
මම රජරට ප්‍රදේශයේ ඒ හැටි ප්‍රසිද්ධියක් නැති සාමාන්‍ය පාසලක උප ගුරුවරයෙක් වෙමි. මගේ දෛනික කාල පරාසයෙන් වැඩි කොටස දරුවන්ට පාඩම් කියා දීම සඳහා ගෙවී යයි. ඉතිරිය ගොවිතැන් - බතක් කිරීම සඳහාය. කළ යුතු හෝ, කළ හැකි හෝ වෙනත් වැදගත් රාජකාරියක් මට නැත. මා බඳුම තවත් මිනිස්සු කප්පරක් මේ භූමිය තුළ ඔහේ ජීවත් වෙති. ජීවිතයක් සැබෑ නම්; ඊට ඉලක්කයක් - හැඩයක් - ජවයක් - රිද්මයක් හා තෘප්තියක් තිබිය යුතුය. එහෙත් ඒ සියල්ල අපට අහිමිය.
ලොකු බලාපොරොත්තු ජයග්‍රාහී ඉලක්ක, අනාගත සිහින යන කිසිවක් අපට නැත. නැංගූරම් ලාගත හැකි වරායක් නැතිව මහා සාගරයේ දෙපැත්තට පැද්දෙන බඩු - නැවක් සේ අපේ ජීවිත ද එකතැන පැද්දෙයි. එක තැන පල් වෙයි.
ඩේව්ඩ් බ්රොන්ස්ට්රීන් විසින් රචනා කරන ලද “හව් ටු චේන්ජ් ද වර්ල්ඩ්” නම්; කෘතියට අනුව ලෝකය වෙනස් කළ හැක්කේ නිදිවර්ජිතව වැඩ කරන පුංචි මිනිසුන්ට පමණි. “රෙස්ට්ලස් පීපල්” ලෙසින් කතුවරයා ඔවුන් හඳුන්වා ඇත. එහෙත් ඒ පුංචි මිනිසුන් සංවිධාන කළ යුතුය. ඔවුන් යම් ඉලක්කයක් කරා මෙහෙය විය යුතුය. ඒ සඳහා නිරන්තරයෙන් වැඩ කරන අවංක නායකයන් සිටිය යුතුය. එබඳු සාර්ථක හා කාර්යශූර නායකයන් අපට කොයින්ද?
අපේ ගුරු විවේකාගාරය ඉතා කර්කශ දේශපාලන විවේචනවලින් උණුසුම්ය. රටේ දේශපාලන ක්‍රමය, ජාතික ආර්ථිකය, ආණ්ඩුවේ වැඩසටහන් මෙන්ම නායකයන්ගේ චර්යාවන්ද දැඩි ගර්හාවට හා අපහාසයට ලක්වෙයි. ඒවාට සවන් දෙන විට රුධිර සංසරණ වේගය ශිඝ්‍රයෙන් ඉහළ යයි. එබැවින් මම ගුරු විවේකාගාරයෙන් ලුහුටා යමි. එහෙත් සිතන්නට යමක් ඉතිරි වී තිබේ.
මතුපරපුරේ අනාගතය මෙහෙයැ වන ගුරුවරුන්ගේ මතය පහසුවෙන් බැහැර කළ නොහැකිය. ඔව් හු වැඩ කරන අවංක නායකයකු ඉල්ලා සිටිති. පුංචි මිනිසුන් සමඟ ගනුදෙනු කළ හැකි තැනැත්තකු, නිහතමානී - චාම් දේශපාලකයකු, හොරකම් නොකරන්නකු, නීතිගරුක හා සාමකාමී නායකයකු ලෙසින් ඔහුගේ ගති - ලක්ෂණ අර්ථ ගන්වනු ලැබේ. එවැන්නකු උපයා - සපයා ගැනීම පහසු නැති බව දේශපාලන සන්දර්භය දෙස බලන විට පෙනෙයි. බොහෝ නායකයන්ට දූෂණ චෝදනා ඇත. බොහෝ නායකයන්ට භීෂණ චෝදනා ඇත. දේශපාලනය බොරුකාරයන්ගේ ලෝකයක් බවට පරිවර්තනය වී තිබේ.
පුදුමයෙකි! මීට සති දෙකකට පමණ පෙර සිට අපේ ගුරු විවේකාගාරය අදහාගත නොහැකි ලෙස සන්සුන් වී තිබේ. එය ප්‍රසන්න ස්ථානයක් බවට පරිවර්තනය වී තිබේ. කිසියම් අනාගත අපේක්ෂාවක් පිළිබඳව සේයා එහි රැඳී ඇත. කොටින්ම ඔවුන් සේවූ වැඩ කරන සරල නායකයා සම්මුඛ වී ඇත. දැන් ඒ පිළිබඳ මනෝවෘත්තික කතිකාවක්ද ගුරු විවේකාගාරය තුළ පවතී. මේ නායකයා කවුද? ඔහුගේ දැක්ම කුමක්ද? ඔබ එය හඹා යන්නට වෙර දරමි.
ඔහු පිළිබඳ විවරණයක යෙදෙන්නට පෙර ඔහුගේ පියා පිළිබඳ සටහනක් තැබීම කාලෝචිතය. මන්ද යත්; පියාගේ අභාසය හා කැපවීම නොඅඩුව පුත්‍රයා ළඟ ද පවතින බැවින්ය. ඔහුගේ පියා හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාය. ප්‍රේමදාස මහතා පුංචි මිනිසාගේ ජනාධිපති ලෙස ද පොදු ජනයාගේ නායකයා ලෙස ද හැඳින්විණි. ඔහුගේ දේශපාලන ජීවිතයේ කැපී පෙනෙන ලක්ෂණ දෙකක් තිබිණි. ඉන් පළමු වැන්න නම්; රටේ දිළිඳු ජනයාගේ ගැටලු විසැදීම සඳහා කොන්දේසි විරහිතව ඉදිරිපත් වීමය. දෙවැන්න නම් ; ඔහුගේ සෑම මහජන ව්‍යාපෘතියක් සඳහා ම ඉලක්ක සටහන් කර තැබීමය.
ප්‍රේමදාස මහතා සතු මේ විශේෂ ලක්ෂණ දෙක 1990 ගණන්වල දී ඉන්දීය දේශපාලන විචාරකයන්ගේ සේම එරට බුද්ධිමත් ව්‍යාපාරිකයන්ගේද නිබඳ ඇගැයීමට ලක් විය. එවක ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය ව්‍යාපාරිකයකු කියා සිටියේ ප්‍රේමදාස මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව වේගයෙන් ඉදිරියට යන බවය. ඔහුගේ ඇඟලුම් කම්හල් 200 වැඩසටහන රටේ ආර්ථිකයේ සුවිශාල පිබිදීමක් ඇති කරන බවද එම ව්‍යාපාරිකයා කියා ඇත.
ප්‍රේමදාස මහතාගේ දේශපාලන කාර්යභාරය විශ්ලේෂණය කරන කෙනෙකුට 1978 සිට 1991 දක්වා කාලය අතිශයින්ම වැදගත් වනු ඇත. ඔහු අගමැතිවරයකු ලෙසද ජනාධිපතිවරයකු ලෙස ද රටට හා ජාතියට මහත් සේවාවක් ඉටු කර තිබේ. ඔහුගේ සංවර්ධන උපාය මාර්ග රටේ දිළිඳු ජනතාවගේ ජීවිත සමඟ ද ලෝක ආර්ථිකයේ නව ප්රවණතා සමඟ ද ඉතා හොඳින් ගැළපිණි. ඔහුගේ දැක්ම, සැලැසුම් හා ව්‍යාපෘති අඛණ්ඩව ක්‍රියාත්මක වූයේ නම් ; මේ වන විට ආසියාවේ දියුණු ම රාජ්‍යය බවට පත්වීමට අවකාශය පැවැතියේ ශ්‍රී ලංකාවට ය. ප්‍රේමදාස මහතාගේ සමාජ - ආර්ථික ක්‍රියාවලිය හඳුනාගත හැකි ව්‍යාපෘති හතරක් නම් කළ හැකිය.
1ග්‍රාමෝදය
2 නිවාස වැඩසටහන
3 ජනසවිය
4 ඇඟලුම් කම්හල්
ග්‍රාමෝදය සංකල්පමය වශයෙන් ඉතා වැදගත් ය. එය ගමේ සාමූහික ප්රයත්න සවිමත් කරයි. ගම සංවර්ධනය කිරීම හා පළාත් පාලන ආයතනවල කාර්යභාර්ය විධිමත් කිරීම එහි අරමුණ විය. නිවාස ලක්ෂය, නිවාස දස ලක්ෂය හා නිවාස පහළොස් ලක්ෂය නමින් දැවැන්ත වැඩසටහන් ක්‍රියාත්මක විය. ජනතා සහභාගිත්වය සහිත මේ සංවර්ධන වැඩසටහන් නිසා කුටුම්භය ශක්තිමත් විය. ජනසවිය යනු දිළිඳුකම පිටු දැකීම සඳහා ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ පරමාදර්ශී වැඩසටහන වෙයි. දිළිඳුකම පිළිබඳ සාර්ථක නිර්වචනයක් හෝ ඊට පෙර රටේ නොතිබිණි.
ප්‍රේමදාස මහතා මේ වැඩසටහන සැලැසුම් කිරීම සඳහා මහාචාර්ය මොහොමඩ් යුනුස්ගේ “ග්‍රාමීන් බැංකු” ක්‍රමය හැදෑරුවේය. ආචාර්ය ඊ.එෆ්. ෂුමාකාර්ගේ “ඉස්මෝල් ඊස් බ්යුට්ෆුල්” නම් ලෝක පුජිත ආර්ථික විද්‍යා ග්‍රන්ථය හැදෑරුවේය. ඉහත විද්වතුන් දෙදෙනාම ආර්ථික විද්‍යා විෂය සම්බන්ධයෙන් නොබෙල් ත්‍යාග ලාභීහු වෙති.
ප්‍රේමදාස මහතාගේ ව්‍යාපෘතිවල සැලසුම් හා ඉලක්ක ඇතැම් දේශපාලකයන්ගේ විවේචනයටත් - ගර්හාවටත් ලක් විය. ඇඟලුම් කම්හල් 200 වැඩසටහනට ද දැඩි විවේචන එල්ල විය. එහෙත් අද වන විට රටේ ආර්ථිකයේ වැඩි බරක් ඉසිලීමට එම වැඩසටහන සමත්වී ඇත. ගමේ තරුණ කණ්ඩායම්වල විරැකියා ගැටලුවට විසඳුමක් එහි තිබේ. ජාතික ආර්ථිකයේ විදේශ විනිමය පිළිබඳ ගැටලුවට ද විසඳුමක් එහි තිබේ.
අප ප්‍රේමදාස ජනාධිපතිවරයා උපුටා දක්වන්නේ විශේෂ හේතුවක් නිසාය. එනම්; ඔහුගේ දැක්ම හා ව්‍යාපෘති පවත්වාගත හැකි නම්; රටට ගැළපෙන ආර්ථික මොඩලයක් සේම පොඩි මිනිසා තෘප්තිමත් වන දේශපාලන ආකෘතියක්ද නිර්මාණය කර ගත හැකි බැවින්ය.
සජිත් ප්‍රේමදාස මහතා සිය පියාගේ අඩිපාරේ යන බව පෙනෙයි. ප්‍රේමදාස ජනාධිපතිවරයා හැඳින්වූයේ නිදිවර්ජිත ව පොඩි මිනිසුන් උදෙසා වැඩ කරන නායකයකු හැටියටය. ඔහු නිදි සුව ලැබූ කාලය ඉතා අඩුය. නිදිවර්ජිතව සිටි කාලයෙන්ද 95% ක් යොදාගෙන ඇත්තේ පොඩි මිනිසුන් උදෙසා යමක් ඉටු කිරීම සඳහාය. සජිත් මහතා දවසේ පැය විසි හතරෙන් දහ අටක්වත් පොඩි මිනිසුන් උදෙසා වැඩ කරන බව සමීප ව ඇසුරු කරන්නෝ පෙන්වා දෙති. අපේ දේශපාලන නායකයන්ගෙන් සමහරු උදැසන කාලයෙන් පැයක් හෝ පැය දෙකක් හෝ ඇවිදීමට, ව්‍යායාම කිරීමට නැතහොත් යෝගී ආසනවල යෙදීමට ගත කරති. එය නරක දෙයක් නොවේ. එහෙත් සජිත්ට එවැනි කාලයක් නැත. ඔහු එම කාලය ද ජනතාව වෙනුවෙන් මිඩංගු කරයි. උදැසන හතර පහ අතර කාලයේ වුව ගම්මානයකදී ඔහු දැක ගත හැකිය.
ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ ව්‍යාපෘතිවලට මෙන්ම සජිත්ගේ ව්‍යාපෘතිවලට ද ඉලක්ක තිබේ. නිවාස ව්‍යාපෘති 2500ක්, නිවාස 25,000ක්, දහම් පාසල් ගොඩනැගිලි 1000ක් ආදී ලෙසින් එම ඉලක්ක සටහන් වී ඇත. ඒ සෑම ඉලක්කයක්ම නිශ්චිත දිනයට පෙර විවෘත කොට මහජනයා වෙත භාර දීම ඔහුගේ ක්‍රමය වී තිබේ. සෑම සෙනසුරාදාවකම, සෑම ඉරිදාවකම රටේ කුමන හෝ ප්‍රදේශයක නව ගම්මානයක් විවෘත වෙයි. ඒ සෑම ගම්මානයකම ප්‍රජා ශාලාවක්, ළදරු පාසලක්, විවෘත වෙයි. ගමේ පාරවල් හැදෙයි. නැවත වන වගාව සිදු වෙයි. ඒ අතර විවෘත කිරීමේ උත්සවයේදී ඇස් කණ්ණාඩි බෙදා දෙයි. සජිත් දිනපතා ගමින් - ගමට ඇවිදියි. වැඩ නිරීක්ෂණය කරයි.
සජිත් මහජන සේවය සඳහා පන්නරය ලබා ගන්නේ කොළඹ රාජකීය විදුහලේ පැවැති එක්සත් ජාතීන්ගේ ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරී සාමාජිකයකු වෙමින්ය. රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල ඉදි කළ “රජසිසුගම” ආදර්ශ ගම්මානය ඔවුන්ගේ පළමු මහජන සේවය ලෙස සටහන් වී ඇත. ශිෂ්‍ය ප්රජාවකගේ ශ්‍රම දායකත්වයෙන් ශ්‍රී ලංකාවේ ඉදි වූ පළමු ගම්මානය ලෙස එය ඉතිහාසයට එක් වී ඇත. රජසිසුගම ඉදිකිරීම පිළිබඳ මතකය අවදි කරන ගම්මුන් කියා සිටින්නේ සජිත් එදා පුංචි කොලු ගැටයකු ලෙස සිය සාමාජිකයන්ද හසුරුවා ගනිමින් අපූරුවට වැඩ කළ බවය. “හරි නිහතමානී ළමයා හුඟාක් මහන්සියෙන් වැඩ කළා’ යැයි රජසිසුගම පැරණි ගැමියෙකු කියනු අපට අසන්නට ලැබිණි.
අප්‍රිකාවේ මහා ලේඛකයා ලෙසින් ප්‍රකට ව සිටි චිනුවා අචෙබේ නයිජීරියාවේ දේශපාලකයන් දිගට - හරහට විවේචනය කළේය. ඔහු වරෙක කියා සිටියේ අපේ රටේ නායකත්වයන්ට පොඩි මිනිසා ගැන හෝ රට ගැන හෝ කිසිදු හැඟීමක් නැති බවය. අප්‍රිකානු රටවල බොහෝ නායකයන්ගේ අභිප්‍රාය වූයේ තමන්ගේ හා තම පවුලේ සුඛ - විහරණය සපයා ගැනීම පමණි. බලය - ආරක්ෂාව හා මහා මන්දිර ඔවුන්ගේ අපේක්ෂා අතර ප්‍රධාන විය. ඒ අනුව අචෙබේගේ විවේචන සලකා බලන විට සජිත් මහතා මෑතකදී කළ ප්‍රකාශයක් අප සිහියට නැගේ. එනම්; වෙඩි නොවදින අලුත් රථ හා සැපපහසු මන්දිර තමන් ප්‍රතික්ෂේප කරන බවය. එබඳු දේපොළ මහජන සුබසිද්ධිය සඳහා යොදවන බවද ඔහු කියා සිටී. පාකිස්තානයේ වත්මන් අගමැතිවරයා ද එබඳු ජනතා පොරොන්දුවක් ලබා දී එය ඉටු කරමින් සිටී. ජනතාව වෙනුවෙන් වැඩ කිරීමට මහා මන්දිර අවශ්‍ය නැත.
සජිත් ප්‍රේමදාස මහතාගේ දේශපාලනය විග්රහ කරන කෙනෙකු පළමුව සොයා බැලිය යුත්තේ; ඔහු හම්බන්තොටින් දේශපාලන ගමනක් ආරම්භ කළේ ඇයි ද යන්නය. ලෙනාඩ් වුල්ෆ් හම්බන්තොට හැඳින්වූයේ වනය විසින් ගොදුරු කරගනු ලබන නූගත් ගැමියන් වසන අති - දුෂ්කර කලාපයක් හැටියටයි. හම්බන්තොට හා මොනරාගල යන දිස්ත්‍රික්ක දෙක දරිද්‍රතාව වැඩියෙන්ම සටහන් කරන දිස්ත්‍රික්ක දෙක ලෙස ප්‍රචලිතය. අභියෝගවලට මුහුණ දීමේ කැමැත්ත මෙන්ම පුංචි මිනිසුන් වෙනුවෙන් වැඩ කිරීමේ අභිලාසය ද මේ තෝරාගැනීම ඔස්සේ වටහා ගත හැකිය. හම්බන්තොට දී සජිත් මහතා වඩාත් ප්‍රකට වන්නේ ඔහුගේ ස්වයංරැකියා වැඩසටහනත් සමඟය. බලය නැති කාලයේ පවා දිස්ත්‍රික්කය පුරා ඇවිදිමින් මේ ව්‍යාපෘතිය සාර්ථක කරගන්නට ඔහු සමත් විය. විරැකියාව හම්බන්තොට තරුණ ප්රජාවගේද, කාන්තා පරපුරේද සුවිශේෂී ගැටලුවක් වෙයි. සජිත්ගේ ස්වයංරැකියා ව්‍යාපෘතිය නිසා ස්වකීය ජීවිතය සාර්ථක කරගත් බොහෝ දෙනා එහි සිටිති. ඔහු වරෙක හම්බන්තොට කාන්තාවන් සඳහා මහන මැෂින් බෙදා දුන්නේය. එය සාර්ථක වැඩසටහනක් බව කාන්තාවෝ කියති.
හම්බන්තොට සඳහා වරායක්, ගුවන් තොටුපොළක්, අන්තර්ජාතික සම්මන්ත්රණ ශාලාවක් හා අන්තර් ජාතික ක්‍රීඩාංගණයක් ලැබී තිබුණද එහි ජනී ජනයාගේ දිළිඳුකම තුරන් වී නැත. දිළිඳුකමේ ගැඹුර තව තවත් වර්ධනය වන බවක් නම් පෙනෙන්නට තිබේ. සජිත් වරෙක කියා ඇත්තේ තමන් හම්බන්තොට විප්ලවයක් ඇති කරන බවය. අපට හැගෙන පරිදි ඉදිරි කාලය ඒ සඳහා යොදාගත හැකිය.
අපේ ගුරු විවේකාගාරයේ තීන්දුව නිවැරැදිය. තෝරාගැනීම ද නිවැරැදිය. බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් කීවා සේ සුදුස්සාට සුදුසු තැන ලැබිය යුතුය. මෙයින් වසර විසිනවයකට පෙර 1990 එක්තරා දිනයකදී තරුණ සජිත් කිරුළපන දේශපාලන වේදිකාවකට නැංගේය. ඒ පළමු වරටය. එවකට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ද වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ලෙස ද කටයුතු කළ රන්ජන් විජේරත්න මහතා එම වේදිකාවේ සිට ම සජිත්ට සාර්ථක දේශපාලනයක් ඇතැයි කියා සිටියේය. එය ඉංග්‍රීසි පුවත්පත් වාර්තා කර තිබුණේ “බ්‍රයිට් පොලිටිකල් ෆියුඩර් ෆෝ සජිත්” යනුවෙන්ය. රන්ජන් විජේරත්න හැම ප්‍රකාශයක්ම සිදු කළේ හොඳින් සිතා මතා තර්කානුකූලවය. රන්ජන් විජේරත්න මහතාගේ කියමන අද සනාථ වී තිබේ.
එවකට අවුරුදු විසි තුනක පමණ හිරිමල් තරුණයකුව සිටි සජිත් දේශපාලන වේදිකාව මතට ගොඩවීම ඇත්ත පත්තරය පවා අනුමත කර තිබුණි. සජිත් වෙනුවෙන් කතුවැකියක් වෙන් කළ ඇත්ත කතුවරයා සිය වැකිය අවසන් කර තිබුණේ මෙසේය.
“රන්ජන් විජේරත්න මහතා දුන් අවවාදය පිළිපදින්න. දේශපාලන ඉණි මගේ පහළ කොටසින් පටන්ගෙන ඉහළට නඟින්න!”
සජිත් පහළින් පටන්ගෙන හෙමින් සීරුවේ ඉහළට ගමන් කරයි. හීන් සැරය ලොකු බව වැඩ කරන ජනතාව හොඳින් ම දනිති.