දුරකථනය නාද විය.
‘හලෝ!’
‘මේ, සුබ ආරංචියක් කියන්ඩයි කතා කෙරුවෙ. කළු අයිය ආයෙත් පවුල් වෙලා!’
‘බොරු!’
‘ඇත්තද බොරුද කියල ඇවිල්ල බලාගන්ඩකො. ඔය අලුත් ජෝඩුව අගේට ඉන්නෙ!’
ඇමතුම දුන් ඥාතියා උස් හඬින් සිනා සුණේ ය. මට ද හිනා ගියේ ය. මා තුළ සිටින දුහුනාට මේ ආරංචිය කේජු කෑල්ලක් විය. මම දකින දකින කෙනාට මේ ආරංචිය දුනිමි. කවුරුත් මුල දී පුදුම වී පසුව සිනාසුණහ. සිනා හඬ මැකී ගිය කල වරදක් කළ අයකු ගේ හිතේ ඇතිවන තැවුල මසිත ද ඇති විය.
කළු අයියා වෙසෙන්නේ අපේ මුල් ගම් පළාතේ ය. අපි එහි ඉඩකඩම් විකුණා නගරයට කිට්ටු ව පදිංචි වී සිටිමු. දැන් ගම හා ඇසුර අඩු ය. කළු අයියා තව ම ඒ පරණ ගැමියා ම ය. කළු අයියා කවදාවත් හිනැහුණු මිනිහෙක් නොවේ. කිසි දවසක ඔහුගේ මුහුණේ හිනාවක් නැගී තිබෙනු මා දැක නැත. බිම බලාගෙන ම යන, බිම බලාගෙන ම කතා කරන ඔහු බිම බලාගෙන ම වැඩ කළේ ය. ඔහුට උරුමයෙන් ම ලැබුණු ඉඩමක් තිබේ. ඔහු මහන්සි වී වැඩ කර එය සරු කර ගත්තේ ය. සෙසු පොල්වතු නියං කාලයේ නිසරු වී ගිය ද නිරන්තර ව සැලකුමට බඳුන් වූ ඔහු ගේ වත්තේ පොල් අස්වැන්නෙහි ලොකු අඩුවක් නොවී ය. පොල් තොගයට විකුණා නොදැමූ ඔහු ටිකින් ටික කඩා ලෙලි ගසා සිල්ලරට වික්කේ ය. පොල් ලෙලි ද, වියළි අතු ද, හනසු ද ඔහු මුදල් කර ගත්තේ ය. ඒ ඇරුණුකොට පුංචියට ගඩොළු පෝරණුවක් ද දැම්මේ ය. ගෙට අල්ලා තනන ලද මඩුවේ වෙල්ඩින් වැඩ ද පටන් ගත්තේ ය. අප දකින හැම මොහොතේ ම ඔහු එක්කෝ වත්තේ කොටමින් සිටියේ ය. නැත්නම් තනියම ගඩොළු කපමින් සිටියේ ය. එසේත් නැත්නම් කලාතුරකින් ආ පාරිභෝගිකයකු සමඟ වෙල්ඩින් වැඩක් කරමින් සිටියේ ය. දවස් තුන්සිය හැටපහේ ම වැඩපළවල ම යෙදී සිටි ඔහුට සිනා සී කතාබහ කිරීමට එක මොහොතක් හෝ නොවී ය.
හිටිඅඩියේ ම ගම කිතිකැවූ ආරංචියක් පැතිර ගියේ ය.
‘කළුව හොරෙන්ම කසාදයක් කරගෙන!’
සියලු වැඩපළ නැවැත්වූ ගම්මුන්ගේ ප්‍රධාන මාතෘකාව බවට පත් වූයේ කළු අයියා ගේ අමුතු විවාහය ය. මම බොරු වුවමනාවක් මවාගෙන කළු අයියා හමුවීමට ගියෙමි.
‘මොකද?’ ඔහු පොල්ලෙන් ගැසුවාක් මෙන් මගෙන් ඇසුවේ ය.
‘කළු අයියෙ මොකක්ද මේ ගමේ යන ආරංචිය?’
‘ඉතිං මොකද? මට හිතුණ. මං කැන්දං ආව. ඕව ඉතිං කිය කියා කරන්ඩ ඕනැ වැඩයැ. ඒක මගෙ වැඩක්. මොකටද ආවෙ? මොකක්ද වුවමනාව?’
‘ඒත් ඉතිං ගමේ මිනිස්සුන්ට බත් කටක් කැවුමක් කොකිසයක් දීල සන්තෝස කරල මඟුල කෙරුණ නං නේද හොඳ?’
‘ඕව බොරු වැඩ. වැඩක් පළක් නැති උං මවාගත්තු දේවල්. උන්ට කතා කරකර ඉන්ඩ කියහං. මට තියෙනව කරන්ඩ වැඩ!’ කළු අයියා උදැල්ල ගෙන වත්ත පැත්තට යන්නට ගියේ ය. ඔහුගේ මනාලිය ද මුහුණ වසන් කරගෙන ඔහු පසු පස ගියා ය.
දරුවකු මල්ලකු නොලැබුණ ද කළු අයියලා කාලයක් හොඳින් පවුල් කෑහ. අවාසනාවකට මෙන් බිරිය සුව කළ නොහැකි රෝගයකින් මිය ගියා ය. කළු අයියා ගමේ කිසිදු වැඩකට සහභාගි නොවුව ද ගම්මු එය නොතකා මළ ගෙදර වැඩ කරට ගත්හ.
වැඩි කාලයක් ගත නොවී ම කළු අයියා ගැන අලුත් ආරංචියක් පැතිර ගියේ ය.
‘කළුව ආයෙත් පවුල් වෙලා!’
ඔහු කැන්දා ගෙනැවිත් සිටියේ කුඩා දරුවකු ද සිටින ගැහැනියකි.
මම කළු අයියාගේ මිදුලට ගොඩ වීමි. ඔහු මුහුණ පුලුටු කරගෙන මදෙස බැලුවේ ය. අලුත් බිරිය දරුවා ද වඩාගෙන කුස්සි මඩුවේ උයමින් සිටියා ය.
‘ආරංචියක් ආව! ඒකයි මේ...’
‘උඹලට මේව තේරෙන්නෙ නෑ. මේ දහසක් වැඩපළ මැද්දෙ මං කොහොමද උයාපිහා ගන්නෙ?’
ඔහු කේන්තියෙන් ඇසුවේ ය. ඒ පවුල් කෑම වැඩි දවසක් තිබුණේ නැත.
‘මහ බොරුකාරි! මුලදි කිව්වෙ එක ළමයයි කියල. පස්සෙ දෙන්නෙක් උණා. ඉං පස්සෙ තුන්දෙනෙක් උණා. අන්තිමේ මහ අම්මණ්ඩිවත් එක්කං ආව. පරංපරාවකට කවන්ඩ මට පුළුවනෑ. එළෝල දැම්ම’ කළු අයියා නිදහසට කරුණු කිව්වේ ය.
ඒ අතීත කතාව ය. මේ තුන්වැනි බිරින්දෑගෙන් ඒ අතීතය මුළුමනින්ම වැසීගියේය.
දිනක් නගරයේ දී කළු අයියා සිය අලුත් බිරිය හා යතුරු පැදියේ යනු මම අහම්බෙන් දුටිමි. ඔහු සුපුරුදු පරිදි මුහුණ ඇල කරගෙන සිය තැපැල් නයින්ටිය පැදගෙන යමින් සිටියේ කූඹි ගමනිනි. උස මහත සිරුරින් හෙබි අලුත් බිරිය පිටිපස අසුන අරා සිටියේ බඩු මල්ලක් ද ඔඩොක්කුවේ තබාගෙන ය. ඇගේ බර දැරීමට අමාරුවෙන් මෙන් තැපැල් නයින්ටිය හීං කෙඳිරියක් නැඟුවේ ය.
‘දැක්කද?’
මම හැරී බැලුවෙමි. ගමේ පරණ කෙනෙක් සිය හිනා මුව මවෙත පෑවේ ය.
‘ඔය ඉන්නෙ මදි නොකියන්ඩ ඒ ගමන!’
අනන්‍යතාව සඟවා සිටීමට කැමැති සිළුමිණ පාඨකයකු විසින් යොමුකරන ලද ලිපියක් ඇසුරෙනි.
නෙළුම්විල සිළුමිණ,
ලේක්හවුස්,
කොළඹ 10.