කව් ලැකිය වැඩි වශයෙන් ම යෙදෙන්නේ පද්‍ය රචනය සඳහා ය. පද්‍ය රචනා ගද්‍ය රචනාවලින් වෙනස් වන්නේ විරිත් නිසා ය. පද්‍යයක් රචනා කෙරෙන්නේ කිසියම් විරිතක් අනුව ය. එබැවින් 'පදී බඳනා කිවියර' සිංහලයෙහි එන විරිත් ද දත යුතු ය. 'විරිත්' හෙවත් 'වෘත්ත' යනු ශබ්ද රසයක් උපදවනු පිණිස පදයක අකුරු ගළපන ආකාරය යි.
විරිත් පිළිබඳ ශාස්ත්‍රය 'ඡන්දස් ශාස්ත්‍රය' යනුවෙන් හැඳින්වේ. 'ඡන්දස්' යන්න සංස්කෘත තත්සම පදයකි. ඊට පදයට අනුරූප තද්භව පදය 'සඳස්' යන්න යි. ඡන්දස් අළලා සංස්කෘතයෙන් ලියවුණු වටිනා ම පොත කේදාරභට්ටයන්ගේ 'වෘත්තරත්නාකාරය' යි.ග සංස්කෘත ඡන්දස් හදාරනු පිණිස මේ පොත මෙරට භාවිත විණ. මේ පොත ඇසුරු කොට ගනිමින් පාලියෙන් ද 'වුත්තෝදය' යනුයෙන් ඡන්දස් ග්‍රන්ථයක් දඹදෙණි සමයෙහි දී බිහි විණ.
සඳස් අළලා සිංහලයෙන් ලියවුණු මුල් ම පොත දඹදෙණි සමයෙහි දී ලියැවුණු 'එළුසඳස් ලකුණ' යි. එය ආරම්භ වන්නේ මෙසේ ය:
පිණිපා කොටින් සතර - සඳස් ලකුණු හෙළුවේ
පවසම් පොරණ ඇජරන් - ගියමගිනැලුප් හෙ මෙසේ
මෙය ලියන ලද්දේ භද්‍ර නම් තෙර නමක් විසිනි. විවිධ වෘත්ත හඳුන්වා දීම පිණිස මෙහි එන සමහර නිදසුන් එවක ජනප්‍රියව පැවති පද්‍ය කෘතිවලිනි. 'ගජගැමි විරිත' හැඳින්වීමට දුන් ..නුවණ නී සයුරා - විනේ කුමුදු නීසයුරා, යන නිදසුන මුවදෙව්දාවතෙනි. 'යාගී විරිත' හැඳින්වීමට දුන් ‘රජ පැමිණි බෝසත් - සත් රජුනෙඩි මැඩ විසී’ යන නිදසුන කව්සිළුමිණෙනි.
කව් ලැකියෙන් කෙරෙන පද්‍ය නිර්මාණ වඩාත් රසවත් කිරීමට උපකාර වන සඳස් ලකුණු දුහුනන් දැනුම් සඳහා කියා දෙන 'එළු සඳස් ලකුණ' සිංහල විද්වත් පරම්පරාවේ විශිෂ්ටත්වය කියා පාන සංකේතයකි. එළුසඳස දඹදෙණි කාලය තෙක් පැවති සාහිත්‍යයේ විශාල අඩුවක් පිරවූ පොතකිග මුළු හෙළු කවි කලාවේ විරිත් ලකුණු සදහා ලියැවී මෙකල පවතින පැරණි එක ම පොත මේ හෙයිනියි මහාචාර්ය සන්නස්ගල කියයි. (සිංහල සාහිත්‍ය වංශය 179 පිට)
කව් ලැකියේ අනාගතය
'කව් ලැකිය' හා 'ලෙව් ලැකිය' යන ලේඛන ප්‍රභේදය පැරණි සිංහල සාහිත්‍යයෙහි පමණක් දක්නට ලැබුණු සුවිශේෂ ලක්ෂණයකි. ඒ භේදය අකුරට ම අනුගමනය කිරීම ඈත අතීතයෙහි සම්ප්‍රදාය විණ. 'මධුර' හා 'සිද්ධම්' වැනි තත්සම පදයක් දෙකක් හැරුණු විට පැරණි කව් ලැකියෙහි තත්සම පද හමු නොවේ. එහෙත් මෑත යුගවල දී සිංහල සාහිත්‍ය ක්ෂේත්‍රයෙහි ඇති වුණු නව ප්‍රවණතා නිසා මේ භේදය ක්‍රමයෙන් මැකී යන්නට විණ.
මේ භේදය බිඳ වැටෙන්ට පටන් ගත්තේ කෝට්ටේ යුගයෙහි දී ය. එහි ලා පුරෝගාමී වූයේ වීදාගම මෛත්‍රෙය හිමියන් යැයි සිතේ. හංස සන්දේශය ලියන වීදාගම හිමියෝ රාජ සභා වර්ණනාවෙහි දී සිතා මතා ම කව් ලැකිය නොතකා හරී.
චණ්ඩා තප කිරණ වන් තද තෙදින් දැ බී
බණ්ඩා රනායක තනතුරු සිරින් හෙ බී
වික්‍රම වීර විරිදුන් දැක නොපෑ පි ටි
සක්‍රම නිබොරු බස් මිස නොතෙපලන සැ ටි
අක්‍රම වංක ගුණ මඳකුත් නොගෙන සි ටී
වික්‍රම සිංහ අදිකාරන් මැතිඳු සි ටී, :51
මෙහි එන තත්සම පද රාශියකි. 'චණ්ඩාතප', 'බණ්ඩාරනායක' ,'වික්‍රම','සක්‍රම', 'අක්‍රම', 'වික්‍රමසිංහ' යන පද මෙනි. මේ පද යොදා ගෙන ඇත්තේ එළි සමය රකිනු පිණිස ය.
වීදාගම මෛත්‍රෙය හිමියන් ලියූ 'බුදුගුණාලංකාරය' නම් පද්‍ය කාව්‍යයේ නාමය ද කව් ලැකිය මඳක් නොතකා හරින්නකි. එ් නම කව්ලැකියෙන් ම ලියුවහොත් 'බුදු ගුණ ලකර' විය යුතු ය. එහෙත් 'ලකර' යන තද්භව පදය නොයොදා 'අලංකාර' යන තත්සම පදය යෙදුවේ උන් වහන්සේ සතු ස්වෛරී භාවය පළ කිරීමට විය හැකි ය. ඉන් පසු අවධියක 'ප්‍රශස්ති කාව්‍ය' බිහි වන විට සංස්කෘත තත්සම පද බහුල වශයෙන් සිංහල පද්‍ය සාහිත්‍යයට එක් වූ බව පෙනේ.