කොවිඩ් තම සැබෑ මුහුණ තවමත් ලොවට පෙන්වා නැහැ | සිළුමිණ

කොවිඩ් තම සැබෑ මුහුණ තවමත් ලොවට පෙන්වා නැහැ

 

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පසුගිය සඳුදා මාධ්‍ය හමුවේ පවසා සිටියේ කොවිඩ් රෝගයේ සැබෑ මුහුණුවර ඉදිරියේදී දැක ගත හැකි වනු ඇති බවයි. මේ වන විට රෝගය පාලනය කිරීමට හැකිවී ඇති බවත්, ඉදිරියේදී මරණ සංඛ්‍යාව තවත් අඩු කර ගනිමින් රෝගයෙන් මිදීමට හැකියාව ලැබෙනු ඇති බවටත් යුරෝපා රටවල්ද ඇතුළුව බොහෝ රටවල් ‍විශ්වාසය පළ කරමින් තිබේ. එහෙත් එයට ප්‍රතිවිරුද්ධ මතයක් ඉදිරිපත් කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පවසා සිටියේ කොවිඩ් රෝගයේ සැබෑ ස්වරූපය ලෝකය තවමත් හරිහැටි දැක නැති බවයි.

‘දරුණුම කොටසට ඉදිරියේදී මුහුණ දීමට සිදුවනු ඇතැයි’ එහිදී ඔහු පැහැදිලිවම පවසා සිටියේ ලොව පුරා ජනමාධ්‍යවේදීන් හමුවේය. මේ වන විට ලොව පුරා පුද්ගලයන් මිලියන 2.5කට ආසාදනය වී මිනිසුන් ලක්ෂ එකහමාරක් මරා දැමූ වයිරසය ඉදිරියේදී තවත් භයානක වනු ඇත්තේ කෙසේදැයි යන පැණයට ඔහු ඍජුව පිළිතුරු සපයා නැතද ඔහු අදහස් කර ඇත්තේ තවමත් ඉතා දූගී සෞඛ්‍ය සේවාවන් පවතින අප්‍රිකාවට වයිරසය ස්වකීය නිසි මුහුණුවර දක්වා නොමැති බවයි. එහෙත් ඔහු පවසා ඇත්තේ ‘අපව විශ්වාස කරන්න. දරුණුතම කොටසට ඉදිරියේදී මුහුණ දීමට සිදු වනු ඇත’ යනුවෙනි.

එහිදී අමෙරිකානු ජනාධිපතිවරාගේ චෝදනාවලටද පිළිතුරු දෙමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පවසා ඇත්තේ තමන්ට එල්ල කරන චෝදනා කෙසේ වෙතත් චීනයේ රෝගය පැතිරී යෑම ආරම්භ වූ අවස්ථාවේ සිට තමන් ඒ සම්බන්ධයෙන් කලට වේලාවට නිවේදන නිකුත් කරමින් ලෝකය දැනුම්වත් කිරීමට කටයුතු කළ බවයි.

Comments