මගේ පරණ සටහන් පොතක් නැවත කියවා බැලීමේදී, මීට වසර 10කට පෙර The Hindu පුවත්පතේ පළ වී තිබූ ඇමරිකානු තරුණයකු ගැන ප්‍රවෘත්තියක් දක්නට ලැබිණ. දහසය හැවිරිදි ඇමරිකාවේ නිව්යෝක් සිටි හි පාසලක ඉගෙනුම ලැබූ තිමෝති ඩොනර්ට (Timothy Donner) ලෝකයේ තිබෙන භාෂා 23 කතා කිරීමට පුළුවන් බව කියැවෙන ප්‍රවෘත්තියයි ඒ.
“American can teen speaks 23 languages”
The Hindu පුවත්පත මේ ප්‍රවෘත්තිය උපුටාගෙන තිබුණේ Telegraph පුවත්පතෙනි. තිමෝති කතා කිරීමට දන්නා භාෂා අතර හීබ්රූ, අරාබි භාෂා මෙන් ම සුවාහිලි හා චීන භාෂා ද වෙයි. ඔහු මෙසේ ද කියා තිබුණි.
“some of the languages that I speak or I have studied are French, Latin, Ancient Greek, Mandarin Chinese, Japanese, Arabic, Hebrew, Farso, Pashto and Hindi” he says.”
ඩොනර් භාෂා කිහිපයක් උගන්වන පුංචි ගුරුවරයෙකි. ඔහු මුලින් ම ඉගෙන ගත්තේ හීබෲ භාෂාව ය. ඒ භාෂාව ඉගෙන ගැනීමට ඔහු ප්‍රිය කර ඇත්තේ ඊශ්‍රායලයේ නර්තන හා සංගීතයට තිබූ කැමැත්ත නිසා ය. ඇතැමුන් ඔහු විදේශ භාෂා කතා කරන ආකාරයට අපහාස උපහාස කළහ. ඔහු ඒ අයට ඒ ඒ භාෂාවලින් පිළිතුරු දුන් පසු ඔවුන් මිතුරු වී, සුහදතාව ඇති කර ගැනීමට උත්සුක වූහ.
මේ ප්‍රවෘත්තියත් සමඟ ම තිමෝතිගේ නිවසේ තිබූ පුස්තකාලයේ ඡායාරූපයක් ද පළ වී තිබුණි. එය කොතරම් ආකර්ෂණීය දසුනක් දැයි සිතූ නිසා ඒ ඡායාරූප සහිත ප්‍රවෘත්තිය මගේ සටහන් පොතේ අලවා ගෙන තිබුණි.
අපේ රටේ භාෂා ගණනක් ලියන්නට හා කියවන්නට දත් ලාංකිකයන් කීපදෙනා ගැන විමසන විට බලංගොඩ ආනන්ද මෛත්‍රය හිමියනුත්, මහාචාර්ය ගුණපාල මලලසේකර මහතාත් මුලින්ම සඳහන් වන බව සඳහන් කරමින් “නවයුගය” සඟරාවට 1966 දී ලිපියක් ලියූ මූ. අරුක්ගොඩ ලේඛකයාට මෙසේ ද කියා තිබුණි. බලන්ගොඩ ආනන්ද මෛත්‍රී හිමියෝ අරුක්ගොඩට පවසා තිබුණේ මලලසේකර මහතා තමාට වඩා ලෝක භාෂා හදාරා ඇති බවය. මලලසේකර මහතා ගැන අරුක්ගොඩට ලියා තිබුණේ මේ කතාවය.
“ගමේ වෙද ආරච්චි කෙනෙකු වූ මලසේකර මහතාගේ පියා ඇසුරෙන් හා ගමේ පාසලින් උගත් සිංහල, පාළි, සංස්කෘත, ප්‍රාකෘත යන ප්‍රාචීන භාෂාවනුත්, ඉන්පසු ඉංග්‍රීසි, ලතින්, ග්‍රීක් යන භාෂාවනුත්, ඕනෑම උගතකු හා තරග කරන්නට තරම එතුමා දනියි. ඉන්පසු ඔහු ලෝකයේ වැඩිම ජනතාව කතා බහ කරන භාෂාව වන “චීන” උගත්තේය. පසුව රුසියන් භාෂාව හැදෑරුවේය. ඉතාලි හා ජර්මන් හදාරා ප්‍රංස භාෂාව ද එක්තරා ප්‍රමාණයකට ඉගෙනීම ලැබීය. පුරාණයේ “ෂඩ්භාෂා පරමේශ්වර” වීම පාණ්ඩිත්වයේ ඉහළ ම නැඟීමයි. මහාචාර්ය මලලසේකර ඒ සීමාව තවත් ගුණයකින් ඉක්මා සිටී. එතුමා දත් භාෂා එකතු කළ විට “දොලොස් භාෂා පරමේෂ්වර” පඬිවරයකැයි කටපුරා කිව හැකිය. මනුෂ්‍යයකු ජීවිතය මිය යනතුරු ම “පාසල් ජීවිතය” යි මලලසේකර මහතා කියයි. එතුමා තවත් භාෂාවන් හදාරන්නට ලැබෙන ඉඩක් අනාගතයේ දී වුව පැහැර නොහරිනු ඇත.”
වරක් අමුණුගොඩ තිලකරත්න (කේ.ඒ.ටී. පෙරේරා) තම අපදාන සටහන් ඇතුළත් “ගත්කරු හමුව” කෘතිය සඳහා මහාචාර්ය මලලසේකරයන් හමුවට ගිය අවස්ථාවේ මෙවැනි ප්‍රශ්නයක් අසා තිබුණි.
“ඔබ භාෂා කීයක් පමණ දන්නවාද? මොනවද ඒ භාෂා?”
ඒ පැනයට මහාචාර්යතුමා දී ඇත්තේ මේ පිළිතුරය.
“මම එක ම එක භාෂාවයි දන්නෙ. ඒ - සිංහල. ඒත් සිංහලවත් හරියට දන්නේ නෑ” යනු ඒ පිළිතුරය.
මලලසේකර මහතා කියා ඇත්තේ පොතපත කියවීමට කුඩා කළ සිටම උනන්දු කළේ වෙද අච්චි වූ තම පියා ‘Play way in Education” ආදර්ශය දෙමින් එතුමා බව ය. තම නිවසේ පියාගේ පුස්තකාලයේ වෙදපොත් අතර තිබූ සම්භ්‍ය සිංහල සාහිත්‍ය කෘති කියවීමට ඔහු අනුබල දුන් බව ය. මූදු වැල්ලේ අකුරු ලිවීම පුරුදු කළ පියාතම පුතාටත්, දුවටත් ගුත්තිලය, බුදුගුණාලංකාරය, වදන් කවි පොත වරින් වර ගෙනවිත් දී කවි පාඩම් කිරීමට උනන්දු කර ඇත.
පියා කවි පොතක් ගෙන එන දවසට ලොසිංජර බෝතලයකුත් ගෙන එන අතර, කවි 100ක් පාඩම් කිරීමට මාසයක් කල් දී ඇත. මාසයකට පසු කවි 100 කට පාඩම් කළ තමාට මෙන් අවට ළමයිට ලොසිංජර බෝතලය බැගින් තෑගි දුන් බව පවසා ඇති මහාචාර්ය මලලසේකර මෙසේ ද කියා තිබුණි.
“තාත්තා වඩාත් නිවැරදිව කවි කියන ළමයා තෑගි ලැබෙන ලොසිංජර බෝතලය කවුරුත් එක්ක බෙදා ගන්නවා. ඊළඟට තවත් ලොසිංජර බෝතලයකට තව කවි සියයක් නියම කරනවා.”
මීට වසර 150කට පෙර ලංකාවේ සිටි සංඝයාවහන්සේ වෙද මහතා, ගුරුවරයා, ලිපිකරුවා, තැපැල්මහතා ආදි ප්‍රභූ පන්තියේ ගෙවල්වල පුංචි පුස්තකාලයක් තිබූ බව සුලභ දෙයක් බව තොරතුරු අසන්නට ලැබෙයි. පොතක් පතක් ඇති ගෙය පිරුණු තැනකැයි පඬිවරු කියා ඇත්තේ ඒ නිසා ය.
ලංකාවේ සිටි ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයකු වූ වයිකවුන්ට් සෝල්බරි සාමි (viscount Soulbury) කොළඹ රෝයල් කොලීජයේ (රාජකීය විද්‍යාලයේ) 1950 දී පැවති වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයක දී ත්‍යාග ලැබූ ශිෂ්‍යයන්ගෙන් එතුමාගේ බලාපොරොත්තු වූ දෑ තම කතාවේ දී මෙසේ සම්පිණ්ඩනය කර තිබුණි. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය ‘වයිකවුන්ට්’ නාමයෙන් සෝල්බරි සාමිවරයාට ගරු සම්මාන දැක්වූයේ එතුමා සමාජයේ උසස් පුද්ගලයකු වශයෙන් පොදු ජනප්‍රසාදයට ලක් වූ බැවිනි. එදා සෝල්බරිසාමි “මගේ බලාපොරොත්තුව” මැයෙන් ත්‍යාග ප්‍රදානෝත්සවයේ දී කළ කතාවෙන් “පොත් පත් කියවීම” හා “තමාගේ පුස්තකාලයක් ගෙදර ඇති කිරීම” ගැන අගනා අදහස් ටිකක් සම්පිණ්ඩනය කොට ආනන්ද තිස්ස ද අල්විස් විසින් සංස්කරණය කළ “දින දින” සඟරාවේ ඉදිරිපත් කර ඇත. ඒ කතාව වසර හැත්තෑකට පසු වුවද පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට වැදගත් වෙයි. ඔහු කතාව ආරම්භ කර ඇත්තේ මෙසේය.
“පාසල්වල ත්‍යාග ප්‍රදානෝත්සව වලදී දක්ෂ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට බොහෝ සෙයින් ම ත්‍යාග වශයෙන් ලැබෙන්නේ පොත් ය. මේ ත්‍යාග බෙදාදීම්වලට මා කැඳවූ සෑම අවස්ථාවකදීම මා බලාපොරොත්තු වූ කරුණු දෙකකි. ඉන් එකක් නම් “ත්‍යාග ලත් තැනැත්තා ඒ පොත කියවනු ඇත.” අනික් බලාපොරොත්තුව නම් “තව තවත් පොත පත රැස් කිරීමටත් තමන්ගේ ම පුස්තකාලයක් තනා ගැනීමටත් එය හොඳ ධෛර්යයක් වනු ඇත.” සෑම නුවනැත්තකුට ම තමන් විසින් ම රැස් කළ පුස්තකාලයක් තිබිය යුතුය.
පුස්තකාලයක් යැයි කියනු ලබන්නේ පොත් රැස් කළ ගෘහයකට යි. එහෙත් පුද්ගලික පුස්තකාලයක් වශයෙන් මෙහිදී හැඳින්වෙන්නේ කෙතරම් කුඩා හෝ වේවා ලොකු හෝ වේවා තමන් විසින් ම එකතු කළ පොත් රැසයි. “තමන් විසින් ම රැස්කර ගන්නා ලද පොත් කිහිපය ඒ පුද්ගලයාට බ්‍රිතාන්‍ය කෞතුකාගාරයටත් වඩා අගේ යයි” එක් බ්‍රිතාන්‍ය අගමැතිවරයෙක් ප්‍රකාශ කළේ මේ නිසා විය හැකි.”
සෝල්බරි සාමි පවසන්නේ සෑම දරුවෙක් ම තමන් තමන්ට ම අයිති වූ පොත් රැස් කර ගත යුතු අතර, චිත්‍රපටයක් බැලීමට වියදම් කරන මුදලින් අගනා පොතක් මිල දී ගත හැකි බව ය. පොත පත තෝරා ගැනීමේදී ගුරුහරකම් ලබා ගැනීමත් හොඳ පොත් ම මිල දී ගැනීමත් ඒ නිසා නුවණට හුරු බව කියන සෝල්බරි සාමි, එවිට, හොඳ පොත්පත් තෝරා ගැනීමේ දී උපකාරි වන මිම්ම ඔබ තුළ නිරුත්සාහයෙන් ම වැඩෙනු ඇති බව කියයි.
“තමන්ගේ ම පොත් ගුලක් තනා ගැනීම හා එක්ව ඇත්තේ එකී අවශ්‍යතාවන් පමණක් නොවේ. පොත් ගුලක් හිමි දරුවා වැඩුණ පසු ඔහු ලෝකයට පා තබනු ඇත. එදාට ඔහුගේ දරු දැරියන්ට ආශ්‍රය කිරීම සඳහා සුදුසු පුස්තකාලයක් තිබේ. පියා කුඩා කල දී එක් කළ පොත් රැස වැඩෙන දරුවන් ගේ සාමාන්‍ය දැනීම හා සංස්කෘතික පරිසරය වගා කිරීමේ හා පුළුල් කිරීමේ මාධ්‍යයක් වන්නේය. එපමණක් නොව කුඩා කලදීම කියවීමට රුචියක් ඔවුන් තුළ ජනිත වනු නියත ය. මෙයයි මගේ දෙමාපියන්ට සතු වූ පොත් ගුල මගේ ජීවිතයේ ප්‍රථම මාර්ගෝපදේශකයා වූයේ යැයි සිතමි. කියවන්නට පුළුවන් වයසට පා තැබූ මම පියාගේ පොත් ගුලෙන් හැකි පමණ ප්‍රයෝජන ගතිමි.
පොත් කියවිය යුත්තේ විනෝදයත්, බුද්ධි වර්ධනයත් සඳහා මිස විභාගාදියෙන් සමත්වීමේ චේතනාවෙන් නොවේ. ඇරත් විභාග පරීක්ෂකවරුන්ට වුවමනා කරන්නේ පොතපතින් සිසු දරුවා උගත් සත්‍යයන් කවරේදැයි දැන ගැනම නොව සත්‍යයන් අතර පවත්නා සම්බන්ධය අවබෝධකර ගැනීමේ ශක්තිය ඔහු තුළ තිබේ දැයි දැන ගැනීමටයි.”
සෝල්බරි සාමි ලංකා විශ්වවිද්‍යාලය මඟින් නිකුත් කර ඇති වාර්තාවක (1950) තිබුණ අපූරු සොයා ගැනීමක් මේ කතාවේදී උපුටා දක්වා ඇත.
“සම්මුඛ පරීක්ෂණය සඳහා පැමිණෙන්වුන් බොහෝ දෙනෙක් ම කවරදාවත් පොතක් නොකියවූවන් ය. විභාග සඳහා නියම කර ඇති පොත පත පමණක් ම මිස ඉන් පිටස්තර පොත්පත් නොකියවන උපාධිධරයන් පවා සිටිති. අනාගත ශිෂ්‍ය ශිෂ්‍යාවන් මෙවැනි විවේචනවලට ගොදුරු නොවනු ඇතැයි සෝල්බරි සාමි අවංකව එදා විශ්වාසය පළ කර ඇත. ඔහු කතාව අවසන් කර ඇත්තේ මේ ප්‍රාර්ථනාවෙනි.
“තමන්ගේ පුස්තකාලයෙන් පමණක් නොව පාසලේ පුස්තකාලයෙන් ද පොත පත ලබා ගෙන කියවීමේ පුරුද්දක් ඇති කරගෙන උසස් රුචියක් වගා කර ගනු ඇතැයි ප්‍රාර්ථනා කරමි.”
මේ හැම කරුණකින් ම අවබෝධ වන්නේ පුස්තකාලයක වටිනාකම ය. ලෝකයේ දියුණු රටවල පුස්තකාල පිහිටුවීමට දක්වා ඇත්තේ විශාල පරිශ්‍රමයකි. පොත් හල්වල පාඨකයාට විශේෂ පහසුකම් සලසා තිබුණි. “හෝම් යුනිවර්සිටි ලයිබ්‍රරි” නම් පොත් පළවීම ආරම්භ වී ඇත්තේ ගෙදර ම පුංචි පුස්තකාලයක් ඇති කර ගැනීමට ධෛර්යය දීමක් වශයෙනි. ලංකාවේ ද එවැනි ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට ඊ.ආර්. සරච්චන්ද්‍ර (පසුව මහාචාර්ය සරච්චන්ද්‍ර) මහතා උත්සාහ කළ ආකාරය ඔහු විසින් ලියන ලද “පිං ඇති සරසවි වරමක් දෙන්නේ” කෘතියේ සඳහන් වෙයි.
“සාන්ත පීතර විදුහලේ අවුරුද්දක් පමණ ඉගැන්වූ පසු මට ලේක්හවුස් ආයතනයේහි රස්සාවක් ලැබුණි. ඒ ආයතනයෙහි සිංහල පොත් පත් ප්‍රකාශනය සඳහා අංශයක් ආරම්භ කරන්ට අදහස් කරන බව ද එ් අංශයට කළමනාකරුවකු වශයෙන් කෙනකු පත් කිරීමට ඉල්ලුම් පත්‍ර කැඳවන බවක් කියා පුවත් පතෙහි දැන්වීමක් තිබුණු බැවින් මම මගේ සුදුසුකම් කියා ඉල්ලීමක් යැවීමි. මගේ ඉල්ලීම සම්බන්ධයෙන් අසවල් දවසේ මැනේජිං ඩිරෙක්ටර් මහතා හමුවන්ට යැයි කියා තිබුණු ලියුම් කීප දවසකට පසු මට ලැබුණේ ය.
ලේක්හවුස් ආයතනයේ අයිතිකරු හා මැනේජිං ඩිරෙක්ටර් ඩී.ආර්. විජයවර්ධන මහතා සිංහල පොත් පත් ප්‍රකාශනය පිළිබඳ තමාගේ යෝජනාව ගැන නිවීසැනසිල්ලේ මා සමඟ කතා කළේය. තමාගේ අදහස් පැවසීමට වඩා ඔහුට වුවමනා කළේ මගේ අදහස් දැන ගැනීම බව මට පෙනුණි. සිංහල පාඨකයා හමුවෙහි වර්තමාන ඥාන සම්භාරය ගෙනැවිත් තැබීමේ වැදගත්කම ගැනත්, ඊට ඉංග්‍රීසියෙන් තියෙන “හෝම් යුනිවර්සිටි ලයිබ්‍රරි” නම් පොත් පෙළ ආදර්ශයට ගත හැකි බවත් ඔහු කීවේ ය. මේ සඳහා ඉංග්‍රීසි බසින් තිබෙන සමහර විශ්ව සම්භාවනීය කෘති පරිවර්තනය කළ යුතු බව මම කීවෙමි.
ඒ යෝජනාව කෙරෙහි මගේ සිතෙහි මහත් උද්‍යෝගයක් හට ගත්තේ ය. එවැනි පොත් පෙළකින් ඉංග්‍රීසි හෝ වෙනත් බටහිර භාෂාවක් නො දත් බුද්ධිමතුන්ගේ දැනුම පළල් කළ හැකි බැවින්, රටට මහත් සේවයක් වන බව ද මම මෙනෙහි කෙළෙමි. දෙවෙනි වරට මා කැඳවන ලද අවස්ථාවෙහි විජයවර්ධන මහතා කීවේ, ප්‍රකාශන අංශය පිහිටුවීමේ පළමු පියවර වශයෙන් පොත් සමාජයක් ආරම්භ කරන්ට යන බවත්, එ් පොත් සමාජයේ (Book club) වැඩ කටයුතු මා බාරගෙන, ක්‍රම ක්‍රමයෙන් පටන් ගැනීමට සූදානම් විය යුතු බවත් ය.”
Book club (පාඨක සමාජ) ඇති කිරීමට ගුණසේන සමාගමත් පුරෝගාමි විය. හැටේ දසකයේ එ් සමාගම ආරම්භ කළ “දවස” පත්‍රයේ සතියකට වරක් පළ වූ “සිංහ සාහිත්‍යය” අතිරේකයෙන් (පාඨක සමාජයේ කූපනයක් පළ කරමින්) ගුණසේන ප්‍රකාශයට පත් කළ පොත් අඩු මිලට ලබා දෙමින් “හෝම් ලයිබ්‍රරි” සම්ප්‍රදාය ඇති කළේය. මේ හැම වැඩ පිළිවළකින්ම පාඨකයාගේ කියැවීමේ රුචිය වර්ධනය කළේය. පැරණි ගාමිණී සිනමාහල අසල සිටි පරණ පොත් වෙළෙන්දන් රුපියල් 10ක තැන්පතුවක් ඇතිව පොත් බැහැර දෙන ක්‍රමයක් ඇති කර තිබුණි. කියැවීමට ගෙනියන සෑම පොතකට ම රුපියලක් අය කරන ලදි.
පෞද්ගලික පුස්තකාල රාශියක් ලංකාවේ විද්වතුන්ගේ, නිවෙස්වල තිබෙන බව අමුතුවෙන් කිවයුතු නොවේ. මේ පුස්තකාල හිමිකරුවන්ගේ සමීක්ෂණයක් කළොත් ඒ බොහෝ දෙනෙක් පවසන්නේ කුඩා කළ සිට පොත් එකතු කළ බ වය. අපේ සිටි පැවිදි උගතුන් බොහෝ දෙනෙකුට ඉතා පැරණි, වටිනා පොත්වලින් සමන්විත පුද්ගලික පුස්තකාලවල තිබූහ. පොත පතෙහි අගය දන්නා එවැනි මහා යතිවරයකු වන ගනේගම ශ්‍රී සරණංකර නාහිමි. වරක් ‘නවයුගය’ පුවත්පතට විශේෂාංගයක් ලිවීමට ගාල්ලේ උන්වහන්සේ වැඩ සිටි පන්සලට සෝමවීර සේනානායක හා රංජිත් අමරකීර්ති පලිහපිටිය සමඟ මම ගියෙමි. එදා උන්වහන්සේ විසින් අපට තුටු පඬුරු වශයෙන් ලබා දුන් පොතක් මා ළඟ සුරැකිව ඇත. උන්වහන්සේ විසින් ලියූ “සිංහල රචනාරත්නය” කෘතියයි ඒ. එහි 173 පිටුවේ ඇති මේ උද්ධෘතයෙන් මේ ලිපිය අවසන් කරමි.
“මා නිදහසේ සුවයෙන් බොහෝ වේලා ගතකරන එකම තැන මගේ පුස්තකාලයයි. සන්ධ්‍යා සමයෙහි ඈත වෙල් යායෙන් හමා එන තද සුළඟ මෑත ගස්වල හැපී පොඩි වී ඔද බිඳී අවුත් මා සිටින පොත් ගුලෙහි කවුළුවෙන් ඇතුළුව මට සුව පහස් දෙමින් එහි විසිරී යයි. මගේ පොත් ගුලෙහි මා හැර ජීවමාන කිසිවකු නැත. එහෙත් මා ගරු කරන ලබන බොහෝ දෙනෙකුගේ කෘතීහු එහි වෙති. ඒ අගනා කෘතීන්ගේ උපකාරයෙන් ඒ කතුවරයන්ගේ රූප සිතන් මවා මම ඔවුන් දකිමි. දැක ඔවුන් සමඟ කතා කරමි. ප්‍රීති වෙමි. සිනාසෙමි. තැන්පත් වූ නිශ්චල වූ විනීත වූ චිත්තජ රූපාත්මක ඒ ගත්කරුවරයන්ගේ ආශ්‍රයක් ඔවුන්ගේ කෘතී මම නිතර අගය කොට සලකමි. මගේ පුස්තකාලය පන්සල්වලට තිබෙන බොහෝ පොත්ගුල් මෙන් නිතර වසා දමා කාවන්ට කෑමටත්, මල් පූජා කිරීමටවත් යෙදවූවක් නොවේ. එහි පොත් මම නිතර බලමි. නොයෙක් දෙනා ද බලති.”