තුඹුල්ල වැවේ පාසි බාන රාජාංගණයේ ධීවරයෝ | සිළුමිණ

තුඹුල්ල වැවේ පාසි බාන රාජාංගණයේ ධීවරයෝ

- ජබන් ජබර, සැල්වීනියා, පන් බෝ වෙලා. වතුර ගඳයි. ගම්මුන් නාන්නේ ඒ පල් වතුර 
- වැවේ තිබෙන ජලජ ශාක පහළ කුඹුරුවලටත් බෝ වෙලා

වැවක වටිනාකම හොඳ හැටි හඳුනන්නේ වැව් ගම්මානවල ජීවත් වන මිනිස්සුය. ඔවුන් ගොවිතැන් කටයුතු මෙන්ම ධීවර කර්මාන්තය කරන්නේද වැව ආශ්‍රිතවය. ගැමියන්ට වැවෙන් ලබාගත හැකි පල ප්‍රයෝජන බොහෝය. ඒ ප්‍රයෝජන ලැබීමට නම් වැව නිසි ලෙස නඩත්තු විය යුතුය. කලට වේලාවට නිසි ලෙස නඩත්තු නොවීම නිසා ඉන් පීඩාවට පත් වී ඇති ගැමියෝ බොහෝය. මේ කියන්නට යන්නේද එවැනි කතාවකි.

රාජාංගණය තුඹුල්ල වැව නිසිපරිදි නඩත්තු කිරිමට බලධාරීන් කටයුතු නොකිරීම නිසා ගම්මු අද ගැටලු රැසකට මුහුණපා සිටිති.

රාජාංගණය ව්‍යාපාරය ආරම්භ වූ වකවානුවේදී ඉදි කර ඇති තුඹුල්ල වැව මුල් කාලයේදී පරිසරයට සුන්දරත්වයක් එක් කරමින් බොහෝ සශ්‍රීකව පැවැතිණි. වැව අවට ගම්මාන වල පදිංචි ගොවියන්ගේ හා ධිවරයන්ගේ ජීවිකාවද පහසුවෙන් සලසාගැනීමට එයින් හැකි විය. අද වන විට ඔවුන්ගේ කතාව බොහෝ දුක්බරය. තුඹුල්ල වැව ජලජ ශාකවලින් වැසී පවතින අතර ඒවා ඉවත් කිරීමට යැයි රජයෙන් මුදල් ලබාගෙන නිසි පරිදි ඒවා ඉවත් නොකර රජයෙන් ලබාදෙන මුදල් නිලධාරීන් යටිමඩි ගසාගන්නා බවටද ජනතාව චෝදනා කරති.

ජලජ ශාක හා වෙනත් පාසි වර්ග තම ඔරුවල හා දැල්වල ගැටීම නිසා ධීවර රස්සාව කරගැනීමට නොහැකි වී ඇතැයි ධීවරයෝ මැසිවිලි නඟති. ඔවුන් පවසන ආකාරයට වැවේ ඇති ජලජ ශාක වැව් සොරොව්ව විවෘත කළ විට ගලා ගෙන ගොස් කුඹුරුවලටද බෝ වී ඇත.

කේ. ජයසේකර කලක් තිස්සේ ධීවර කර්මාන්තයේ නියළෙන්නෙකි. ඔහු අප හා මෙසේ පැවසීය.

“අපි ධීවරයෝ විදිහට පුදුම දුකක් විඳින්නේ. දැන් මේ වැවේ ජබන් ජබර, සැල්වීනියා, පන්වගේ ජලජ ශාක පිරිලා. ඒ මදිවට පාසි වර්ගයකුත් ඇවිල්ලා. මේවා අපි මාළු අල්ලන්න දාන දැල්වල පැටලෙනවා. දැල්වලට මාළු අහුවෙන්නේ නැහැ. දැල් අදින කොට එන්නේ පාසි. අපි රෑ දවල් නැතිව ධීවර රැකියාවේ තමයි කරන්නේ. සමහර දවස්වලට රුපියල් 600කවත් මාළු අහු වෙන්නේ නැහැ. අද එක දවසට රුපියල් 1000කට එහා ඕනෑ පවුලක් නඩත්තු කරන්න. අපි කියන්නේ මේ වැවේ පිරිලා තියෙන පාසි ටිකයි, ජලජ ශාක ටිකයි නියම විදිහට ඉවත් කරලා දෙන්න කියලා. එතකොට අපිට පුළුවන් අපේ රස්සාව කරගෙන යන්න.”

ජයසේකර පමණක් නොව පාලිත කුමාර ද ධීවර රස්සාවෙන් දිවි රැක ගන්නෙකි.

“මට කුඹුරු කරන්න ඉඩම් නැහැ. මමත් ජීවත් වෙන්නේ ධීවර රස්සාව කරලා. මට දරුවන් දෙන්නෙක් ඉන්නවා. එයාලා ඉස්කොලේ යවන්නේ, කන්න අදින්න අරන් දෙන්නේ මේ රස්සාවෙන් ලැබෙන සොච්චම් මුදලින්. දැන් වැවේ ජලජ ශාකවලට අමතරව ඉස්සර මාළු ටැංකිවලට දාන්න මිනිස්සු කඩෙන් ගත්ත රුපියල් 10 ඔක්සිජන් උපදවන ශාකත් මේ වැවට ඇවිල්ලා. ඒවාත් දැන් අපේ ඔරුවලයි, දැල්වලයි පැටලෙනවා. වාරිමාර්ගයෙන් එනවා වැව සුද්ද කරන්න. ඒ වුණාට ඒ වැඩේ හරියට කරන්නේ නැහැ. උඩින් පල්ලෙන් ශාක ඉවත් කරගෙන යනවා. මුල් ටික යට එහෙමම තියෙනවා. ආයෙම පැලවෙනවා. ඔවුන් කරන්නේ බොරුවට මුදල් වියදම් කිරීමක්. අපි ඉල්ලන්නේ මේ වැඩේ ක්‍රමවත්ව කරලා දෙන්න කියලා. මේ වැඩෙන් වෙන්නේ ගොවියොයි ධීවරයොයි අසරණ වෙන එක.

කලකට පෙර වැවේ ජලජ පැලෑටි ඉවත් කිරීම සඳහා ද වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වී තිබිණි. නමුදු එයින්ද ගම්මුන්ට අත් වූ සෙතක් නැත.

“ජලජ ශාක අයින් කරන්න ගෙනා මැෂිම පටවාගෙන යන වාහනය මෙතැන දැන් ගොඩාක් කල්. ඒක දිරාපත් වෙනවා. මේ අහිංසක මිනිස්සුන්ගේ සල්ලිවලින් ගත්ත දේවල් මේවා මෙහෙම දිරාපත් වෙනවා.

නිලධාරින් ජලජ ශාක අයින් කරනවා කියලා කරන්නේ බොරුව. මේ වැවේ ජලජ ශාක අයින් කරන්න ගෙනාපු මැෂිම එහා පැත්තේ කැලෑවේ මාසයක්ම හංගලා තිබුණා. අපේ වැවට තොටුපොළක් නැහැ. ඒක හදලා දෙන්න කියලා කොච්චර කීවත් වැඩක් වුණේ නැහැ. එස්. කේ. ජයන්ත වීරසිංහ පවසන්නේ සිත් තැවුලෙනි.

ඒ.එම් ප්‍රියංගිකා කුමුදුනී තුඹුල්ලේ වැවට අද අත් වී ඇති ඉරණම ගැන පවසන්නට වුයේ කනගාටුවෙනි.

“වැව ඉස්සර හරිම ලස්සනයි. දැන් වැවේ සුන්දරත්වය නැති වෙලා. වැවේ තැන් තැන ජලජ ශාකවලනුයි පන්වලිනුයි වැහිලා. අපිටම දුකයි අපේ වැව ගැන. ඉස්සර විනෝද චාරිකා යන මිනිස්සු කොච්චර එනවද? දැන් කවුරුවත් එන්නේ නැහැ. වැව වැවක් විදිහට තිබුණා නම් සංචාරකයොත් එනවා. එහෙම වුණා නම් ගමේ මනුස්සයකුට වෙ‌ෙළඳාමක් හරි කරගන්න තිබුණා. වැවේ තියෙන ශාක පහළ තියෙන කුඹුරුවලටත් බෝවේලා. වැවේ වතුර නාන්න බැහැ. පිරිසුදුව තිබුණ වැවේ වතුර දැන් ගඳයි. ඒ වතුර නෑවාම ඇඟ කසනවා, පලු දානවා. වෙන කරන්න දෙයකුත් නැති නිසා ගමේ මිනිස්සු නාන්නේ වැවේ වතුර.”

වැව නිසා දවස ගෙවාගත් මිනිස්සු දැන් බොහෝ අසරණය. ඔවුන්ට දැන් රැකියාවක් කරගැනීමටද පුළුවන්කමක් නැත. ජේ.පී.එම් කුමාර වැව් මාළු වෙළෙදාම් කිරීමෙන් දිවි රැකගත් අයෙකි.

“මාළු ගන්න මිනිස්සු එනවා. ඒත් මාළු නැහැ. ඉස්සර වගේ දැන් මාළු අහුවෙන්නේ නැහැනේ. වැව රොන්මඩින් පිරිලා. ජලජ ශාකවලින් පිරිලා. අපේ ධීවරයෝ රැයක් දවාලක් නැතිව වැවේ යනවා. ඒ වුණාට එයාලගේ දැල්වලට මාළු වෙනුවට අහුවෙන්නේ පාසි. ඒ නිසා විකුණන්න මාළු නැහැ. අපි රජයෙන් රස්සා ඉල්ලන්නේ නැහැ. අපි ඉල්ලන්නේ එක දෙයයි. මේ ගොඩවෙලා තියෙන වැවේ රොන් මඩ අයින් කරලා වැව පිරිසුදු කරලා දෙන්න කියලා විතරයි. ජලජ ශාක ටික මුලින් ගලවලා ඉවත් කළා නම් මේ වැඩේ මෙච්චර ඇදෙන්නේ නැහැ.”

කුමාර පවසන්නේ වැවට ලැබිය යුතු නිසි විසඳුම ය.

කලක් තිස්සේ පාළුවට ගිය වැවෙන් ප්‍රයෝජනයක් ගැනීමට නොහැකිව ළතවන ගැමියන්ගේ දුක් ගැනවිල්ලට විසඳුමක් තිබේදැයි අප විමසුවේ රාජාංගණය වාරිමාර්ග ඉංජිනේරු ලසිත හේමාල් මහතාගෙනි.

“මේ වන විට වැව ආක්‍රමණය කරගෙන තිබෙන ජලජ ශාක ඉවත් කරන්න අපි දැඩි වෙහෙසක් දරනවා. මේ සඳහා විශාල වියදමකුත් යනවා. අපිට මේක වවාගෙන කන්න අවශ්‍යතාවක් නැහැ. මහවැලි වෙල්පහු වතුර තමයි මේ වැවට එන්නේ. අපිට චෝදනා කරන අය දන්නේ නැතිව මේ වෙල්පහු වතුරත් එක්ක තමයි මේ ජලජ ශාක වැවට එන්නේ කියලා. අපි ශූද්ධ කරන කොට මුලින්ම ගැලෙව්වට වෙල්පහු වතුර එන කොට පාසි ආයෙත් එනවා. ඒක වළක්වන්න බැහැ. ජලජ ශාක ඉවත් කරන යන්ත්‍රය අපි ආයේ ගන්නේ වෙනත් වැවක ජලජ ශාක ඉවත් කරන කොට. එතකල් ඒක අපේ කාර්යාලයට ගෙනෙන්න බැහැ. ජලජ ශාක ඉවත් කරන යන්ත්‍රය මාසයක් කැලේ හංගලා තිබුණා කියන එක බොරුවක්. ඒ යන්ත්‍ර දාලා ඇළවල් ටිකත් ශුද්ධ කළා. අපිත් උත්සාහ කරන්නේ ඉක්මනින්ම ගම්මුන්ට වැව පිරිසුදු කරලා දෙන්න.”

බී.ඩබ්ලිව්.ඩී. ධර්මකීර්ති 
ඡායාරූප - තලාව සමූහ

Comments