ඉරානයයි අමෙරිකාවයි සැබවින්ම සතුරන්ද මිතුරන්ද? | සිළුමිණ

ඉරානයයි අමෙරිකාවයි සැබවින්ම සතුරන්ද මිතුරන්ද?

සුගිය වසරේ ආරම්භයේදී ලොවම භීතියෙන් ඇලළී ගියේ මැදපෙරදිග පදනම් කර ගනිමින් තුන්වැනි ලෝක යුද්ධය ඇවිලී යනු ඇතැයි පැණ නැගුණු සැකය හේතුවෙනි. ඒ ඉරානය සහ අමෙරිකාව එක්වරම එකිනෙකා වෙත අවි අමෝරා ගැනීමත් සමගිනි.

අමෙරිකාව ඉරානයේ ආරක්ෂක අංශවලට නායකත්වය දුන්, හිටපු හමුදා නායකයකු සහ වත්මන් උපදේශකයකුද වූ කසිම් සුලෙයිමානිට එක්වරම මරා දැම්මේ ඔහු ගමන් ගනිමින් සිටි රථ පෙළට ප්‍රහාරයක් එල්ල කරමිනි. ඒ ඉරාක‌යේදීය. ඒ සමගම අමෙරිකාව කෑලිවලට කඩා දමන බවට වහසි බස් දෙඩූ ඉරානය ඉරාකයේ අමෙරිකානු හමුදා කඳවුරකට මිසයිල ප්‍රහාරයක්ද එල්ල කළේය.

ලක්ෂ සංඛ්‍යාත ජනතාවකගේ සහභාගීත්වයෙන් යුක්තව කාසිම් සුලෙයිමානි ගේ අවමංගල්‍යය උත්සවය පැවැත්වූ ඉරානය ලෙයට ලෙයින් පළි ගන්න බවටද ශපථ කර සිටියේය.

ඒ සමගින් මුළු ලෝකයේම අවධානය මේ දෙරට වෙත යොමු වූ අතර යළිත් මැද පෙරදිග යුදමය තත්ත්වයක් ඇති වීමෙන් ලෝක ආර්ථීකයට හානි සිදු වනු ඇතැයි බිය පළ විය. එහෙත් සාමය කැමති සැමගේ සිත් සතුටු කරමින් දෙරටම එක්වරම අවිආයුධ අකුලා ගත්තෝය. යුද්ධයක් ඇතිවීම වළකින්නේ නම් එය සැමගේ සතුටට කරුණක් වුවද අමෙරිකාව කෙසේ වෙතත් ඉරානයේ යුධ ශක්තිය සම්බන්ධව ලොවට සැක පහළ වන්නට විය.

දැන් යළිත් වරක් ඉරානය පැරණි සිදුවීම් යළි කරළියට ගෙන එමින් කාසිම් සුලෙයිමානිගේ මරණය යලි ගොඩගනිමින් සිටියි. කොවිඩ් වයිරසයෙන් තම රට මෙන්ම අමෙරිකාවද දරුණු ප්‍රහාරයකට ලක්ව සිටින අවස්ථාවේ ඉරානය විස්මිත ප්‍රකාශයක් කරමින් පවසා සිටියේ සුලෙයිමානිගේ ඝාතනයට ඩොනල්ඩ් ට්‍රම්ප් වැරදිකරුවකු බැවින් ඔහුට වරෙන්තු නිකුත් කර ඇති බවයි. ජනාධිපති ට්‍රම්ප් සමග තවත් 35 දෙනෙකුට මිනී මරුම් චෝදනා සහ ත්‍රස්තවාදී චෝදනා එල්ල වී ඇති බවත් එබැවින් ඔවුන් හැකි ඉක්මනින් අත්අඩංගුවට ගෙන ඉරානයට බාර දෙන ලෙස අන්තර්ජාතික පොලීසිය හෙවත් ඉන්ටර්පෝල් වෙත ඉල්ලීමක් කර ඇති බවත් ටෙහෙරාන් හි ප්‍රකාශක අලි අල්ක්වාසිමර් පවසා තිබේ.

එහෙත් මේ ප්‍රකාශයෙන් දින කිහිපයකට පසු ඉන්ටර්පෝල් ඉරානය වෙත දන්වා ඇත්තේ තමන්ට එවැනි අත්අඩංගුවට ගැනීමක් සිදු කිරීමට බලය නොමැති බවයි.

කෙසේ වුවද මේ සියල්ල පිටපතක් අනුව සිදු කෙරෙන රංගනයක් දැයි සැක පහළ වීම වැළැක්විය නොහැකිය. කණගාටුවට කරුණ වන්නේ එම පිටපතේ නළු භූමිකාවක් ඉරානය විසින්ද රඟ දැක්වීමය. ඉරානය යනු දශක කිහිපයක සිට අමෙරිකාව හමුවේ දණ නොනැමූ රටකි. ඉරානය බිඳ වැට්ටවීමට අමෙරිකාව කොතෙකුත් උත්සාහ ගත්තද ඉරානය සැමදා ශක්තිමත්ව අමෙරිකාව හමුවේ නැගී සිටියේය.

ඇතැම්විට මේ දෙරට කපන්න බැරි අත සිඹීමේ න්‍යායක් ක්‍රියාත්මක කරනවා වුවද විය හැකිය. පසුගිය වසරේ ඉරානය සහ අමෙරිකාව අවි අමෝරා ගන්නා අවස්ථාවේදී ට්‍රම්ප්ට එරෙහිව දෝශාභියෝගයක් පැවති අතර එහි ඡන්ද විමසීමට ඔන්න මෙන්න අවස්ථාවකදී ට්‍රම්ප් ලෝක ත්‍රස්තවාදයට එරෙහි තනි සටනක් කරන වීරයා බවට පත් වූයේ ඉරානයට රිදෙන්නට ගසමිනි. එහෙත් දෝශාභියෝගයේ ජයග්‍රහණයත් සමග ත්‍රස්තවාදයට එරෙහි සටනද යල් පැන ගියේය.

දැන් යළිත් එම සටන කරළියට ගෙන ඒමට තවත් මාස කිහිපයකින් පැවැත්වීමට නියමිත අමෙරිකා ජනාධිපතිවරණය ඉතා හොඳ හේතුවකි. ත්‍රස්තවාදයට එරෙහිව සටන් කරන වීරයන්ට කතිරය ගැසීමට ජනතාව කවදත් දක්වන්නේ විශාල මනාපයකි.

අමෙරිකානු දෙශපාලනයේදී එය එසේ වුවද ඉරානය පාර්ශ්වයෙන් බලන විට පුදුමයක් මෙන්ම කණගාටුවක්ද ඇති වන්නේ මතුපිට සතුරන් තිරෙන් පිටුපස කරට අතදමාගන්නා බවක් පෙනී යන බැවිනි. එක් අතකින් මේ කිසිවක් සම්බන්ධව පුදුම විය යුතු නැත්තේ දේශපාලනයේදී මේ සියල්ල අතිශයින් සාමාන්‍ය වන බැවිනි.

Comments