනවා නම් හෙනරි එතැනට ගෙන්විය යුතුයැයි විදේශිකයන් කී කතාවද වැනි දහසකුත් එකක් මතකයන් ඔවුුන් මුවින් ගලා එන්නට විය. ‘67 මුල් දින පහේ ආදායම හා වියදම සැදූ පසු හෙන්රි ජයසේනට ඉතිරි වූයේ රුපියල් 10යි ශත කීපයක් බවද ඔවුන් මතක් කළේ සංකීර්ණ හැඟුම් රැසක් සමඟය.
“හෙන්රිට පස්සෙ නලීන් ප්‍රදීප් අසඩක්ට රඟපෑ පළමු අවස්ථාවේම ‘ඕ මයි හීරෝ‘ කියලා ප්‍රේක්ෂකාගාරේ ඉඳන් හෙන්රි කෑ ගැහුවා. නලීන් සතුටු වුණේ ඒක සම්මාන දාහකට වඩා වටිනවා කියලායි.“ හෙන්රි ජයසේනයන්ගේ නිහතමානී ගුණය ඔවුන් සිහි කළේ එලෙසය.
උලෙළ නිමා විය. සියල්ලෝ සතුටින් වේදිකාව මත සුබපැතුම් බෙදා ගන්නට වූහ. හුණුවටයේ කතාවටත් එයට සම්බන්ධ වූ සැමටත් ‘සිළුමිණ‘ මෙසේ සුබ පතමු.
යෙහෙන් ගොස් යළි එනුව යහතින්
මඟ නොමඟ දෙව් සරණ ලබමින්!