සෙක්කුවට 40යි | සිළුමිණ

සෙක්කුවට 40යි

 අපි සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ආචාර්ය පණීභාරත නෘත්‍යාගාරයට 13වැනිදා සවස4 වන්නට සුළු මොහොතකට පෙර ගියෙමු. ඒ පරාක්‍රම නිරිඇල්ල මහතා කළ ආරාධනයකට අනුවය.

“සෙක්කුවට 40යි. එකේ හිටපු අයට උපහාරයක් තියෙනවා. ඔයත් එන්න අම්මත් එක්කගෙන.“ ඒ ආරාධනය විය.

ශාලා දොරටුව අසල සිනා සපිරි මුහුණු රැසකි. රස කතාද එමටය. මට ඔවුන් පෙනුණේ සිංහල අවුරුද්දට මහ ගෙදරට රොක් වූ එකම පවුලේ පිරිසක් මෙනි. දශක හතරක් ගෙවී ගියද 76 සෙක්කුව කණ්ඩායමේ සහෝදරත්වය බොහෝ තරුණය.

“අතුල...(අතුල වේරගොඩ), දසේ... (දයා දහනායක), ආ.. සැනා...(සැනට් දික්කුඹුර), හානේ.. අසෝකා දැක්ක කල්...(අසෝකා කටුවාපිටිය)“ අම්මා වට වූ පිරිස ඇමතද්දී එදා කෙළිලොල් බව මතු වූවා සේ දැනිණි.

“පෙම්සිරි අක්කා... ඒ වගේමයි. දුව දැක්කම නම් සෑම් අය්යමයි මතක් වෙනව අනේ.“

තාත්තාගේ මතකය සිනාවකින් සඟවා ලූ මගේ නෙතග උපන් කඳුළු බින්දුවක් හතවතේ බිත්ති සූරාගෙන යන්නාක් මෙන් දැනිණි.

පරාක්‍රම නිරිඇල්ලගේ සෙක්කුවට අපේ නෑදෑකම ප්‍රබල වන්නේ එහි සංගීතය මගේ තාත්තා, සැම්සන් සිල්වාගේ වීම නිසාය.

‘රාළේ බැඳපන් කිරිපුස්සා- රාළේ බැඳපන් අපෙ පැඟිරා‘ තාත්තා අප සියල්ලන්ගෙන් වෙන් වී ගියද එදා මෙදා තුර සෙක්කුවේ සංගීතය රසිකයන්ගේ මතකයෙන් වෙන් වූයේ නැත.

මොහොතකින් උත්සව සභාව ඇරැඹිණි. ජනකරළියේ රංගන ශිල්පි­ෙයක් හා ශිල්පිනියක නිවේදන කටයුතු ආරම්භ කළහ.

“ආයුබෝවන් ප්‍රේක්ෂක සහෝදර සහෝදරයිනි, අපගේ නාට්‍යය ආරම්භ කිරීමට දැන් සියල්ලක්ම සූදානම්. මෙහි පැමිණ සිටන ඔබ සැවොම ඉතා සාදරයෙන් පිළිගන්නවා. ඔබ සැමට නැවතත් ආයුබෝවන්!“

සෙක්කුව නාට්‍යය ආරම්භ කරන පූරකගේ දෙබසින්ම ප්‍රේක්ෂකාගාරය පිළිගත්තේ අලුත්ම පූරක සුමුදු මල්ලවාරච්චිය. 76 පළමුවරට ප්‍රේක්ෂකාගාරය දෙදරවමින් මේ දෙබස නැඟුණේ එච්. ඒ. පෙරේරාගේ මුවිනි.

“සෙක්කුව ප්‍රථම නිර්මාණයේත්, දෙවන නිෂ්පාදනයේත්, ජන කරළියේ නව නිෂ්පාදනයේත් ශිල්පීන් හට උපහාර උ‍ලෙළක් පැවැත්වීමටයි සෙක්කුවට 40ක් පිරෙන මොහොතේ අපේ සූදානම.“

නිවේදනය අතර මගේ සිත, ‘පරාක්‍රම නිරිඇල්ලගේ සෙක්කුව‘ බිහි වූ අයුරු පිළිබඳ ඇසූ පිරූ කරුණු දිගේ ගමන් කරන්නට විය.

‘අහේතුවට හේතුව‘ නමින් එස්.ජී. පුංචිහේවා මහතා ලියූ කෙටිකතා සංග්‍රහයේ තිබූ එක් කතාවකි.

තරුණ පරාක්‍රම නිරිඇල්ලට එහි යටිපෙළේ ඇති දේශපාලන දර්ශනය හා යථාර්ථය මැනැවින් අවබෝධ වෙයි. ලයනල් වෙන්ට් රංග ශිල්ප ශාලිකාවේ මිතුරන් සමඟ එක්ව 1976 සෙක්කුව නමින් රඟ දැක්වුණේ වේදිකාවට ඔබින අංගෝපාංගයෙන් රසවත් කළ එහි, ඔහුගේ පෙළ රචනයයි.

ඒ වසරේ හොඳම ස්වතන්ත්‍ර නාට්‍ය රචනය- පරාක්‍රම නිරිඇල්ල, වසරේ හොඳම සංගීත නිර්මාණය - සැම්සන් සිල්වා, වසරේ හොඳම අංගරචනය සහ හොඳම ඇඳුම් නිර්මාණයට හිමි සම්මාන - හීනටිගල ප්‍රේමදාස, විශිෂ්ට රඟපෑම් කුසලතා -ගාමිණි චන්ද්‍රකීර්ති හෙට්ටිආරච්චි, රඟපෑම් කුසලතා සහතික- සැනට් දික්කුඹුර සහ ලින්ටන් සේමගේ වශයෙනි.

එදා සෙක්කුව වෙනුවෙන් දිගු පුවත්පත් විචාරයක් ලියූ සුගත් වටගෙදර මහතා වසර 40කට පෙර සෙක්කුව දුටු අයුරු ආවර්ජනය කරමින් වේදිකාව මත හඩ අවදි කළේය. නාට්‍යය එදා මෙන්ම අදත් අපේ රටේ පක්ෂ දේශපාලනය හා ජනතාව සංකේතවත් කරන ආකාරය මෙන්ම සෙක්කුවට උරදුන් මුල් කණ්ඩායමේ කැපවීම ඔහු අගය කළේ අතීතාවර්ජන රැසක් සමඟය.

ඉන්පසු වේදිකාවට නැඟුණේ කුසල් පෙරේරා මහතාය. ධනවතාගේ ගොනා වූ කිරි පුස්සාත් ඌට දාව මේ රටේ උපන් දෙමුහුන් සතා පැඟිරාත් එක්ව සෙක්කුව පදවන අද වැනි දිනක් ගැන වසර 40කට පෙර ‘සෙක්කුව‘ දුටු අපූරුව ඔවුන්ගේ අපේක්ෂාව හා යා වූ ආකාරය ඔහු පැහැදිලි කළේය. ඒ කාලේ දුටු සෙක්කුව ජනකරළියෙන් ඉදිරිපත් කරද්දී අවසන් දර්ශනය වෙනස් වී ඇති ආකාරය පිළිබඳ ඔහු දැඩි විවේචනයක් ද කළේ එය ඝෝෂාකාරී බව පවසමිනි.

ජනකරළියේ සෙක්කුවේ අවසානය දැඩිව වෙනස් වි ඇති බව සැබෑය. එයට සාක්කි සපයන්නේ 1997 දෙවැනි නිෂ්පාදනයේදී නාට්‍ය පිටපත පොතක් ලෙස මුද්‍රණය කළ නිරිඇල්ල මහතාගේ පෙරවදනයි.

“ඉතින්, ‘සෙක්කුව‘ වසර විස්සකට පසු නැවවත් නව නිෂ්පාදනයක් ලෙස පැමිණෙයි. නොදන්නාකම නිසා මුල් නිෂ්පාදනයේදී තීව්‍ර නොවූ සමහර අවස්ථා තීව්‍ර කිරීමහැරෙන්නට, වේදිකාව ඉදිරිපිට වාඩි කරවා ගායනා කිරීමට සලසා තිබුණු ගායක වෘන්දය රඟමඬලට පිවිසෙව්වා හැරෙන්නට, ප්‍රධාන චරිත වැඩි ගණනක් අලුතින් ශිල්පීන් යොදවා රංගගත කළා හැරෙන්නට මෙම නව නිෂ්පාදනයේදී වෙන කිසිදු කැපී පෙනෙන වෙනසක් නොකළෙමි.“

ඇත්තය. සෙක්කුව 76 මෙන්ම 97 නිෂ්පාදනවලදී නිම වන්නේ මෙසේය.

පුස්සා සහ පැඟිරා එක්ව යාන්ත්‍රිකව සෙක්කුවේ බැඳෙයි.

අමුත්තා- ඇයි බලා ඉන්නේ?

මහතැන- දක්කපං... දක්කපං...

ගෝල- දක්කපිය... දක්කපිය...

රාල යාන්ත්‍රිකව ගොන් දෙන්නා පිටුපස යයි. පූරක වෙනුවට වේදිකාව මැද සෙක්කුව වශයෙන් දැන් කැරකෙන්නේ ගෝලයාය. සෙක්කුවේ ඇදෙන රාළත් ගොන් දෙන්නාත් එක් වටයක් ගිය පසු වෙනස් ස්වරූපයක් ගනී. ප්‍රේකෂකයන්ට දැන් පෙනෙන්නේ ගොන්දෙන්නා විසින් රාළ ලවා සෙක්කුව අද්දන ලෙසකි. එළි සියල්ල නිවී යයි. තිරය හෙමින් වැසේ.

නාට්‍යය වෙනස් නොවුණද සෙක්කුවේ සංගීතය මෙහෙයවීම 97දී විශාරද එඩ්වඩ් ජයකොඩිට පැවරුණේ ඒ වන විට එහි සංගීතය නිර්මාණය කළ මගේ තාත්තා, සැම්සන් සිල්වා මෙලොවින් සමුගෙන වසර හතරක් පමණ ගතවී තිබුණු බැවිනි. එසේම පුස්සාගේ චරිතය කළ සරත් අමරවංශද අප අතර නොවීය. පැඟිරා ද වෙනස් වී තිබුණි.

එහෙත් ජන කරළියේ නිෂ්පාදනයේ අවසානයේ රංගනය මෙන්ම සංගීතයද වෙනස් වී ඇත.

අමුඩයෙන් සිටි රාළ මොඩ් කලිසමක් හා ඕව කෝටයක් දමා, කොණ්ඩේ කෙළින් කර වවා, අව්කණ්නාඩි දමා, ඉතිහාසය අමතක කර නව රැල්ලේ තරුණයකු මෙන් ගොන් දෙන්නා සහ සංකර යුවතියන් සමඟ නටමින් රැප් ගීත ගයයි. එය වර්තමානය පිළිබඳ නිරිඇල්ල මහතාගේ දැක්ම විය යුතු බවට විවිධ අදහස් ප්‍රේක්ෂකාගාරයෙන්ද මතුවිය. එහෙත් අවසන් වෙනස දක්වා වූ ගීත හා සංගීතයත් සොකරි ඌරුවට යන රංග වින්‍යාසයත් ප්‍රේක්ෂකයන් බවට පත්වී සිටි 76 සෙක්කු කණ්ඩායමේ අතීත මතක යළි අවදි කළ සැටි විටින් විට ගීත මුමුනණ ආකාරයෙන් මතුවිය.

උපහාර පිදීමේ මොහොත එළැඹියේය. එහි අනවශ්‍ය ගම්භිරත්වයකට වඩා තිබුණේ සරල තමන්ගේ කමකි. 76 සෙක්කුවට උරදුන් ශිල්පීහු සම්මාන අතැතිව වේදිකාවේ සිටිති. කියැවෙන නම් අතර අප අතරින් වියෝ වූ යන විශේෂණය සමඟ සැම්සන් සිල්වා, එච්.ඒ පෙරේරා, සරත් අමරවංශ, ග්‍රැන්විල් රොද්‍රිගු යන නම් කියැවෙන විට මට මෙන්ම එය දැනුණු බොහෝ දෙනකු සිටි බව ඔවුන්ගේ මුහුණුවලින් සඟවාලිය නොහැකි විය. 97 නිෂ්පාදනයේ පිරිස වේදිකාවට ගොඩ වූ පසු එලෙසින්ම සතුට සමඟ වේදනාව මුසු කළේ එවර පූරකව සිටි ඇන්ටන් ජූඩ් වැන්නන්ගේ නම් කියැවෙද්දීය. ජනකරළියේ පිරිසටද සම්මාන ප්‍රදානය කළ පසු වේදිකාවේ රැඳුණු නිරිඇල්ල මහතා

“අපේ තව කවුද ඉන්නේ සෙක්කුවට සම්බන්ධ? මට මගේ මතකය ගැන විශ්වාස නෑ. මේ අපේ ජනකරළිය කට්ටිය තමයි වැඩේ සංවිධානය කළේ. ඒ නිසා අමතක වීමක් වුණානම් සමාවෙලා අපේ කට්ටිය වෙනුවෙන් ආපු පවුලේ අය හරි ඉන්නවා නම් එන්නකො“ යැයි කාරුණික ඉල්ලීමක් කළේය.

ඔහුගේ මතක ගැන වඩා හොඳින් දන්නා සෙක්කුවේ සහෘදයන් ප්‍රේක්ෂකාගාරයේ සිට “පරා.. සූරි..සූරි..(අප අතරින් වියෝ වූ සිරිසේන සූරිආරච්චි), රූපා, ලින්ටා (විදේශගත රූපසේන කංකානම්ගේ, ලින්ටන් සේමගේ), හිලේරියන්.. වඩුමේශ්‍රී“ ආදි වශයෙන් කීවද වේදිකාවට ඒ හඬ යොමු වුණේ නැත. සංවිධායකයන් සෙක්කුවේ ඉතිහාසය පිළිබඳ ජ්‍යෙෂ්ඨයන්ගෙන් විමසුවේ නම් හෝ පොත පතින් සෙව්වේ නම් මෙවැනි සුළු අතපසුවීම් පවා මඟහැර ගන්නට තිබුණා නේද යන්න ඇතැම්හු පෙන්වා දුන්හ. එහෙත් ජනකරළිය සංස්කෘතික පදනමේ තරුණ පිරිස මෙවන් උපහාර උලෙළක් සංවිධානය කිරීම සියලු දෙනා මහත්සේ අගය කරන අතරම එයට ස්තුතිවන්ත වූයේ කාලයත් සමඟ වූ ඈත් වීම් ළං කිරීමට මේ උලෙළ හේතු වූ නිසාය.

එසේම ජන කරළිය පිරිස අද අප කතා කරන සංහිඳියාවට හොඳම ආදර්ශයක් යැයි කීම අතිශයෝක්තියක් නොවේ. හේතුව ඔවුන් රටේ විවිධ පළාත්වලින් එකතු වූ දස්කම් ඇති පිරිසක් වීමය. කිරි පුස්සා සිංහලය, පැඟිරා දෙමළය. එහෙත් සෙක්කුවේ ඒරිය කඳට උර දෙද්දී මෙන්ම ජීවන වේදීකාවේදී සරත් බානගල හා රාසයියා ලෝගනන්දන් එක් කුස උපන් සොයුරන් මෙන්ය.

දශක හතරකට පෙර රාජ්‍ය සම්මාන දිනූ සෙක්කුව හතළිස් වසකින් පසු අසල්වැසි රාජ්‍යයේ සම්මානයට පාත්‍රවන්නේ එහි නාට්‍යමය ගුණාංග මෙන්ම මේ සංහිඳියා ගුණාංගද එක්ව ඇති නිසාය. 2017 ජනවාරි 13වැනිදා ඉන්දියාවේ මයිසූර්හි රංගායන නාට්‍යායතනය වාර්ෂිකව පවත්වන ‘බහුරූපී අන්තර්ජාතික නාට්‍ය උලෙළ‘ සමාරම්භයේ ප්‍රධාන අමුත්තා වූයේ පරාක්‍රම නිරිඇල්ල ප්‍රවීණ කලාකරුවාය. එහිදී ඔහු වෙනුවෙන් අභිනන්දන උලෙළක්ද පැවැත්වූයේ එරට සංස්කෘතික ඇමැතිනී ඇතුළු තවත් මැති ඇමැතිවරුන්, කලාකරුවන් පිරිසකගේ සහභාගීත්වයෙනි. ඒ කලා කෙත අස්වද්දන්නට සතළිස් වසක් කළ මෙහෙය උදෙසාය. ඔහු කීවේ ඒ අවස්ථාව හීනයක් බදුය කියාය. ‘වෙන්කට්ට වට්ටම්‘ ලෙස දෙමළ බසින් වූ සෙක්කුවද එහිදී ජන කරළියේ ශීල්පීන් විසින් රඟ දැක්විණි. බුහුමන් ලබන මොහොතේ ඔහුට සෙක්කුවේ පරපුරු තුනේම ශිල්පීන් වෙනුවෙන් ඇති වූ හැඟීම මේ උපහාර උලෙළට මුල බව සඳහන් කළේ හැඟුම්බරවය. සරු බිම සොයන සමස්ත රාළලා වෙනුවෙන් හඬ නඟන පරාක්‍රම නිරිඇල්ල ඇතුළු සෙක්කුවට උර දුන් සැමට අපි මෙසේ ආ වඩමු.

ජීවනයේ බිහි දොරටු ඇරෙන්නයි

යයසින් පිරි පින් කෙත හිමි වෙන්නයි

ඒ බිම නුඹෙ සුව මැදුරු තැනෙන්නයි

රාළේ නුඹ එහි නිති රජ වෙන්නයි!

සේයා රූ-ගයාන් පුෂ්පික
තුසිත ලොකුගේ

Comments