මරණය පෙනි - පෙනී මාස පහක් කඳුළු බිව්වා! | සිළුමිණ

මරණය පෙනි - පෙනී මාස පහක් කඳුළු බිව්වා!


ඩුබායි සිට යේමනය බලා යාත්‍රා කළ ග්‍රීක තෙල් නැව ඔඩේටා වරායේදී කුර්දි කැරලිකරුවන් අතට පත්වූයේ නොසිතූ මොහොතක ය. ඒ වනවිට නැවේ තෙල් මෙට්‍රික් ටොන් 7000 ක් තිබිණි. ශ්‍රී ලාංකිකයෝ නව දෙනෙක් සමඟ ඉන්දියානුවෝ හත් දෙනෙක් එහි කාර්ය මණ්ඩලයට අයත් වූහ. සියලු දෙනා ප්‍රාණ ඇපයට ගැනිණි. එම වරාය අවට භුමිය යුද කලාපයකි. බර අවි ප්‍රහාර සමඟ බෝම්බ පිපිරීම් උදේ සිට රෑ වනතුරු ද, රෑ සිට පහන් වනතුරු ද සිදුවේ. තෙල් නැවට වෙඩි උණ්ඩයක් වැදුණොත් සියල්ල ගිනි ගනී. බෝම්බයක් වැටුණොත් සියල්ල එකවර විනාශ වෙයි.

කැරලිකරුවන්ගේ නියමයට අනුව නැවෙන් එළියට ඒම තහනම් ය. ඔව්හු දින 152 ක් ඒ නැවේ ම හිර වී සිටියෝ ය. එය ජීවිතයත් - මරණයත් අතර සටනකි. ත්‍රාසය, භීතිය මුසු වූ මේ කතාව අපට කියන්නේ කෑගල්ලේ යට්ටෝගොඩ චාමර පුබුදු ය. ඔහු ඉහත නෞකාවේ නාවික ඉංජිනේ‍රුවකු ලෙස සේවය කළේ ය.

ලංකා මාතාව හරහා හඹා එන සුළං රැල්ලක් ඇඟ දැවටී‍මත් සමඟ පුරා මාස පහකට අධික කාලයක් ගත, සිත වෙලාගෙන සිටි ත්‍රාසය, භීතිය, දුක - දොම්නස යන සියල්ල තුරන් විණැයි කුර්දි කැරැලිකරුවන්ගේ ග්‍රහණයෙන් නිදහස් වී මෙරටට පැමිණි නාවික ඉංජිනේරු චාමර පුබුදු මහතා අපට කියයි.

තෙල් සම්පතින් ආඪ්‍ය මැද පෙරදිග ඩුබායි රටේ සිට දින සති ගණනාවක් රතු මුහුදේ නාවික ගමනක යෙදෙමින් යේමන යේ අල් හෝඩේට වරාය කරා සේන්දු වූ ග්‍රීක නෞකාවේ සේවය කළ චාමර පුබුදු මහතා ඇතුළු නැවේ සමස්ත කාර්ය මණ්ඩලයම මීට මාස 05 කට පෙර කුර්දි කැරලිකරු‍වන්ගේ ප්‍රාණ ඇපයට පත්වූහ.මේ නැව ග්‍රීක සමාගමකට අයත් ව‍ූ අතර, ඩුබායි සිට ලොව දසත ලොකු කුඩා රාජ්‍ය වෙත තෙල් ප්‍රවාහනය කිරීම මෙහි මුඛ්‍ය කාර්යය වී තිබේ. ගිය අවුරුද්දේ අගෝස්තු මාසයේ ඩුබායිවලින් නාවික ගමන ඇරැඹුණු නැව තෙල් තොගයක් සමඟ යේමනයට ළඟා විය.

ඒ වනවිට යේමනයේ අල් හෝචේට, වරායේ පාලනය කුර්දි කැරලිකරුවන් සතුව පැවැතිණි. මේ වගක් නොදත් ග්‍රීක ‍ෙෆයාර්ඩීල් නෞකා සමාගමට අයත් නැව් අතුරින් විශාලම නැවක් වන මෙහි - චාමර පුබුදු මහතා ඇතුළු කාර්ය මණ්ඩලය සේවය කළ හ. එම නෞකාව වරායේ නැංගුරම් දැමුවේ තම සේවාව සැපැයීමට ය. එනම් ඩුබායි සිට රැගෙන ආ තෙල් තොගය ගොඩබෑමට ය.

එය කිසිදු අපහසුවකින් තොරව සිදු කෙරිණි. ඒ අතරතුර මේ නෞකාවට ගොඩ බට කැරලිකරුවෝ කාර්ය මණ්ඩලයම ප්‍රාණ ඇපයට ගත්හ.

“උඹලා සමඟ අපට ප්‍රශ්නයක් නැහැ. අපට ප්‍රශ්නය තිබෙන්නේ උඹලාගේ නැව අයිතිකාර සමාගම සමඟයි. උඹලාට ටික කාලයක් අපි යටතේ ඉන්න වෙයි. හැබැයි එකක් හිතට ගනිල්ලා! කලබල කරන්න නම් එපා! සියල්ල සිදුවෙන කම් කාලයට ඉඩ දෙන්න ඕ‍නෑ!” කැරලිකරුවෝ කියා සිටියහ.

ඒ අණට කීකරු ව‍ූ නැවේ සිටි නව දෙනෙකු වන ශ්‍රී ලාංකිකයෝ ද, හත් දෙනෙකු වූ ඉන්දියානුවෝ ද තම නාවික සේවාවේ තරාතිරම අමතක කොට, එකාවන්ව දින සති මාස පහක් කරමින් කළේ ගත කළේ මේ මරාන්තික උගුලෙන් බේරී, නිදහස් වී මවු රටවලට පැමිණීමට සිතේ උපන් අපේක්ෂා මහ මෙර තරමට මෙනෙහි කරමිනි.

මේ වනවිට ඉතාම අනාරක්ෂිත, යුදමය වාතාවරණයක් පවතින යේමනයේ අල් - හෝව්ටා වරාය හා අවට නිතිපතා යුද දැනටත් පැවැත්වේ. ඇමෙරිකා‍නු හමුදා, සෞදි රජයේ හමුදා මෙන් ම යේමනයේ ආරක්ෂක හමුදාවෝ ද මේ කැරලිකරුවන්ට ප්‍රහාර එල්ල කරති.

ආරක්ෂක හමුදාවෝ හෙළන අතිනවීන හා අධි විනාශකාරී බෝම්බ, කාලතුවක්කු හඬට කන් අඩි පුපුරා යන තරම් ය. ඒවා පිළිබඳ සිය අමිහිරි අතීතය සිහිපත් කළ චාමර පුබුදු මහතා; “අපට ටික දිනක් යන කොට මේ හඬ හුරු වුණා. දවසට තුන්වේලම කෑම බීම ලැබුණා. ටික දවසක් යනකොට මේ ප්‍රමාණය අඩු වුණා. ආයේ ම ලැබුණා. නමුත් අපට දැනුණු බිය නම් අඩු වුණේ නැහැ.”

“මේ අතරේ ඉන්දියානුවෝයි අපියි ගෙවල්වලට කතා කළා. ඒ අපේ නැවේ තිබුණු සැටලයිට් ෆෝන් (දුරකථන) පහසුකම නිසා. අපට විදුලිය තිබ්බා. නැවේම තමයි මුළු කාලයම ගත කළේ. නැවෙන් එළියට ගොඩබිමට එන්නට කැරලිකරුවෝ ඉඩ දුන්නේ නැහැ.”

“මේ අතරේ ශ්‍රී ලංකාවෙයි, ඉන්දියාවෙයි ආණ්ඩු දෙකම අපිට නිදහස ලබා ගැනීමේ අරගලයක් ක්‍රියාත්මක කර තිබුණා. ඊට ම ‍නොදෙවැනි ලෙස මාධ්‍ය මඟින් අපේ කතාව එළියට ආවා. එ නිසා අපේ නිදහස් වීම ඉක්මන් වුණා.”

“මම නැවේ ඉන්න කොට ගෙදරට කතා කළා. මාගේ ගම බෙලිගල, යට්ටෝගොඩ. බිරියට දෙවැනි දුව ලැබෙන විට මම හිටියේ මහ මුහුදේ. දුවට දැන් මාස හතයි. ලොකු පුතාට අවුරුදු තුනයි. ගෙදර අය සමඟ සැටලයිට් ෆෝන් එකෙන් කතා කරන්නට හැකිවීම නිසා ටිකක් දුක, කාන්සිය මැකී ගියා‍. නමුත්! බය තුරන් වුණේ නැහැ.”

“නැවක සේවය කරන කොට විවිධ අතුරු අන්ත්‍රා, ත්‍රස්තවාදී ප්‍රහාර, මුහුදු කොල්ලකරුවන්ගේ කරදර ආදියට මුහුණදීමට සිදුවෙනවා. නමුත්! මාගේ අවුරුදු 10 ක නාවික ජීවිතේ මෙහෙම කරදරයකට මුහුණදුන්නු පළමු අවස්ථාව මෙයයි” චාමර පුබුදු මහතා විස්තර කෙළේ ය.

“මමත් එක්ක කුර්දි කැරලිකරුවන්ගේ ග්‍රහණයේ සිටි නැවේ ශ්‍රී ලංකාවේ නව දෙනෙක් හිටියා. දෙවැනි නිලධාරියා (සෙකන්ඩ් ඔෆිසර්ස්)ඓල්.එස්.පී. සිල්වා හිටියා. නැවේ තෙවැනි නිලධාරියා (තර්ඩ් ඔෆිසර්) ජනිත කොට්ටාවේ පදිංචිකරුවෙක්. බෝසන් තනතුරේ හිටිය සජිත් අනුර‍ාධපුරේ, විදුලි කාර්මිකයෝ ලෙස සිටි අලව්වේ උදේෂ්, නාවිකයෝ ලෙස ඉන්දික, කොළඹ කොටහේනේ, කැලිටෝස්, සුදේශ් සිටියා.

“අපේ නැව් සමාගමට නැව් 14 ක් තියෙනවා. ඒක ලොකු සමාගමක්. කැරලික‍රුවන්ට නැව් සමාගම එක්කයි ප්‍රශ්නය තිබ්බේ.

කැරලිකරුවන් යටතේ නැව් 4 ක් තියාගෙන තිබුණා. අපේ නැවත් ඒ අතරේ තිබුණේ. අපියි, ඒ නැව අතරයි වෙනසක් තිබුණා. ඒ තමයි, ඒ නැව්වල කාර්ය මණ්ඩලය ප්‍රාණ ඇපයේ හිටියේ. නැහැ. ඔවුන් නිදහස් කරලා තිබුණා.

“අපි සිතුවේ නැහැ! අපට නැවත ශ්‍රී ලංකාවට එන්න පුළුවන්කම ලැබෙයි කියලා. කොහොමත් අපි මහා පාළුවකින් හිටියේ. ගෙදර මතක් වෙනවා. දරුවෝ, බිරිය පවුලේ අම්ම, තාත්තා, මතක් වෙනවා. එතකොට ඇඬුණු වෙලාවල් පවා තිබ්බා. කට්ටිය සිත හදාගෙන නිදහස් වීමේ බලාපොරොත්තුව හිතේ තද කරගෙන හිටියා. චාමර පුබුදු මහතා සිය අමිහිරි අතීතය එසේ සිහිපත් කළේ ය.

කෑගල්ල ශාන්ත මරියා විදුහලින් අධ්‍යාපන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) ජීව විද්‍යා අංශයෙන් ඉගෙන ගත් චාමර පුබුදු දැනට 31 වැනි වියේ පසුවේ.

“නැව් රැකියාව ආරම්භ කළේ ජීවන වෘත්තිය ලෙසයි. ඉතා හොඳ රැකියාවක්. ආදායම, වැටුප් ඉහළයි. නමුත්! මහ මුහුද තරණය දැන් නම් ටිකක් කම්මැලි වැඩක් වෙලා. ඒත් ආයෙත් නැවක සේවයට යන්න ඕනෙ.”

“අපිට ගෙදර යන්න ඉඩ දුන්නු කැරලිකරුවෝ, මුලින් ම කළේ අපි බෝට්ටුවකින් යේමනයේ අල් හෝටේටා වරායේ සිට සෝමාලියාවට කිට්ටුම රටවන ජිබුතිවලට පිටත් කර හැරීමයි.

පැය 30 ක නාවික ගමනක් ඒක. ජීවිතයත් - මරණයත් අතර මහා භයංකර මුහුදු ගමනක් වුණා ඒ ගමන. නමුත් අපි ඉතා ‍අමාරුවෙන් ඒ ගමන පැමිණ, ජබුති ඉඳල කටාර්වලට ගුවනින් ආවා. කටාර්වලින් ශ්‍රී ලංකාවට ඇවිත් මවු රටේ හුස්ම පොදක් ගන්න ලැබුණා හැම විශාල සතුටක් ගෙන දුන්නා. මුළු ලෝකයෙම ලැබුණා වාගේ හැඟීමක් සිතට ආවේ චාමර පුබුදු කියා සිටියේ ය.

“දැන් අපට තවත් ප්‍රශ්නයක් විසඳාගන්න තිබෙනවා. ඒකට විසඳුමක් සොයමින් ඉන්නේ. ඒ තමයි, අපේ මාස පහක හිඟ වැටුප ලබා ගැනීම. මේ වනවිට අපේ නැවේ නියෝජිත සමාගම සමඟ අපි අදහස් හුවමාරු කරගනිමින් ඉන්නේ. ඉක්මනට ම මේ හිඟ වැටුප් මුදල ලැබුණොත් නම් වටිනවා.”

මහ සයු‍ෙර් නන්නාඳුනන මේ රාජ්‍යවල සේවය සඳහා තම කාලය, ශ්‍රමය, දැනුම වැය කරන මේ ශ්‍රී ලාංකික නාවිකයෝ රටට බරක් නොවී, රටට විදේශ විනිමය උපයන දිරිමත් පිරිසකි. ඔවුන්ට තම රැකියාව ඉටු කිරීමේදී මුහුණදීමට සිදුවන අභියෝග රාශියකි. ජීවිත අවදානම ඉන් සියල්ලටම වඩා ඉහළින් තිබෙන එකකි.

තම දිවි පරදුවට තබා රැකියාවේ නිරත මෙවන් වූ පිරිසකට දුකක් කරදරයක් සිදුවූ විට පිහිටට යම් තිරසාර වැඩපිළිවෙළක් තිබිය යුතුය. ‍ෙම් අන්දමේ කරදරවලට මුහුණපෑ පිරිසට තම හිඟ වැටුප්, වන්දි මුදලක් හෝ රක්ෂණාවරණයක් හෝ ලබා ගැනීමට නීත්‍යානුකූලව කටයුතු කිරීමට නීත්‍යානුකූල උපදෙස් ලබා ගැනීමට විද්වත් මණ්ඩලයක්, ආයතනයක් තිබිය යුතුයි. එවන් වූ මණ්ඩලයක්, ආයතනයක් තිබේ නම් රජයට ද මේ කරදර කම්කටොළුවලට මුහුණපෑ පිරිස්වලට යම් යම් සේවා සැපැයීමේ දී පහසු වනු ඇත. මේ සඳහා රජය බලධාරීන් ගැඹුරින් කල්පනා කර බලා විසඳුමක් ලබාදීමට පියවර ගත යුතු බව ද චාමර පුබුදු මහතා අවධාරණය කෙළේය.

අපි අද දවසේ චාමර පුබුදුලා මුහුණදුන් ඛේදවාචකයේත් යම් පාඩමක් ඉගෙන ගත් ජාතියක් ලෙස අපි හෙට ලොව හමුවට යා යුතු ය.

 

Comments