
ජේ. ආර්. මරමු' කියා රට පුරා පෝස්ටර් ව්‍යාපාරයක් යනකොට ජේ.ආර් රටේ ජනාධිපති ය. නිකන් ජනාධිපති නොව විධායක ජනාධිපති ය. ඉන්දු ලංකා ගිවිසුම නිසා ඒ දවස්වල ජේ ආර් දිහා බොහෝ දෙනා බැලුවේ වියරු සර්පයෙක් දෙස බලන ගානට ය.
"මේ ත්රස්තවාදීන් එන්නේ රෑට, නැත්නම් හොරෙන්. ඒකයි මගේ සැකය. මේ ගැනයි, මගේ කණගාටුව තියෙන්නේ. ඇයි බැරිද විඡේවීරට කෙළින්ම ඇවිත් කියන්න ජයවර්ධන මහත්තයා, මම තමුන්නාන්සේ මරනවා..." කියලා. ජවිපේ විරෝධය ඉවසන්න බැරි තැන ජේආර් එහෙම කීවේය. දෙවැනි කැරැල්ල පටන්ගෙන රට පුරා ඝාතන සිදු වෙත්දී ජේ ආර් විජේවීරට අභියෝග කළේ එහෙම ය. මැතිනිගේ ආණ්ඩුවෙන් සිර කළ විජේවීරලා නැවත නිදහස් කළේ ජේ ආර් ය. එහෙව් තමන්ට එරෙහිව විජේවීරලා කැරලි ගසතැයි ජේආර් නොසිතන්නට ඇත. විජේවීරලා දෙවෙනි වතාවට අවි අතට ගන්න කොට මැතිනිලා ජේ ආර්ට ඔලොක්කුවට සිනාසුණේ ය. ජේ ආර් ජනාධිපති ලෙස දිවුරුම් දුන්නේ ගෝල්ෆේස් එකේ ය. ජේ ආර් විජේවීරට අභියෝග කළේත් ගෝල්ෆේස් එකට එන්න කියා ය. 'මං ආරාධනා කරනවා එතුමාට, දිනයක් නියම කරන්න, ගෝල්ෆේස් එකට මම එන්නම්. මම තනියම පයින් එන්නම්. තමුන්නාන්සේ ආයුධ තෝරන්නේ බෝම්බයක්ද, පිහියක්ද, කඩුවක්ද, තුවක්කුවක්ද, ටී 56 යක්ද...? මම නම් දන්නේ නැහැ, පාවිච්චි කරන්න. තමුන්නාන්සේ නම් හොඳට දන්නවා ඇති. පාවිච්චි කරන්න. අපි දෙන්නා මූණට මූණ සටන් කරමු. බලමු, අපි දෙන්නගෙන් කවුද මැරෙන්නේ, කවුද ජීවත් වන්නේ කියලා.' මෙහෙම අභියෝගයක් ජේ ආර් කරාවි යැයි විජේවීරවත් හිතන්නට නැත. රටේ ජනපති වුවද ජේ ආර් ඒ වන විටත් සැත්තෑ විය ඉක්ම වූ වියපත් මහල්ලෙක් ය. හැබැයි ජේ ආර් එදා කී වචන ටික විජේවීරට සියතින් ගෙල සිඳ ගන්න සිතෙන තරමේ සැර ඒවා ය. ඒ හින්දාම ජවිපෙ 'ජේ ආර් මරමු -ආණ්ඩුව ගෙදර යනු' යනුවෙන් රට පුරා පෝස්ටර් ගැසූහ. මේ ඥනවෘද්ධ රාෂ්ට්‍ර පාලකයා හෙල්ලුණේ නැත. මැතිවරණ දෙකක්ම දිනා මිස ආපසු හැරුණේත් නැත.
දැවැන්ත ආර්ථික විප්ලවයක් රට පුරා ආරම්භ විය. පෞද්ගලික ව්‍යවසායකත්වය පොදු විලාසිතාව බවට පත් විය. කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාර රටේ හැම තැනකම බිහි විය. මහවැලි ව්‍යාපාරය සඳහා අවශ්‍ය සේවාවන් මහ පරිමාණ සමාගම් විසින් සපයමින් තිබුණි. මේ පිබිදෙන ආර්ථිකය සමඟ ලෝකයේ දීප්තිමත් ආර්ථික බලාගාරය වූ සිංගප්පූරුවක් පිළිබඳ සිහිනය ලංකාව සම්බන්ධයෙන් දකිමින් සිටියහ.
'කළු ජුලිය' ආවේ ඔය අතරය. නිදහසින් පසු මෙරට ජාතිවාදී වියරුවේ කූටප්‍රාප්තිය වූ කළු ජුලිය නිසා ජේ ආර්ගේ එතෙක් තිබූ ජනප්‍රියත්වය සසල විය. 88 ජනාධිපතිවරණයට එන්නට ඔහු තුළ තිබූ බලාපොරොත්තුව ඔහු ඉවත් කරගත්තේය.
ඒ වෙනකොටත් බොහෝ දෙනා සිරිමාවෝ බණ්ඩාරනායක වෙත නැඹුරු වෙමින් සිටියහ. වසර ගණනාවක් පුරා ප්‍රජා අයිතිය අහිමිව සිටි ඈ කෙරෙහි ජනතාව අනුකම්පාව මුසු බැල්මක් හෙළමින් සිටියහ.
ආණ්ඩුවෙන් ජනතාව දුරස් වෙන්නට කළු ජුලියෙහි භීතියද හේතු විය.
'ආණ්ඩුව තියා, ඒ දවස්වල කොළ පාට අඳින එකත් ලජ්ජාවක් කියලා හිතුණේ'
වරක් එහෙම කීවේ සමහර මධ්‍යස්ථ එජාප පාක්ෂිකයෝ ය.
ඒ එක්කම උතුර ගිනි ගනිමින් තිබිණි. දකුණේ භීෂණයෙන් ආණ්ඩුව කර මුලින් හිරවී තිබිණි.
එවක එජාප ආණ්ඩුව මඟින් පළාත් සභා ඡන්දය පැවැත්වූයේ අවස්ථා 4 කදී ය.පළාත් සභා පනතට එරෙහිව වූ ජවිපෙ පළාත් සභා ඡන්දයට එරෙහිව දැවැන්ත විරෝධයක් සංවිධානය කළේය. පළාත් සභා පනත පාර්ලිමේන්තුවට ගෙන ඒමට විරුද්ධව 1987 නොවැම්බර් 09 ජවිපෙ මඟින් පළමු ජාතික විරෝධතා දිනයක් නම් කළහ.එජාපය එය දිනුවද සත්තකින් ම එය පරාජයක් විය.
ඡන්දය වැටීමේ අනුපාතය වූයේ සියයට 49.7 කි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඒ අනුපාතය සියයට 7.97 ක් විය. මාතර එය සියයට 20 කි. එය ම පරාජය පෙන්වූ නිමිත්තකි. කළු ජූලියෙන් මරණයට පත්වූ සංඛ්‍යාව 471කි. තුවාල වලට ලක්වූ අයගේ සංඛ්‍යාව 3,769කි. මංකොල්ලකෑම් සංඛ්‍යාව 3,835කි. සමහරු කීවේ මියගිය සංඛ්‍යාව 2,000ක් බව ය. නිවාස 8,000ක්ද කඩ සාප්පු 5,000ක් ද විනාශ වූ අතර ද්‍රවිඩ ජාතිකයන් 150,000ක් පමණ අවතැන් විය. අලාභ හානියට පත්වූ දේපලවල වටිනාකම ඇමරිකානු ඩොලර් දශලක්ෂ 300කට ආසන්න විය.
ජේ ආර් කළු ජුලියෙන් පස්සේ එක්තරා භික්ෂූන් වහන්සේ නමක් හමු විය. ඊට කපුකම කළේ ගාමිණී දිසානායක ය.
'මහත්තයෝ මිනිස්සු ඔබතුමාට හොඳටම බනිනවා. ඔහොම ගියොත් ටික දවසකින් ඔබතුමා ගෙදර 'හාමුදුරුවෝ එහෙම කීවා ම ජේ.ආර්, ගාමිණී දෙස බැලුවේය. 'බලන්නකෝ ගාමිණී, මේ හාමුදුරුවෝ කියන කතාව. මට බනිනවා කියන ඔය මිනිස්සු ම නේද මීට ටික කාලෙකට කලින් මට සීයට පණස් දෙකක් දීලා ජනාධිපති කළේ ' ඒත් විශාල ජයග්‍රහණ ආපහු හැරෙන්න ඒ හැටි කල් යන්න උවමනා නැත.
ජේ ආර් එතෙක් ගිය ගමන වෙනස් කළේය. ප්රජාතන්ත්රවාදය පිළිබඳව නම්‍යශීලී විය.
ඒ විතරක් නොවේ, තීරණාත්මකව අවශ්‍ය මොහොතේ පක්ෂය දිනවන්නත් තීන්දුව ගත්තේය. නිදහසින් පසු මෙරට ජාතිවාදී වියරුවේ කූටප්‍රාප්තිය වූ කළු ජුලිය නිසා ජේ ආර්ගේ එතෙක් තිබූ ජනප්‍රියත්වය සසල විය. 88 ජනාධිපතිවරණයට එන්නට ඔහු තුළ තිබූ බලාපොරොත්තුව ඔහු ඉවත් කරගත්තේය. ඒ වෙනකොට රටේ ජනප්‍රියව සිටි තිදෙනෙක් විය. ගාමිණී, ලලිත්,ප්‍රේමදාස ඒ තිදෙනා ය.එහෙත් කළු ජුලිය සහ උතුරේ අවුල නිසා ලලිත්ගේ ප්‍රතිරූපය සසල ව තිබුණි. ඉන්දුලංකා ගිවිසුමට ජේ.ආර් එක්ක හිට ගත්ත නිසා ගාමිණී එක්කත් සමහරු එතරම් හොඳකින් සිටියේ නැත.
ඒ වෙනකොටත් මිනිස්සු අතර හිටියේ ප්‍රේමදාස ය. ඔහු අගමැතිව සිටියද ගියේ ඔහුට අනන්‍ය ගමනකි. ප්‍රේමදාස 'නිවාස වැඩපිළිවෙල' කරගෙන ගියේ අනේකවිධ පීඩා මැද ය. අයවැයෙන් සත පහක් මේ වැඩේට වෙන් නොකරන විට ප්‍රේමදාස ලෝකේ පුරා ගොස් මේ වැඩේට උදව් ඉල්ලුවේ ය. කවුරුවත් උපකාර කළේ නැත. අන්තිමට ඔහු 'සෙවණ' කියා ලොතරැයියක් පවා නිකුත් කළේය.'ලොතරැයි විකුණලා ගෙවල් හදන්න පුළුවන්ද?'සමහරු උපහාසයෙන් ඇසීය.හැබැයි ප්‍රේමදාස වැඩේ කළේ ය. ඔහුගේ කකුලෙන් ඇද්ද, ඔහුට සිනාසුණ සමහරු ඒවා විවෘත කරද්දී නම් මූණු දාගන්න පැමිණියහ.කොහොම වෙතත් සමහරු නැවත ජේ.ආර් ගෙනෙන්නට වෑයම් කළහ. එහෙත් ඒ වනවිටත් ඔහු ජනප්‍රිය නැත.
සියලු වටපිටාව ගොඩනැඟී තිබුණේ එජාපයට අවාසි සහගතව ය. අද වගේ ම ය.
ඒ අතර ජනාධිපතිවරණයට දින නියම විය.
'මැතිනි අරහෙන් එනවා. ඒ අය දැනටම වැඩේ පටන් අරන්. ආණ්ඩුවත් තියාගෙන අපි පරදින්නද හදන්නේ'
ලලිත් අතුලත්මුදලිලා තැන තැන එහෙම කීය.
රටම බලාගෙන සිටියේ ආණ්ඩුවෙන් එන අපේක්ෂකයා කවුද කියාය.
ඒ වෙනකොටත් මැතිනි රටවටා යමින් භීෂණය මැද පවා පක්ෂය ශක්තිමත් කරමින් සිටියා ය.
රට පුරා පෝස්ටරයක් ඇලවිණි.
'මේ කවුද මොනවද කරන්නේ?'
එතෙක් මෙතෙක් මැතිවරණ ඉතිහාසයේ ඒ තරම් කතාබහට ලක්වූ පෝස්ටරයක් නිර්මාණය වී නැත. ජේ ආර් මරමු කියා තාප්ප පුරා පෝස්ටර් අලවන යුගයක 'ප්‍රේමදාසගේ රුව යොදා අලවා තිබූ 'මේ කවුද මොනවද කරන්නේ?' පෝස්ටරය එක රැයින් රට ම විමතියට පත් කරන්නට සමත් විය.
ජේ.ආර්. එජාපයේ සමුළුවක් කැඳෙව්වේය. ඒ තමන්ගේ පක්ෂයේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා සහ පක්ෂ නායකයා ජනතාවට හඳුන්වා දෙන්නටය. වේදිකාවේ ගාමිණී දිසානායක, ලලිත් ඇතුළත්මුදලි වගේම තවත් විශේෂ අමුත්තෙක් සිටියහ. ඔහු රණසිංහ ප්‍රේමදාසය. දහස් ගාණක ජනතාව මැද ජේ.ආර්. අපූරු කතාවක් කළේය.
“මේ එක්සත් ජාතික පක්ෂය තමයි අවුරුදු ගණනාවක් රට පාලනය කළ පක්ෂය. රටට නිදහස ගෙනාව පක්ෂය. මහජන පක්ෂයක් හැටියට, දුප්පත්ම මහජනයා වෙනුවෙන් අතදෙන රණසිංහ ප්‍රේමදාස මහත්මයාට නායකත්වය පවරනවා. අපි මහජනයාට හඳුන්වලා දෙනවා මෙන්න තමුන්නාන්සේලාගේ මනුෂ්‍යයෙක්. එතුමා එන්නේ උන්නැහේගේ ප්‍රතිපත්ති උඩ, උන්නැහේගේ ක්‍රියාව උඩ, උන්නැහේගේ මහජනතාවට තියෙන ආදරය උඩ, මේ රට අවුරුදු රාශියක් පාලනය කරපු දේශපාලන පක්ෂයේ එක ම නියෝජිතයා හැටියටයි.”
පාක්ෂිකයෝ ප්‍රීතියෙන් උද්දාම වූහ. මධ්‍යස්ථ ඡන්දදායකයෝ පවා පුදුම විය. ඇල්මැරුණු මැතිවරණය රත්වෙන්නට විය. ශ්‍රීලනිපයේ සටන් පාඨ අමුතුවෙන් හදන්නට විය.
දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය 1988 දෙසැම්බර් 01 නියෝග 5 ක් නිකුත් කළේය. ඒ අනුව ජනාධිපතිවරණයට එරෙහිව ඇඳිරි නීතිය පැනවිය.
ඡන්දය දමන ප්‍රථම 12 දෙනා මරාදමන බවට නියෝග කළේය. ඡන්දය ප්‍රකාශ කළ කිහිප දෙනකුගේ ඇඟිලි කපා තිබිණි. ජනපතිවරණ සමයේ දේශපාලන ඝාතන 681 ක් සිදුවී තිබිණි. ඉන් 63 දෙනෙක් ඡන්ද රාජකාරිවල නිරත වූ ග්‍රාම නිලධාරීන් ඇතුළු රජයේ සේවකයන් විය. ඡන්ද මධ්‍යස්ථාන 207 ක එකම ඡන්දයක් හෝ පාවිච්චි කර තිබුණේ නැත.
ආර්. ප්‍රේමදාස 2,569,199 ලබාගනිමින් සියයට 50.43 ක ප්‍රතිශතයකින් ජයග්‍රහණය කළේය. සියල්ලම එදා වගේ නොවුණත් මෙදාත් සෑහෙන සමානකම් තිබිණි; තිබේ.
එදා ජනාධිපති ධුර අපේක්ෂකත්වය රණසිංහ ප්‍රේමදාස ට ද ලැබුණේ විසිතුරු බන්දේසියක් මත තබා නොවේ.
මෙදා සජිත් ප්‍රේමදාසට ලැබුණේත් එදා වගේ ම ය. එදත් බොහෝ දෙනෙක් ජනපති සිහින දුටුහ.
සමහරු සජිත්ට වයස මදි කීය. සමහරු සජිත් අන්තර්ජාතික සබඳතා දන්නේ නෑ කීය. සමහරු සජිත්ගේ අධ්‍යාපන සුදුසුකම් පවා සෙවූහ. තවත් සමහරු මඩ ලොරි පිටින් ගැසූහ.
එහෙත්, සජිත් නිතරම කීවේ 'ඉවසන්න..සියල්ල හොඳින් සිදුවෙයි 'කියාය.
පක්ෂයේ අරගලය යන අතර සජිත් ඒවා කලමණාකරණය වෙන්නට දෙමින්ම තමාගේ ජනාධිපතිවරණ මෙහෙයුම කරගෙන ගියේය. එදා ප්‍රේමදාසත් එහෙ ම ය. පුරවැසි පෙරමුණ ඔහු වෙනුවෙන් සූදානම්ව තිබිණ.
මෙවර තීරණාත්මක ඉමකට පක්ෂයේ අරගලයත් තල්ලු විය.එදා රණසිංහ ප්‍රේමදාසට ජනපති අපේක්ෂකත්වය ලබා දෙන්නට රංජන් විජේරත්න දැඩි අරගලයක නිරත විය. මෙදා මංගලලා කළේ එදා රංජන්ලා කළ දේය.
සජිත් මෙන්ම ඔහුගේ පියා වූ ආර් ප්‍රේමදාස 1977 වසරේ අගමැති පදවියත්, 1989 වසරේ ජනාධිපති ධූර අපේක්ෂකත්වයත් හිමිකර ගන්නා ලද්දේ එවකට එක්සත් ජාතික පක්ෂයේ දැවැන්තයන්ව සිටි ප්‍රබල දේශපාලන චරිත කීපයකට අභියෝග කරමින් ය.
ඒ සඳහා රණසිංහ ප්‍රේමදාස පළමුව රටපුරා බිම් මට්ටමින් සිය බලය ව්‍යාප්ත කරගත් අතර අනතුරුව එක්සත් ජාතික පක්ෂ යාන්ත්‍රණය සිය අභිමතයට යටකර ගැනීමට සමත් විය.
සජිත් ආවේත් ඊට සමීප ගමනකි.
අවසන් මොහොත දක්වාම අරගලය දිගු විය. විටෙක සමහරු කීවේ 'සජිත් ඉවරයි'කියා ය. ඊට හේතු තිබිණි. සජිත් සහ රනිල් අතර පක්ෂ අරගලය දිගු එකකි.
එම අරගල කෙළවර වුණේ නායක රනිල්ගේ වාසියට තීන්දු වෙමිනි.
වරක් එවන් ගැටුමකින් සිරිකොතට පවා අලාභ හානි විය. වරක් 'රනිල් විරෝධී', සජිත්වාදී පෙළපාලියක් පවා ගියේය.ඊට මාතර කුරුඳු පොලු ප්‍රහාරයක් එල්ල විය.
සජිත් පක්ෂ නායකත්වයට ගෙන ඒමට උරදුන් ඇතැම් සගයන් සමහරවිට පක්ෂය හැර ගියහ.
අවසන් මාස කිහිපය පක්ෂයේ තීරණාත්මක ඉමකට සේන්දු විය. ජ්‍යෙෂ්ඨයෝ එකහෙළා 'සජිත්ව'ඉල්ලා සිටියහ. පසු පෙළ සහ තරුණ මන්ත්‍රීවරුද ඊට එක් වූහ. හරීන් ප්‍රනාන්දු සෘජු ව ම සජිත් වෙනුවෙන් පෙනී සිටිමින් 'සජිත් එනවා' රැලිය බදුල්ලෙන් ආරම්භ කළේය. එය ප්‍රවාහයක් විය; රට පුරා 'සජිත් රැල්ලක්' ආරම්භ විය. පක්ෂයෙන් ඈත්ව සිටි,පක්ෂයෙන් දුරස් කොට සිටි,බොහෝ පිරිස් 'සජිත් ආගමනය'සමඟ නව බලාපොරොත්තු දල්වා ගත් හ.
ඉකුත් වකවානුවේ පක්ෂයෙන් ඉවත් වූ 50ට වැඩි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අතුළු මහජන නියෝජිතයන්ට සජිත් 'මහගෙදරට නැවත එන්න' කියා ආරාධනා කළේය. තිස්ස අත්තනායක මුලින්ම ඊට ප්‍රතිචාර දැක්වීය.
මේ සියල්ල අතරේ පක්ෂ නායකත්වය විසින් 'එජාපෙ ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාසව' නම් කළේය.
දැන් සටන තිබෙන්නේ විවෘතවය.
එහා පැත්තෙන් ගෝඨාභය රාජපක්ෂය. මෙහා පැත්තෙන් සජිත් ප්‍රේමදාසය. තරාදියකට දමා කිරා බලා තීන්දුව ගත හැකිය. වයස, පෙර වැරදි, කළ වැඩ, පලපුරුද්ද යනාදී සියල්ල ඒ තරාදියට දැමිය හැක.
'මා එක්ක අමනාපයක් තියෙනවා නම්, මට වෙඩි තියලා මාව ඝාතනය කළාට කමක් නෑ. ඒත් මම පුංචි කාලේ ඉඳලා ආරක්ෂා කරගෙන ආව මගේ චරිතය ඝාතනය කරන්න එපා'
එහෙම කීවේ රණසිංහ ප්‍රේමදාස ය.
ජනාධිපති අපේක්ෂකකම ලැබෙන්න පෙර සජිත් මෙහෙම කීවේය.
'මගේ තාත්තා මේ පක්ෂය වෙනුවෙන් මහපාරේ ජීවිතය දුන්නා. එහෙවු තාත්තගේ පුතා නිසා නෙවේ, දුන්න අමාත්‍යාංශේ සත පහක් හොරකම් නොකර, ගෙදරින් ගෙනියන බත් ටිකවත් වෙලාවට නොකා පැය විසිහතරම වැඩ කරන මට මේ අවස්ථාව දෙන්න මේ තරම් අමාරු ඇයි'
දැන් සජිත්ට ඒ අවස්ථාව උදාවී තිබේ.
මානාභරණ