
තාප්පයේ තැනින් තැන බැඳි දිය සෙවෙල්, කළු පැහැ කඩතොලු කොළ පාටින් වසා දමා ඇත. ඒ කඩතොළු කුඩා කෘමීන්ට වාසස්ථාන සපයා දුන්නේ කිසිදු මැසිවිල්ලකින් තොරව ය. ඉඳහිට එන පොල්කිච්චකුගෙන්, කොණ්ඩ කුරුල්ලකුගෙන්, ඇරෙන්නට මේ කෘමීන්ට වෙනත් ජිවිත තර්ජන නොතිබිණි. ඉදින් ඔවුහු සාමයෙන් ද, සතුටින් ද තාප්පයේ පැළුණු, කඩතොලු තැන් හි වාසය කළෝය.
දීර්ඝ නියං සමයේ දැඩි රශ්මියෙන් ඔවුන් දාහයෙන් හෙම්බත් කළ කාලය නිම වෙමින් තිබිණි. අහස දැන් දින දෙක තුනක සිට කළු වලා පුරවා ගනිමින් ගොරවමින් තර්ජනය කර තිබිණි. තවම බුම්මා ගත් කළු අහස වැසි පොද විනා මොර සූරන වැසි දෙන්නට තරම් හිත හදා ගෙන සිටියේ නැත. පරිසරයේ වන සියුම් ම වෙනසට පවා කල් තියා සූදානම් වන කුහුඹු රැල බෙහෙවින් කලබල ව තාප්පයේ එහා මෙහා දුවනු කිහිප දිනක සිට මම දුටුවෙමි. ඔවුහු පේළියට ගමන් කරමින් ද මොහොතක් නැවතී එකිනෙකා හා මුමුණමින් ද ලහි ලහියේ ගමන් කළහ.
කටුක, කඨෝර රශ්මිය මඳින් මඳ සමනය වෙමින් ගොම්මන උදා වෙමින් තිබිණි. කුහුඹු රැල මොනවා කරනු ඇත්දැයි ඇතිවූ කුතුහලයෙන් මම තාප්පය උඩ බැලීමි. පෙරහරක් සදිසි ව ඔවුහු තමන් මෙන් සිය ගුණයක් බර කැබලි වගයක් ඔසවා ගෙන තාප්පයේ මඳක් ගැඹුරු පැල්ම වෙත වේගයෙන් ගමන් කරමින් සිටියහ. ළඟ එන වස්සානය කෑම හිඟයක අනතුරු ඇඟවීම ඔවුන්ට කරන්නට ඇත. මම සීරුවේ බලා සිටියෙමි. වරෙක ඒසා විසල් බරක් ඔසවා ගෙන යෑමට නොහැකිව කූඹි ඇද වැටුණහ. එහෙත් ඒ සැණින් නැඟී සිටි ඔවුහු නැවත ඒ බර කරට ගත්හ. නැවත නැවත වැටෙමින් නැඟිටිමින් ඔවුහු බර ඔසවා ගෙන ගියහ. කොහේදෝ සිට එක්වරම පියඹා ආ පොල්කිච්චන් යුවළක් ආයාසයකින් තොර ව ම බර නිසා දුවගත නොහැකි කූඹි ඔවුන්ගේ ආහාර ගුලිය ද සමඟින් ම ගිල දැමුවේ සිහින් ගී රාවයක් ද නඟමිනි. අසරණ කූඹි විශාල ප්‍රමාණයක් පොල්කිච්චන්ගේ රාත්‍රි ආහාරය බවට අකමැත්තෙන් ම ප්රදානය විය. කුස පුරවා ගත් පොල්කිච්චෝ ගී ගයමින් ම නික්ම ගියහ. ඒ සැණින් සැඟවී සිටි කුහුඹි නැවත එළියට බටහ. ඔවුහු යළිත් කෑම බර උසුලාගෙන ලහි ලහියේ තාප්පයේ පැල්ම බලා ගමන් කළහ.
මේ සියල්ලම ම සිතේ අපූරු හැඟීමක් ඇති කළේ ය. කූඹි විනාශ වූවාට පරාජය වූයේ නැත. පරාජය භාර නොගත් අපූර්ව කලාකරුවෙක් ම සිතට නැඟිණි.
“මිනිසකු විනාශ කරන්නට පුළුවනි; ඒත් පරාජය කරන්නට නම් නොහැකියි” යන සදාතනික සත්‍ය අසරණ දුප්පත් මහලු ධීවරයකුගේ මුවින් ලෝකයට කියා දුන්නේ ඔහු ය.
මිනිසාගේ ධෛර්යයේ හා ආත්ම ශක්තියේ මෙන්ම අපරිමිත අධිෂ්ඨානයේ මහිමය කියාපාන ඒ අපූර්ව කතාව ලියූයේ අර්නස්ට් හෙමිංග්වේ ය; කෘතිය The old man and the sea ය. මෙය “මහල්ලා සහ මුහුද” නමින් කළුබෝවිල සිරිල් සී. පෙරේරා සිංහලට නඟා තිබේ. හෙමිංග්වේ මෙය රචනා කරලූයේ මැනුවෙල් උලිබාරි මොන්ටිස්පෑන් නමැති මහලු කියුබන් ජාතික ධීවරයකුගෙන් අසා දැන ගත් කතාවක් ඇසුරෙනි. 1954 දී The old man and the sea වෙනුවෙන් හෙමිංග්වේට ඇමෙරිකන් පුලිට්සර් සම්මානයත්, නොබෙල් සම්මානයත් හිමි විණි.
මහල්ලා තමා සමඟ ම විවිධ අවස්ථාවල ආත්ම කථනයෙහි යෙදෙන්නේ අපේ ජීවිතවලම වන අනේකවිධ ගැටලු ගැන අපට ම නැවත සිතන්නට ඉඩ සලසමිනි.
“වාසනාව නොයෙක් වෙස් ගෙන පැමිණෙන දෙයක්. වාසනාව හඳුනාගන්න පුළුවන් කාට ද? ඕනෑම වේසයකින් ආවත් කමක් නැහැ, ඉල්ලන දෙයක් දීලා වාසනාව ගන්න මම කැමැතියි.”
තමා ආයාසයෙන් අල්ලාගත් විශාල මාළුවා අහිමි වුණු මහල්ලා සිය පැලට විත් නින්දට වැටුණු බව කියන හෙමිංග්වේ මහල්ලා හීනෙන් සිංහයන් දුටු බව ද කියයි. වීර සිතැත්තේ සීනෙන් පවා දකින්නේ වීර ක්රීයා ය. ඒ මනුෂ්‍ය ස්වභාවය හෙමිංග්වේ බොහෝම අපූරුවට පොතට ගෙන එයි.
මිනිසා විනාශ කළත් පරාජය කළ නොහැකි බැව් කියූ මේ අපූර්ව ලේඛකයා මිය ගියේ කානු දෙකේ රිදී පැහැති බටය සහිත රිචඩ්සන් තුවක්කුවෙන් කටට වෙඩි තබා ගැනීමෙනි. ඔහු කියූ පරිදි ම ඔහු විනාශ විය. නාමය ඉතිරි වූ බැවින් පරාජය වූයේ නැත.
මරණය අරුම දෙයක් නොවේ; අරුමය ජීවිතයයි. අවදානම සමඟ නිරන්තරයෙන් පෙම් කෙළි ඔහු යුගයෙන් යුගයට පවතින්නට නිර්මාණ කළ බැවින් ඔහුගේ ජීවිතය පරාජය නොවූවකි. සන්තියාගෝ නම් මුහුදු ගිය මහල්ලා මාළුවා රැක ගැනීමට අවසන තෙක් උත්සාහ කර තමා අතින් වූ දේ ගැන මෙසේ පශ්චාත්තාප වෙයි.
“මගේ ඔළුව අවුල් කරන්න එපා. මම විඩා වැටුණු මහල්ලෙක්. නමුත් මම මගේ සහෝදරයා වෙන මේ මාළුවා මැරුවා. දැන් ඉතින් වාල් වැඬේ කරන්න ඕනෑ.”
මිනිසුන් වන අප කොතෙක් මුදු මොලොක් විය යුතුදැයි හෙමිංග්වේ මේ වචන මඟින් අපට හඟවයි. හදවත මුදු වන තරමට ම ජයග්‍රහණය ලැබෙන බැව් එමඟින් ඔහු අප සිත්හි රෝපණය කරයි. එනිසා නැවත නැවත කියන්නට වෙන්නේ ද හෙමිංග්වේ කියූ දෙය ම ය.
මිනිසා විනාශ කළ හැකි ය, පරාජය කළ නොහැකි ය. ලේඛනයේ රන්සුුනු සොයා යන ඔබට කියන්නට තිබෙන්නේත් ඒ දෙයම ය. ඔබ සොයා යා යුතු වන්නේ ත් ඒ මුවහත් හා නොනැමෙන සුළු අාත්ම ශක්තිය ය.