
ලංකාවේ බිනර මල පිළිබඳ ඉතිහාසය බොහෝ කාලයක දිව යන්නේ එහි අපූර්ව සුන්දරත්වය නිසාවෙනි. බිනර මහට පිපෙන බිනර මල බොහෝ සාහිත්‍යකරුවන්ට මෙන්ම පෙම්වතුන්ට මෙන්ම මෙරට ගීත සාහිත්‍ය සුපෝෂණය කිරිමෙහිලා දායක වු බව අපට නොරහසකි. ඒ අප දන්නා බිනර මල පිළිබඳවය. මේ පෙති හතරක් සහිත මාතලේ දිස්ත්‍රික්කයේ - නාඋල, බොබැල්ලේ දී පමණක් හමුවන සුව්ශේෂි බිනර ශාකය පිළිබඳ කතාව ඊට වෙනස්ය.
එවකට පේරාදෙනිය උද්භිද උද්‍යානයේ අධ්යක්ෂවරයාව සිටි ආචාර්ය සිරිල් විජේසුන්දරයන් 1986 වසරේ දී හඳුනාගනු ලබන මෙම සුවිශේෂි බිනර ශාකය වනාහි අද වන විට විවිධ තර්ජනයන්ට ලක්වූ ශාකයකි. ළා නිල් පැහැති පෙති හතරේ අලංකාර මලක් පුබුදන බොබැල්ලේ බිනර විශේෂය, කොපමණ වෙහෙස වුව ද බොබැල්ල ගමෙන් පිටත කිසිදු ස්ථානයක පැළකර ගන්නට ද නුපුළුවන. එය සෙන්ටිමීටර් 30ක් පමණ උස (අඩියක් පමණ) කුඩා සපුෂ්පික ශාකයකි. සාමාන්‍යයෙන් ලංකාවේ අනෙකුත් බිනර ශාක විශේෂවල මල් පිපෙන්නේ බිනර හෙවත් සැප්තැම්බර් මාසයේ ය. එහෙත් බොබැල්ලේ බිනර මලින් පිරී යන්නේ සාමාන්‍යයෙන් අප්‍රේල් මාසයේ අග භාගයේ පටන් මැයි සහ ජූනි මාසවල ය.
‘Exacum pedenculata ‘ යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන මෙම බිනර ශාකය ශ්‍රී ලංකාවෙන් හමුවන බිනර ශාක විශේෂ අටෙන් එකකි.
උද්භිද විද්‍යාඥයන් පවසන අන්දමට, ශ්‍රී ලංකාවෙන් බිනර විශේෂ අටක් හමු වේ. 2012 ජාත්‍යන්තර රතු දත්ත වාර් තාවට අනුව බිනර විශේෂ හයක් ම වඳවී යාමේ තර්ජනයට ලක් වුණු ශාක විශේෂ වේ.
බොබැල්ලේ බිනර විශේෂය ද එලෙස වඳවී යාමේ අවදානමට ලක් වූවකි. උද්භිද විද්‍යාත්මක සාධකවලට අනුව බිනර අයත් වන්නේ ‘Gentianceae‘ නමැති ශාක කුලයට ය. එම කුලයට අයත් ශාක විශේෂ, මැඩගස්කරය, ශ්‍රී ලංකාව, ඉන්දියාව, දකුණු අප්‍රිකාව සහ අග්නිදිග ආසියානු රටවල පැතිර පවතියි.
බොබැල්ල යනු මහනුවර-යාපනය ඒ 9 මාර් ගයේ දඹුල්ල සහ නාඋල අතර පිහිටා ඇති කුඩා ගම් පියසකි.
බොබැල්ලේ බිනර පිළිබඳ කතාව යළි කරළියට පැමිණෙන්නේ මිට කලකට ඉහත දී එම ප්‍රදේශයේ සමිති ශාලා ගොඩනැගිල්ලක් ආසන්නයට පස් දැමීමක් පිළිබඳව පරිසරවේදී ප්‍රදීප් සමරවික්‍රම සිදුකළ අනාවරණයකින් අනතුරුවය.
ඔහු එදා අනාවරණය කළේ පස් දැමු ප්‍රදේශයේ බිනර බිජ විශාල වශයෙන් පවතින බවයි. එහෙත් පස් දැමීමට සම්බන්ධ වූ බොබැල්ල ගමේ ප්‍රජාව එය එක හඬින් ප්‍රතික්ෂේප කළේය. ඇතැම් දේශපාලකයන් මෙන්ම සිවිල් සමාජයේ විවිධ පුද්ගලයන්ගේ අනිසි මැදිහත්වීම් හේතුවෙන් බොබැල්ල ගමේම පිරිසක් තමන් බිනර හේතුවෙන් බොබැල්ලෙන් ඉවත්කරනු අතැයි ඇතිකරගත් අස්තාන බියක් හේතුවෙන් බිනර ශාක ගලවා ඉවත් කරන්නට තරම් සැහැසි විය.
කෙසේ වෙතත් මෙවැනි පසුබිමක් තුළ මාතලේ මහ දිසාපති එස්.එම්.ජි.කේ.පෙරේරාගේ සහභාගීත්වයෙන් පසුගියදා විශේෂ සාකච්ඡාවක් නාඋල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි. ඒ සඳහා මාතලේ අතිරේක දිසාපති (ඉඩම්) ඉෂාන් විජේතිලක, නාඋල ප්‍රාදේශිය ලේකම් ඇතුළුව, පේරාදෙනිය උද්භිද උද්‍යාන නිලධාරින්, වනජිවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් මෙන්ම නාඋල කලාපයේ ග්‍රාම නිලධාරි මෙන්ම සෙසු රාජ්‍ය නිලධාරීන් රැසක් හා රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් ද සහභාගී වූහ. ලොවටම විශේෂ බොබැල්ලේ සිවි පෙති බිනර ශාකය සංරක්ෂණය කළ යුතු බවත් එය ප්‍රදේශයේ ජීවත් වන ප්‍රජාවට ගැටලුවක් නොවන පරිදි සිදුකළ යුතු බවත් මෙහිදී දිසාපති වරයා ඇතුළු රාජ්‍ය නිලධාරීන්ගේ අදහස විය.
බොබැල්ල ප්‍රදේශයේ ගල් වළවල් පවත්වාගෙන යන පිරිස් මෙන්ම සාමාන්‍ය ප්රජාවද මේ සඳහා සහභාගී කර තිබු අතර, බොහෝ පිරිසකගේ අදහස වී තිබුණේ බිනර ශාකය මෙන්ම ප්රජාවද ආරක්ෂාකර ගනිමින් කටයුතු කිරීම වඩාත් කලෝචිත බවයි.
බිනර ශාකය සම්බන්ධයෙන් විවිධ පර්යේෂණ තවදුරටත් සිදුවන බවත් මානව ක්‍රියාකාරකම් අවම කර ගනිමින් ලොවටම වටිනා මෙම සුවිශේෂි බිනර ශාකය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් නාඋල ප්‍රාදේශිය ලේකම් සේම අතිරේක දිසාපති (ඉඩම්) ඉෂාන් විජේතිලක මහත්වරු ද නාඋල ප්‍රාදේශිය සභාවේ සභාපති සනත් දසනායක ද අදහස් දැක්වීය.
![]() |
![]() |
බිනර මල් පිහිටි බොබැල්ල ප්‍රදේශය දිසාපති වරයා ඇතුළු පිරිස නිරික්ෂණය කළ අයුරු |
රාජ්‍ය නොවන සංවිධාන වෙනුවෙන් දුම්බර මිතුරෝ පරිසර සංවිධානය මෙන්ම ග්‍රැෆික් ශ්‍රී ලංකා පදනමේ අධ්යක්ෂ ගාමිණ ජයතිස්ස ද සිය අදහස් දක්වමින් කියා සිටියේ සිවිපෙති බිනර ලෙස මේ බිනර මල නම්කර සංරක්ෂණ වැඩපිළිවෙළක් සැකසිය යුතු බවයි. අනතුරුව ක්ෂේත්‍ර චාරිකාවට එක් වූ පිරිස බිනර ව්‍යාප්තිය පිහිටි ප්‍රදේශ දෙකක් නිරික්ෂණයටද ලක් කළේය.
එහිදී මහ දිසාපතිතුමන් අවධාරණය කළ කරුණු අතර බිනර ශාකයට අමතරව පිහිටා ඇති විවිධ ඖෂධීය ශාක සම්බන්ධයෙන් ද අවධානය යොමු කළ යුතු බවත් ඒ සම්බන්ධයෙන් ද ඉදිරි සංරක්ෂණ ක්‍රියාමාර්ග ගත යුතු බවත් අවධාරණය කළේය. ඒ වනවිටත් ඇතැම් ස්ථානවලට පමණක් සීමා වී ඇති මෙම සිව් පෙති බිනර විශේෂ අදටත් බොබැල්ලේ දී දැක ගත හැකිය.
ඒ අතර බිනර ශාකය පැවති ප්‍රදේශවල ගවයන් බැදීම හා වගා කටයුතු ආරම්භ කර ඇති අයුරුද පිරිසට මෙහිදී දැකගත හැකිවිය. කෙසේ වෙතත් ඇතැම් පිරිසක් විසින් ගලවා ඉවත්කර ඇතැයි සඳහන් කළ බිනර ශාකය පිළිබඳව අදාළ ප්‍රදේශයේ ජනතාව තුළ පවතින ආකල්ප දුරලීම සඳහා ඝෘජු මෙන්ම තිරසාර වැඩපිළිවෙළක අවශ්‍යතාව මෙහි සංචාරය කළ රාජ්‍ය නිලධාරින්ගේ අවධානයට ලක්වූ කරුණු අතර විශේෂ තැනක් ගන්නා ලදී.
වසර ගණනාවක් තිස්සේ සුන්දර දසුන් මවන මේ සුවිශේෂි බිනර ශාකය සම්බන්ධයෙන් එවකට නාඋල ප්‍රාදේශිය ලේකම්ව සිටි වත්මනේ මාතලේ අතිරේක දිසාපති (පාලන) නිශාන්ත කරුණාතිලක මෙන්ම දුම්බර මිතුරෝ පරිසර සංවිධානයේ ආනන්ද කනහැර ආරච්චි ද ප්‍රජාව පාදක වැඩසටහන් එවකට බිනර ශාකය සම්බන්ධයෙන් දියත් කළ බව මෙහිදී සටහන් කළ යුතුය. කෙසේ වෙතත් පාරිසරික වෙනස්කම් හමුවේ මෙවර සැලකිය යුතු ප්‍රමාණයක් බිනර ශාකය බොබැල්ලේ දී දැකගත නොහැකිය.
වරෙක රජය මගින් නිකුත් කරනු ලබන මුද්දරයකටත්, අතීතයේ ඇම්බැක්කේ ලී කැටයම් අතරටත් ගිය මේ සුවිශේෂි බිනර මල සම්බන්ධයෙන් රාජ්‍ය අනුග්‍රහය මීටත් වඩා ලැබිය යුතු වකවානුවක් මේ වන විට උදාවී ඇති බව බිනර ශාකය සම්බන්ධයෙන් වසර ගණනාවක් තිස්සේ කරුණු සමාජගත කරන මේ ලියුම්කරුගේ අදහස වී තිබේ.
ලොවක් වටිනා මෙම සුවිශේෂි ශාකය මතු පරපුරට ආරක්ෂා කරදීම මෙන්ම බොබැල්ලේ බිනර ශාකය වැඩෙන ප්‍රදේශ ආසන්නයේ ජීවත් වන ප්‍රජාව ද ආරක්ෂා කර ගනිමින් කිසියම් කඩිනම් යාන්ත්‍රණයක් සැකසීම පාලකයන්ගේ වගකීම වී තිබේ. එනිසා බිනරත්, ප්රජාවත් රැක ගැනීමේ ක්‍රියාවලියක් සඳහා අවැසි නිසි යාන්ත්‍රණයක් සැලසීම පාලකයන්ගේ වගකීම වේ. යමෙක් සොබාදහම විසින්ම නිමවා ඇති පාරිසරික ගති ලක්ෂණයන් එහි ජිවය ලබාගන්නන් විසින් ක්‍රෑර ලෙස විනාශ කර දැමීමට පෙලඹෙන්නේ ද ඔවුන්ට වහා වහා ප්‍රතිචාර දැක්වීමට සොබාදහම ද පෙරළා කටයුතු කරන බව පමණක් මෙහි අවසන් වශයෙන් සටහන් කරමි. ඡායාරූප - නාඋල සමූහ