
එකම පොළොවක එකම අහසක් යට
එකම ජීවිතයක
ගිළිහී වැටෙන සඳ
වියළුණු පතක්
දැනෙයි එහි දුක පොළොවට...
මලක් පූදින කල
තුරු හිස
සුළඟ දිවැවිත්
අහුලා ගනී එහි සුසුවඳ...
අහස දුර යැයි හැඟුණද
හෙළන දයාර්ද්‍ර දිය බිඳු
තුරු ලතාවට
පොළොවට නොවෙද...
සැඟවී පොළෝ ළමැදේ
සිහිල උල්පත්
නිබඳව ගලා නොහැළේද...
මූල මණ්ඩල සැඟවී
පොළෝ ගැඹරේ
තුරු මඬුළු
ඔසවා නොහිදිද..
වැසි බිඳක සැඟවූ කඳුළක
පවනත පැවරූ සුසුමෙක
තුටු හසරැල්ල තබා කුසුමෙක
මේ අප විඳිනු
එකම ජීවිතයක රස නොවෙද...
චමින්ද රොෂාන්
පිං කුඹුරු
පිං කුඹුරු වලින්
ඇහිඳගෙනා කරල්
තම්බා කොටා ඇගිටි අහුලා
දිගටි ඇඟිලි තුඩින්
මට අනා කැවු අම්මා...
පපුවේ හංගාගෙන ආදරය
කොපුවේ ගහගෙන මල් පිහිය ඉනේ
අතුරේ ඉහිරී නැති මල් තැලූ
ඉහිරී උතුරා ගිය ආදරය තාත්තා...
වරුවෙන් වරුව ඇහැ ඇරන්
දෙමාරුවට වැරුව නිදී
හද කකියන විට දුක දිදී
මට නිදි දුන්නේ අම්මා තාත්තා...
ලබාගෙන මහා මිල මුදල්
නම්බුනාම නිලතල උතුම්
යහපත් ගති ළඟ නිති පැසසුම්
ලබන මා දකින්නට
මට වඩා පින් කළේ ඔවුන්
සමන් සුරවීර ආරච්චි
වික්ෂිප්ත සැනසුම
අළු පාට එකතු වූ
පරඩැල් තැන තැන
එක ලෙසින් බදා ගෙන..
උච්ච ස්වරයෙන් ගයන
උල ලේනියකගේ ගූඪ
ගී හඬ වධ දෙමින් ලවනතට..
කරවටක් වළ දැමු
අපුල වූ අතීතය
ගෙලවටා ඔච්චමට
කොක්සන් සලමින් සිනාසෙන
බකුසු ඇස් අතර
සනසන්න කිසිවෙකුත්
නැත තවම හමුවුණේ...
මල් වැරු පළු ගසක
එල්ලෙන තොණ්ඩුවක
දුක් විඳින ජීවිතය
අතීතය සිර කළා
ආත්මය සනසමින්
මේදනී මැණික්කුඹුර
හරිතාගාරයේ යුවතිය
මල් වවන රළු දෑත
මල් මැකුණ දිගු සාය
සීත නල මැද
සීත නළ ඇද
දිය බෙදන සම සමව...
බර පාවහන් හැඳ
දුර පා තබා සොඳ
රුවන් සක්මන..
හිරු මුවාකළ පියස
ඉහට හෙවණකි
හිතට නිවනක් නැති...
නෙක පෑ මල් පිපෙන
තනි යායක් ය ලෝකය
සිහින විලසින මල් නෙළන
මොහොතින
සිහින මිලිනව තනිවන ...
සරත්චන්ද්‍ර බණ්ඩාර
නොසැලෙන
පියසෙනෙහස
හදවතට ඔසුපැන් පෙවූ
වෙදැදුරාණනි
පිරී සසලව තිබූ සිතිවිලි
දැහැන්ගතකොට
නිදන්කර දුන් හිමි සදාණනී
කටු ඇනී සිත් රිදුම් දුන්විට
සෙත් කවක්සේ ඔබ වදන් ඇසුණා..
දරාගෙන දුක් සුසුම් සන්කා
නොනිදනා රැය පහන්වනතුරු
ළඟින් හිද ජීවිතය මේ යැයි
මට කියා දුන්නා
මගේ නොඉවසුම් බස්මුදාහල
විටෙක ඔබ බෝසත් ගුණෙන් රැදුණා
නොසිදෙනා ඉවසුම් සුසුම් පිරි
හදවිලෙහි දරුපැටවු පොඟවා
හෙට දිනන මන්පෙත් කියාදී
පියසෙනෙහෙ පිදුවා...
කරුණාරත්න විජේවර්ධන
ඉසිඹුලන පෙම
විහග ගී නැගෙයි ඈත හිද පාවෙලා
දම්පාට වලාකුළු අඬගසයි ළංවෙලා
කණ කොකුන් රූ මවයි සීතලට තටු සලා
තුසර බිඳු විසිරේවි අඳුර ළඟ ගුලිවෙලා..
වැඩුණු මල් දලු පිපී හිනැහුණත්
වසන්තයේ අඳුර ගලා යයි දස අතින්
වැටෙන්නට සිටි අකල් වැහි බිඳු අදරින්
මල් බරව සැඟවෙයි වලා මැද තනියෙන්...
ප්‍රේමයේ දිය සිදුණු කළල් ගැටියට බරව
පිබිදෙන්න විහඟ තුඩු පොහොට්ටුවක් වී
එවිට අඩ අඳුරේම සිනාසෙනු ඇත පිනිබිඳක්
අහිමි වූ නෙළුම්පත් සිසිලකින් ගිම් දුර ගෙවූ
සංජය ප්‍රියදර්ශන
නපුරු අහසට
සඳ කී කව
නපුරු අහස උඹ
සඳටත් එන්නට නොකියන
වියරු සිහින ගෙන
හදවත හයියෙන් කොනහන...
වළාබරවු වැහි අඳුරුම හවසක
මා ආ බව නුඹ දුටුවෙම නැතිවට
නුඹට නැතිව වෙන කාට කියන්නද
ඉවසනු බෑ හද රිදෙන රිදුම්වල...
සොඳුරු වදන් කවි හිස පුරවාගෙන
දිලෙන තාරුකා ගැබ අතුරාගෙන
අතුරු මිතුරු හා විත පුරවා නුඹ
මා ආ දවසෙත් නුඹෙ ඇස්වල රත !
සීත සඳුන් නළල'ත තවරාගෙන
රත්තරනෙන් රන් තිලක තියාගෙන
ආවෙමි සෙනෙහස හද පුරවාගෙන
අමතකදෝ නුඹ හද දිළි සඳවත.
කාශ්‍යප සත්‍යප්‍රිය ද සිල්වා
ඇය ගිය පසු
ගෙදර මහ උළුවස්ස
රැකවල්ලා සිටියෙමි
යන්න නොදී ඇයගෙ
මඟ වලකන්න...
හතර අතින් පුපුරා ගිය
විවාහයේ බිත්ති
ගරා වැටුණු පසු
යා හැකි තැන්
බොහොමයක් ඇති බව
ඇය ගිය පසු දැනුණි
සඳරුවන් කරුණාතිලක
උදානය
අදත් පායලා රන් හිරු
ජීවිතයම කලඑළි කර
මෙතෙක් දිවියෙ නොදුටු අයුරු
රන් කෙඳි නිවි නිවි දිලි දිලි
පොල් අතු අතරින්..
පෙරදා රෑ ඔබෙ නෙතු තරු
දිලිසුණු ආලය තැවරී
මේ හිරු උණුසුමට වඩා
මා නිවුවා සීත නොදී
හදට තුරුලු වෙමින්..
ළබැඳි සබඳ අලුත් ලොවට
පිය නගනෙමි ඔබෙ අත ගෙන
දනිමි සියලු රැකවරණය
ආදරය ද එහි ඇති බව
අපෙ සෙනෙහස නමින්...
අලුත උපන් මල් දහසක
සුවඳ පැහැය හුස්ම වැදී
හදට උනයි රතු ලේ බිඳු
නැවත උපද්දමින්
අප අපගේ වෙමින්...
මංගලිකා පෙරේරා
ප්‍රේමය
දෙතැනක වෙසෙන
ගොළු පෙම්වතුන් යුවළ
වීඩියෝ ඇමතුමක් ගෙන
හුවමාරු කර ගනිති
සිත් පුරා පිරි හැඟුම්
ගොළු නොවූ ආදරය
ගලා යයි සුන්දරව
මාලතී රූපිකා පුංචිහේවා
සැඩ සුළඟ
සිත් අහසට
පායා ඇවිදින්
වලාකුළක් යට නතර වුණේ ඇයි
මගේ අහස් ගැබ අඳුරු කරන්...
පියාපතක් සේ සුළඟට පාවී
සැහැල්ලුවෙන් මට
තුරුලු වුණේ ඇයි
ජීවිතයේ බර නොදැන ඉතින්...
ගංගාවක් සේ ගලාන ඇවිදින්
හද මිටියාවත
තෙත් කෙරුවේ ඇයි
බංඩි ගොයම යට වේවි ඉතින්...
සැඩ සුළඟක් වී නපුරු වුණේ ඇයි
සිත් අරණේ තැනූ සුන්දර පැල
මගේ කෑලි කැඩී විසිරේවි එයින්...
ජී. ජේ අමරා ජයකොඩි
අද අලුත් දවසක්....
හිස්ව ගිය ජීවිත මධු බදුන
අරන් සුරතින් පෙරා පුරවා
ජීවිතේ මධු බින්දු එකිනෙක
ආදරේ නොඅඩුව ම තවරා
බලන් සොඳුරිය අහස සඳ දෙස...
නුරා තවරා වලාවක් මත
මගේ ලවනත ඔබේ වත මත
උමතුවෙන් මෙන් සොයයි මීවිත
නොතිත් තරු කැල රැය පහන් කළ
බලා සිටිය ද අප දෙදෙන දෙස...
ස්වේද වර තවරා පුරා රැය
වින්දා ද ඒ මධුර මධුවිත
හිස්ව ගිය අම බදුන පිරවී
වැගිරෙනා විට ස්වේත මධුවිත
අඩවන් වු ඔබ නිල් දෙනෙත් යුග...
සදා මතකෙට නැගෙන අරුමය
බලන් මිහිරිය අවරගිර දෙස
නුරා සඳ දැන් සෙමින් බැස යයි
අලුත් දවසක් රැගෙන දිනිසුරු
පෙරඹරින් විත් අපව අමතයි...
සචිත් විජේසූරිය
සිරකරුවෙක්
ධවල සුසිනිඳු බිතු පෙළට රැය
වැදුණු හීරුණු වවුල් තුඩකට
වැටී වර්චස් පිඬක් කිළුටැති
බිත්ති උලනා අදත් පින්සල...
ගලව ගලවා නිතින් නැග එන
හිතට වධ දෙන තරම් වල් පැළ
උදුර උදුරා නැඟුණු සරතැස
වැඩෙයි වැට ඔබ අහිමි බිම දැක..
නිතොර ලඹ දෙන පිපෙන මල් වැල
උයන දුටු සැන නෙතුත් නවතන
කොතැන වෙද හද සොයනු රිසියෙමි
ගෙවුණු දිවි ඔහු මතක ඇති කල..
පොතක් විවරව තවත් හිනැහෙන
මියැසියක පද දෙකක් මිමිණෙන
නොවෙයි වෙණ තත් නැගෙන මොහොතක්
සිරව පා සිත නිබඳ ලැගි තැන..
කොටුව දුම්රිය පළෙන් පෙර මඟ
තනා කුටි හඬ නැඟෙන සාදුව
පඩිපතක අරගලය උන් අත්
නැඟෙන රුව කිසි දිනෙක දැක නැත
රණතුංග මල්ලවආරච්චි
ගබ්සා වූ ඇසළ සඳ නොහොත් කළු ජූලිය
සමසක් පිරුණු දිනයක
අඳුරින් වැසුණු අහසක
ගැබ්ගත් ඇසළ පුර හඳ
ගබ්සා කළෝ කවුරුද...
වර්ජන හිසට ඉහළින
තර්ජන කගය ලෙළදෙන
පීඩිත පංති සටනට
නොපැකිල ඉහළ එසවුන
අත්වල දිරිය ගිලිහිණ
අසූවේ ජූලියෙදි
ගෙල වටා වැටුණු මලපුඩු
අද දින පවා හිර වී
පියවරු අහිමි වී යත්...
ගිනි ගත් සහෝදරකම්
අහස් කඩ වසා නැගුණිය
පරවී ඇසළ සඳ
නටබුන් මතට වැටුණිය
අසූ තුන ජූලියෙදි
කළුවර ජයට බෝවුණි
මරුවැල හැමට පෑගුණි
වෛර වෙඩි පිපිරිණි
උණ්ඩ පපුවේ සිරවුණි....
පරමාධිපත්‍යයේ කුළු ගෙඩිය
හිස මතම පතිත කළ
තම හිසට සෙවණැල්ල
වූ අතද අහිමි කළ
අසූ හත ඇසළ සඳ
ගැබ් බව සැඟව ගත්
කාලය ද ඉක්ම ගොස්
මළ උපතකට මුල් විණි
අහේතුක දින රහිත
මරණයක් උරුම විණි...
අබ මිටක් සොයා යන මවුවරුනි
පුතු ඇට කැබලි දැක වුව
මළ බව නොඅදහන
දම්පල් පියවරුනි
ඔබගේ කඳුළු බිඳුවෙනි
ගැබ් ගනු නියත අවසඳ
සු.ප්‍රි. සමරසිංහ
අදිරද මළගම
එව බලව මා යන මගෙහි
පයට පෑගෙන මුතු කැරලි
සකල දේශය මිටින් ගත්
නිසල දෑතක හිස් ඇඟිලි...
සිය දහස් පා යුග ගෙවා
දිනු කඳු ගොඩනැගිලි
දොරින් දොර තුන්බිය මවා
නෙළූ අස්වනු ඇටසැකිලි...
මහල්ලන්, මළවුන්, ලෙඩුන්
වෙසින් සුරලොව සිට පැමිණි
දසුන් පෙළ හඳුනා නොගත්
කුමට පල නැති නෙත් කළණි...
මගේ බැරි බර කර දරා
සිව් රියන් සොහොනට පැමිණි
නොමළ ගෙයකින් අබ සොයව්
වෙදැදුරනි, කේවට්ටයෙනි
ප්‍රියන්ත අබේගුණවර්ධන
රුවැත්තියක එපා
නොපතමි රුවැත්තියක පියඹ කරගැනුමට
සැම පිරිමියකුම සොරාගනීවි
ඇගේ එක් හෝ බැල්මක්
නොපතමි රුවැත්තියක පියඹ කරගැනුමට
අයිති නොවේවි ඈ හුදෙක් මට පමණක්ම
නොපතමි රුවැත්තියක පියඹ කරගැනුමට
අවර්ණය ඈ නොවැටහේවි මට
ඇගෙ පියවි ගති සොබා
නොපතමි රුවැත්තියක
පියඹ කරගැනුමට
රූ සිරිය වෙස් ප්‍රසංගයකි
නොදකීවි මා ඇගෙ පියවි වත
නොපතමි රුවැත්තියක
පියඹ කරගැනුමට
හකුළාවි ඈ මගේ නෙත්
හිරිහැර කරාවි මගේ ආත්මයට
ගැඹුරු නිල් සයුරක්ය ඇය
සමත් නොවේවි මා කෙදිනකවත්
පිහිනන්ට ඈ හදේ ගැඹුරුම ඉසව්වට
නොපතමි රුවැත්තියක පියඹ කරගැනුමට
ධූමයකි ඇය කෙමෙන් සැඟව යාවි ඈතක
රතු විසකි ඇය කා දමාවි මගේ මුළු ආත්මය
නොපතමි රුවැත්තියක පියඹ කරගැනුමට
මුළා කරවන සුලුය ඈ අහංකාරය, හිස්ය.
නොපතමි රුවැත්තියක පියඹ කරගැනුමට
නයිජීරියානු කිවි Gideon Idudje ගේ
පද්‍යයකි.