චීනයෙන් බාගයක් යට කළ ගංවතුරට ත්‍රී ගෝජස් වේල්ල ඔරොත්තු දෙයිද | සිළුමිණ

චීනයෙන් බාගයක් යට කළ ගංවතුරට ත්‍රී ගෝජස් වේල්ල ඔරොත්තු දෙයිද

චීනය මේ පසුකරමින් සිටින්නේ නරක කාලයකි. ලෝකයේ සෙසු රටවල් සමග තරගකාරීව තම ගමන යන අතරම සොබාදහමේ තර්ජනවලට අඛණ්ඩව මුහුණ දීමට චීනයට සිදුවී තිබේ. පසුගිය වසරේ නොවැම්බර් මස ඇරඹී ලෝකයම වෙනස් කරමින් යන කොවිඩ් වසංගතයේ ආරම්භක රෝගියා වාර්තා වූයේද චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙනි. ඒ සමගම ලෝකයේ සෙසු රටවලින් චීන ජාතිකයන් ප්‍රතික්ෂේප වූයේ රෝගය පැතිරයෑමේ අවදානම හේතුවෙනි. වයිරසය චීනයට විශාල ආර්ථික හානි සිදු කළ නමුත් ඉතා කෙටි කළකින් යළි නැගී සිටීමේ අවස්ථාව චීනයට උදා විය.

ඉන් පසුව චීනය ඉන්දියාව සමග දේශසීමා අර්බුදයක පැටළුණු අතර යුද උණුසුමක් ඒ සමග ලෝකය පුරා පැතිර ගියේය. මේ වන විට දෙරටම තම දේශසීමාවේ හමුදා බලය තර කරමින් පැවතියද දෙරටටම යුද්ධයක පැටලීමේදී අඩියක් පසුපසට තබමින් සිටින බවක් දක්නට තිබේ.

මේ අතර යළිත් වරක් චීනයට සොබා දහමේ තර්ජනයකට මුහුණ දීමට සිදුව තිබේ. ඒ වසර ගණනාවකින් පසු එරට මුහුණ දුන් දැවැන්තම ගං වතුර තර්ජනය හේතුවෙනි. නිශ්චිතව පවසන්නේ නම් දැනට චීනය මුහුණ දී සිටින්නේ 1940න් පසු එරට මුහුණ දුන් විශාලතම ගංවතුරටය.

ජූනි මාසය යනු චීනයේ ගංගා පිටාර ගලන සමයයි. ඒ අනුව කල්තබා ප්‍රකාශ කරන ලද කාලගුණ වාර්තා අනුව මේ වසරේ ජූනි මස 23, 24 දිනවල වාර්තාගත වර්ෂාවක් බලාපොරොත්තු විය යුතු බවට චීන කාලගුණ සේවා අනතුරු ඇඟවීය. එම වාර්තා සැබෑ කරමින් ඇද වැටුණු මහා වර්ෂාව අවසන් වූයේ චීනයෙන් හරි අඩක් පමණ වතුරෙන් යටකර දමමිනි.

මේ ලියන මොහොත වන විට චීනයේ ප්‍රධාන ගංගාවක් වන යැංග්සි ගඟ දෙගොඩ තලා ගලා යමින් තිබෙන අතර මිලියන 8.5ක ජනතාවක් අවතැන්ව පසුවන බවද වාර්තා වේ.

ගං වතුර වැනි ස්වභාවික විපත් චීනයට එතරම් අමුතු දේවල් නොවූවද මෙවර චීනයේ ගංවතුර බටහිර මාධ්‍ය ඉතා රසවත් පුවතක් ලෙස වාර්තා කරනු දැක ගත හැකි විය. ඔවුන් චිනයේ ගං වතුර මහා විපතක් ලෙස හුවා දක්වමින් තිබෙන බව බටහිර මාධ්‍ය වාර්තා බැලූ පසු පැහැදිලි විය. එමෙන්ම ඔවුන් වැඩි මේ වන විටත් ගං වතුර හේතුවෙන් ශක්තිමත් භාවය සම්බන්ධ පරීක්ෂණයකට මුහුණ දී සිටින චීනයේ සුප්‍රසිද්ධ ත්‍රී ගෝජස් වේල්ල සම්බන්ධයෙන්ද නොයෙක් වාර්තා නිකුත් කරමින් සිටින්නේය.

සැබවින්ම මේ ගත වී යන මොහොතේදී ත්‍රී ගෝජස් වේල්ල ඉතිහාසයේ දරුණුතම ගං වතුරට මුහුණ දෙමින් සිටින්නේය. මේ වේල්ලේ ශක්තිමත් බව පරීක්ෂා කිරීමට මෙතරම් ගං වතුරක් මීට පෙර ඇති නොවූ අතර යම් හෙයකින් වේල්ල බිඳී ගියහොත් පහතින් ඇති නගර විශාල සංඛ්‍යාවක් වතුරෙන් යටව මහා විපතක් සිදු වනු නොඅනුමානය.

චීනයේ යැංග්සි ගංගාව හරහා ත්‍රී ගෝජස් වේල්ල ඉඳි කෙරෙන්නේ 2003 වසරේදීය. 1993 වසරේදී එහි ඉඳි කිරීම ආරම්භ කෙරෙන අතර එහි විදුලිබල උත්පාදනය ආරම්භ වන්නේ 2003 වසරේදීය. මේ වේල්ල ඉදි කිරීමේ අරමුණු තුනක් චීන බලධාරීන් සතු වූ අතර ඒවා විදුලි බල උත්පාදනය, ගං වතුර වැළැක්වීම සහ යැංග්සි ගංගාවේ යාත්‍රා කරන නෞකා සඳහා ආරක්ෂිත මාර්ගයක් සැපයීම යනාදී වශයෙන් හඳුනා ගත හැකිය. මේ වේල්ල සියවසේ මහා නිර්මාණයක් වන බැවින් එය ‘ත්‍රිත්ව පුදුමය’ යන අදහසද උත්පාදනය වන අන්දමින් තී ගෝජස් යනුවෙන් නම් කර තිබේ. මේ වේල්ල ඉදි කිරිමේ කටයුතු සිදු කළ සමාගමේ නම ‘ත්‍රී ගෝජස්’ වන බැවින් එම නම වේල්ලට යොදු බවටද මතයක් තිබේ.

සැබවින්ම මේ වේල්ල අති දැවැන්ත නිර්මාණයකි. එහි උස මීටර් 181කි. දිගින් මීටර් 2,335ක් තරම් වන්නේ යැංග්සි ගංඟාවේ දෙකෙළවර යා කරන බැවිනි. ගංගාව හරහා යාත්‍රා කරන නෞකා සඳහා පහසුකම් සැපයීමට වෙනම විවෘත කළ හැකි දොරටුවක් ද සහිතව ඉදි කළ මේ මහා නිර්මාණය චීනයෙන් වැඩි ප්‍රදේශයක් සඳහා විදුලි බලයද නිපදවීමට සමත්ය. වේල්ලේ පාදම මීටර් 115ක පළලින් යුක්ත අතර එහි මතුපිට මීටර් 40ක පළලින් යුක්තය.

මේ වන විට චීනය මුහුණ දී ඇති ගංවතුර තර්ජනය වසර 80කින් පසු ඇති වූ දරුණුතම ගං වතුර ලෙස අර්ථ දක්වා ඇති බැවින් ත්‍රී ගෝජස් වේල්ලේ ශක්තිමත් භාවය පරීක්ෂා කිරීමට හොඳම පරීක්ෂණය ලෙසද මේ ගංවතුර ගැන අදහස් ඉදිරිපත්ව තිබේ. බටහිර මාධ්‍ය ගෙන එන වාර්තා කෙසේ වුවද චීනයෙන් ලැබෙන ආරංචි මාර්ග අනුවද ගං වතුරේ දැඩි බව වේල්ලට කිසියම් බලපෑමක් එල්ල කරමින් තිබේ.

මේ වන විට චීනයේ ගුයිෂු, චොන්ග්කුයින්ග්, හුනාන්, හුබෙයි, ජියන්ග්ක්සි, අන්හුයි, ජිනග්සු, ක්ෂිගියන්ග්, ශැංහයි සහ ග්වාන්ග්ක්සි යන පළාත් ගං වතුරෙන් පීඩාවට පත්ව තිබේ. මේ වන විට 20 දෙනකු මිය ගොස් ඇති බව චීනයේ ජනමාධ්‍යවල සඳහන් වුවද චීන රජයේ නිල නිවේදන අනුව මියගොස් ඇත්තේ තිදෙනෙකු පමණි. නිවාස 7,300ක් පමණ සම්පූර්ණයෙන් විනාශ වී ඇති බවද සඳහන්ය.

කෙසේ වුවද චීනය යනු ස්වභාවික විපත් හමුවේ සැලෙන රටක් නොවේ. ඒ අනුව ඉදිරියේදී මේ ගං වතුරද ඔවුන්ට තවත් එක් සිදුවීමක් පමණක් වනු ඇත. එතෙක් ලක්ෂ ගණනක් මිනිසුන්ගේ ජීවිත වෙනුවෙන් ශක්තිමත්ව දරා සිටීමට ත්‍රි ගෝජස් වේල්ලට හැකි වේවා යන්න අපේ පැතුමය.

Comments