
මංජුල සේනාරත්න එතෙර වෙසෙමින් ලාංකික සාහිත්‍ය කෙත පෝෂණය කිරීමට දායක වන ලේඛකයන් අතර කැපී පෙනෙන්නෙකි. විදෙස්ගත සෙසු ලේඛකයන්ට සාපේක්ෂව බලන විට ඔහුගේ වෙසෙස් ලකුණක්ද වෙයි. සාහිත්‍ය කලාවේ විවිධාකාර ඉසව් හඹා යෑමට දක්වන ගිජුකම ලෙස ඒ ලක්ෂණය හැඳින්විමට කැමැත්තෙමි. ඇතැම් ලේඛකයන් ඉවක් බවක් නැතිව පොත් පළ කරද්දී මංජුල එතෙක් මෙතෙක් ලියා ඇති පොත් ගණන හයකට පමණ සිමා වෙයි. අතක ඇඟිලි මෙන් ඒ පොත් කිහිපය එකිනෙකට වෙනස් ලක්ෂණ ගෙන තිබීම මා ඉහත සඳහන් කළ ඔහුගේ වෙසෙස් ගුණය පිළිබඳ කදිම නිදසුනකැයි සිතමි.
මංජුල අතින් අලුතෙන් ම ලියැවුණු නවකතාව නම් කර තිබෙනුයේ 12. 12. 12 යනුවෙනි. මෙය ග්රන්ථ නාම කලාව නව දිසානතියක් වෙත යොමු කිරීමට දැරුණු ප්රයත්නයක් ලෙසද අගය කළ මනා ය. ග්රන්ථ නාමයේ සිට පිටවැස්ම හරහා කෘතියේ අන්තර්ගතය මෙන්ම ආකෘතිය පුරාද දිවෙන නව්‍යත්වය, සාහිත්‍ය කලාවේ නව ඉසව් සමතික්‍රමණය කිරීමට මංජුල සේනාරත්න නම් පර්යේෂණකාමි ලේඛකයා සතුව පවතින අසීමිත පිපාසයට දෙස් දෙන සාධකයෝ වෙති.
A Perfect suspence thriller නම් උප සිරසක් පිටවැස්මේ සටහන් කිරීම මගින් ලේඛකයා කෘතියේ අන්තර්ගතය පිළිබඳ ඉඟියක් අපට සපයයි. සැබවින්ම මේ උප සිරස සාහිත්‍ය කලාවේ ඉතා ජනප්‍රිය ෂානරයක් වෙත පිවිසෙන ලෙස පාඨකයාට කෙරෙන ඇරියුමක් සේද සැලකිය හැකිය. Thriller, Mistroious හා Detective වැනි නාමයන්ගෙන් හැඳින්වෙන මේ සාහිත්‍ය ෂානරයට අයත් පොත්, ලොව වැඩිම අලෙවියක් සහිත නවකතා අතර වාර්තා පිහිටුවා තිබේ. එසේම ත්‍රාසය හා කුතුහලය මෙන්ම ප්‍රබන්ධ විලාසය හේතුවෙන් පාඨක ප්‍රජාවගේ සිත් තදින්ම පැහැරගත් මේ කතා ප්‍රවර්ගය ලොව පැරණිතම ග්රන්ථයක් සේ සැලකෙන අරාබි නිසොල්ලාසය දක්වා ඈතට දිවෙන බව විචාරකයෝ පවසති. අරාබි නිසොල්ලාසයේ එන The three apples වැනි කතාවල ඉහතකී ෂානරයේ මූලික ලක්ෂණ අන්තර්ගතව තිබෙන බව විචාරකයන්ගේ මතයයි.
කෙසේ වෙතත් නුතන ත්‍රාසමය කතා කලාවේ පියා වශයෙන් සැලකෙනුයේ අමරිකානු ලේඛක එඩ්ගා ඇලන් පෝ ය. 1841දී ඔහු ලියූ Rue Morgue කතා සංගහ්රයේ එන The murders නම් කතාව මුල්ම රහස් පරීක්ෂක ප්‍රබන්ධය ලෙස සැලකේ. ඉනික්බිති විල්කි කොලින්ස් හා චාල්ස් ඩිකන්ස් ද අනතුරුව සර් අාතර් කොනන් ඩොයිල්, අගතා ක්‍රිස්ටි ද මේ කතා කාලාව ප්‍රමුඛස්ථානයකට රැගෙන ඒමට දායක වූහ. වර්තමානය වන විට ලෝකයේ වැඩිම පාඨක සංඛ්‍යාවක් ග්‍රහණයට ගැනීමට සමත්ව තිබෙන සාහිත්‍යාංගය බවට මෙය පත්ව තිබෙන සැටි නවතම අලෙවි වාර්තා පෙන්වා දෙයි.
මුල් කාලයේ පියදාස සිරිසේන හා ඩබ්ල්යු. ඒ. සිල්වා වැනි පුරෝගාමි සාහිත්‍යධරයන් විසින් ලියූ නවකතා කිහිපය හැරුණු විට රහස් පරීක්ෂක ෂානරයට වැටෙන ප්‍රබන්ධ කලාවක් වර්ධනය කිරීමට පසුකාලීන ලාංකික ලේඛකයන් එතරම් උනන්දුවක් දැක් වූ බවක් නොපෙනේ. වත්මන වන විට ඉති දියුණු මට්ටමකට පත්ව ඇති බටහිර රහස් පරීක්ෂක කතා ෂානරයේ ආභාසය ලබමින් මංජුල සේනාරත්න රචනා කර තිබෙන 12.12.12 නවකතාව පිළිබඳව කතාබස් කීරීම වැදගත් වනුයේ මෙවන් පසුබිමක ය. සැබවින්ම මංජුල මෙම කෘතිය සම්පාදනය කිරීම මගින් ලාංකේය රහස් පරීක්ෂක ප්‍රබන්ධ කලාවට නව ජීවයක් ලබා දි තිබෙන බව තුතිපූර්වකව පැවසිය යුතුය. මා මුලින්ද සඳහන් කළ ආකාරයට මංජුලගේ මේ ප්රයත්නය අගය කළ යුත්තේ හුදෙක් රහස් පරීක්ෂක ප්‍රබන්ධයක් රචනා කරනු වෙනුවට එකී ෂානරයේ ලෝක මට්ටමේ ජයග්‍රහණ ද මනා ලෙස ග්‍රහණය කර ගනිමින් ලාංකික පාඨක ප්‍රජාවගේ මතු නොව ලේඛක සහෘදයන්ගේද සිත්සතන් තුළ උත්තේජනයක් උත්පාදනය කිරීමට ඔහු සමත් විම නිසාවෙනි.
භාෂා රටාව, ආඛ්‍යාන විලාසය, කුතුහලය දනවන කතා පුවත ආදි සැම පාර්ශ්වයක් කෙරෙහිම 12.12.12 නවකතාවේදි සියුම් අවධානයක් යොමු කිරිම මගින් රහස් පරීක්ෂක නවකතා කලාව පිළිබඳ ලේඛකයාගේ මනා පරිචය පෙන්නුම් කෙරේ. කතාව අරම්භයේදිම ඔහු සිය පාඨකයන් ග්‍රහණයට ගන්නේ ප්‍රංසයේ වෙසෙන සිංහල යුවළක් අතර පවතින විරසකයක් පිළිබඳ ඉඟියක් සපයමිනි. “2012 දෙසැම්බර් 12 බදදා”යන විශේෂ සිරස යටතේ දිග හැරෙන දිගු සිදුවීම් මාලාව නිමා වන දිනය ලෙස ලේඛකයා සටහන් කරනුයේ 2019 ජූනි 15 වන සෙනසුරාදා ය. මෙසේ, මංජුල සිය ආඛානය ගොඩනගනුයේ දින සටහන් ආකෘතියක් භාවිත කරමිනි.
මංජුල සේනාරත්නගේ ප්රබන්ධකරණයේ සූරත්වය කැපී පෙනෙන්නේ ප්‍රංසයේ අපරාධ මර්දන ක්‍රියාවලිය සිදු කෙරෙන ආකාරය ඉතා සූක්ෂ්ම ලෙස නිරූපණය කිරිමට ඔහු දරන දැඩි ප්රයත්නය මගිනි. මේ ක්‍රියාවලිය දිග හැරෙනුයේ සිනමා පටයක රූප මාලාවක් ලෙසිනි. වර්තමානය, අතීතය හා අනාගතය යන කාලත්රයම අනාවරණය කෙරෙන ආඛ්‍යාන මූලෝපායක් මෙහිදී මංජුල විසින් ඉතා නිර්මාණශීලීව භාවිතයට ගනු ලබයි.
මෙවන් සිත් සසල කරවන සිදුවිමක් දෙස හැඟීම්බරව නොව බුද්ධිසම්පන්න ලෙස බැලුම් හෙළන රහස් පරික්ෂකවරිය හා ඇගේ කණ්ඩායම පියවරෙන් පියවරට පැටලුණ නූල් බෝලයක අවුල් ලිහන්නාක් මෙන් අපරාධයේ සුල මුල තේරුම් බේරුම් කර ගන්නා ආකාරය මංජුල සිය රූපකාර්ථවත් බස් වහරෙන් සිතුවමට නඟයි. පහත දැක්වෙන ඡේදය ඊට නිදසුනකි.
“දරුවාගේ මරණය සිදුවුණේ අහම්බෙන්...මිනිමරුවා ආවේ හුදෙක්ම කල්පනාව මරන්න. ඔහු ඒ සඳහා දිගු කාලයක් සූදානම් වෙලා තියෙනවා. කිසිම සාක්ෂියක්, ඇඟිලි සලකුණක් නැහැ. ඒ වගේම නිෙවසේ යතුරක් ඔහු අතේ තියෙනවා. ඔහු නිවස හොඳින් දන්නවා. දොර ඇරගෙන ඔහු ඇතුළු වෙද්දී නොසිතූ විදිහට කෝරිඩෝවේ විදුලි පහන් දල්වලා තියෙනවා. දරුවා නාන කාමරයෙන් පිටතට එනවා. දරුවා දකිනව මිනීමරුවව. ඔහු අතේ පිහියක් තිබුණත් පාවිච්චි කරන්නෙ නැහැ. දරුවාගෙ ගෙල එතනදි කැපුවා නම් ලොකු රුධිර වහනයක් වෙනවා. රුධිරය ඔහුගේ සපත්තුවල ගෑවෙන්න ඉඩ තියෙනවා. එතකොට සපත්තු සටහන් පැහැදිලිව දකින්න ලැබෙනවා. මේ හේතුව නිසා තමයි ඔහු දරුවාගේ ගෙල කඩා දමන්නේ... මේ වගේ තිරණයක් ඉතාම ඉක්මනින් ගන්න පුළුවන් වන්නේ පළපුරුදු අපරාධකරුවකුට පමණයි.”
මෙවැනි රූපමය ගුණයක් සහිත අවස්ථා නිරූපණ රැසක් මංජුලගේ පරිකල්පන ශක්තියෙන් නිම වි ඇති සැටි 12.12.12 නවකතාව පුරාම දැක්නට ලැබේ. රහස් පරීක්ෂකවරුත් මනුෂ්‍යයෝ ය යන යථාර්ථයද මංජුල අමතක කර නැත. නතාලි මුනියේ පරීක්ෂණය අතරවාරයේ කිහිප වරක් ම මංමුළා වන සැටිත් මනසින් ඇද වැටෙන සැටිත් පාඨකයාට දක්නට ලැබේ. එසේම ඉතා දක්ෂ මෙන්ම සේවයට ඇප කැප වූ පතන් නම් වූ වෛද්‍යවරිය අතින් සිදුවන අතපසු වීමක් හේතුවෙන් පරීක්ෂණය නොමග යන සැටිද මෙහි ඉතා සංවේදී අයුරෙන් විස්තර වෙයි.
හෘදය සාක්ෂියට එකඟව වැඩ කරන වෛද්‍යවරිය සේවයෙන් ඉවත් වෙද්දී ඇගේ නායිකාව වන නතාලි මුනියේ පරීක්ෂකවරිය එය නිහඬ ව අනුමත කරන ආකාරය ද ලංකාව වැනි රටක මෙවන් සිදුවීම් හමුවේ ඉහළ නිලධාරීන් හැසිරෙන ආකාරය සිහියට නැගෙන විට අප සිත් සසල කරවයි.
මංජුල සේනාරත්න මේ නවකතාව නිමා කරනුයේ අපූර්ව ලෙස නිමැවුණු රහස් පරික්ෂක නවකතාවකදී සිදු විය යුතු පරිදිම පාඨකයා පූර්ණ වශයෙන් ම විමතියට පත් කරවමිනි. අවසානයේ පරික්ෂකවරියගේ සූක්ෂ්ම උපාය ශක්තිය විදහාපාමින් මර්වාන් අල් හසන් නම් ඝාතකයා වෙනත් රටකදි කොටු කරගන්නා අන්දම සිනමාරූපී ලෙස පාඨකයා හමුවේ ප්‍රතිනිර්මාණය කරන මංජුල ඊළඟ පරිච්ඡේදයේදී අප දෑස් හමුවට පමුණුවනුයේ ඊට හාත්පසින් ම වෙනස් සිද්ධිදාමයකි.
නතාලි මුනියෙ රහස් පරීක්ෂකවරිය ද ඇගේ සහකාර වෛද්‍යවරිය වන පතන් මෙන් රාජකාරියෙන් සමුගෙන ගොසිනි. මේ දරුණු අපරාධයේ ප්‍රධාන විත්තිකරුවකු හා විත්තිකාරියක විය යුතු චරිත දෙකක් ඉතා සියුම් ලෙස නීතියේ රැහැනින් මිදී විදෙස් බිමකදී ඔවුනොවුන් හමු වන්නේ නව යුග දිවියකට මුල පුරමිනි. කතාව අවසානය වන විට සමස්ත සිදුවීම් මාලාව දෙසම උපේක්ෂාශීලී ව බැලීමට හැකි පරිදී පාඨකයාගේ සිත්සතන් දුරස්ථ පාලනයකට නතු කරගැනීමට ලේඛක මංජුල සේනාරත්න සමත්ව සිටීම ද ලේඛකයකු වශයෙන් ඔහු ලබා ඇති පන්නරය කියාපාන කදිම සාධකයකැයි මම සිතමි. 12. 12. 12 යනු කලාතුරකින් කියැවීමට ලැබෙන විචිත්‍ර ගණයේ ප්‍රබන්ධයක් බව ද, තවතවත් මෙවන් නිර්මාණ බිහි කිරිමට ඇවසි දිරිය මංජුලට පතන අතරවාරයේ ම පවසනු කැමැත්තෙමි.