
වනජිවි පරිසර රසවිඳින්නන්ට මෙන්ම වන දිවියට හිතැති දෙස් විදෙස් සංචාරකයින්ට නිදැල්ලේ හැසිරෙන වටිනාකමක් ඇති සතුන් නෙත ගැටීම අමරණීය අත්දැකිමකි. කොටියකු දක්නට ලැබිමද එවන් අත්දැක්මක් එක් කරන්නනෙකි. එහෙත් කුසගිනි නිවා ගැනීමට මිනිස් ජනාවාසයට ටිකෙන් ටික ආක්‍රමණය කළද අවසානයේ නොසිතූ පරිදි අකාලයේ මරු වසඟයට යන්නට තරම් ඔවුහු පවුකාර විය. මිනිසුන්ගේ නොපහත්කම් නිසාවෙන් ඇටවූ මරු උගුල් වලට අවසානයේ ඔවුහු දිවියට සමු දුන්හ. දෙස් විදෙස් පරිසර ලෝලීන්ගේ නෙත් සිත් ඇඳ බැඳ ගන්නා අපූරු වනජීවි පරිසරයක් අපට තිබුණද දැන් ඒ සියල්ල කෙමින් කෙමින් විනාශ වී යන්නට පටන් ගෙන ඇත්තේ මිනිස් ක්‍රියාකාරකම්හි පටු අරමුණු නිසාය.
අද ලංකාවේ වඳ වී යන කොටියාට අත්ව ඇත්තේ මේ අකාරුණික ඉරණමය. මේ වසර තුළ මියගිය 8 වැනි කොටියා පසුගියදා වාර්තා වූයේ ගම්පොල දොළුව ප්‍රදේශයෙනි. එහෙත් වාර්තා නොවූ කොටි මරණ කෙතෙකුත් ඇත්දැයි කවුරුත් නොදනි.
සමස්ත ලංකා වනජිවි නියාමකවරුන්ගේ සංගමය ද පවසා සිටින්නේ විවිධ දඩයම් හේතුවෙන් ලංකා කොටින්ගේ මරණ වාර්තාගත අන්දමින් ඉහළ ගොස් ඇති බවකි. ඉතා කෙටි කාලයක් තුළ මෙසේ වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වි ඇත්තේද මේ වසරේය.
මේ පිළිබඳව අදහස් දක්වන උඩවලව ඇත් අතුරු සෙවණ පශු වෛද්‍ය නිලධාරී මාලක අබේවර්ධන මහතා පවසා සිටින්නේද පසුගිය කෙරෝනා වසංගත කාලයේ බොහෝ දෙනෙක් නිවෙස්වලටම වී සිටීම හේතුවෙන් මෙවන් ප්‍රවණතාවක් දැකිය හැකි වු බවකි.
“පසුගිය කාලයේ ගොඩාක් අය ගෙවල්වලට වී සිටි නිසා සමහර පළාත්වල සතුන් ගොඩාක් දෙනෙක්ගේ ආහාරයට එකතු වුණා. මේ නිසා සත්තු අල්ලා ගැනීමට ගම්වල මඳු බැන්දා. අපේ ලංකාවේ ‘Pantehra pardus kotiya'කියන විශේෂය තමයි මේ මරණයට පත් වන්නේ. බොහෝ දෙනෙක් මේ සතාව දිවියා විදියට හැඳින්වුවත් දිවියා කියන්නේ පූසෙකු වගේ කුඩා ප්‍රමාණයේ සතෙක්. මේ සතුන් ලංකාවේ සෑම දේශගුණික කලාපයකම ඉන්නවා වගේම පොඩි පොඩි කඳුකර කැළැවලත් ඉන්නවා. නමුත් දැන් ගම් වඳින්නේ ආහාර හොයාගෙන. ගම්වලට ආවහම මේ සතුන්ට බල්ලෝ ඌරෝ ආදි සතුන් පහසුවෙන් අල්ලා ගත හැකි වෙනවා. මෙහෙම සත්තු දඩයමට ගම්වඳින විට තමයි මෙවැනි කොටින් මද්දට හසුවෙලා මැරෙන්නේ. පසුගිය මාස 8 ට මෙවැනි වටිනා සතුන් 8 දෙනෙක් ආකාලයේ මැරුණා. ඒ අතර වාර්තාගත වන විශේෂ කොටි මරණය තමයි කළු කොටියාගේ මරණය. ලංකාවේ කොටි හැමෝටම දකින්නට ලැබෙන්නේ නැහැ. සංචාරකයින් මෙවැනි සතුන් බලන්න හරීම ආසයි. මේ නිසා සංචාරක කර්මාන්තය පැත්තෙන් මේ සතුන් සිටීම ඉතා වැදගත්. තවත් පැත්තකින් ආහාර දාමයේ ඉහළින්ම සිටින්නේ මේ සතුන්. ඒ සතුන්ගේ ගහණයේ අඩු වීමක් වෙනවා කියන්නේ පරිසර සමතුලිතතාව අඩු වෙනවා කියන එකයි. වගාවට පමණක් නෙමෙයි කැළෑවේ සමතුලිතතාවයද නැති වෙනවා....“ ඒ පශු වෛද්‍ය නිලධාරී මාලක අබේවර්ධන මහතාය. හැටන්, නොර්වුඩ් සහ ආගරපතන ආදී ප්‍රදේශයන්හි තේ වතු ආශ්‍රිතව සැරිසරන කොටි මෙසේ දඩයක්කරුවන්ගේ උගුල්වලට හසු වීමෙන් සහ වස මිශ්‍ර කළ මස් වර්ග ආහාරයට ගැනීමෙන් මරණයට පත් වූයේ වටිනා සම්පතක් රටට අහිමි කරමිනි. වනජිවි වාර්තාවන්ට අනුව මෙසේ මියගිය බහුතරයක් කොටින් වැඩුණු ගැහැනු සතුන් විම මෙහි බරපතළකම වඩාත් තීව්‍ර කරන්නෙකි. එය සත්ත්ව ගහණ ඝනත්වයට දැඩි බලපැම් කරවන්නකි. ලංකාවේ සිටි දුර්ලභ කළු කොටියා මිය ගියේ මැයි මස 29 වැනිදාය. ලක්ෂපාන වාලමලෙයි ප්‍රදේශයේ එළවළු වගා ගොවිපලක සතුන් දඩයම් කිරිම සඳහා අටවා තිබූ මන්දකට හසු වී තුවාල ලැබු මේ දුර්ලභ කළු කොටියා වැඩිදුරට ප්‍රතිකාර ලබාදිම සඳහා උඩවලව පශු වෛද්‍ය රෝහල වෙත රැගෙන ගොස් සිටියදි ජිවිතක්ෂයට පත්විය.
![]() |
කොළඹ ජාතික කෞතුකාගාරයේ දි සංරක්ෂණය කරන ලක්ෂපාන වාලමලෙයි මිය ගිය කළු කොටියා |
කළු කොටියා මිය යාම සම්බන්ධයෙන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත නල්ලතන්නිය වනජිවි කාර්යාල විසින් කරුණු වාර්තා කර තිබු අතර වනජීවි දෙපාර්තමේන්තුව විසින් මිය ගිය කළු කොටියාගේ සිරුර සංරක්ෂණය කිරිමට අවශ්‍ය කටයුතු කොළඹ කෞතුකාගාරය හා එක්ව සිදු කර ගෙන යයි. මීට ප්‍රථම දෙණියාය මවුල්දෙණිය ප්‍රදේශයේ මන්දකට හසු වී මිය ගිය මෙවැනිම කළු කොටියෙකුගේ සිරුර ගිරිතලේ ජාතික වනජිවි පුහුණු කෙන්ද්‍රයේ සංරක්ෂණය කර ඇත.
ජූනි 23 වැනිදා හෙළ්බඬ වතුයායකදි මියගියේ පැටියෙකු සහිතව සිටි කොටි දෙනෙකි. මොවුන් ලංකාවටම ආවේණික කොටි විශේෂවන අතර දුර්ලභ වඳ වි යන සත්ත්ව විශේෂයි. නමුත් තේ වගාවට නතු වුණු මධ්‍යම කඳුකරයේ උස් භූමි ආශ්‍රිතව සැරිසරන කොටින් වතු කම්කරුවන්ට මහත් භීතිය උපදවන සත්ත්ව කොට්ඨාසයකි. උන්හිටි ගමන් හොර රහසේම වතු ජනාවාසවලට කඩා වදින කොටින්, කුකුළන්, එළුවන්, ගවයන් සහ බල්ලන් ආදී ගෘහාශ්‍රිත සතුන්ට එල්ල කරන තර්ජනය ඉමහත්ය.
තර්ජනයෙන් මිදීම පිණිස කඳුකර වැසියන් දැන් කලක පටන් කොටියන්ට උගුල් ඇටවීමට අත්හදා බලමින් සිටිති. එනම්, ගෙදර දොර ඇති කරන බල්ලන් ‘ඇමක්’සේ භාවිකර, කොටියන්ට පාඩම් උගන්වන්නට යාමයි.
පාඩම ඉගෙන ගන්නා කොටි, දැන් සෑහෙන කාලයක් තිස්සේ අතිශය කුරිරු ලෙස මිනිසුන් වෙතින් මියැදෙන්නෝය. බොහෝ දෙනා මෙම සතා කොටියා හා දිවියා වශයෙන් මාරු කර ගනිති. අපේ රට තුළ වාසය කරන කොටියාට වඩා සිරුරින් කුඩා බළල් පවුලට අයත් සාමාජිකයින් දෙදෙනෙක් වන්නේ කොළ දිවියා (Rusty Spotted Cat) සහ හදුන් දිවියා (Fishing Cat)ය. මේ දෙදෙනාට අමතරව අපේ රට තුළ වාසය කරන බළල් පවුලේ අනෙක් පුංචි ඇත්තා වෙන්නේ වල් බළලායි (Jungle Cat). මේ සිවු දෙනාම වන ජීවී රක්ෂිතයන් ඇසුරේ දිවි ගෙවනා බළල් පවුලේ සාමාජිකයින්ය. තමන්ගේ බල පරාක්රමයට සරිලන ආකාරයට සෙසු සත්වයින් ගොදුරු කර ගනිමින් ජීවත් වන ආකාරයට මේ සතුන් හුරු වි ඇති නිසා ස්වභාව ධර්මයට පටහැනි අයුරින් මේ සතුන්ගේ ජීවන රටාව විනාශ කිරීමට කිසි වෙකුටත් නීතියෙන් අවසරයක් නැත. තියුණු නිය, තියුණු උල් දත්, වනගත දිවියටම ගැළපෙන සුනම්‍ය සිරුරත් ඌට ස්වභාව ධර්මයෙන් දී ඇත්තේ ඒ නිසාවෙනි. අපේ රටේ වාර්තා වෙන මේ වදවීමේ තර්ජනයට ලක්ව ඇත්තේ බිළාල පවුලට අයත් රටට ඇවැසි සාමාජිකයෝය. වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂා කිරීමේ ආඥා පනතේ 30 වන වගන්තියේ, දෙවන උප වගන්තියට අනුව බිළාල පවුලේ සාමාජිකයින් දැඩි ලෙස ආරක්ෂිත ක්ෂීරපායින් ලෙස ලැයිස්තු ගත කර ඇත්තේ විවිධ මානව බලපෑම් හේතුවෙන් මේ අයගේ ජීවිතයට තර්ජනයන් එල්ල වීම වළක්වා ලමින් ඔවුන්ගේ පැවැත්ම තහවුරු කරනු පිණිසයි. එබැවින් මෙවැනි ජීවී සතෙකු තබා අජීවී මියගිය සතෙකුගේ කොටසක් හෝ ළග තබා ගෑනීම (සම්, දත්, නිය) දඩුවම් ලැබිය හැකි වරදක් බව සිහිපත් කළ යුතුමය.