
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසඳය පිළිබඳව හා එහි අරමුණු පිළිබඳව කිසියම් පැහැදිලි කිරීමක් කළොත්?
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය ක්‍රියාකාරී වන්නේ 2014 සිටයි. අපට අරමුණ වුණේ මේ ගෞරවනීය වෘත්තිය ආරක්ෂා කොට රැකගැනීමයි. වෘත්තීය සමිතියක් වශයෙන් ක්‍රියාත්මක වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ක්‍රියා කලාපය නිසා වෛද්‍යවරුන්ට මෙතෙක්කල් තිබුණු වෘත්තීය ගරුත්වය අද කෙළෙසිලා. අවුරුදු 93ක ගෞරවනීය ඉතිහාසයකට උරුමකම් කියන මේ සංගමය පහුගිය අවුරුදු 10-15 අතර කාලය තුළ දේශපාලන පක්ෂයක විලාශයට පරිවර්තනය වෙලා. එහි සිටින වත්මන් නායකයා සිය දේශපාලන අනාගතය නිර්මාණය කර ගැනීම සඳහා දේශපාලන න්‍යාය පත්‍රයක් අනුව කටයුතු කිරීම ඒකට හේතුවයි. අද එය ඉතාම පැහැදිලිව ජනතාවට පේනවා. වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් වාර්ෂිකව එහි සාමාජිකයන් 22600කගෙන් වසරකට සාමාජික ගාස්තු වශයෙන් රුපියල් 6000ක් අයකර ගනු ලබනවා. වාර්ෂිකව මිලියන 150 පමණ මුදලක් මේ සංගමය විසින් වියදම් කරනවා. ඒ මොනවටද කියන කාරණාව අද වෛද්‍යවරුන්ටත් ප්‍රශ්නයක්. ඒවගේම මේවා වගකිවයුතු ආකාරයට විගණනය වෙන්නේ නැහැ. අපට දැන ගන්න ලැබෙන ආකාරයට මේවා කිසියම් දේශපාලන පක්ෂයක අරමුදල් වෙනුවෙන් යොදවා තිබෙනවා. ඒ ආකාරයට මුදල් ලබාදීම මඟින් මේ සංගමයේ ප්‍රධාන නිලතල දරණ අයට ඒ පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර ලබාගැනීමට ගිවිසුම් ඇති කරගෙන තිබෙන බව අපට දැනගන්න ලැබුණා.
ඔබ මේ එල්ල කරන්නේ බරපතල චෝදනාවක්. මේ බව ඔප්පු කරන්න ඔබ ළඟ තියෙන සාධක මොනවද?
මේ මුදල්වලට මොකද වුණේ කියල හොයන්න නම් සී.අයි.ඩී පරීක්ෂණයක් කළ යුතුයි. මේ සංගමය දැන් දේශපාලනීකරණය වෙලා තියෙන්නේ. මං මේ කියන කාරණය ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේදී ලැබෙන ප්‍රතිඵලය අනුව සක්සුදක් සේ ඔප්පු වේවි. ඊට පස්සේ ඔබ මගෙන් අහන්න ඔයා එදා කිව්ව දේ බොරුද නේද කියලා.
නමුත්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දේශපාලනීකරණය වීම ගැන වෛද්‍යවරුන්ගේ එතරම් අකමැත්තක් නෑ නේද?
කවුද එහෙම කියන්නේ; මේ වෘත්තීයේ ගෞරවය ගැන හිතන කිසිම වෛද්‍යවරයෙක් එය දේශපාලනීකරණය වීම අනුමත කරන්නේ නැහැ. ජී.එම්.ඕ එක දැන් වැඩ කරන්නේ දේශපාලන න්‍යාය පත්රයකට බව ඔවුන් දන්නවා. ඔවුන්ගේ ස්වාධීනත්වය හීනවෙලා ඔවුන් කිසියම් දේශපාලන පක්ෂයක අතකොලුවක් බවට පත් වීම කිසිසේත්ම ඔවුන් අනුමත කරන්නේ නැහැ. මේ හේතුව නිසා වෛද්‍යවරුන්ගේ වෘත්තීය අයිතිවාසිකම්, සුබසාධන කටයුතු සම්පූර්ණයෙන් ම ඇන හිටලා. මේ වගේ වාතාවරණයක් තුළ ඔවුන් ඉන්නේ විශාල කලකිරීමකින්. ඒ නිසා තමයි වෛද්‍යවරුන්ගේ සැබෑ ප්‍රශ්න වෙනුවෙන් පෙනී ඉන්න පුළුවන් සංවිධානයක් අප නිර්මාණය කළේ. ඔවුන් ඒ අයව පිළිගත්ත නම් අපට මෙවැනි සංවිධානයක් හදන්න අවකාශ සැලසෙන්නේ නැහැ. මේ වෙද්දි දහසකට කිට්ටු සාමාජිකයන් පිරිසක් අපේ සංසදය වටා පෙළ ගැසෙමින් තිබෙන්නේ ඒනිසා. ඉදිරියේදී තවත් බොහෝ අය මේ වටා පෙළගැසේවි.
අපි දැක්කා පසුගිය දා (18 වෙනිදා) රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරනවා. ඔවුන් කියන්නේ එය සාර්ථක වූ බවයි.
ඒක අමූලික බොරුවක්. විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයත්, සමස්ථ ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය විදියට අපිත් මේ වැඩ වර්ජනයට දායක වුණේ නැහැ. ඒ දවසේ වෛද්‍යවරුන්ගෙන් 75% වැඩ කළා. ඒ වගේම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නියෝජනය කරන නමුත් වැඩවර්ජනවලට එකඟ නැති බොහෝ වෛද්‍යවරු ඊට සහය දැක් වූයේ නැහැ. ඒ අය තමන්ගේ වෘත්තීය කටයුතුවල නියැළී සිටියා. සමහර ගම්පලාත්වල වෛද්‍යවරු හිඟකම නිසා එක්කෙනෙක් දෙන්නෙක් නාවත් ඒක ලොකුවට දැනෙනවා. කොහොම නමුත් මේ දේවල් නිසා අසරණ වෙන්නේ රෝගී ජනතාව. ඒ අය අසරණ නොකර බෙහෙත් හේත් කරන්න වෛද්‍යවරුන් විදියට අපට යුතුකමක් තිබෙනවා. වෛද්‍යවරු විදියට අප එය පැහැර නොහැරිය යුතුයි. ඔවුන් අපේ පුද්ගලික වාසාය තකා යොදා නොගත යුතුයි.
ඇත්තටම මේ වැඩ වර්ජනවලට හේතුවෙලා තියෙන්නේ රජයේ වෛද්‍ය සංගමයේ තිබෙන අකර්මන්‍ය භාවයයි. ඒකට මේ අසරණ රෝගීන් පළි නැහැ. ප්‍රතිපත්තිමය වශයෙන් බැලුවොත් වෛද්‍ය වෘත්තීය සමිති ක්‍රියාත්මක විය යුත්තේ වැඩ වර්ජනවලින් තොරවයි. ඒ අදාළ නෛතික ලේඛනවල සඳහන් වී තිබෙනවා. ඒ නැතත් රෝගීන් බිල්ලට ගෙන කටයුතු කරන්න අපට සදාචාරාත්මක අයිතියක් නැහැ.
නමුත් සටන් නොකර; වෛද්‍ය වෘත්තිකයන් ඔවුන්ගේ ඉල්ලීම දිනා ගන්නේ කොහොමද ?
ඒකට තමයි වෛද්‍යවරුන්ට විධායක කමිටුවක් තිබෙන්නේ. මේ විධායක කමිටුව නිසියාකාරව කටයුතු කරනව නම් ඉල්ලීම් දිනාගන්න සාමාජිකයන්ට වැඩ වර්ජන කරන්න කියල පොලඹවන්න ඕන වෙන්නේ නැහැ. විධායක කමිටුව බලවත් නම් ඒ අය කියනදේට රජය ඇහුම්කන් දෙනව නම් මේ දේවල් අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් මෙතන වෙලා තියෙන්නේ විධායක කමිටුවේ ප්‍රධානියා ලෙස කටයුතු කරන වෛද්‍ය පාදෙණියගේ දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධයෙන් වන ලිපිගොණු කිහිපයක් මහින්ද රාජපක්ෂ මහත්තයා ළඟ තිබීමයි. ඔහු ඒ ලිපිගොණු දඩමීමා කරගෙන පාදෙණිය ඇතුළු මෙහි ප්‍රධානීන් පිරිසක් රූකඩ බවට පත් කරගෙන තිබෙනවා. ඒනිසා මේ අය රජය සමඟ කිසිම දෙයක් සුහඳ ව සාකච්ඡා මාර්ගයෙන් විසඳ ගන්න කැමති නැහැ. ඒ නිසා ඡන්දයක් ළං වෙන හැම අවස්ථාවකදීම මේ අය රූකඩ නටවනව වගේ නටවන්න මහින්ද මහත්තයට පුළුවන්. ඒකෙන් අසරණ වී සටින්නේ මේ රටේ දුප්පත් අසරණ ජනතාව. ඔවුන්ට මුදල් ගෙවල පුද්ගලික රෝහල්වලට යන්න බැහැ. අද මේ අය ජනතාව වෙනුවෙන් කටයුතු කරනව කිව්වට; ඔවුන් හැසිරෙන විදියෙන් ඒ බව පෙන්නේ නැහැ.
ඔබ ඔය කියන විදියට වෛද්‍ය පාදෙණිය සම්බන්ධයෙන් තිබෙන ලිපිගොණු මොනවද?
එකක් තමයි විදේශ විනිමය පිළිබඳ මූල්‍ය වංචාවක් සිදු කළ බවට නැගෙන චෝදනාව පිළිබඳ ලිපි ගොණුව; අනික් එක විශේෂඥ වෛද්‍ය විභාගය සමත් වීම සඳහා කරන ලදැයි කියන අක්‍රමිකතාවයක් පිළිබඳ ලිපි ගොණු; ඊළඟට රිජ්වේ ළමා රෝහලට ම මුල්ම පත්වීම ලබාගැනීමේ අක්‍රමකතාවක් පිළිබඳ ලිපිගොණුව; මේ සියලු ලිපිගොණු තිබෙන්නේ මහින්ද රාජපක්ෂ මහත්තය ගාව. ඒ නිසා ඔහුට අද එක්තරා දේශපාලන පක්ෂයක අවශ්‍යතාව වෙනුවෙන් පෙනී සිටීමට සිදුව තිබෙනවා.
නමුත් මේ හැමදේකින්ම තැලෙන්නේ මේ රටේ මහජනතාව වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය විදියට ඔබලටත් මේ ගැන වගකීමක් තියෙනව නේද?
අපට එවැනි දේ වෙනුවෙන් ක්‍රියා කරන්න හැකියාවක් නැහැ. අප ඉදිරියේදී මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්න කියල ලිපියක් බාරදෙන්න අදහස් කරගෙන ඉන්නවා. නමුත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ තැනට ගෙනාපු එක ගැන අප රජයට දොස් පවරනවා. මොකද මේ අය වෘත්තීය සමිති ආඥාපනතට පටහැනිවයි කටයුතු කරන්නේ. මේ ආඥාපනතට අනුව මේ වෘත්තීය සමිති ව්‍යාපාරය අහෝසි කරන්න පුළුවන්. මොකද අපි දැක්කා පහුගිය දවස්වල මේ අය දේශපාලන ඉල්ලීම් කරනවා. වෘත්තීය සමිති ව්‍යාපාරයකට වෘත්තීය අවශ්‍යතා වෙනුවෙන් මිසක් දේශපාලන ඉල්ලීම් කරන්න බැහැ. උදාහරණයකට අප ඇක්කා පසුගිය 22 වෙනිදා ඔවුන් දේශීය හා වෛද්‍ය අමාත්‍යවරයාගෙ ප්‍රජා අයිතිය අහෝසි කරන්න කියල ඉල්ලීමක් කරනවා. එවැනි දේ දේශපාලන සංවිධානයකට කරන්න පුළුවන්. නමුත් වෘත්තීය සමිතියකට එවැනි ඉල්ලීමක් කරන්න අයිතියක් නැහැ. අද ඔවුන් යහපාලනයට හා ප්රජාතන්ත්රවාදයට මුවාවී ඉන් අනිසි ප්‍රයෝජන ගෙන කටයුතු කරනවා.
ඔබලට ඒ වෙනුවෙන් නීතිය ඉදිරියේ කටයුතු කරන්න පුළුවන් නේද?
ඇයි? අපි එහෙම කරන්නේ මොකටද ?.ඒක රජය කරන්න ඕන දෙයක්. විශේෂයෙන් ම සෞඛ්‍ය අධ්යක්ෂ ජෙනරාල් වරයයි සෞඛ්‍ය ලේකම්වරයයි මේ ගැන ලියන්න ඕන වෘත්තීය සමිත කොමසාරිස්වරයට. මේ සංගමයේ ලියාපදිංචිය අහෝසි කරන්න කියලා ලියලා ඉල්ලා සිටින්න ඕන. සෞඛ්‍ය අමාත්‍යවරයා හෝ පාර්ලිමේන්තුව මේ සම්බන්ධයෙන් දැනුවත් කරන්න ඕන. එහෙම කරල මේ සංගමය අහෝසි කරල,; මේ සියලු නිලධාරීන් සම්බන්ධයෙන් විනය පරීක්ෂණ කරන්න ඕන. එහෙම නැතුව මේ ක්‍රියාව නතර වෙන්නේ නැහැ.