
ටෙලිකොම් එක ළඟ හිඟා කන ආච්චි ටිකක් අමුතුයි. අවුරුදු 75ක් 80ක් විතර ඇති. අඳින්නේ පිරිසුදු ඇඳුම්. කොණ්ඩෙත් තෙල් ගාලා පීරලා. හරි පිළිවෙළයි. ඒත් එතැනින් යන හැමෝට ම අතපානවා. මට නම් ප්‍රහේලිකාවක්. මේ කුකුස නිසා ම දවසක් මං ඇයත් සමඟ කතාවට වැටුණා. 'ආච්චි ඇයි මේ විදිහට හිඟා කන්නේ? ටික කලක ඉඳන් හිතේ හිර කරගෙන හිටපු ප්‍රශ්නය මං එළියට දැම්මා. ඇය පෑවේ බයාදු පෙනුමක්. අහිංසක විදිහට හිනා වුණා විතරයි. මං පොඩි සම්‍යක්ප්‍රයෝගයක් දැම්මා. 'අපේ වැඩිහිටි නිවාසයක් තියෙනවා උඩුපිල. කැමැති නම් ආච්චිට පුළුවන් එහේ යන්න. මං උදවු කරන්නම්'.
ඒ සැරේ නම් ආච්චි පොඩ්ඩක් ගැස්සිලා ගියා. 'නෑ පුතේ ඕනෙ නෑ. මෙහෙම හොඳයි. ඇය මාව මඟ හරින්න උත්සාහ දරනවා වගෙයි.
'මං වැඩ කරන්නේ පරිවාස දෙපාර්තමේන්තුවේ. අපි ඉන්නේ ආච්චිලා වගේ අයට උදවු කරන්න තමයි. මං එදා පාර පුංචි බොරුවක් ඇද බෑවා. ආච්චි වේළිච්ච ඇස් දෙක ඇරලා හොඳට වටපිට බැලුවා. පාරේ අයිනට ම වුණා. බැගෑපත් හඬින් බොහෝම රහසින් වගේ පොඩි කතාවක් කිව්වා. ඒ කියන විදිහට ආච්චි ඉන්නෙ 'කිරෙන් පිසූ බත් ගොඩාක් තියෙන' පැත්තක. බැඳලා නැහැ. ඒත් දේපළ තියෙනවා. අම්ම තාත්තගෙන් උරුම වෙච්ච ගේ ඇය දීලා තියෙන්නෙ තමන්ගෙ එකම නංගිගේ පුතාට. නංගි මියපරලොව ගිහින්. ආච්චි ඉන්නෙ ඒ ගෙදර, ඉස්සරහා කාමරේ. ඇයට කන්න බොන්න දෙන්නෙ, ඇඳුම් පැලඳුම්, බේත්හේත් ටික අරන් දෙන්නෙ නංගිගෙ පුතයි. එයාගේ නෝනයි.
ආච්චි කියන විදිහට මේ ජෝඩුව ඇයට හොඳින් සලකනවා. ඒත් ඒ දෙන්නා උදේ වැඩ ගියාම මහ පාළුයි. ආච්චිට ගෙදර ඉන්න හිත දෙන්නෙ ම නැහැ. ඇයත් ඇඳුමක් දාගෙන හන්දියට එනවා. කොළඹ බස් එකක නැඟලා කොටුවෙන් බැහැගන්නවා. පැය දෙක තුනක් ඉඳලා කීයක් හරි හිඟා කාගෙන දවල් වෙද්දී ගෙදර යනවා. තමන්ට වුවමනා බුලත් හුණු දුංකොළ ගන්නෙ ඒ සල්ලිවලින්. නංගිගෙ පුතයි නෝනයි මේවා දන්නේ නැහැ. 'ආච්චි ඇයි හිඟා කන්නේ? කියලා මං මුලින් ම අහපු ප්‍රශ්නෙට ඇය උත්තරෙ දුන්නෙ අන්තිමටයි. 'ඇත්තට ම පුතේ මං හිඟා කන්නේ නැතිබැරිකමකට නෙමෙයි කම්මැළිකමට......