කෝවිඩ් 19 වයිරසය සාමාන්‍ය ජන ජීවිතයට එල්ල කළ ප්‍රබල බලපෑමත් සමඟම විෂබීජනාශක ගුණ සහිත ශාකමය ආහාර පිළිබඳව වෙනදාට වඩා වැඩි කතාබහක් මේ වනවිට සමාජය තුළ පවතී. ඒ අතර ආහාර රසකාරකයක් ලෙස එදිනෙදා භාවිත කළ සුදු ලූනූ මුල් තැනක් ගනී. නිවසේ අත්‍යවශ්‍ය ආහාර රසකාරකයක් ලෙස භාවිත කළ ද දේශීය සුදු ලූනූ අවශ්‍යතාව මුළුමණින්ම පාහේ සපයනු ලබන්නේ ආනයනික සුදු ලූනූ වලිනි. චීනය, ඉන්දියාව, පකිස්ථානය හා කෝස්ටාරිකාව යන රටවලින් 2019 වසරේදී ලංකාවට ආනයනය කර ඇති සුදු ලූනූ ප්‍රමාණය මෙට්‍රික් ටොන් 3,200 ට ආසන්න වන අතර ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 63,000.00 පමණ වේ.
ලංකාවේ සුදු ලූනූ වගාව ව්‍යාප්ත කළ හැකිනම් මෙම විදේශ විනිමයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් රටේ රඳවාගත හැකිවනු ඇත. ලංකාවේ සුදු ලූනූ වගාව සිදු කළ හැකිද, එසේනම් එය වගා කරන ප්‍රදේශ මොනවාද, සුදු ලූනූ බීජ ලබා ගත හැකි ස්ථාන කවරේද වැනි ප්‍රශ්න ගණනාවකට පිළිතුරු සොයමින් සිටින පිරිස විශාලය.
සුදු ලූනූ පුළුල් දේශගුණික පරාසයක වගා කළ හැකි බෝගයක් වුවද, ඉහළ උෂ්ණත්වය හෝ අධික ශීතල හා වැඩි වර්ෂාපතන තත්ව නොගැළපේ. මඳ ශීත දේශගුණය හා ඉතා හොඳින් ජලය ලැබීම වගාවේ ආරම්ක අවධියේදී අත්‍යවශ්‍ය වුවද බල්බ මෝරණ විට උණුසුම් වියළි තත්වයන් පැවතිය යුතුය. වගාවේ වර්ධන අවධියේදී 13°C-24°C උෂ්ණත්වයක් ද බල්බ ඇතිවන විට 15°C-25°C උෂ්ණත්ව පරාසයක් ද තිබීම වැදගත් වේ. පැය 10 1/2 – 16 පමණ වන දිවා කාලයක් පැවතීම බෝගයේ වර්ධනයට හිතකරය. පී එච් අගය 5.5 සිට 7 දක්වා වූ හොඳින් ජලය බැසයන කාබණික ද්‍රව්‍ය වැඩි පසක් වගාව සඳහා යොදාගත යුතුය.
සිටුවීම සඳහා සුදු ලූනූ බල්බ භාවිත කරණු ලැබේ. රතුලූනූ වගාවේදී මෙන්ම අස්වැන්න නෙළීමෙන් පසු ලබාගන්නා බල්බ වියළා මාස 3-4 ගබඩාකිරීමෙන් පසු ඒවායේ බල්බිකා වෙන්කොට සිටුවනු ලැබේ. හොඳින් කාබනික පොහොර යොදා සකස්කරණු ලබන පාත්ති වල පේළි අතර සෙ.මී. 30 හා පැළ අතර සෙ.මී. 15 පමණ පරතරය ඇතිව බල්බිකා සිටුවිය යුතුය. වර්ෂාව නොමැති කාලවලදී නිරතුරුවම ජල සම්පාදනය සිදුකළ යුතු හෙයින් ජල සැපයුම ස්ථාවරව තබාගැනීම වගාව සඳහා බෙහෙවින් වැදගත් වේ. වසුන් යෙදීමෙන් ජල සංරක්ෂණය හොඳින් සිදුවන නිසා එය සුදුලූනූ ශාකයේ වර්ධනය සඳහා හිතකරය. සිටුවා මාස 4- 41/2 දි අස්වැන්න ලබාගත හැකිය. පත්‍ර වියළීම ආරම්භ වනවිට පත්‍ර සමඟම බල්බ ගලවා පවනේ වියළා ගබඩා කරනු ලැබේ. උවේ සුදු ලූනූ වගාකරුවන් බොහොමයක් වගාවට මාස 21/2 පමණ වනවිට කොළ කපා අලෙවි කිරීමෙන් අතිරේක ආදායමක් ලබති.
ඉහත සඳහන් පරිසර සාධක පවතින ප්‍රදේශවල සුදු ලූනූ වගාව කළ හැකි වුවද දේශීයව වගාව පවතින්නේ උඩරට අතරමැදි කලාපයට අයත්වන උච්චත්වය අඩි 2500-4000 අතර පරාසයේ පවතින බදුල්ල දිස්ත්‍රික්කයේ ඌව පරණගම, කැප්පෙටිපොල, පේරවැල්ල, කන්දෙපුහුල්පොල, බෝගහකුඹුර ප්‍රදේශවල හා නුවරඑළිය දිස්ත්‍රික්කයේ රාගල, වලපනේ, සහ හඟුරන්කෙත යන ප්රදේශවලය.
ශ්‍රී ලංකාව තුළ සුදු ලූනූ වගාව පිළිබඳව පර්යේෂණ සිදුවී ඇත්තේ 1970-1980 දශක වල බණ්ඩාරවෙල ප්‍රාදේශීය කෘෂිකර්ම පර්යේෂණ මධ්‍යස්ථානය කේන්ද්‍ර කරගනිමිනි. ඉන්දුනීසියාව (Lumbu Putih, Lumbu Hijau, Bawan Hitam), කැලිෆෝනියාව (California early, California late), චීනය, ආජන්ටිනාව වැනි රටවලින් ගෙන්වූ ප්‍රභේද පර්යේෂණ මධ්‍යස්ථානයේ හා ගොවි ක්ෂේත්‍ර වල අත්හදා බලා ඇත. මෙම ප්‍රභේද සමහරක් ප්‍රදේශයේ පරිසර තත්ත්ව යටතේ අස්වැන්න ලබාදී ඇත. මෙම ප්‍රභේද වල අස්වැන්න දේශීයව වගාකරන ප්‍රභේදය හා සංසන්දනාත්මකව සාර්ථක වුවද දිගු කාලයක් ගබඩා කොට තබාගැනීම අපහසු වී ඇත. මේ වනවිට සුදු ලූනූ වගාවේ යෙදෙන ගොවීන් වගාකරන්නේ කැප්පෙටිපොල ප්‍රභේදයයි. කැප්පෙටිපොල ප්‍රභේදයේ සම්භවය පිළිබඳව නිශ්චිත තොරතුරු නොමැති වුවද වසර ගණනාවක් පුරා මෙම ප්‍රභේදය ප්‍රදේශයේ වගාකළ බවට තොරතුරු ඇත. පැරණි ගොවීන් මෙම ප්‍රභේදය හැඳින්වීම සඳහා “බංගලි සුදු ලූනූ” යන නම භාවිත කරන හෙයින් මෙය බංග්ලාදේශයෙන් හඳුන්වා දුන් ප්රභේදයකැයි අනුමාන කළ හැකිය.
බදුල්ල දිස්ත්‍රික්කයේ කැප්පෙටිපොල, පේරවැල්ල, කන්දෙපුහුල්පොල, බෝගහකුඹුර ඌව පරණගම වැනි ප්‍රදේශවල කුඩා පරිමාණ වගා දක්නට ලැබේ. වගා වපසරිය හා අස්වැන්න පිළිබඳව නිශ්චිත දත්ත නොමැති වුවද මෙම ප්‍රදේශවල වගාකරන සමස්ත ඉඩම් ප්‍රමාණය දල වශයෙන් හෙක්ටාර 10 පමණ වෙතැයි උපකල්පනය කළ හැකිය. බොහෝ ගොවීන් පර්චස් 5-10 පමණ කුඩා වගා ලෙස මේවා පවත්වාගෙන යති. වසරේ ජනවාරි සිට මැයි දක්වා කාලයේ වගාව ආරම්භ කරන අතර සිටුවා මාස 04 දී පමණ අස්වැන්න නෙළාගත හැකිය. වගාවට මාස තුන ඉක්මවා යනවිට සුදුලූනූ කොළ කපා අලෙවි කිරීමට සමහර ගොවීන් පෙලඹී සිටින්නේ එයින් අමතර ආදායමක් ලබාගත හැකි බැවිනි. පර්චස් 05 ක පමණ වගාවකින් දළ වශයෙන් කිලෝග්‍රෑම් 100 පමණ අස්වැන්නක් ලබාගන්නා ගොවීන් සිටියද මෙම අස්වැන්න ගොවියාගෙන් ගොවියාට ඉතා විශාල ලෙස විචලනය වේ. වර්තමාන අස්වැන්න හෙක්ටාරයට ටොන් 4-6 පමණ වන අතර බණ්ඩාරවෙල පර්යේෂණ මධ්‍යස්ථානයේ සිදුකර ඇති පර්යේෂණ වලට අනුව දේශීයව සුදුලූනූ වල විභව අස්වැන්න වූ හෙක්ටාරයට ටොන් 12-20 හා සසඳන විට මෙය අවම අගයකි.
බෝගහකුඹුර කෘෂිකර්ම උපදේශක කොට්ඨාසයේ ගොවීන් ප්‍රකාශ කරන පරිදි වසර 30-40 ට පෙර තරමක් විශාල පරිමාණයේ වගා මෙම ප්‍රදේශයේ පැවතියද වෙනත් විකල්ප බෝග සුලබවීමත් සමඟම වගා වපසරිය සීමාසහිත වී ඇත. මේ වනවිට සුදු ලූනූ වගාකරන බොහෝ ගොවීන් පාරම්පරිකව වගාවේ යෙදෙන අය වන අතර වසර ගණනාවක් පුරා තමන්ගේම වගාවලින් ලබාගන්නා බීජ ලූනූ නව වගා සඳහා භාවිත කරති. දේශීය සුදු ලූනූ අස්වැන්න අඩුවීම කෙරෙහි මෙම කරුණද හේතුවෙතැයි අනුමාන කළ හැකිය.
සිලෝන් බිස්කට් ආයතනය හා ආයුර්වේද දෙපාර්තමේන්තුව ප්‍රධාන ගැනුම්කරුවන් ලෙස කටයුතු කරන අතර අස්වැන්න මිලදී ගන්නා අතර සමහර ගොවීන් සුදු ලූනූ වගාව සිදුකරන්නේ තම පෞද්ගලික පරිභෝජනය සඳහා මිස අලෙවි කිරිමේ අරමුණින් නොවේ. කිලෝග්‍රෑමයක් සඳහා රු300.00 පමණ මුදලක් ලැබෙන අතර සමහර අවස්ථා වලදී අලෙවි ගැටලු ඇතිවන බව ගොවීහු ප්‍රකාශ කරති.
වගාව සඳහා අවශ්‍ය පරිසර සාධක මත සලකා බලන විට බදුල්ල දිස්ත්‍රික්කයේ හා නුවරඑළිය දිස්ත්‍රික්කයේ මෙම වගාව හොඳින් සිදු කළ හැකි බව පැහැදිලිය. අර්තාපල්, එළවළු සහ වී වගාව සඳහා යොදාගන්නා ඉඩම් යම් ප්‍රමාණයක් මෙම වගාව සඳහා භාවිත කළ හැකිය. වගාව පිළිබඳව පර්යේෂණ කටයුතු සිදුවී ඇත්තේ 70-80 දශක වල හෙයින් හා අත්හදා බලා ඇති ප්‍රභේද පැරණි ඒවා වන හෙයින් අළුතින් ප්‍රභේද ගෙන්වා අත්හදා බැලීම හෝ දේශීය ප්‍රභේදයෙන් තෝරා ගන්නා හොඳ බීජ වගාකිරීමට ගොවීන් දිරිමත් කළ යුතුය. මේ වනවිට ගොවීන් වගාව සඳහා භාවිත කරන්නේ සාම්ප්‍රදායික වගාක්රම වන හෙයින් ලබාගත හැකි අස්වැන්න අඩුය. එහෙයින් අස්වැන්න වැඩි කළ හැකි නව තාක්ෂණික පැකේජයක් නිර්මාණය කිරීමද වගාව ලාභදායී තත්වයට පත්කිරීම සඳහා අත්‍යවශ්‍ය වේ.
තොරතුරු ලබාදීම සම්බන්ධයෙන් විශේෂ ස්තුතිය රෝහණ රාමනායක මහතාට හිමි වේ.