නෙළුම්විල | සිළුමිණ

නෙළුම්විල

“මේඅපේ ඉංග්‍රීසි සර් නේද?”

මුල් ම ගුරුපත්වීම ලැබ ඈත එපිට පාසලකට ගිය මා එහි විදුහල්පති කුටිය දෙසට හැරෙත් ම ඔහු මගෙන් එලෙස ඇසුවේ ය.

“ඔව්” කියමින් මම නැවතුණෙමි.

“සර්ව අපේ විද්‍යාලෙට ආදරෙන් පිළිගන්නව!” ඔහු ලිපිගොනුව කිහිල්ලේ ගසාගෙන මට ආචාර කළේ ය. මම ද සමාචාර කළෙමි.

“මං තමයි මේකෙ කලා ගුරුවරය” ඔහු මුව පුරා සිනාවක් පෑවේ ය. ඔහුගේ රවුම් කළු මුහුණ මැද මුතු වන් දසන් පෙළ බැබළුණේ ය.

“සර් මේ පැත්තෙ වැඩි දෙනා දුප්පත් ගොවියො. ඉංග්‍රීසි ගුරුවරු කිපදෙනෙක්ම මෙහාට ආව. ඒත් මාරුව වෙනස් කරවගෙන ආපහු ගියා. සර් කොහොම තීරණයක් ගනීද මම දන්නෙ නෑ. ඒත් සර් මේ දරුවො අහිංසකයො. අත දුන්නොත් නැගිටගන්ඩ පුළුවං දක්ෂයො. සර් අපි එකතුවෙලා මේ දරුවො නැගිට්ටෝමු!”

මම විස්මයෙන් ඔහු දෙස බලා සිටියෙමි. මට ඔහු තුළින් මගේ පැරණි ගුරුවරුන් කිහිප දෙනෙකු මැවී පෙනිණ.

“සර් එහෙනං ලොකු සර් හම්බවෙන්ඩකො. මං ඉන්නෙ අර ඈත කොනේම තියෙන අටේ පන්තියෙ.” ඔහු සිය නම ද කියා සමු ගත්තේ ය.

අපේ මිතුදම ඇරැඹුණේ එතැන් සිට ය. ඔහු මා ඇමතුවේ අපේ ඉංග්‍රීසි සර් කියා ය. මම ඔහු කලා සර් යැයි ඇමතිමි.

කලා සර් දරුවන් සමග චිත්‍ර ඇන්දේ ය. ගී ගැයුවේ ය. නැටුවේ ය. සංගීත භාණ්ඩ වාදනය කළේ ය . ඒ ඇරුණුකොට පන්තිවල ගුරුවරුන් නැති වූ කල සිංහල ද , ඉතිහාසය ද, බුද්ධ ධර්මය ද ඉගැන්නුවේ ය. දරුවන් සමග ක්‍රීඩා කළ ඔහු ඔවුන් විවාද තරගවලට ද යැව්වේ ය.

උදේ ම පාසල් ඒමත්, අන්තිමට ම පාසලින් පිටවීමත් ඔහුගේ සිරිත විය. ඔහු ළමයින් අතර මෙන් ම මාපියන් අතර ද ජනප්‍රිය චරිතයක් විය.

ඔහු පාසල් බිමේ තනි ව සිටි අවස්ථාවක් නොවූ තරම් ය. ඇතැම් විට ළමයි ඔහු වටකර ගන්නෝ ය.

“ඇයි දරුවනේ මේ?”

“සර්, එදා වගේ එක්දහස් එක් රැයේ කතාවක් කියන්ඩකො.”

“මොනවද දැං ඔය දරුවන්ට තියෙන්නෙ?”

“මේ පීරියඩ් දෙකේම තියෙන්නෙ භූගෝල විද්‍යාව. ඒත් මිස් ඇවිල්ල නෑනෙ . අසනීප වෙලා.”

“දරුවනේ ලොකු සර් මට සර් කෙනෙක් නැති පන්තියකට යන්ඩ කියල කියනව. එහෙම නං මං ඊළඟ පීරියඩ් එකේවත් එන්ඩ බලන්නං”

සති අන්තයේ මා පෙරුම් පුරාගෙන සිටියේ එක්කෝ ගෙදර යෑමට ය. නැත්නම් නවාතැනට වී හොඳ හැටි නිඳා ගැනීමට ය. ඒත් ගමේ පන්සලේ නැවතී සිටි කලා සර්ට නම් නිඳා ගැනීමටවත් වෙලාවක් නොවී ය. පන්සලේත් , ගමේත් ඔහුට ඕනෑ තරම් වැඩ තිබිණ. ඇතැම් පෝ දිනවල ඔහු පසු දා පහන් වන තුරු ම පන්සලේ පිංකමේ මල් වට්ටි වෙන්දේසියේ යෙදුණේ ය.

ඒ දිනවල ඔහු පාසල් කාලයෙන් පසු ද නැවතී ළමයින්ට විවිධ ප්‍රසංගයක් පුරුදු කරමින් සිටියේ ය. ඒ පාසලේ අඩුපාඩු සපුරා ගැනීමට මුදලක් සොයා ගනු පිණිස ය. දිනක් මා ඔහු සොයා යන විට ළමා පිරිසකට නාට්‍ය ගීයක් පුහුණු කරවමින් සිටි ඔහු මා දුටු හැටියේ ම එය නවත්වා මා පිළිගත්තේ ය.

“අපේ ඉංග්‍රීසි සර්, අපේ පුහුණු වීම් බලන්ඩ හවස නැවතිච්ච එක ලොකු දෙයක්.”යැයි කී ඔහු ප්‍රසංගයට ඉංග්‍රීසි විචිත්‍රාංගයක් එක් කරන්නැයි මගෙන් ඉල්ලා සිටියේ ය. මෙවිට ම ළමයකු පැමිණ ඔහු බලන්නට ගොස් සිටි වේදිකා තිරය නොලැබෙන බව කලා සර්ට කියා සිටියේ දුක් බර ව ය.

“කමක් නෑ. අපි ඒක සාරිවලින් පිරිමහ ගම්මු. ඔයාලට පුළුවන්ද තම තමන්ගෙ ගෙවල්වලින් හරි නෑදෑ ගෙවල්වලින් හරි තනිපාට සාරි කීපයක් හොයාගෙන එන්ඩ.”

“පුළුවං”

“අපි ඒවට හානි නොවෙන්ඩ ගාණට අමුණල තිර නිර්මාණයක් කරමු.”

පාසලේ ඇතැම් ගුරුවරුන් කලා සර් දෙස බැලුවේ අවඥාවෙනි. ඒ වයිරසය බෝකර තිබුණේ ගණං සර් බව මගේ වැටහීම විය. දිනක් ඔහු මා තනිකොට ගත්තේ ය.“මේ ඉංග්‍රීසි සර්, ඔයා වැදගත් කෙනෙක්. ඇයි ඔයා ඔය කලාකාරය පස්සෙ යන්නෙ? ඔය යකා ආතක් පාතක් නැති එකෙක්. මේ අපි වාගෙ ඉන්ඩ බලන්ඩ!” මම ඔහුට කිසිත් නොකීමි.

සති අන්තයේ දවසක පාන්දර ම මගේ නවාතැනේ දොරට තට්ටු කරනු ඇසී මම ගැස්සී නැගිට දොර ඇරියෙම්. මා දුටුවේ කලබලකාරී මුහුණින් සිටි කලා සර් ය. “අපේ ඉංග්‍රීසි සර්” ඔහු මගේ අත අල්ලා ගත්තේ ය. “දන්නවද? මළ ගෙවල් දෙකයි! එකක් අපේ ගමේ. අනික අපේ ගණං සර්ගෙ ගෙදර. එයාගෙ තාත්ත නැතිවෙලා. යන්ද එහාට ගොඩවෙලා එන්ඩ?‘

අප ගණං සර්ලාගේ මළගෙදර යන විටත් මිනිය ගෙනැවිත් නොතිබිණ. ගණන් සර් මල් ශාලාවට ගොස් සිටියේ ය.

කලා සර් මා අතින් අල්ලාගෙන පසෙකට ගියේ ය. “කොහොමද වැඩේ? ගණන් සර් ඉස්කෝලෙ වගේම ගමෙත් කොන්වෙලා. උදව්වටවත් කිසි කෙනෙක් නෑ. පේනවනෙ අවට හැටි. හැඩිවෙලා. කැලේ වැවිල”

ගේ පිටුපස පැත්තට ගිය කලා සර් ඉදලක් ද, උදැල්ලක් ද රැගෙන මවෙත ආවේ ය. ඔහු අතු ගාන්නට පටන් ගත් අතර මම වල් පැළ කොටන්නට වීමි.

දෙන ගෙන එන ලද්දේ අප මෙසේ පිරිසිදු කරමින් සිටින අතරතුර ය.

ගණන් සර් අප සොයා ආවේ ඉස්පාසුවක් ලද අයකු සේ ය.

“කලා සර්, දැං හට් එක ආවම ඒක හයි කරගන්ඩත් ඕනැ. අර ශෝක ප්‍රකාශ බැනර් එල්ල ගන්ඩත් ඕනැ.” ගණන් සර් කීවේ කියන්නට වෙන කෙනෙකු නොසිටි නිසා විය යුතු ය.

හට් එක පටවා ගත් ලොරිය ආවේ ය. අපි බඩු බිමට බෑවෙමු. කලා සර් නන්නාදුනන ඒ ගම තුළට ගොස් තරුණයන් දෙතුන් දෙනෙකු කැඳවාගෙන ආවේ ය. අපි කවුරුත් එකතු වී හට් එක සවි කළෙමු. එය අවසන් වූ හැටියේ ම ගමේ තරුණයෝ ගියහ. ඉන් පසු අපි බැනර් එල්ලීමු.

උදා අහර ද නොගෙන සිටි අප ඒ වන විට සිටියේ තද කුස ගින්නක ය. මූණ කට සෝදා ගත් කලා සර් මා ද කැඳවාගෙන ගණං සර් හමුවට ගියේ ය.

“ගණං සර්, අපි දැං යන්ඩ ඕනැ. මගෙ යාළුවෙකුගෙත් අම්ම නැතිවෙලා. එයා මට පොඩි කාලේ අපේ අම්ම වගේම කන්ඩ බොන්ඩ දීපු කෙනෙක්. ගිහිං වැඩක් පළක් කර දෙන්ඩ ඕනැ. අපි හත්දොහේ බණට එන්නං”

ගණන් සර් කලා සර් ගේ දෑත ම අල්ලා ගත්තේ ය. ඔහු ගේ තොල් වෙව්ලනු මට පෙනිණ. “කලා සර්, මං ඔයාට නරක විදිහට සලකල තියෙනව. ඒ ගැන ...”

“ඒව හිතිං අයින් කර ගන්ඩ ගණං සර්. මනුස්සකම සේරටම වැඩිය ලොකුයිනෙ” කී කලා සර් මා ද කැඳවාගෙන ආපසු හැරුණේ ය.

අනන්‍යතාව සඟවා සිටීමට කැමති සිළුමිණ පාඨකයෙකු විසින් යොමුකරන ලද ලිපියක් ඇසුරෙනි.

Comments