
ඉතිහාසය පිළිබඳ මහාචාර්ය තුඹුල්ලේ සීලක්ඛන්ද හිමිපාණෝ, ඉංග්‍රීසි කොඩිය ඇද දමා පෑගුවේ වාරියපොළ සුමංගල හිමි ම බව දැඩි ලෙස තර්ක කරන අතර, මෙම හිමි තමා අයත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වයඹ පළාතේ පිහිටි වාරියපොළ ට අයත් බව ද දක්වා සිටී. මෙයින් කොඩි පුවත සනාථ කිරීමට, උන්වහන්සේ අස්ගිරි මහා විහාරයේ තිබූ පුස්කොළ පොතක වාර්තාවක් ඉදිරිපත් කරති. (සිළුමිණ 1986.5.18) එමෙන් ම වාරියපොළ හිමි ගැන උන්වහන්සේ 1984 පළ කළ පොතේ එය සංශෝධන නොමැතිව එසේම පළකර තිබේ.
එනමුත්, කොඩිය පහතට ඇද පෑගුවායි කියනු ලබන හිමි නමගේ එහි සඳහන් ‘වාරියපොළ දීපංකර’ යන නම, පාඨකයාට දැනගන්න තිබූ අයිතිය අහෝසිවන අන්දමට, ඒ හිමිගේ වඩාත් වැදගත් පැවිදි නම කපා හැර “වාරියපොළ නායක සාමීන් වහන්සේ” පමණක් සඳහන් කරති. මේ පුස්කොළ පත් ඉරු කවදාවත් කළ එළියට නොඑනු ඇතැයි සීලක්ඛන්ද හිමි සිතුවාට සැක නැත. නමුත්, සීලක්ඛන්ද හිමි ගේම මතයේ සිට, මේ සංවාදයේ යෙදුණු ගරු වි.ජ.මු. ලොකුබණ්ඩාර ඇමැති තුමා, මේ පුස්කොළ පත් ඉරුවේ ඡායාරූපය පමණක් නොව, අදාළ පෙළද 1986.6.8 සිළුමිණ පත්‍රයේ පළ කළේය.
මේ අනුව, පැහැදිලි වන ආකාරයට ඉංග්‍රීසි කොඩිය ඇද පහතට දැමූ කතාව සත්‍ය වුවත් නොවුවත්, පත් ඉරුවේ සඳහන්ව ඇත්තේ, දළඳා නඩුවට සම්බන්ධ වාරියපොළ සුමංගල හිමි නොව, අස්ගිරි මහා විහාරයේ අනුනායක මෙන්ම, ඉංග්‍රීසීන් විසින් සුදුහුම්පොළ විහාරයේ නායක ලෙස පත්කරන ලද වාරියපොළ දීපංකර හිමි බවයි. මේ දෙදෙනා සක්සුදක් සේ පැහැදිලි වන පරිදි එක් අයෙකු නොව, වෙන වෙනම දෙදෙනෙකි.
පත්ඉරුවල ඇති නාම ප්රශ්නය මතුවන විට, සීලක්ඛන්ද හිමිට අලුත් අභියෝගයකට මුහුණ දීමට සිදු වූ බව පෙනේ. එයට පිළිමයක් වශයෙන්, සිය ස්ථාවරය වෙනස් නොකර, දළදා නඩුවට හෝ, කොඩි පුවතට අදාළ හෝ, තම කුරුණෑගල දිස්ත්‍රික්කයට වාරියපොළ හිමි අයත් යයි තර්ක කරන සීලක්ඛන්ද හිමි, තම අභිමතය පරිදි, උන්වහන්සේගේ මෙතෙක් හැඳින් වූ නමට, අලුතෙන් තවත් කොටසක් පට බැඳ “වාරියපොළ සුමංගල දීපංකරාභිදාන” ලෙස, හිමිවරු දෙදෙනාගේ ම නම් දෙක එකට අමුණා දෙදෙනාම එක් අයෙකු ලෙස පාඨකයාට හුවා දක්වයි. (වාරියපොළ මා හිමි, පිටු 170,171) උන්වහන්සේට කෙසේ වෙතත්, පිටින් සිටින අපට මෙය පෙනෙන්නේ ප්‍රශ්නයක් තිබුණාට වඩා උග්‍ර වන බවයි.
විකෘතිය
මේ අපූර්ව නම් ආරෝපණය පිළිගත හොත්, මේ දෙදෙනාගේම ඉතිහාසය විකෘති වනවා පමණක් නොව, මේ පුස්කොළ පත්ඉරුවේ ම නිවැරදිව සඳහන් “අස්ගිරි විහාරයේ අනුනායක පදවිය ලැබී කරවන වාරියපොළ දීපංකර” මෙන්ම, ඉංග්‍රීසීන් විසින්, එම තනතුරට අමතරව සුදුහුම්පොළ පන්සලේ නායක ධූරයට පත් කරනු ලැබූ උන්වහන්සේට වන්නේ කුමක් ද? වාරියපොළ සුමංගල හිමි ට වඩා ලිඛිත දීර්ඝ ඉතිහාසයක් ඇති මේ හිමි ඉතිහාසයෙන් මැකී යනවා නේද? එපමණක් නොව, ‘වාරියපොළ සුමංගල දීපංකර’ යනුවෙන් හිමි නමක් මුළු ඉතිහාසයේම නැති බැවින්, සත්‍ය වශයෙන් ‘වාරියපොළ සුමංගල’ වශයෙන් ඉතිහාසය බබළවන ජාතික වීර හිමි ද, නිකම්ම මනඃකල්පිත චරිතයක් වනු ඇති නේද?
වාරියපොළ සුමංගල හිමි, අස්ගිරි මහා විහාරයේ අනුනායක වශයෙන් සිටි බව ද 1984 සීලක්ඛන්ද හිමි පළ කළ පොතේ දැක්වේ. මෙයද සම්පූර්ණයෙන් සාවද්‍යය. මහනුවරට ආසන්න, හාරිස්පත්තුවේ පිහිටි යටිහලගල විහාරය සම්බන්ධයෙන් කලවානේ හිමි සහ පලීපාන හිමි අතර ආරෝවක් විය. මේ හබේ අස්ගිරි මහා විහාරයේ මහානායක යටන්වල සුනන්ද හිමි සහ අනුනායක කොටගම හිමි ඉදිරියේ 1829 විභාග වූ අතර, කලවානේ හිමිගේ වාසියට තීන්දු විය.
මේ නඩු තීන්දුවට සාක්ෂි වශයෙන් අත්සන් කළ හත් නමගෙන් එක් අයෙකු වූයේ, එවකට අස්ගිරි විහාරයේ වැඩ විසූ වාරියපොළ සුමංගල හිමිය. මෙයින් තහවුරු වෙන්නේ උන්වහන්සේ අනුනායක නොවූ බවත්, නේවාසිකව අස්ගිරි විහාරයේ සිටි බැවින් නඩු විභාගයට නිරීක්ෂකයෙකු ලෙස පෙනී සිටි බවත්ය. නඩු තීන්දුවට සාක්ෂි වශයෙන් අත්සන් කළ හත් නමම, ජ්‍යෙෂ්ඨ හිමිවරු බව නඩු තීන්දුවේම සඳහන් වේ. මේ අනුවද, ඉතිහාසයේ තවම පෙනෙන්නේ, වාරියපොළ සුමංගල හිමි මැදිහත්ව ඇත්තේ මධ්‍යම පළාතේ කටයුතුවලට පමණක් මිස, වයඹ පළාතේ හත්කෝරලේ සිද්ධීන් ට නොවන බවයි.
වාරියපොළ සුමංගල හිමි, මධ්‍යම පළාතේ, මාතලේ වාරියපොළට අයත් වන බව කිසිම සැකයකින් තොරව, අන් සියලු අතිරේක සාක්ෂි අබිබවා තහවුරුවන තවත් වාර්තාවක් ඉතිහාසයේ සටහන්ව තිබේ. මහනුවර, මරණමංචකයේ සිටි, දකුණු මාතලේ, දෙවනගේ ගෙදර අබේකෝන් මුදියන්සේලාගේ දුග්ගන්නා රාල, 1798, තමාට ඇප උපස්ථාන කළ, එවකට මහනුවර විසූ තම බාල පුත්‍රයා වූ ඇල්ලේපොළ කුඩා උන්නාන්සේ වෙත, අනික් දරුවෝ තිදෙනා ඉදිරිපිට දී, තමන්ට අයත්, මාතලේ පිහිටි, ගොඩ මඩ සියලු දේපොළ, නිරවුල්ව භුක්ති විදීමවස්, ඔහුට තල්පතක් මත ලියා දුනි. මේ දීමනාවට භික්ෂූන් වහන්සේලා සත් නමක් ඇතුළු දහතුන් දෙනෙක් සාක්ෂි වශයෙන් අත්සන් කළ අතර, එයින් එක් නමක් වූයේ, වාරියපොළ සුමංගල හිමියෝ ය.
ලේඛනගතව ඇති මේ විස්තර අනුව, දළඳා නඩුවට හෙවත් ඌව මහා කැරැල්ලට පණ පෙවූ මේ වීරෝදාර සඟ රුවන, ප්රත්යක්ෂ වශයෙන්, දකුණු මාතලේ, මැදසිය පත්තුවේ, වාරියපොළ, ගොඩපොළ කටුදෙණිය පන්සලට අයත් බව පැහැදිලි වේ. මේ විහාරස්ථානය වරින් වර පාළුවට ද ගියේය. 1815 ද, නැවත 1827 දී ද, මෙය පාළුවට ගොස් තිබුණ බව පෙනේ. මොන යම් හේතුවක් නිසා, මෙහි නේවාසිකව සිටි භික්ෂූන් වහන්සේලා, වාරියපොළ සුමංගල හිමි ඇතුළු, අඛණ්ඩව එහි වාසය කළ බවක් නොපෙනේ. උන්වහන්සේලා වඩා පහසුකම් ඇති මහනුවරට සංක්රමණවී තිබේ. මේ අනුව ඇතැම් පින්වතුන් පන්සලට පූජා කළ ඉඩම් නැවත ඔවුනටම හිමි විය. ඇතැම් ඉඩම් කොටස් මුඩු බිම් පනත යටතේ, ඉංග්‍රීසි ආණ්ඩුව වගාවන් සඳහා විකුණා දැමීය. ඒවා ගොඩපොළ සහ වාරියපොළ වතු යායවල් බවට පත් විය. (1909, වාරියපොළ වතු යායේ වැඩ බලන අධිකාරී වූයේ, තෝමස් මැක් ලැව්ලන් නැමැත්තෙකි.) 1860 දී, මේ විහාරස්ථානය, වාරියපොළ, වරාපිටිය සහ දුඹුකොළ ගම්වාසීන් විසින් ප්‍රතිසංස්කරණය කරන ලදී.
ශිෂ්‍ය හිමිනමක් නැහැ
සීලක්ඛන්ද හිමිපාණෝ, වාරියපොළ සුමංගල හිමිට පැවිදි ශිෂ්‍යයෙක් සිටි බවට උන්වහන්සේ විසින් සකස් කළ ‘වාරියෙපාළ මාහිමි’ නම් පොතේ ශිෂ්‍යානු හෝ ඥාති ශිෂ්‍ය පරම්පරාවක් පෙළ ගස්වා තිබේ. නමුත්, උන්වහන්සේට ශිෂ්‍යයෙක් සිටි බවක් කිසිම ඓතිහාසික ලේඛනයක සඳහන් වී නැත. උන්වහන්සේ දඹුලු මූකළානේ ද විසූ වේ, ඒ සමඟ ඉංග්‍රීසීන් හිර භාරයට ගත් ගිහි මිනිසුන් තිදෙනෙකු සමඟය. උන්වහන්සේ යාපනේ හිරගෙදර සිටියදීත් උන්වහන්සේට ආවතේව කිරීමට සිටියේ ගිහි පුද්ගලයෙකු බව, මේ හිමි නිදහස් කළ ලේඛනයේ පවා සටහන්කර තිබේ. පැවිදි ශිෂ්‍යයෙක් සිටියේ නම්, ඒ රාජකාරිය අනිවාර්යයෙන් ම ඉටු කරනු ලැබීය. යුත්තේ ඒ ගෝල නම විසිනි. මේ මුල් ලේඛනය පරීක්ෂා කර බැලීමි.
මේ අනුව, සීලක්ඛන්ද හිමි සකස්කර ඇති වාරියපොළ සුමංගල හිමිගේ නම ඇතුළත්, ඉන් ඉදිරියට, තමන් වහන්සේගේ නමත් වීර සුමංගල හිමි පරම්පරාවට ඇතුළත් වන පරිදි පෙළ ගස්වා ඇති පැවිදි පරම්පරාවේ නිවැරදි භාවය කෙරෙහි කිසිම විශ්වාසයක් තැබිය නොහැක.
වාරියපොළ හිමි, මාතලේ හිමි නමක් බවට සනාථවන මෙතරම් කරුණු තිබියදී, උන්වහන්සේගේ අයිතිය පිළිබඳව, කුරුණෑගල දිස්ත්‍රික්කයත්, මහනුවර දිස්ත්රික්ක්රිකයත් අතර පවතින මේ අරෝවේදී, ඇත්ත තත්ත්වය පෙන්වා දීමට යටත් පිරිසෙයින් මාතලේ දිස්ත්‍රික්කයෙන් කිසිවෙක් එදත් මෙන් අදත් ඉදිරිපත් නොවීම විශ්මයට කරුණකි. ඊටත් වඩා පුදුමය වන්නේ, රටේ නිදහස පතා සතුරාට එරෙහිව, ජීවිත ආශාව පවා පරදුවට කැපකර, කැරැල්ලට පණ පෙවීම සඳහා, සතුරාගේ පාලන බලය බිඳ හෙළීම්වස් දළදා වහන්සේ රහසේ ගෙන යාමේ වරදට යුද්ධාධිකරණය විසින් ජීවිතාන්තය දක්වා හිර දඬුවමකට යටත් කොට, මහනුවරින් ගාල්ලටත්, එයින් යාපනේටත් පිටුවහල් කළ සත්‍ය සිද්ධිය, සම්පූර්ණයෙන් අමතක කිරීමය.
වාරියපොළ හිමි ප්‍රතිමාව
වාරියපොළ සුමංගල හිමි, කොඩිය වම් අතින් බිම දමා, දකුණු අත දික්කර ඉතා තර්ජනාත්මක ස්වරුපයක් පිළිබිඹුවන අයුරින් නිමවා ඇති ප්‍රතිමාවක් මහනුවර මහ මළුවේ ඉදිකර තිබේ. මෙවැන්නක් තුඹුල්ලේ සීලක්ඛන්ද හිමි අනුග්‍රහයෙන් කුරුණෑගල වාරියපොළ පාර අයිනේ ඉදිකර ඇත. සැලසුම් වූයේ, හෙන්රි වෝඩ් ප්‍රතිමාව මෙන් ම, මෙයද ප්‍රධාන පාරට මුහුණ ලා පිහිටුවීමටය. එසේ වුවහොත්, එය සෘජුවම මුහුණ ලා පිහිටන්නේ, වැව හරහා, මල්වතු මහා විහාරය දෙසටයි. මා නිවැරැදි නම්, එය එසේ ඉදිවිය.
කෙසේ වෙතත්, එවකට මල්වතු මහා විහාරයේ මහා නායක වූ සිරිමල්වත්තේ ආනන්ද හිමි, එයට දැඩි ලෙස විරුද්ධ වූහ. මහනුවර ඓතිහාසික තොරතුරු ගැන විශාරද දැනුමක් තිබූ බව පිළිගැනුණු උන්වහන්සේ, ඔය කොඩි කතාව අමූලික බොරුවක් බවත්, එවැන්නක් ළඟදී නිර්මාණය කර ප්‍රචාරය කර හැරිය එය සිදු නොවූ බවත් පවසා, අවශ්‍ය නම්, මල්වතු විහාරය දෙසට නැතුව ඕනෑම දිසාවකට මුහුණ ලා එය ඉදිකර ගන්නා මෙන් දැන්වීය.
මෙයින් සංවිධානකයින්ට ප්‍රශ්න ගණනාවකට මුහුණ දීමට සිදු විය. ඊට විරුද්ධ දිසාවට මුහුණ ලා ඉදි කළොත්, එනම් නාථ දේවාලෙ පැත්තට, එහි පිටුපස මහා මාර්ගය දෙසට පමණක් නොව, මල්වතු මහා විහාරය දෙසට හැරවේ. එය බරපතළ ගැටලුවකි. තර්ජනාත්මක ශෛල්‍යයෙන්, අතදිග හැර අඹා ඇති මේ ප්‍රතිමාව, දළදා මාළිගය දෙසට මුහුණ හරවා පිහිටුවීම, කිසිසේත් නුසුදුසු විය. ඊට ප්‍රතිවිරුද්ධ, එනම් රැජින හෝටලය දෙසට හැරෙව්වොත්, එහි පිටුපස දළදා මාළිගය දෙසට හැරෙනු ඇත. එය දළදා වහන්සේට කෙරෙන අපහාසයකි.
කෙසේ හෝ, සැලසුම් කළ පරිදි, මහමළුවේ එවකට ඉදිකර තිබූ පාදස්ථලය කඩා ඉවත් නොකර, වෙන විකල්පයක් නොවූ වෙන්, අවසානයේ, එය මත දළදා මාළිගය දෙසටම මුහුණ ලා පිළිරුව පිහිටුවීමට සිදු විය.