
දැදිගම ජනතාවට පුංචි මහත්තයා ද ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට මහ ලේකම්වරයා ද රටේ ජනතාවට ජනමාධ්‍ය සංචාරක හා ගුවන් සේවා අමාත්‍යවරයා ද වූ ධර්මසිරි සේනානායක මහතා දේශපාලනයට පිවිසෙන්නේ සිය සොයුරු රත්න දේශප්‍රිය සේනානායක මහතාගේ අනුප්‍රාප්තිකයා ලෙසිනි. ඒ හැත්තෑව දශකයේ දැදිගමිනි. එවකට අගමැති වූ ඩඩ්ලි සේනානායකයන් සමඟ තරග කරන්නටය. (අද මෙන් නොව එදා තිබුණේ ආසන ක්‍රමයයි) ඒ දේශපාලනයේ එවන් මහ පතාක යෝධයකු සමඟ තරග කැර ජය ගන්නට නොහැකි බව දැන දැනම නියම මහත්මයකු ලෙසිනි. කිසි දින දැදිගම ජනතාව අතරමං කොට පලා නොයන බව කී ධර්මසිරි සේනානායකයෝ එය දිවි හිමියෙන් ම සුරැකියෝ ය. විශ්වවිද්‍යාල ආචාර්ය ධුරයෙන් නීතිඥ වෘත්තියෙන් සමුගෙන දැදිගම ජනතාව වෙනුවෙන් ම දේශපාලනයේ නිරත වූ මේ රසවතා කිසි දින දේශපාලන හයිය ඉහට ගෙන කටයුතු නොකළේය. හාස්‍යයෙන් මෙන් ම උපහාස රසයේ රුසියෙකු වූ සේනානායකයන් සිටින තැන බොහෝ විට රස ගුලාවකි. දේශපාලන වේදිකාව ද කාර්යාලය ද හෝ කවර ස්ථානයක් ද ඔහුට වැදගත් වූයේ නැත. හාස්‍යය, උපහාසය නිරන්තරයෙන් ඔහු ළඟ විය. ඒ අතර මනුෂ්‍යකම් ඔහු ඉහළින් ම තබා කටයුතු කළේය. මේ එක් අවස්ථාවකි.
නුවර - කොළඹ ප්‍රධාන මාර්ගයේ වරකාපොළ නගරයේ වාහන තදබදයට පිළියමක් ලෙස අතුරු මාර්ගයක් අත්‍යවශ්‍ය විය. ඒ සඳහා සැලසුම් සකස් කෙරිණි. රජයේ නිලධාරීන්ගේ මෙකී සැලසුමට අනුව මෑත කාලයේ ඉදිකරන ලද නවීන දෙමහල් ගොඩනැඟිල්ලක් ඉවත් කිරීමට සිදුවේ. මාර්ග සැලසුමෙන් මෙය දුටු එතුමා වහාම අදාළ ස්ථානයට ගොස් පරීක්ෂා කර බැලීය.
‘ඇයි ඉංජිනේරු මහත්මයා මේ වටිනා ගොඩනැඟිල්ලක් කඩන්නේ. මේක නොකැඩෙන සේ පාර සැලසුම් කරන්න. අයිතිකරුගේ පක්ෂය මොකක් වුණත් කමක් නෑ විශාල වියදමක් දරල මේක හදල තියෙන බව පේනවා. පාරේ අනෙක් පැත්ත වෙල නේ. ඒ පැත්තට බර කරල වෙල පොඩ්ඩක් පුරවන්න. විශාල මුදලක් යන්නෙත් නෑනේ.”
එසේ කාරුණිකව රජයේ නිලධාරීන්ට කරුණු පහදා දුන්නේය. වැඩේ ඒ ආකාරයට සිදුවිය. එසේ නැතිව තර්ජනය කරන්නටවත් රජයේ නිලධාරින් ගස් බඳින්නටත් ගියේ නැත.
මේ දර්ශනීය ගොඩනැඟිල්ල අද ද නිරුපද්‍රිතව තිබෙනු කොළඹ - නුවර මාර්ගයේ ගමන් කරන අපට දැකගත හැකිය. ඒ කොළඹ දෙසින් අතුරු මාර්ගයට ඇතළු වෙන ස්ථානය ආසන්නයේය.
පළිගැනීම, කෙනෙකුගේ සිත රිදවීම කිසිදා නොකළ මේ මහත්මා දේශපාලනඥයා ඒ සඳහා පක්ෂ පාට හිසට ගෙන කටයුතු කළේ නැත.
අපේ මාධ්‍යවේදීන් දෙදෙනකුට ලන්ඩනය බලා යාමට අවශ්‍ය විය. (ඩයනා කුමරියගේ අවමංගල්‍ය ආවරණයට සඳහා විය යුතුය) ඒ වන විට එයාර් ලංකා යානාවල ආසන පිරී තිබුණි. කෙසේ හෝ ආසන දෙකක් වෙන් කැර ගැනීමේ බලාපොරොත්තුවෙන් ඔව්හු අමාත්‍යාංශයට කතා කළහ. මේ පිළිබඳ ඇමැතිතුමා දැනුවත් කිරීමේදී එහි අසල සිටි අයෙක් මොනවදෝ ඇමැතිතුමාට කීවේය.
“අයිසේ... මේ මිනිසුන්ගේ කිරිපල්ල අතගාල බලන්න අවශ්‍ය නෑ, කරන්න පුළුවන්නම් එයාර් ලංකා එකට කතා කරල ඔයා ඒ උපකාරය කරන්න.” කාර්ය මණ්ඩලයේ සිටි අයෙකුට කීවේය. ඒ එතුමාගේ හැටිය. කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා වූයේ සේනානායකයන්ය. දේවි බාලිකාවියෝ කීප දෙනෙක් විසිතුරු ලෙස සැරසී මිහිරැති ගීතයකින් උත්සවයට පැමිණි ප්‍රධාන ආරාධිතයා පිළිගත්හ. එම ගීතයේ එක් පද පෙළක “දම්සිරි මැතිඳුන් දැකුමෙන් අප පින් කළ බව දැනුණි” යැයි ද සඳහන් විය. උත්සවය ඇරැඹිණි. ප්‍රධාන ආරාධිතයාගේ කතා වාරය ද එළඹිණි. වේදිකාවට ගොඩවූ එතුමා මයික්‍රපෝනය ළඟ සිට ගත්තේය. ශාලාවේ සිටින පිරිසට ඇමැතිවරයාවත් ඇමැතිවරයාට ශාලාවේ සිටින පිරිසත් හරියට නොපෙනේ. මන්ද මයික්‍රපෝනය තිබෙන අට්ටාලය මත විශාල මල් කළඹක් තබා ඇති නිසාත් ඇමැතිතුමා එතරම් උස පුද්ගලයකු නොවූ නිසාත් ය. ඇමැතිතුමා වටපිට බලමින් දැඩි අපහසුවකින් යුතුව කතා කරනු පෙනේ. මෙය දුටු ඇමැතිවරයාගේ කාර්ය මණ්ඩලයේ අයෙක් වහා වේදිකාවට ගොඩවීය. අපහසුතාව වටහාගත් එම නිලධාරියා වහා මල් කළඹ ඉවත් කළේය. ඇමැතිතුමාගේ මුවඟට සිහින් සිනහවක් නැඟුණි. කදිමට සැරසී වාඩි වී සිටින රූමත් ගුරුවරියන් සිටින ඉසව්ව බලා “දැන්නම් ගරු විදුහල්පතිතුමියනි මා පින් කළ බව මට ද හැඟුණි යැයි කීවේ සභාවම සිනහ සයුරේ ගිල්වමිනි.
එහිද එතුමා කළ කතාව සැකෙවින් මෙපරිද්දෙනි. ගරු විදුහල්පතිතුමියනි! මා දශක කීපයක් මුළුල්ලේ පුල පුලා බලා සිටියා මට ඉස්සෙල්ල ම ආරාධනය එන්නේ ඒ පැත්තෙන් ද මේ පැත්තෙන් ද කියලා. (සේනානායක මහතාගේ නිවස පිහිටා තිබෙන්නේ දේවි බාලිකා විද්‍යාලයත් කොළඹ කනත්තත් අතරය) හොඳ වෙලාවට පළමු ආරාධනය ආවේ මේ පැත්තෙන් මම ඉතිං විදුහල්පතිතුමිය අමාත්‍යාංශයට ආ වේලාවේ ආරාධනය පැනල බාර ගත්තා. (සභාවේ සිනා)
විදුහල්පතිතුමියනි! මට මේ ළඟකදි ගරු ජනාධිපතිතුමියත් සමඟ අෙමරිකාවට යන්න සිද්ධ වුණා. ඒ එක්සත් ජාතීන්ගේ සමුළුවට සහභාගිවීමට. අපි ලන්ඩන් ඉඳලා නිව්යෝර්ක් නුවරට ගියේ ‘කොන්කෝඩ්’ වර්ගයේ ගුවන් යානයකින්. අඩි දස දහස් ගණනක් ඉහළින් පියාසර කරන එය වේගවත් ම ගුවන් යානයක්. මේ යානය උපරිම උසට පියාසර කරපු හැටියේ ගුවන් නියමුවා ශබ්දවාහිනි යන්ත්‍රයෙන් උපහාසයෙන් මෙන්න මෙහෙම නිවේදනය කරනවා. ‘යානය තුළ සිටින කිසිවකුට පෘථිවිය ගෝලාකාර නෑ කියල සැකයක් ඇත්නම් දැන් ඔය ළඟ තියෙන කවුළුවෙන් එබිලා බලලා ඒ සැකය දුරු කැර ගන්න පුළුවන්’ කියලා.
ඇත්තමයි විදුහල්පතිතුමියනි! මටත් සැකයක් තිබුණ පෘථිවිය ගෝලාකාර ද කියල. ඒ වුණාට බලන්න ලජ්ජයි යානයේ සිටි මගීන් දකී කියලා. ටික වේලාවකට පස්සේ මගීන්ට නින්ද ගිහින්. ඒ වේලාවේ මම ටක් ගාලා කවුළුවෙන් පහළ බැලුව. අම්මාපල්ලා විදුහල්පතිතුමියනි පෘථිවිය ගෝලාකාරයි මගෙ ඇස් දෙකටම දැක්කා. (සභාවේ නොවත්වාම සිනා)
විදුහල්පතිතුමයනි මගේ ඡන්ද කොට්ඨාසයට මම ඊයේ පෙරේදා ගියා මම එහි ගිහින් ඡන්දදායකයො හමුවෙනවා. මගේ කොට්ඨාසයේ ඉන්නවා ගුණපාල කියල කෙනෙක්. මම ඉතිං මේ මනුස්සයා හිටපු අපිළිවෙළ දැකල කිව්වා ‘ගුණපාල මේ ගෝලාකාර ලෝකෙ මෙතරම් දියුණුවෙලා තියෙද්දි ඔයගොල්ලෝ හිටපු තැන ම ඉන්න හදනවා’ කියලා.
මෙන්න බොලේ මේ මනුෂ්‍යයා මට මෙහේම කියනවා.
‘මේ පුංචි මහත්තයා මොකක්ද කිව්වේ මේ ලෝකේ ගෝලාකාරයි! අනේ මේ පුංචි මහත්තයා විහිළු කරන්න එපා’
‘ඔව් ගුණපාල මේ දියුණු, ගෝලාකාර ලෝකෙ...!’
‘අන්න... අන්න... පුංචි මහත්තයා ආපහු කිව්වා ලෝකේ ගෝලාකාරයි කියලා. අනේ මේ පුංචි මහත්තයා පුංචි මහත්තයාට බැ අපිව රවටන්න...’
‘ගුණපාල මම කියන දේ ටිකක් අහන්නකො...’
‘හරි.. හරි... පුංචි මහත්තයා මේ ලෝකය ගෝලාකාර නම් අපි කොහෝමද ගෙවල් දොරවල් හදාගෙන ගමන් බිමන් ගිහින් කාලා බීලා ඉන්නේ... මේ ලෝකේ ෆ්ලැට් පොළොවක්. ඒ කියන්නේ පුංචි මහත්තයා සමතලා තැන්නක්. තේරුණාද!’
(සභාවේ සිනා)
විදුහල්පතිතුමියනි, මා මේ කියන්න හැදුවේ අපේ අනාගත පරපුර උගතුන් බුද්ධිමතුන් කිරීම මෙන් ම මනුෂ්‍යත්වය, හික්මීම විනය වැනි උතුම් ගුණධර්ම වලින් පිරිපුන් පිරිසක් බවට පත් කිරීමත් අද කළ යුතු විශාල කාර්යක්. ඒ කාර්ය මේ පාසලෙන් ඉටුවී තිබෙනවා. අද මෙහි මා පැමිණි මොහොතේ පටන් ඒ සියල්ල මේ දියණියන්ගෙන් දුටුවා. එවැනි පිරිපුන් අනාගත පරපුරක් තැනීමට කැපවී ක්‍රියා කර තිබෙන හා තව දුරටත් ක්‍රියාකරන ඔබතුමිය ඇතුළු ආචාර්ය මණ්ඩලයට මගේ ස්තුතිය පුද කරමින් මා නවතිනවා.
රම්‍යතිලක තල්පිට