රැජින ඇල්ලූ අත සති­යක් නොසේදූ මන්ත්‍රී බිරි­න්දෑ­වරු | සිළුමිණ

රැජින ඇල්ලූ අත සති­යක් නොසේදූ මන්ත්‍රී බිරි­න්දෑ­වරු

ආචාර්ය එන්.එම්. පෙරේරා කතා­වක් පව­ත්ව­මින් “පාර්ලිමේන්තුවේ ඉන්නෙ පුදුම සත්තු” යැයි ප්‍රකාශ කරයි
ඇර සොයිසා කතාව හැදුණේ එම්.පී. ද සොයිසා පාර්ලි­මේ­න්තු­වේදී බණ්ඩා­ර­නා­ය­කට එරෙ­හිව කතා කළ මන්ත්‍රී­ව­ර­ය­කුට ගහ­න්නට ගිය අව­ස්ථා­වේලු
සයි­මන් අබේ­වි­ක්‍රම මාටින්ට ගම්මු­ලා­දෑ­නිකම දෙන්න දිසා­ප­ති­ව­රයා හමු­වී­මට තුන්ව­රක් යයි

එක දව­සක් ශ්‍රී නිශ්ශංක මන්ත්‍රණ සභා­වට පැමි­ණියේ අමුතු ඇඳු­මක් ඇඳ­ගෙ­නය. කලි­සම සමඟ ඇඳ සිටි කමි­සය කර­වැ­සිය හැකි නොවිය. කථා­නා­ය­ක­ව­රයා ලෙස එදා සිටියේ ප්‍රැන්සිස් මොල­මුරේ ය. කථා­නා­ය­ක­ව­රයා ශ්‍රී නිශ්ශං­ක­යන් කැඳවා මේ ඇඳුම ඇඳ­ගෙන මන්ත්‍රණ සභා­වට පැමි­ණිය නොහැකි යැයි දැන්වීය. මුළු මන්ත්‍රණ සභා­වම සිනා­සෙ­න්නට පට­න්ගත් නිසා ශ්‍රී නිශ්ශංක පත්වූයේ දැඩි අසී­රු­තා­ව­ය­ක­ටය. ඔහු වහාම එළි­යට ගියේ ය. පැය භාග­යක් යන්නට මත්තෙන් නිශ්ශං­ක­යන් පැමි­ණියේ ටයි කෝට් ඇඳ­ගෙන නොව බුරුම කබා­ය­කින් සැර­සීය. බුරුම කබායේ කර වැසිය නොහැකි නිසා කථා­නා­ය­කට කිසි­වක් කිව නොහැ­කි­විය. වට පිට බැලූ කථා­නා­ය­ක­ව­රයා දුටුයේ සභාවේ සියලු දෙනාම තමා දෙස බලා සිනා­සෙන ආකා­ර­යයි.

වැලි­මඩ ආස­න­යෙන් තේරී පත්ව ආ බඹ­ර­පනේ මන්ත්‍රී­ව­රයා රෙදි කෝට් ඇඳ මන්ත්‍රණ සභා­වට පැමිණි කෙනෙකි. වෙනත් මන්ත්‍රී­ව­රුන් ජාතික හෝ යුරෝ­පීය ඇඳු­මින් සැරසී පිළි­වෙ­ළ­කට ආවත් අර මන්ත්‍රී­ව­රයා සභා­වට පැමිණි දිනයේ රෙද්ද හැඳ, එයට උඩින් විශාල රතු පාට කැන්වස් ‍පටියක් බැඳ­ගෙන ආවේය. විශාල ගාන්චු දෙකක් බඳ පටිය ඉදි­රි­පිට විය.

මෙබඳු දේවල් පාර්ලි­මේ­න්තුවේ තිබි­යදී, පැවති රැස්වී­ම­කදී ආචාර්ය එන්.එම්. පෙරේරා කතා­වක් පව­ත්ව­මින් “පාර්ලි­මේ­න්තුවේ ඉන්නෙ පුදුම සත්තු” යැයි ප්‍රකාශ ක‍ළේ ය. මේ ප්‍රකා­ශය කොතෙක් දුර දිග ගිය එකක් ද යත්, පාර්ලි­මේ­න්තුව අප­හාස කිරීමේ චෝද­නා­වට උසා­වි­යට යෑමට තරම් බල­වත් වූ ප්‍රකා­ශ­යක් විය.

එදා බද්දේ­ගම මන්ත්‍රී­ව­රයා වූ සයි­මන් අබේ­වි­ක්‍රම මන්ත්‍රණ සභා­වට පැමි­ණියේ යුද්ධ කාලයේ රට පුරා සහල් හිඟ­යක් වූ නිසා ලොකු බෝත­ල­ය­කට හාල් එකක් පුරවා ගෙනය. කොත­නක ගියත් ඔහුගේ මෝටර් රථයේ හාල් බෝත­ල­යක් තිබිණ. මන්ත්‍රණ සභා­වේදී දහ­වල් ආහා­ර­යට බත් කෑ මන්ත්‍රීන් අතර සයි­මන් අබේ­වි­ක්‍රම ගැන ද සඳ­හන් කළ යුතු ය. අනෙක් බොහෝ අය ඉංග්‍රීසි තාල­යට කෝසස් සාදවා ගෙන කති. සයි­මන් අබේ­වි­ක්‍රම එවක සිටි මන්ත්‍රී­වරු අතර හදිසි කාර­යෙකි. කාර් එකේ ඉඳ­ගෙන ම තෝමස් අප්පු... චාර්ලිස් අප්පු‍... කිය­මින් කෑ ගසයි. කාර්යාල කාර්ය සහා­ය­ක­යකු “හාමු­දු­රු­වනේ.... එනවා” යැයි කියා­ගෙන කාර් එක ළඟට දුව යයි.

මේ දින­වල සයි­මන් අබේ­වි­ක්‍රම පදිං­චිව සිටියේ ගල්කිස්සේ ඔවුන්ගේ නිව­සේය. දෙහි­වල ගල්කිස්ස නග­රා­ධි­ප­ති­ව­රයා හැටි­යට ද සිටි සයි­මන් අබේ­වි­ක්‍ර­මට ඡන්ද කාල­යේදී උදව් කළ මාටින් නමැති පුද්ග­ල­යකු සිටි­යේය. ඔහු ඒ වන­විට මැණික් කාර­යන්ට ගයිඩ් වැඩ කළ පුද්ග­ල­යෙකි. බොහෝ දෙනා ඔහුට කීවේ හුලං මාටින්, ගංජා මාටින් ආදී නම් ය. එහෙත් ඔහු සයි­මන් අබේ­වි­ක්‍ර­මගේ හිත දිනා­ගත් පුද්ග­ල­යෙකි. මේ වන­විට එම ප්‍රදේ­ශයේ ගම්මු­ලා­දෑනි තන­තු­ර­කට ඇබෑ­ර්තු­වක් තිබිණ. දිනක් මේ හුළං මාටින් ද සයි­මන් අබේ­වි­ක්‍රම හමු­වී­මට පැමි­ණි­යේය.

“සර් උද­ව්වක් ඉල්ල­න්නයි ආවේ”

“මොන­වගේ උද­ව්වක්ද?”

“ගම්මු­ලා­දෑනි කම­කට ඇබෑ­ර්තු­වක් තියෙ­නව. ඒක මට අර­ගෙන දෙන්න”

අබේ­වි­ක්‍ර­මට සිනා පහළ විය.

“උඹට මොන ගම්මු­ලා­දෑනිකම්ද මිනිහො. උඹට වඩා ඒ රස්සා­වට සුදුසු අය මේ රටේ නැද්ද?”

මාටින්ගේ මූණ ඇඹුල් විය. ඔහු විපි­ළි­සර වී ගිය අයුරු දුටු අබේ­වි­ක්‍රම, “මේ මිනිහ මට ගොඩක් උදවු කරපු කෙනෙක්. සුදු­සු­කම් නැතත් මම මේ මිනි­හට මේ රස්සාව අර­ගෙන දෙනවා” යයි තීර­ණය කළේය.

“හරි මම ඒක කරල දෙන්නම්. උඹ අපිට ගොඩක් උදවු කරපු මිනි­හෙක් නේ” යයි කීවේය.

පසු­වදා සයි­මන් අබේ­වි­ක්‍රම හමු­වී­මට පළාතේ වැද­ග­තකු හා ඉගෙන ගත් පුද්ග­ල­යෙකු ලෙස නම ගිය කාර් හිමි­යෙක් ද පැමි­ණි­යේය. එදා කාර් එකක් අයිති පුද්ග­ලයා විශේෂ පුද්ග­ල­යෙකි. ඔහු පැමි­ණි­යේද ගම්මු­ලා­දෑ­නි­කම අර­ගෙන දෙන ලෙස ඉල්ලා සිටී­මට ය.

“මම පොරොන්දු වුණානේ මාටින්ට මුලා­දෑනි රස්සාව අර­ගෙන දෙනව කියල. දැන් පරක්කු වැඩියි.”

“මොනව, මාටින්ට ගම්මු­ලා­දෑ­නි­ක­මක්?” ඔහු පුදු­ම­යට පත් විය.

මේ මුලා­දෑ­නි­කම මාටින්ට නොදෙන ලෙස නගර සභාවේ යෝජ­නා­වක් ද සම්මත විය. එහෙත් පොරොන්දු වූ දෙයක් කෙසේ හෝ කිරීම සයි­මන් අබේ­වි­ක්‍ර­මගේ පුරු­ද්දකි.

කිසි දිනක කිසි වැඩ­කට දෙතුන් ගම­නක් නොයන අබේ­වි­ක්‍රම මේ කරුණ සම්බ­න්ධව කතා කිරී­මට දිසා­ප­ති­ව­රයා හමු­වී­මට තුන් වරක් ම ගියේ ය. කෙසේ හෝ එම පොරො­න්දුව ඉටු කළේ ය. මේ කාලයේ මන්ත්‍රී­වරු අත­රින් බස් රියේ ගමන් ගත් මන්ත්‍රී­වරු අතර එම්.පී. ද සොයිසා ද විය. බල­පි­ටියේ සිට කොළඹ බස් රියෙන් පැමි­ණෙන ඔහු ගෝල්‍ෆේස් පිටිය ඉදි­රි­පිට බස් නැව­තුම් පොළෙන් බස­යෙන් බසී. ගේට්ටු­වෙන් මන්ත්‍රණ සභා­වට ඇතු­ළු­වී­මට වඩා තාප්ප­යට උඩින් පැන ඒම මේ මන්ත්‍රී­ව­ර­යාගේ පුරු­ද්දකි. බස­යෙන් ආවත් සෑහෙන විශාල බෑග් එකක් රැගෙන ඒම මේ මන්ත්‍රී­ව­ර­යාගේ සිරි­තකි.

අදත් සුප්‍ර­කට කිය­ම­නක්ව පව­තින “ඇර­සො­යිසා” කතාව ඇර­ඹුණේ මේ මන්ත්‍රී­ව­රයා සම්බ­න්ධ­වය. බණ්ඩා­ර­නා­ය­ක­යන් ගැන මොහු තුළ තිබුණේ දැඩි භක්ති­යකි. එක් දිනක් විරුද්ධ පක්ෂයේ කථි­ක­යෙක් බණ්ඩා­ර­නා­ය­ක­යන්ට අප­හාස කතා­වක් කියද්දී අසල තිබූ ආස­න­යක් රැගෙන ඔහු වෙතට දුව ගිය සොයිසා මන්ත්‍රී­ව­රයා එම කතාව කියූ මන්ත්‍රී­ව­ර­යාට පහර දෙන්නට හදත් ම බණ්ඩා­ර­නා­ය­කගේ හිත­වත්තු “ඇර සොයිසා... ඇර සොයිසා...” කියා සභා­වම දෙව­නත් කළේ ය.

සර් ජෝන් කොත­ලා­වල අග­මැති ලෙස සිටි කාලයේ මුල් වතා­වට එළි­ස­බත් රැජින ලංකා­වට පැමි­ණි­යාය. රැජින අතින් පාර්ලි­මේන්තු වාරය විවෘත කිරී­මට විශාල උත්ස­ව­යක් පිළි­යෙල විණ. මැති ඇමැ­ති­වරු සියලු දෙනාම රැජින හා අතට අතදී කතා කිරී­මට සර් ජෝන් අව­ස්ථාව සලසා තිබුණි. “මේ ඉන්නේ අහ­වල් ඇමැ­ති­තුමා, මේ පාර්ලි­මේන්තු ලේකම් තුමා, මේ අහ­වල් මන්ත්‍රී තුමා” ආදී වශ­යෙන් රැජින හා මැති ඇමැ­ති­ව­රුන් හඳුන්වා අතට අත දීම මෙහි විශේෂ අව­ස්ථා­වක් විය. මේ අව­ස්ථාව මන්ත්‍රී­ව­රුන්ට ලැබු­ණත් මන්ත්‍රී­ව­රුන්ගේ භාර්යා­ව­රුන්ට නොලැ­බිණ. එය සම­හර මන්ත්‍රී­ව­රුන්ගේ භාර්යා­වන් මෙය දුටුවේ මදි පුංචි­ක­මක් ලෙසිනි. සර් ජෝන් හමු­වී­මට මන්ත්‍රී­ව­රුන් බොහෝ දෙන­කුගේ භාර්යාවෝ පැමි­ණි­යහ. අග­මැති කාම­රය එදා මන්ත්‍රී භාර්යා­වරු පිරී ගිය එකක් විය.

“ඇයි අපට අව­ස්ථා­වක් දෙන්නෙ නැත්තෙ රැජි­නට අතට අත දෙන්න?” යයි එක හඬින් කියා සිටි­යහ. මෙය සර් ජෝන්ට මහා හිස­ර­ද­යක් විය. කළ යුතු එකම දෙය මෙය රැජි­නට කීම යයි සර් ජෝන් කල්පනා කළේ ය.

“අපේ මන්ත්‍රී­ව­රුන්ගෙ නෝන මහ­ත්වරු ඔබ තුමි­යට සුබ පතන්න ඇවිත් ඉන්නවා. කරු­ණා­කර ඇවිත් ඒ අය හමුවී කතා බස් කරන්න” යයි රජ­ගෙ­ද­රට ගිය සර් ජෝන් රැජි­නට කීවේය.

රැජින නැවත වරක් පාර්ලි­මේන්තු ගොඩ­නැ­ගි­ල්ලට ආවාය. මන්ත්‍රී­ව­රුන්ගේ භාර්යාවෝ පෙළ ගැසී සිටි­යහ. අතට අත දීමට පොර කමින් ඉදි­රි­යට ආහ.

වෛවා­රණ ඇඳුම් පැල­ඳුම්වලින් සැරසී සිටි මේ බිරි­යන් අත­රින් සම­හ­රෙක් චිත්‍ර­පට නිළි­යන් දර්ශන රූප­ගත කිරී­මට යද්දී වත්සුණු තවරා ගන්නා ලෙස වැඩි­පුර කැපී පෙනෙන ලෙස සර­සා­ගෙන සිටි­යහ. පළා­තම විවිධ සුව­ඳින් පිරී තිබිණ.

අතට අත දීමෙන් පම­ණක් නොසෑ­හුණු මන්ත්‍රී බිරි­යන් පෙරළි පෙරළී වදින අයුරු දුටු මන්ත්‍රී­ව­රුන්ගේ මුහුණු රතු විය.

ඊට සති­ය­කට පසු එක මන්ත්‍රී­ව­ර­යෙක් තවත් මන්ත්‍රී­ව­ර­ය­කුට මෙසේ කීය.

“අපේ නෝන මහ­ත්තය රැජි­නට දීපු අත හෝදන්ට දුකෙන් සති­යක් අත හේදුවේ නෑ.”

“මමත් කියන්න හිටියෙ අපේ එක්කෙ­නාත් එදා ඉඳල තවම අත හේදුවේ නෑ.”

මුතු­රා­ජ­වෙල සංව­ර්ධන සැල­සු­මක් ක්‍රියා­ත්මක කිරී­ම­ටත් ඒ සම­ඟම හැඳල ප්‍රදෙ­ශයේ තෙල් පිරි­සිදු කරන මධ්‍ය­ස්ථා­න­යක් ඇති කිරී­ම­ටත් අග­මැති සර් ජෝන් කොත­ලා­වල සැල­සුම් කර තිබුණි. මේ සැල­සුම ය‍ටතේ හැඳල ප්‍රදේ­ශයේ ජන­තාව සතු ඉඩ­ක­ඩම් විශාල ප්‍රමා­ණ­යක් රජ­යට පවරා ගන්නා බවට රාව­යක් පැති­රෙ­මින් තිබිණ.

එව­කට වාරි­ය­පොළ මන්ත්‍රී­ව­රයා පදිං­චිව සිටියේ හැඳල ප්‍රදේ­ශයේ ය. මන්ත්‍රී­ව­රයා හමුවූ ගැමියෝ තමාගේ දුක් ගැන­විලි ඉදි­රි­පත් කොට කෙසේ හෝ අග­මැ­ති­තු­මා­ගෙන් සහ­න­යක් ලබා දෙන්නැයි ඉල්ලා සිටි­යහ.

එදා කොත­ලා­වල මහතා පාර්ලි­මේ­න්තු­වට පැමිණ මෝටර් රථ­යෙන් බැස්සා පමණි. මහා සෙන­ගක් පිරි­ව­රා­ගෙන ආ මන්ත්‍රී­ව­රයා කොත­ලා­වල මහතා ඉදි­රි­යට ගියේ ය.

“අනේ සර්... මේ අයගෙ ඉඩ­ක­ඩම් ආණ්ඩු­වට ගන්න යන­වලු. බලන්න මම දවස් තුන­කින් නිදා­ග­ත්තෙත් නෑ. මට නිදා­ගන්න වෙලා­වක් නෑ. රෑ එළි­වෙ­න­කම් මේ අය ඇවිත් මට කර­දර කර­නවා. මේ බලන්න සර්...” යයි කිය­මින් මහ හඬින් ඉකි­බි­ඳි­මින් හඬ­න්නට පටන් ගත්තේ ය.

කොත­ලා­ව­ලට යකා නැග්ගේය. “මොකද යකෝ අඬන්නෙ? එක්කො කියල ඉවර වෙලා අඬ­පන්. එහෙම නැත්නම් අඬල ඉවර වෙලා කිය­පන්.”

කොත­ලා­ව­ලගේ හඬින් මන්ත්‍රී­ව­රයා බියට පත් විය. හැඬුම නවත්වා බයෙන් බයෙන් ජන­තා­වගේ දුක් ගැන­විලි ඉදි­රි­පත් කළේ ය.

“තමු­සෙලා තුන් සීයයි. මම හදන්නෙ තුන් දාහ­කට රස්සා­වල් දෙන්න. මගේ තීරණේ වෙන­සක් නෑ” සර් ‍ජෝන් කෙළින් ම තම කාම­ර­යට ගියේ ය.

Comments