
“තරුණ ළමයි කට්ටියක් ඇවිත් අපේ තාප්පෙ චිත්‍ර අඳින්ඩ ඉල්ලුව. ඇන්දට පස්සෙ ඒව ආරක්ෂා කර ගන්න වගකීමත් ඒ අය බාර ගන්නව කියල කිව්ව. බෑ කියන්ඩත් මොකක්ද වාගෙ. අවට ගම්වල ළමයිනෙ”
මා ගෙදර ආ කල අම්මා කීවා ය. රට පුරා යන තාප්ප රැල්ල මගේ සිහියට ආවේ ය.
“ඉතිං ඔයා මොකද කිව්වෙ?” මම ඇසීමි.
“මං කිව්ව පුතාල ගෙදර ආවම අහල කියන්නං කියල.”අම්මා පිළිතුරු දුන්නා ය.
මම කිසිත් නොදොඩා කල්පනා කරන්නට වීමි.
“ඒගොල්ලො ආයෙත් එයි.” ඇය එසේ කියමින් මගෙන් වචනයක් ගන්නට උත්සාහ කළා ය.
“මල්ලිගෙනුත් අහල බලමු” මම ලිස්සා ගියෙමි. ඔහු සිටින්නේ බැහැරක ය. ඔහු සිරිතක් වශයෙන් රෑට මව අමතයි.
පසු දා අම්මා යළි ප්‍රශ්නය මවෙත යොමු කළා ය.
“මල්ලි මොකද කිව්වෙ?” මම ඇසීමි.
“එයා කිව්ව ඔන්න ඔහෙ ඇඳගන්ඩ දෙමු. නරකක් වෙන්නෙ නෑනෙ. ආසාවෙන්නෙ ඉල්ලන්නෙ කියල”. අම්මා කීවා ය.
දැන් ප්‍රශ්නය මගේ ඇඟට පැමිණ තිබේ.
දහවල තරුණ පිරිස අපේ ගෙදරට එන විට මම ගෙදර සිටියෙමි.
“කව්ද ඔයාලගෙ කණ්ඩායමේ නායකයා?” මම තරමක් මේරූ තරුණයා ගෙන් ඇසීමි.
“නායකයෙක් නෑ. අපි හැමෝම එකයි” ඔහු සිනාසුණේ ය.
“අයියෙ, ඔයාලගෙ තාප්පෙ අපිට චිත්‍ර අඳින්ඩ දෙන්ඩ. මේ පැත්තට තියෙන දිග තාප්පෙ මේකනෙ. දැං රටේ හැම තැනම චිත්‍ර අඳිනවනෙ. මේකෙ ඇන්දම ලස්සනට තියෙයි. කාටත් ආස හිතෙයි. අපි මේ වැඩේට අත ගහන්නෙ හරි ආසාවෙන්. අනේ බෑ කියන්ඩ නං එපා!” ඔහු උදක් ම ඉල්ලා සිටියේ ය. සෙස්සෝ ද ඒ කෙරෙහි මා පෙළඹූහ.
“සල්ලි ගොඩක් යයිනෙ. කොහොමද
වියදම හොයා ගන්නෙ?” මම ඇසීමි.
“රට ඉන්න යාළුවෙක් සල්ලි එවනව කියල අපිට පොරොන්දුවෙලා තියෙනව. ඒ හින්දයි බය නැතුව අත ගහන්නෙ” ඔවූහු ස්ථිර ව ම කියා සිටියහ.
මම ඔවුන් ගේ බලාපොරොත්තු නොකැඩෙන ආකාරයෙන් හැසිරුණෙමි. අදාළ
චිත්‍ර ශිල්පියා මට මුණගැස්සවීමට ඔවුහු පොරොන්දු වූහ. මේ අතර තරුණ ශිල්පීන් පිරිසක් නගරයේ පොදු තාප්පයක චිත්‍ර අඳින බව මට ආරංචි විය. මම ඒ චිත්‍ර නැරඹීමට ගියෙමි. මා යන විටත් ඔවුහු අඳිමින් සිටියහ. නරඹන්නෝ ද පිරී සිටියහ.
ඒ චිත්‍ර අතරින් කිහිපයක් මගේ හිත ගත්ත ද පොදුවේ ඒවායේ මා දුටුවේ ආධුනික බවකි. රළු ගතියකි. ඒවා මුහුකුරා ගිය චිත්‍ර ශිල්පියකු අතින් මුදු මොළොක් වී නොතිබිණ. ඉන් පසු මම තවත් නගරයකට ගොස් එහි ද ඒ වන විටත් ඇඳෙමින් පැවති සිතුවම් නැරඹීමි. ඒවායේ ද මා දුටුවේ අර දේ ම ය.
වීදි සිතුවම් ගැන ඇති වූ කුහුලින් මැඬුණු මම ඊට අදාළ පුවත්පත් විශේෂාංග ලිපි කිහිපයක් ද කියවීමි. එය ද මට නොසෑහිණ. ඉනික්බිති මම ලෝකයේ වීදි සිතුවම් සොයමින් අන්තර්ජාලයේ සැරිසැරුවෙමි. එහි ස්ට්‍රීට් ග්‍රැෆිටි අඩවිය මුළුමනින් ම වීදි සිතුවම්වලින් පිරී තිබේ. ඒවා බොහොමයක් තද පැහැයෙන් ස්ප්‍රේ කරන ලද රළු සිතුවම් ය. මෘදු මොළොක් හැඟුම් දනවන සිතුවම් වූයේ අතරින් පතර ය.
මේවා මේ සා රළු වීමට හේතුව කුමක් දැයි මම ඊළඟට සොයා බැලුවෙමි . ඒ සඳහා ඉතිහාසය හාරා බැලීමට සිදු විය. ඓතිහාසික ග්‍රැෆිටි සිතුවමට වසර දහස් ගණනක ඉතිහාසයක් ඇතත් නූතන වීදි සිතුවම ඇරඹී ඇත්තේ හැටේ දශකයේ දී ඇමරිකාවේ ය. ග්‍රැෆිටි සිතුවම වනාහි ඉක්මන් නිමැවුමකි. එසේ වී ඇත්තේ කිසියම් පණිවිඩයක් සමාජගත කරන බැවිනි. මේ නිසා ම මෙය කලාවක් හැටියට නොව තාප්ප බිත්ති විනාශ කරන ව්‍යාපාරයක් හැටියට ද හංවඩු ගැසී තිබේ. එමතු ද නො ව එබන්දන්ට සිර දඬුවම් නියම කැරෙන තැනට නීති ද සැකසී තිබේ.
මේ සියල්ල ගැන යළි යළිත් මෙනෙහි කළ මසිත මෙබඳු අදහසක් ජනිත විය. කළ යුත්තේ රැල්ලට අසුවී ගසාගෙන යෑම නොව රටට ගැළපෙන ආකාරයට හරවත් නිමැවුමක් කිරීම ය. ඊ ළඟ දවසේ ද තරුණ පිරිස ආහ. මා හා ඔවුන් අතර සංවාදයක් ඇති විය.
“අපි පෙරහැරක් අඳිමු. හැබැයි ඒ චිත්‍ර අපේ විහාර බිතු සිතුවම්වලින් ආභාසය ලබපු ඒව වෙන්ඩ ඕනැ. කෙනෙකුට නැවතිල හිත නිවාගෙන යන්ඩ පුළුවං මට්ටමේ ඒව වෙන්ඩ ඕනැ. ඒවයින් රටේ ළමයින්ටත් යමක් ඉගෙන ගන්ඩ පුළුවං වෙන්ඩ ඕනැ”
“ඔව්, එහෙම හොඳයි. අපි කැමතියි”
මේ එකඟතාවත් සමඟ නව පණක් ළද තරුණයෝ දිය පීඩන පොම්පයක් ගෙනැවිත් දින කිහිපයක් තිස්සේ තාප්පය පිරිසිදු කරන්නට වූහ. මම ද මේසන් වැඩ කරන හිතවතකු ගෙන්වාගෙන තාප්පයේ බිඳුම් මකාලීමි.
එතෙක්කල් මහා ජවයකින් වැඩ කළ තරුණ පිරිස පුදුමයකට මෙන් හිටිඅඩියේම මනදගාමී වූහ. ඔවුන් ප්‍රශ්නයකට මුහුණ දී ඇති බව පෙනිණ.
“මොකද ප්‍රශ්නයක්ද?”
“ඔව්, දැං අපිට අතිං වියදම් කරන්ඩ වෙලා!”
ඔවුන් ගේ සිහිනය බිඳී ඇත. රට මුදල ලැබී නැත. දැන් ඔවුනට මුදලක් ඉපැයීමට ද සිදු ව තිබේ.
මෙය දුක්බර කතාවකි.
මේ කතාව මා නෙළුම් විලට ලීවේ මානසික ව ඇද වැටී සිටින ඔවුනට පිහිට වීමට පරිත්‍යාගශිලියකු සොයා ගැනීමට ය. අද රටේ තාප්ප බිතු සිතුවම් අඳින තරුණයන්ට සිය කැමැත්තෙන් උදව් උපකාර කරන දේශ හිතෛශීන් සිටින බව මා අසා ඇත. මේ ඇරියුම එබඳු හදවත්වලට ය.
අන්‍යතාව සඟවා සිටීමට කැමැති සිළුමිණ පාඨකයකු විසින් යොමුකරන ලද ලිපියක් ඇසුරෙනි.
(මේ තරුණ පිරිසගේ අනන්‍යතාව සඟවා ඇත්තේ ඔවුන්ගේ ආත්මගරුත්වය රැකදෙනු පිණිස ය. ඔවුන්ට අතදීමට කැමති අයට ඔවුන්ගේ නම් ගම් සහ දුරකථන අංකය 0112429429 අමතා සිළුමිණ නෙළුම්විලේ ඉනෝකා සමරවික්‍රම මහත්මියගෙන් විමසන්න.)
නෙළුම්විල, සිළුමිණ,
ලේක්හවුස්,
කොළඹ 10.