
රාජ්‍ය සේවයෙන් දේශපාලනයට ඇවිල්ලා මැතිවරණයකදී තරඟ නොකර ඔබට ලැබුණ රාජ්‍ය අමාත්‍ය ධුරය පිළිබඳව මොනවද හිතන්නේ?
අපේ රටේ දුර්වල වී තිබෙන ආර්ථික ක්ෂේත්‍ර ගණනාවක් තිබෙනවා. ඒ හැම අංශයක්ම ගොඩ ගන්න ඕන. ඒ කාර්යය අපට කරන්න පුළුවන් කියන විශ්වාසයෙන් තමයි ජනාධිපතිවරයා අපිට වගකීම් පවරලා තිබෙන්නෙ. ජනාධිපතිවරයා දැනටමත් ප්‍රකාශයට පත් කර තිබෙන සෞභාග්‍යයේ දැක්ම වැඩ සටහනේ කොටසක් තමයි මේ අමාත්‍ය ධුර හරහා අපට පවරලා තිබෙන්නේ. ඒ නිසා අපි උපරිම උත්සහයෙන් ඒ කාර්යය සාර්ථක කර ගන්න තමයි කටයුතු කර ගෙන යන්නේ. ජනාධිපතිතුමා අපේක්ෂා කරන ආකාරයට අපි කැපවීමෙන් කටයුතු කළොත් පමණයි අපිට මේ අභියෝග ජය ගන්න පුළුවන්නෙ.
ඔබ මහ බැංකුවේ හිටපු අධිපතිවරයා හැටියට ඒ රාජකාරි අත්දැකීම මේ අමාත්‍ය ධුරයත් එක්ක ගළපා ගන්න පුළුවන්ද?
මහ බැංකුවේ වගකීම තමයි මූල්‍ය ක්ෂේත්‍රයේ ස්ථායිභාවය රැක ගැනීම. රුපියලේ අගය රැකගනිමින් අපේ රටේ ආර්ථිකය සමබරව පවත්වා ගැනීම මහ බැංකුවට පැවැරෙන වගකීම්. මුදල් අමාත්‍යාංශයට පැවැරෙන වගකීම ඊට වඩා හුඟක් පුළුල් කියලයි මම හිතන්නෙ. රටේ ආර්ථික වර්ධනය සදහා යම් පිබිදීමක් ඇති කිරීම තමයි අමාත්‍යාංශයට පැවැරෙන වගකීම. මහ බැංකුව මුදල් අමාත්‍යාංශයේ එක් ආයතනයක් විතරයි. ඒ අනුව ගත්තාම මුදල් අමාත්‍යාංශයේ සංයුතිය හුඟක් විශාලයි. ඒ කටයුතු කරන්න මට මහ බැංකුවේ අධිපතිවරයා හැටියට ලැබුණු අත්දැකීම් බෙහෙවින් ප්‍රයෝජනවත් වෙනවා.
සාම්ප්‍රදායික දේශපාලනඥයෙක් නොවන ඔබ රාජ්‍ය සේවයෙන් දේශපාලනයට පැමිණි අයෙක්. මේ ගැන ඔබට තිබෙන්නේ මොන වාගේ හැඟීමක්ද?
ජනාධිපති හා අගමැතිවරයාත් මෙවර විශාල අවධානයක් යොමු කර තිබෙනවා වෘත්තීයමය අත්දැකීම් සහිත වියතුන් පිරිසක් පාර්ලිමේන්තුවට පත් කර ගන්න. ඒ අනුව මැතිවරණ ව්‍යාපාරය තුළ එතුමලා කළ ඉල්ලීමට ඇහුම් කන් දුන් ජනතාව සාම්ප්‍රදායික ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් පස්සට තල්ලු කර අලුත් වියතුන් පිරිසක් පත් කර එවා තිබෙනවා. ඒ වාගේම මෙවර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවත් සකස්වෙලා තිබුණේ විවිධ වෘත්තීය කුසලතා ඇති වියතුන් ගෙන්. ඒ අනුව තමයි මටත් පාර්ලිමේන්තුව නියෝජනය කරන්න අවස්ථාව ලැබුණේ. ජනතාව පසුගිය කාලය පුරාවටම කියපු ප්‍රධාන කාරණයක් තමයි ජරා දේශපාලනයක් තියෙන්නෙ කියලා. ඒක යම් ප්‍රමාණයකට වෙනස් කරල දේශපාලන ක්ෂේත්‍රයේ නැවුම් බවක් ඇති කරල ජනතාව තුළ අලුත් බලාපොරොත්තුවක් ඇති කරන්න මේ නායකයන් සමත් වෙලා තිබෙනවා. ඔබත් දන්නවා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමෙන් 60%ක්ම අලුත් මුහුණු. ජනාධිපති, අගමැති හා බැසිල් රාජපක්ෂ යන නායකයන් දැන් ඒ අලුත් හා අත්දැකීම් බහුල පැරණි කණ්ඩායමත් එකතු කරගෙන රට අලුතින් ගොඩ නගන්න පෙරමුණ ගෙන තිබෙනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කියල තිබුණා, මම මගේ වගකීම ඉටු කරන්නම්; ඔබ ඔබේ යුතුකම ඉටු කරන්න කියලා. ජනතාව ඒ යුතුකම ඉටුකරලා තිබෙනවා නේද?
ඔව්, අැත්ත වශයෙන්ම ජනතාව ඔවුන් ගේ යුතුකම උපරිමයෙන් ඉටුකරල තිබෙනවා. ඒ වාගේම ජනාධිපතිවරයාත් ඔහු ගේ වගකීම ඉතාමත්ම නිවැරදිව ඉටුකරන්න පුළුවන් අමාත්‍ය මණ්ඩලයක් පත් කරල ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ මෙතෙක් නොදැකපු නොකෙරුණු ආකාරයට ඉලක්ක ගතව අමාත්‍යාංශයන්ට වගකීම් පවරලා තිබෙනවා. ඒ වාගේම ඒ හැම අමාත්‍යවරයකුටම ඉලක්කයක් ලබා දී තිබෙනවා. මෙමඟින් කෙටි කාලයක් ඇතුළත ජනතාවට දැනෙනාකාරයට යම් සංවර්ධනයක් කරන්න පුළුවන් වෙනවා කියලයි මම හිතන්නෙ.
ඔබලා නිරතුරුව සඳහන් කළ ආකාරයට යහපාලනය විනාශ කළ ආර්ථිකය කොවිඩ් 19 නිසා තවත් පහළට වැටුණා. මේ අර්ථිකය ගොඩ ගැනීමේ අභියෝගයට ඔබලා මුහුණ දෙන්නෙ කොහොමද?
අපේ රටේ ආර්ථිකය ඉකුත් පස්වසර තුළ දිගින් දිගටම පිරිහෙමින් බලා සිටියදීම රට අභාග්‍ය සම්පන්න තත්ත්වයට පත් වුණා. පාස්කු ප්‍රහාරය හා කොවිඩ් 19 වසංගත තත්ත්වය රටේ ආර්ථිකය තවත් බරපතළ ලෙස අර්බුදයකට තල්ලු කලා.මේ නිසා අපේ අලුත් ආණ්ඩුවට බරපතළ ගැටලු රාශියකට මුහුණ දෙන්න සිද්ධ වී තිබෙනවා.නමුත් අපිට ඒවා ගැන කතා කරමින් අඬ අඬා ඉන්න බෑ.අපි දැන් ඒ අභියෝගය ජය ගත හැකි ක්‍රමවේද කෙරෙහි අවධානය යොමු කරල ඊට අදාළ සැලසුම් සකස් කරමින් ඉන්නවා.
ජනතාවට පීඩාවක් නොදී රටේ ආර්ථිකය ගොඩ ගන්නවා කියන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතනවල රටට නොගැළපෙන කොන්දේසිවලට යට වෙලා ණයට මුදල් ගැනීමකට යොමු වීමක්ද?
ඔබ ඔය ප්‍රශ්නයට පසුබිම් කර ගන්නේ යහපාලන ආණ්ඩුවේ ආර්ථික වැඩ පිළිවෙළ වෙන්න ඕනේ. නමුත් අපි ඒ ආකාරයට ජනතාව රවටලා රටට හානිවන කිසිම දෙයක් කරන්නෙ නෑ. ඔබ දන්නවා, මෙරට පැවැති යුද්ධය නිම කරන අවස්ථාවේ ලෝකයේම තිබුණු ආර්ථික අවපාතය අපටත් බලපෑවා. ඒ වෙලවෙදිත් අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ගත්තා. හැබැයි කොන්දේසි වලට යට වෙලා නොවෙයි. අපේ ආණ්ඩුව ගැන ජාත්‍යන්තරය තුළ විශාල පිළිගැනීමක් තිබෙනවා. ඒ නිසා අපිට ජාත්‍යන්තර සහයෝගය කොන්දේසි විරහිතව මිත්රශීලීව ලබා ගන්න පුළුවන්. අනෙක අපි විදෙස් ගනුදෙනුවලදී එක ක්‍රමයක් ගැන විශ්වාසය නොතබා විකල්පයන් රැසක් කෙරෙහි අවධානය යොමු කර අපිට ගැළපෙන ආකාරයට පමණයි කටයුතු කරන්නේ.
මෙවර අමාත්‍ය මණ්ඩලය පත් කිරීමේදී ඒ ඒ අමාත්‍යවරුන්ට විෂයන් බෙදා දීම සමහර අයගේ සමච්චලයට ලක්වෙලා.ඒ ගැන මොනවද හිතන්නේ?
මෙවර අමාත්‍ය මණ්ඩලය නම් කීරිමේදී කිසිම ඇමතිවරයෙකුට මඟ හැර යා නොහැකි ලෙස වගකීම් පවරලා තිබෙනවා. ඒ වාගේම රටේ ජනතාවටත් තමන් ගේ ගැටලු ඉදිරිපත් කරන්න නිශ්චිත පුද්ගලයන් හා ආයතන ඇති කරල තිබෙනවා.බුලත් ගොවියාට,මැටි කර්මාන්ත කරුවාට තඹ කර්මාන්ත කරුවා වැනි දේශිය කර්මාන්ත කරුවන්ට දැන් තමන් ගේ ගැටලුවලට විසඳුම් ලබා ගන්න රට වටේ එක එක අය පිටිපස්සේ යන්න වුණ කාලය නිමා කරල තිබෙනවා. මේ නිසා රටතුළ දේශිය නිෂ්පාදන ක්ෂේත්‍රයේ වේගවත් දියුණුවක් අපේක්ෂා කරන්න පුළුවන්. ඒකට මම එක උදාහරණයක් පෙන්වන්නම්. මහවැලි යෝජනා ක්‍රමය පටන් ගත්තාම ඒ ව්‍යාපෘතිය අයත් වන්නේ වාරිමාර්ග විෂයටයි. නමුත් වාරිමාර්ග විෂයෙන් වෙන් කරල මහවැලි සංවර්ධන අමාත්‍යාංශයක් වෙනම ස්ථාපිත කීරිම නිසා තමයි ඒ ව්‍යපෘතිය සාර්ථකකර ගෙන කෙටි කාලයකදී ප්‍රතිඵල නෙළා ගන්න පුළුවන් වුණේ. ඒ අනුව තමයි මෙවර අමාත්‍ය මණ්ඩලයට දේශීය නිෂ්පාදන ඉලක්ක කර ගෙන විෂයයන් බෙදලා තිබෙන්නේ. මෙහි ඇති විශේෂත්වය තමයි ඇමති මණ්ඩලයේ සාමාජික සංඛ්‍යාවත් සීමා කරමින් මේ කාර්ය කිරීම ගැන අපි සතුටු වෙන්න ඕනෑ.
රජය රැකියා විරහිත උපාධිධාරින්ට මෙන්ම අඩු ආදායම්ලාභි පවුල්වල ලක්ෂයකට රැකියා දෙන්න කටයුතු කරමින් ඉන්නේ මැතිවරණයේ කෙලෙහි ගුණ සලකන්නද?
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් ගේ මේ අව්‍යාජ උත්සහය දෙස කවුරු හරි දේශපාලන කෝණයකින් බලලා ඒක විවේචනය කරනවා නම් ඒ ගැන ඒ අයම ලජ්ජා වෙන්න ඕන. මොකද රැකියා විරහිිිත උපාධිධාරින් පාරේ ඇවිදිමින් අරගල කරද්දී එදත් කිසිදු බේදයකින් තොරව රැකියා ලබා දුන්නේ මහින්ද රාජපක්ෂ රජයෙන්. අද මේ රජය කරන්නෙත් ඒකමයි. අනෙක රැකියා වරප්‍රසාද අහිමිව ඉන්න පවුල් තෝරා ගෙන ඔවුන්ටත් රජයේ රැකියාවක් සඳහා අවස්ථාව දීම වරදක්ද?
අපක්ෂපාතීව මේ කාර්ය සිදු නොවන බවට චෝදනා එල්ල වෙනවා.?
මේ වැඩ පිළිවෙළේදී කාට හරි අසාධාරණයක් අකටයුත්තක් සිදුව තිබෙනවා නම් ඒ ගැන තමන් පදිංචි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් හරහා ජනාධිපති ලේකම් වරයාට පැමිණිලි කරන්න පුළුවන්. එවැනි පැමිණිලි ගැන අවධානය යොමු කරලා ජනාධිපති ලේකම් කාර්යාලය ඒවාට විසදුම් ලබා දෙන්න පියවර ගන්නවා.