මිනින්දෝරුවරයා මෙරට ජන සමාජය තුළ ඔබ්බට ගිය චරිතයකි. ඔහු මෙරට සමාජ ගමන් මගෙහි පංගුකාරයෙකි. මෙරට මිනින්දෝරු තනතුරට වයස අවුරුදු 220යි. දේශීය මිනින්දෝරුවරයාගේ උපත සිදු වනුයේ බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් වර්ෂ 1800 අගෝස්තු මස 2 වැනි දා “ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව” පිහිටුවාලීමත් සමඟය.
මෙරට සංවර්ධන ක්‍රියාදාමයක් ඇරැඹුණේ නම් එතැනට මුලින්ම ගියේ මින්දෝරුවරයාය. ඔහු සිය සහායක පිරිස ද කැටුව කූඩාරමක් ගසා මිනින්දෝරු කඳවුර ඉදිකළේය. එය බොහෝ විට වන දුර්ගයක විය. කඳවුර කරා කැපූ ප්‍රවේශය පසුව රටේ ප්‍රධාන මංමාවත් බවට පත්විය. මිනින්දෝරුවරයාටත් වඩා අති දුෂ්කරම රාජකාරිය කළේ ඔහුගේ සහායක කණ්ඩායමය. මිනින්දෝරු සහායකයෙකුට ඈත පෙනීමට මොණර ඇස් දෙකක් තිබිය යුතුය. ඕනෑ තරම් දුර කතර ගෙවීමට අශ්ව කකුල් දෙකක් තිබිය යුතුය. ඕනෑම බරක් උසුලා යාමට බූරු පිටක් තිබිය යුතුය. හමුවන ඕනෑම දෙයක් වැළඳීමට ඌරු කටක් තිබිය යුතුය.
මිනින්දෝරුවරයාගේ ආවතේවකමට කඳවුරු කම්කරු වීය. ආරක්ෂාවට වෙඩික්කරු හෙවත් “ෂිකාරේ” සිටියේය. නගයෙන් ලියුම් ගෙන ඒමට, නගරයට ලියුම් ගෙන යාමට “තැපැල්කරු” සිටියේය. රැය පහන් කරන්නට ලන්තෑරුම තිබුණේය.
මිනින්දෝරු වෘත්තියේ ගමන් මඟ සෞන්දර්ය ජනක විය. එය නිහඬ විය. ඇත්තටම චමත්කාර ජනක වීය. හැමදාමත් ඉතිහාසයත්, අතීතයත් අභිනන්දනය කළේය.
ලන්දේසි යුගයෙහි නිකුත් කළ මිනින්දෝරු පිඹුරක, ඉඩමක අනන්‍යතාවය නිරූපණය වන පරිදි “ගම - කෝරළය - දිස්ත්‍රික්කය - පළාත” යනුවෙන් අනුපිළිවෙළට සටහන් විය. වයර සිය ගණනක් ගෙවී ගිය පසු අද නිකුත් කරන මිනින්දෝරු පිඹුරක ද මෙම කරුණු ඒ අනුපිළිවෙළට ම සටහන් වීම එක්තරා අන්දමක සුවිශේෂි සිද්ධියකි.
රට තුළ වූ මං මාවත්, දුම්රිය මාර්ග, ඇළ දොළ, වැව්, අමුණු, නගර, ගම් හා වන භූමි අඟලක් - අඟලක් පාසා මැන, මුළු රටම ආවරණය වන පරිදි සෑදු අඟලේ සිතියම් කට්ටලය “ආසියාවේ විශිෂ්ටතම නිෂ්පාදනයක්” ලෙස සැලැකේ. මිනින්දෝරුවරයා අපේ සංස්කෘතිය හා වෙළුණේ කොතරම්ද යත්, ගමේ පෙරහැරේ මුලින්ම ගියේ “මිනින්දෝරු කෝලම” ය. මුහුණේ වත්සුණු තවරා, දිග කලිසමක් ඇඳි මිනින්දෝරු මහතා මනින කණ්ණාඩියෙන් ඉදිරිය බලමින් ද, සහායක කණ්ඩායම දම්වැල් පටියක් හා මැනුම් රිටි අල්ලමින් “පෝල් - පෝල්” හඬින් හඬ නගමින්, පාර දෙපසම මිනිසුන් ඉවත් කරමින් පෙරහැරට මං පෑදුයේ මේ “මිනින්දෝරු කෝලම” ය.
මිනින්දෝරුවරයාගේ සේවය විවිධ මට්ටමේ අය විවිධ අයුරින් දුටුවේය. මිනින්දෝරුවරයාගේ නිහඬ රාජකාරිය දුටු එක් විදෙස් පාසල් දරුවකු ඒ ගැන අපූරු සටහනක් තබා තිබිණ.
“මිනින්දෝරුවෙකුට ඇත්තේ එක ලොකු ඇසක් සහ තවත් පොඩි ඇසකි. ඔහු සතුව ඇත්තේ කකුල් තුනක උපකරණයකි. ඔහු එම කකුල් තුනේ උපකරණය දෙසට ඇල වී ළඟ දුර බලනවා. ඔහු කැලේ ඇවිදිනවා. කෝටු කෑලි සහ ගල් සොයමින්. ඔහුට ඒවා හමුවූ විට ඒවා වටේ ඔහු නටනවා.
කෝටු කෑලි සහ ගල් හමු වූයේ නැත්නම් ඔහු දවස පුරා ම ඇවිදිනවා. හරියට අතරමං වූ කෙනෙක් වගේ ඔහු හැමවිටම ඇවිදින්නේ ඉදිරියට නැමිලා. ඔහුගේ මුහුණ හරියට ම පරණ හමක් වැනිය. ඔහු කියැවීමට බැරිය. මක්නිසාද යත් ඔහු හැම තිස්සේ ම කුමක් හෝ දෙකක් අතර දුර මනිනවා. එය පුංචි පොතක සටහන් කර ගන්නවා. එය සිතියමේ ඇති දේට වඩා වෙනස් වෙනවා. ඔහු සැම වෙලේම මනින්නේ කෝටුවකට හෝ ගලකටය. ඔහු හැම වෙලේම සළකුණු හදමින් ඒවා පොළොවේ වල දමනවා. එය හරියට ගෙදරට යන පාර සලකුණු කරනවා වගේ. ඔහුගේ කලිසම හැම විට ම ඉරිලා. ඔහුගේ සපත්තු පෙනෙන්නේ මඩින් හදලා වගේ. ඔහු දෙස එක එල්ලේ මිනිස්සු බලා සිටිනවා. මම දන්නෑ යමකිසි කෙනෙකුට ඇයි මිනින්දෝරුවරයකු වීමට උවමනා කරන්නේ කියා...!
මිනින්දෝරු දෙපාර්තමේන්තුව පිහිටුවීමෙන් පසු අංක 1 ලෙස සඳහන් හිමිකම් පිඹුර වර්ෂ 1800 අගෝස්තු මස 20 දින මුල්ලේරියාව ප්‍රදේශය හා ඉඩක් සඳහා නිකුත් කෙරිණ. එය කොළඹ ප්‍රදේශය භාර මිනින්දෝරුවරයෙකු වූ සී. ස්තයිඩර් මහතා විසින් පිළියෙළ කැර ඇත.
මිනින්දෝරුවරයා මුළු ලංකාවම මැන්නේ ලංකා මැනීම ඔස්සේය. එක් මිනින්දෝරුවරයෙකු විසින් එක් ගමක් මුල් කරගෙන “ගම” මැන්නේය. මෙම මැනීම සිදු කැර රට වැසියන් අතර අද ද ප්‍රකට “ගම් පිඹුර” හැදුවේය. මේ ප්‍රකට “ගම් පිඹුරේ” රජයේ ඉඩම් සහ පුද්ගලික ඉඩම් වෙන් වෙන් වශයෙන් පෙන්වා දී තිබිණ. අනතුරුව ගොඩමඩ ඉඩම් වෙන් කැර දැක්වූයේය.
හැම ඉඩමකට ම තිබූ වගාව, වගාවේ වයස, හිමිකරු, ඉඩමේ ප්‍රමාණය ද, එහි වෙන් වෙන් වශයෙන් සටහන් කැර තිබිණ. ගම් පිඹුරේ මුල් පිටුවේ ප්‍රවේශයක් හා හැඳින්වීමක් ද තිබීම තවත් සුවිශේෂී කරුණකි. “ගම් පිඹුරේ” ඇති හැඳින්වීමේ ගමේ මුළු බිම් ප්‍රමාණය මෙන් ම සිංහල - දෙමළ - මුස්ලිම් ආදි වශයෙන් ජනගහනය ප්‍රමාණය ද වීය.
ඇතැම් ගම් පිඹුරුවල ජනයාගේ සංඛ්‍යාව කුළ වශයෙන් දක්වා ඇත. 1963 වසරේ දී පළමු ගම් පිඹුර පිළියෙල වූයේ කැළණි විහාරය පිහිටි කැළණිය ගම ආවරණය වන පරිදිය. මේ රටම ආවරණය වූ ගම් පිඹුරු කලාව මුළු රටම ගැන සවිස්තරව දැක්වෙන සංස්කෘතික කතාංගයක් ලෙස හැඳින්විය හැක. මෙරට හැම ඉඩමකට ම පාහේ නම් තැබූයේ මිනින්දෝරුවරයාය. ඉතිහාසය තුළ මෙරට බිහිවූ කීර්තිමත් ම මිනින්දෝරුවරයා ලෙස සැලකිය හැකි වනුයේ ආර්.එල්. බ්‍රෝහියර් මහතාය. ඔහු අඟනා මාණික්‍යයකි. වටිනාකම කිව නොහැකි තරම් අඟනා ග්රන්ථ රාශියක් මෙරටට දායාද කළ බ්‍රෝහියර් මහතා මිනින්දෝරුවරයකුටත් වඩා ප්‍රකට වූයේ පුරාවිද්‍යා ගවේෂකයකු ලෙසටය. ඔහුගේ ග්‍රන්ථයක එක් තැනක මෙසේ සටහන්ව තිබිණි.
“ජනශ්රැතිය ද, ගැමි විශ්වාස ද, පුරාවෘත්ත ද, පැරැණි ශිෂ්ටාචාර ද තුළ කිඳා බැසිය හැක්කේ මිනින්දෝරුවරයකුට පමණි.”
බ්‍රෝහියර් මහතා යනු ඒ මිනින්දෝරු වෘත්තිය හරහා මෙරට සංස්කෘතිය හා ශිෂ්ටාචාරය හි පැතිකඩක් මැන පෙන්වූයෙකි.
මිනින්දෝරු වෘත්තිකයන් ලෙස කටයුතු කැර, පාර්ලිමේන්තුවට පිවිසි කිහිප දෙනෙකු ද වෙත්. හබරාදූව ආසනයෙන් පැමිණි ඩී.එස්. ගුණසේකර මහතාත්, අනුරාධපුරයෙන් පැමිණි කේ.බී. රත්නායක මහතාත්, යාපහුවෙන් පැමිණි එච්.බී. අබේරත්න මහතාත්, කුරුණැගලින් පැමිණි සරත් වෙලගෙදර මහතාත් ඒ අතර වෙති.
මිනින්දෝරු දෙපාර්තමේන්තු ඉතිහාසයේ පිඹුරක් මත සිංහල භාෂාවෙන් මුලින් ම අත්සන් තැබුයේ, හෙ.පි.සු. ගුණසේකර හා අබේපාල හෙට්ටිගේ යන මිනින්දෝරු මහත්වරුන්ය.
රටේ සංවර්ධනයට උර දෙමින් පුරුෂාධිපත්‍යයට පමණක් සීමා වූ මිනින්දෝරු වෘත්තියට 1980 වසරේ දී 25 දෙනෙකුගෙන් යුත් තරුණියන් කණ්ඩායමක් එක් වූවාය. අද වන විට මිනින්දෝරු වෘත්තියෙහි ප්‍රධානියා ලෙස සැලැකෙන සර්වේයර් ජනරාල් හෙවත් මැනුම්පති තනතුරට ද කාන්තාවන් පත්ව සිටි. ශ්‍යාමලී පෙරේරා මහත්මිය එම තනතුරට පත්ව ඇති අතර, ඇය මෙරට ඉතිහාසය තුළ පළමු මැනුම්පතිවරිය ය.
ඩෙන්මාර්කයේ කෝපන්හේගන් අගනුවර කේන්ද්‍ර කර ගත් අන්තර්ජාතික මිනින්දොරු සංවිධානය (F I G) විසින් විසින් මාර්තු මස 21 දා ගෝලීය මිනින්දෝරු දිනය සමරන්නේය. මෙයට සමගාමීෙ මෙරට රජය විසින් මාර්තු 21 දා “මිනින්දෝරු දිනය” ලෙස ප්‍රකාශයට පත් කැර ඇත්තේය. එය මෙරට මිනින්දෝරුවරයාටත්, මිනින්දෝරු වෘත්තියටත් කළ විශිෂ්ට ගෞරවයකි!