නෙළුම් විල | සිළුමිණ

නෙළුම් විල

මවු පදවිය

 

කිහිලිකරු­ෙවන් පාසල් එන දරුවකු ඇරලවන්නට මවක් ද පැමිණෙන්නී ය.

ඇය ආපසු හැරෙන්නේ දරුවා පන්තියට ගොස් හිඳ ගත් පසු ය.

මා අසා ඇති පරිදි‍ මේ දරුවා විපතට මුහුණ පා ඇත්තේ බීමත් රියැදුරකු පදවාගෙන ආ රියක ගැටීමෙනි. දරුවා යමින් සිට ඇත්තේ ද හරි පැත්තේ ය.

ආබාධය සුව වීමට වසරක් පමණ ගත විය හැකි බව වෛද්‍යවරුන් පවසා තිබේ.

මා සිටියේ පාසල් මිදුලේ ය. දරුවා පන්තියට ඇරලවා මිදුලට බට මව දෙස මම සානුකම්පිකව බලා සිටියෙමි.

‘මේ අම්ම හැමදා ම පුතාව එක්කගෙන එනව නේද?’ මට ඉබේ ම ඇසිණි.

‘ඔව් සර්. ඒ වුණාට මේ මගෙ පුතා නෙමේ. එයත් එක්ක ගිය අනිත් දරුවයි මගෙ පුතා. මේ පුතා ඉන්නෙත් අපේ ගේ ළඟමයි’ ඇය පැහැදිලි කළා ය.

‘එතකොට ඒ දරුවගෙ අම්ම?’

‘සර්, එයාට බබෙක් ලැබෙන්නයි ඉන්නෙ. ඒ නිසා එයාට එන්න අපහසුයිනේ. ඉතිං මං මගෙ දරුව එක්කගෙන එන ගමන් මේ දරුවවත් එක්කගෙන එනව.’

‘බො‍හොම හොඳයි’

‘සර් දරුවො කාගෙ වුණා ම මොකද? අපි අම්මලනෙ. සර්ල සිය ගණනක් දරුවන්ට ආදරෙන් කරුණාවෙන් උගන්නනව නං අපි එක ළමේකුට පිහිට වෙන්න බැරිද?’ ඇය සිනාසුණා ය.

ම සිත පහන් විය.

එය මිනිස්කම උතුරා ගිය ෙව්ලාවකි.

 

ඩී.සී. ද සිල්වා මහතා විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරෙනි.

 

 

මහ මඟ තරුණිය

 

ඒ තරුණිය බැලූ බැල්මට රූමත් ය.

සතියේ දිනවල උදෑසන ගාලු පාර ඔස්සේ අලුත්ගම සිට අම්බලන්ගොඩ පැත්තට මගේ නිල රියේ නැඟී එන මට ඇගේ දසුන හුරුපුරුදු ය.

ඇය මට දිස්වන්නේ පාරේ දකුණු පසිනි. ඇය මහ ඉඳුරුව, මහ පැලෑන ගම් මායිමේ සිට ගාලු පාරට පිවිස පාර අයිනෙන් ඇවිද ගෙන සිය රාජකාරි ස්ථානයට යනවා විය යුතු ය.

චාම් සාරියකින් හැඩ වී සිටින ඇගේ ගමන ඉක්මන් ය.

ඇය තරමක ආඩම්බරකාරියකැයි මුලදී මම සිතුවෙමි. එහෙත් දිගින් දිගට ම ඈ කෙරේ විමසිලිමත් වූ මම ඒ අදහස් වෙනස් කර ගතිමි.

දිනක් ඇය සුපුරුදු ඉක්මන් ගමනින් යමින් සිටිද්දී පාර අයිනේ තැඹිලි කඩයක වෙළෙන්දියක් තැඹිලි වල්ලක් එල්ලා ගැනීමට යත්න දරමින් සිටියා ය. එය බර වැඩි බැවින් ඇයට එය උස්සා ගත නොහැකි විය. තරුණිය මෙය දුටුවා ය. වහාම වෙළෙන්දිය ළඟට ගිය ඇය තැඹිලි වල්ලට අත ගැසුවා ය. දෙදෙනාගේ උත්සාහයෙන් එය එල්ලා ගත හැකි විය. වෙළෙන්දිය තුති පිදුවේ සහනදායී හිනාවකිනි.

ඊළඟ දිනයේ මා දුටුවේ ඇය පාර අයිනේ සිටි බලු සුරතලුනට මොන මොනවාදෝ කන්නට දෙමින් සිටින ආකාරය යි. සුනඛයෝ වලග වනමින් ඈ දුන් දේ බුදිමින් සිටිය හ. ඇය උන් දෙස බලා සිටියේ සතුට උතුරා යන දෑසිනි.

තවත් දිනෙක මා දුටුවේ ඇය සිය ගමන නවතා පාර අයිනේ සිටි යාචකයකුට කන් දෙක ආකාරය යි. දෙවරක් සිතා නොබැලූ ඇය සිය බත්පත ඔහුට දුන්නා ය. කිසිවක් සිදු නොවූ ගානට ඇය ගමන ඉක්මන් කළා ය.

මෑතදී දිනෙක ඇය ඉක්මන් ගමනින් යන අතර ම ඒ වනවිටත් දැල්වෙමින් තිබූ වීදි ලාම්පුවක් නිවා දැමුවා ය. උදේ අට පසුවීත් වීදි ලාම්පු දැල්වෙමින් තිබිණි. මා ඇය පසු කර යන විට ඇය දෙවන වීදි ලාම්පුව ද නිවා දැමුවා ය.

ගමට, රටට වැඩ කරන, හඳුනන නාඳුනන කාටත් පිහිට වන, සතුනට පවා දයාව පාන මේ හුරුබුහුටි තරුණිය හා බසක් දෙඩීමට මට ද ආසා හිතෙයි. එහෙත් වැරදි වටහා ගැනීමක් ඇති කර ගනීදෝයි කුකුසින් මම නිහඬ වෙමි.

මා හිතන හැටියට ඇය රාජකාරි කරන්නේ බෙන්තොට ප්‍රාදේශීය සභාවේ විය යුතු ය.

කෙසේ වුවද, මම ඇය ගැන ආඩම්බර වෙමි.

නාඳුනන, එහෙත් හඳුනන මාණවිකාවනි, ඔබට යහපත සැලසේවා!

 

අම්බලන්ගොඩ රජයේ කාර්යාලයක සේවාවේ නියුතු අලුත්ගම පෙදෙසේ සිළුමිණ පාඨකයකු විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරෙනි.

 

 

Comments