‘පතෝල කොරටුවෙන්’ කලා ලොවට පිවිසි නාමෙල් වීරමුනි | සිළුමිණ

‘පතෝල කොරටුවෙන්’ කලා ලොවට පිවිසි නාමෙල් වීරමුනි

අගෝස්තු 31ට යෙදුණු නාමෙල් වීරමුනිගේ 85 වැනි ජන්ම දිනය වෙනුවෙනි

“ගෙට එන්නේ නැත්නම් ....අපි ඔන්න වහා ගන්නවා එහෙනම්....හොදේ” යි රාත්‍රී කෑමෙන් පසු අම්මා දොර වසා ගත්තා ය. ඉස්තෝප්පු‍වේ ඇඳන් මාල්ලේ නින්දට වැටුණු තාත්තා පසුවදා කොරටුවේ දොඹ ගසේ ටකරමක් එල්ලිය යුතුයැයි තමාට ම මතුරා ගත්තේ ය.

“තව සුමාන තුනකින් විතර කරල් ටික පැහේවි.... හෙට හන්දිය ගියාම සිල්වා මුදලාලි එක්ක කතා කරලා බලන්න ඕනෑ....මිනිහට කොරටුව පිටින්ම දුන්නොත් කරදරයක් නෑ...... හොඳ ගාණකුත් ගන්න පුළුවන්.... ලබන සැරේ කොරටුව ටිකක් ලොකු කරන්නත් ඕනෑ” යි තාත්තාගේ මැතිරීම නොනැවතිණ.”

හරියටම මීට වසර 60 කට එපිට එනම් 1959 දී ලංකා විශ්වවිද්‍යාලයීය සිංහල සමිතිය මඟින් පවන්වන්නට යෙදුන කෙටිකතා තරගයේදී මුල් ත්‍යාගය හිමි වූයේ නාමෙල් වීරමුනි විසින් ලියන ලද “පතෝල කොරටුව” නම් කෙටිකතාව ය.

“මේ කෙටිකතාවට 1959 දී මට රන්පදක්කම හිමි වූයේය. ඒ සන්තෝෂයෙන් රන් පදක්කම එදිනම මම රුපියල් හැත්තෑපහකට විකුණා කිට්ටුම මිත්‍රයන් වූ නිහාල් ජයවර්ධන, හේමචන්ද්‍ර පෙරේරා, මෙත්සිරි කුරේ, ජයසිරි ජයසිංහ, සමඟ මහනුවරට ගොස් බීර බී රාමනාදන් ශාලාවට පැමිණියා. “පතෝල කොරටුව” කෙටිකතාව මාස ගණනක් හිත හිතා දහ අට වතාවක් නැවත නැවත ලියා ප්‍රති සංශෝධන ප්‍රති ප්‍රති සංශෝධනය කළා මතකයි.” මේ කතාව සහිත “අතරමග” කෙටිකතා පොත 1961 වසරේ සමන් ප්‍රකාශණයක් ලෙස පිට වුණා.

“නාමෙල් වීරමුනි” යන නාමය සමඟ වැඩිපුර ම බැඳී ඇත්තේ වේදිකා නාට්‍ය කලාවට ය.

1959 වසරේ පේරාදෙණිය ලංකා විශ්වවිද්‍යාලයට බැඳුණු නාමෙල් හා පුරා කියා රඟපෑවේ එදිරිවීර සරච්චන්ද්‍රයන් ගේ “රත්තරං” නාට්‍යයේ පුතාගේ චරිතයෙන් ඔහු ප්‍රසිද්ධ වේදිකාවට පිවිසියේය. මේ නාට්‍යයේ සෝමලතා සුබසිංහ (පසුව ප්‍රනාන්දු) මවගේ චරිතය රඟපෑවා ය. ඇය ගේ ද මුල් ම රඟපෑම ද එය විය. 1961 වසරේ දී සමාජ විද්‍යා උපාධිධරයකු ලෙස සරසවියෙන් පිට වීමෙන් පසු ගුරුවරයකු ලෙස ද, ඉන් පසු අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ උප කතුවරයකු ලෙස ද කටයුතු කරන අතරතුරේ දී ලංකා නීති විද්‍යාලයට බැඳී අධිනීතිඥයකු ලෙස සමත් වී කලක් නීති දෙපාර්තමේන්තුවේ නීති කෙටුම්පත් සම්පාදකවරයකු ලෙස ඔහු සේවය කොට ඇත.

තිස්ස නාමෙල් ද සිල්වා වීරමුනි 1934 අගෝස්තු 31 වැනි දා අහුන්ගල්ලේ මිද්දරමුල්ලේ උපත ලැබීය. උප්පැන්නේ ඔහුගේ නම සඳහන් ව ඇත්තේ තිස්ස නාමෙල් ද සිල්වා යනුවෙනි. ඔහුගේ පියා නම ජෝන් ද සිල්වා කුරුඳු තොග වෙළඳ ව්‍යාපාරයකු යෙදුණේ ය. මව වූයේ සුවන් හාමි වීරමුනිය.

“මගේ තාත්තා මිය යන කොට මම අවුරුදු 3ක් පමණ ඇති. මට වැඩිමහල් අක්කා කෙනෙකු හා නංගී කෙනෙකු හිටියා. මගේ අක්කා මම පුංචි කාලේ කවියක් කිය කියා මගේ පිටි පස්සට ගැහැව්වලු.

“තාත්තා තරහ නැහැ

අම්මා තරහ නැහැ

මල්ලි තරහ නැහැ”

අක්කා මෙහෙම කිය කියා මගේ පස්ස පැත්තට ගහලා. මම මර ලතෝනි දීලා අඩලා තියෙනවා. අම්මා මාව කරේ තියාගෙන ගේ පුරා දිව්වලු. අක්කා හොරෙක් වගේ ඇඳට වෙලා හිටියලු. පස්සේ අක්කාට රෑ උණ ගත්තලු. පැය කිහිපයකින් අක්කා මිය ගියාලු.

මට මතක තවත් සිද්ධියක් තමයි අම්මා පෝය දාක දානයක් දීලා ගෙදර ඇවිත් මට කිව්වා බණ පොතක් ගෙනත් කියවන්න කියලා. අපේ තාත්තා පොත පත කියෙව්ව නිසා ගෙදර පොත් තිබුණා. ඉන් එකක් තෝරාගෙන මම අම්මා ළඟ ඉඳගෙන පොත කියෙව්වා. පොතේ පිටු දහයක් දොළහක් කියෙව්වාම මම අම්මාගෙන් මෙහෙම ඇහැව්වා.

“අම්මා බණ කතාව ලස්සනයි නේද? ඒත් මේ කතාවේ බුදු හාමුදුරුවෝ ගැන වචනයක්වත් නෑනේ”

“ඒක නේන්නම් මමත් හිත හිතා හිටියේ. මොකක්ද ‍පොතේ නම?”

“ඒක නේන්නම්, අම්මේ පොතේ නම “සිරියලතා”. දිගටම කියවන්න ආසයි.”

“එහෙනම් පුතේ දිගටම කියවපන්”

මම පොත දිගටම කියවාගෙන ගියා. පුදුම කතාවක් ඒක. ටිකක් වෙලා යන කොට අම්මට නින්ද ගිහිල්ලා. මම පොත ඉවර වෙනකම්ම කියවලයි නැවැත්තුවේ. මට නවකතා කියවන්නත්, ඩබ්ල්යු. ඒ. සිල්වාගේ නවකතා කියවන්න හිත වැටුණේ ඊට පස්සේ.” නාමෙල් පුංචි කාලේ ගැන මතක් කරමින් කීවේය.

එදා නාමෙල් මුලින් ම නවකතාවක් කියවන විට වයස අවුරුදු හතක් විතර ඇතිලු.

නාමෙල්ගේ මව මිය ගියේ ඔහුට වයස අවුරුදු 15 දීය. ඔහු එතැන් සිට හැදුණේ වැඩුණේ අම්මාගේ සහෝදරයන් දෙදෙනෙකුගේ රැකවරණය යටතේ. එක මාමා කෙනෙක් රත්නපුරේ මල්වල පරිවෙණාධිපති වතුරේගම ඥානෝභාෂ අමරපුර මහ නිකායේ මහනායක හිමියෝ. උන්වහන්සේ ගේ අධ්‍යාපනයට උදව් කළහ. ලියූ මුල්ම කෙටිකතා පොත ‘අතරමග” පිළිගැන්නුවේ “මගේ සාදු මාමා ට” කියා ය.

“මම මුලින්ම ඉගෙනුම ලැ‍බුවේ අහුංගල්ලේ ගල්වෙහෙර ප්‍රාථමික පාසැලේ‍. 4 වැනි පන්තිය වෙනකන් හිටපු අමාත්‍යවරයකු වූ සී. පී. සිල්වා මුලින් ඉගෙන ගත්තේ මේ පාසලේ. ඉන් පස්සේ පේරාදෙණිය මධ්‍ය විද්‍යාලය හා රත්නපුරේ ශාන්ත ලුක්ස් විද්‍යාලවලට. ඒ කාලයේ මම නැවතිලා හිටියේ රත්නපුරේ එල්ලාවල වලව්වේ; සුරංගනී එල්ලාවල මැතිනියගේ මහ ගෙදර. මේ ක‍ාලේ මගේ තව මාමා කෙනෙකු වූ ඩැනියෙල් ද සිල්වාත් ඉගෙනීමට උදව් කළා. ඊට පස්සේ සාදු මාමාත්, ඩැනියෙල් මාමාත් මාව කොළඹ නාලන්ද විද්‍යාලයට ඇතුළත් කළා.

“නාලන්දය ඉගෙන ගන්න කාලේ මම පත්‍රවලට ලිව්වා. විශේෂයෙන් ඒ කාලේ තිබුණු ආනන්ද තිස්ස ද අල්විස් සංස්කරණය කළ “දින දින” සඟරාවට. පස්සේ “සිළුමිණ” පත්‍රයට. නාලන්දේ අපිට ඉහළ පන්තිවල හිටිය ශිෂ්‍යයෝ තමයි ගුණදාස අමරසේකර, හෙන්රි ජයසේන, කරුණරත්න අබේසේකර, රිජ්වේ තිලකරන්න, චිත්‍රානන්ද අබේසේකර, ස්ටැන්ලි ජයසිංහ (ක්‍රිකට් ක්‍රීඩක). මම ඉංග්‍රීසි සාහිත්‍යයට ආදරය කළේ වැඩියෙන් ‍පොත් කියවන්න පටන් ගත්තේ Tale of Two cities කියෙව්වට පස්සේ. නාලන්දේ පුස්තකාලේ තිබුණ ඔක්කොම ඉංග්‍රීසි නවකතා කියෙව්වා. නාලන්දේ සිංහල හා ඉංග්‍රීසි කණ්ඩායම්වල නායකයා ලෙසත්, රග්බි කණ්ඩායමේ ක්‍රීඩකයකු ලෙස ක්‍රියාකාරිව සිටියා. මගේ පන්ති සගයන් වූයේ නීල් විජේසිංහ ප්‍රේමතිලක මාපිටිගමත් මා සමඟම සාහිත්‍ය කටයුතුවල යෙදුණා.”

“නාමෙල් හා මාලනී” නම කලා ලොවේ අවිච්ඡින්නව කැපී පෙනෙන නම් දෙකකි. අද බොරැල්ලේ “නාමෙල් මාලිනි පුංචි තියටර්” කිව්වාම කවුද නොදන්නේ. එකේ අයිතිකාරයෝ ඒ දෙදෙනා ය.

නාමෙල්ට මාලිනිව මුණ ගැසෙන්නේ නාලන්දේට ඉගෙනීමට යන සන්දියේය. ඒ කාලයේ ඔහු නැවතිලා හිටිය පෙදෙසේ ප්‍රකට ගායිකාවක්ව සිටි චන්ද්‍රා ද සිල්වා (පසුව වීරසිංහ) ගේ ගෙදරය.

මේ ගෙදරට මාලිනි නිතර යෑම් ඊම් කළා ය. ඒ ගෙදර හිටිය කැරලයින් නැන්දා ට මාලිනිට නෑකමක් තිබුණි. නාමෙල් මාලිනිව දැක්ක මුල් දිනයේම ඇය ගැන පිළිබඳ සිතක් ඇති විය. තොරතුරු කතා කළාම මේ දෙන්නා නෑයෝ. ඒ වුණාට පරහක් තිබුණා. නාමෙල් දුප්පත් ය; මාලිනී පොහොසත් ය.

මාලිනී පද්මිණී ද සිල්වා සහ නාමෙල් වීරමුනිගේත් ප්‍රේම සම්බන්ධය දුර දිග ගියහ. ඇගේ පියා වූයේ මහාධිකරණ විනිසුරුවරයකු වූ එදිරිමුනි ෆ්‍රැන්සිස් ඔස්වල්ඩ් ද සිල්වා නඩුකාර උන්නාන්සේ ය. මව වූයේ තප්පිත වලිමුනි බ්‍රෙන්ඩා අබේසේකර ය. ඒ කාලයේ මාලිනි ගාල්ලේ සවුත්ලන්ඩ් බාලිකා විද්‍යාලයෙත්, කොළඹ විශාඛා විද්‍යාලයේ හා බෞද්ධ කාන්තා විද්‍යාලවලින් ඉගෙනීම ලබා සිටියා ය.

තම ප්‍රේම සම්බන්ධය නිසා නිකරුණේ ඇයට විශ්වවිද්‍යාලයට යෑමට තිබූ අවස්ථාව කඩා කප්පල් වීම ගැන නාමෙල් අදත් දුක් වෙයි. තමා දුප්පතකු බවත්, මාලිනී ධනවත් පවුලක දියණියක් බවත් නිහතමානීව පවසන නාමෙල් තමා මඟුල් දින මාලිනිට පැලඳීමට මඟුල් මුදුවක් ගැනීමට මුදල් නොතිබී ඇගේ අයියාගෙන් ණයක් ගෙන මඟුල් මුද්දක් හැදූ බව කීවේය.

නාමෙල් පේරාදෙණියේ ලංකා විශ්වවිද්‍යාලයට පිවිසෙන්නේ 1957 වසරේදීය. ඔහුට වේදිකා නාට්‍ය ලෝකයට පිවිසීමට දොර විවෘත වන්නේ සරසවියේදී සරච්චන්ද්‍රයන් “රත්තරං” නාට්‍යයේ පුතාගේ චරිතයට තෝරා ගැනීමෙන් පසුව ය.

ඉන්පසුව ඔහු සරච්චන්ද්‍රයන්ගේ “රහස් කොමසාරීස්” නාට්‍යයේ ද චරිතය රඟපෑවේය. තමා සාහිත්‍ය නිර්මාණ පැත්තට යොමු වූයේ සෑම සිකුරාදාවකම දවල් දොළහට පැවැත් වූ මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ නිර්මාණ පන්තිය නිසා බව නාමෙල් කියයි.

“මේ නිර්මාණ පන්ති” සරච්චන්ද්‍රයන් පැවැත්වූයේ සිංහල සාහිත්‍යයේත්, චින්තන පරම්පරාවේත්, දේශීය නාට්‍ය කලාවේත්, විවේචන කලාව ඇතුළු සියලු ම කලා අංශවල සියුම් ලෙස මහත් විපර්යාසයක් කළ, එමෙන්ම අද දක්වාත් එ් විපර්යාසයේ අග්‍රගණ්‍ය ලෙස සැලකෙන මා ගුරු, මගේ ජීවිතයේ මහ ගුරුවරයා ලෙස මා අදත් සලකන සරච්චන්ද්‍ර මහාචාර්යතුමා නිසයි. එතුමාගේ නිර්මාණ පන්තිය තරම් අගේ කළ ආශා කළ නොකඩවාම සහභාගී වූ පන්තියක් මගේ ජීවිතයේ අත්දැක නැහැ. එදා ඒ නිර්මාණ පන්තියට මේ නිර්මාණ පන්තියට සුචරිත ගම්ලත්, විමල් දිසානායක, සරත් අමුණුගම, මල්ලිකා රණතුංග, අනුල ද සිල්වා, සුමනා වීරසේකර, ජේ.බී. දිසානායක, අමරදාස ගුණවර්ධන, සීතා වික්‍රමාරච්චි, සයිමන් නවගත්තේගම, එච්.ඒ. සෙනෙවිරත්න, නන්දන අබේවික්‍රම, ශාමෙන් ජයසිංහ, නීල් විජේසිංහ, ජයන්ත අරවින්ද, ධම්මික අමරසිංහ, හේමමාලා ගුණසේකර, සීතා කුලතුංග, කේ. එන්. ඕ. අමරදාස, එච්. එච්. බණ්ඩාර චන්ද්‍රසේන දසනායක එයට සහභාගී වූ මට මතක් වන නම්. කෙටිකතා හා නාට්‍ය නිර්මාණයට පදනම වැටුණේ එතැනින්.”

විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ ගෞරව උපාධිය ලැබූ නාමෙල් 1960 වසරේ “ගොළු බිරිඳ” නාට්‍යය නිෂ්පදානය කළේය. එහි කතා පිටපත විමල් දිසානායකගේ නාට්‍යයේ ප්‍රධාන චරිතය රඟ පෑ රීටා පෙරේරාට වූ හදිසි අකරතැබ්බයක් නිසා එය පිරවූයේ මාලිනී වීරමුනි ය. ඒ ඇගේ මුල් ම රංගාවතරණය එය විය. ඉන්පසු නාමෙල් විරූපී රූප (1964), සකලබුජන් පැනල ගිහින් (1967), නැට්ටුක්කාරි (1970), වංශක්කාරයෝ (1972) කළේය. “වංශක්කාරයෝ” 1972 රාජ්‍ය නාට්‍යය උලෙළේදී වර්ෂයේ නිෂ්පාදනය වූ අතර මාලිනී වර්ෂයේ හොඳ ම නිළිය ද වූවා ය.

නාමෙල් චිත්‍රපට නළුවකු හා ටෙලි නාට්‍ය නළුවකු ලෙස ද කුසලතා දක්වා ඇත. වෙස් ගත්තෝ, වල්මත් වූ‍වෝ, හාරලක්ෂය, සිනසුන, සදහටම ඔබ මගේ වැනි චිත්‍රපටවලද ‘රටගිය ඇත්තෝ’ ටෙලිනාට්‍යයේ ද රඟපෑවේය. 1960 දශකයේ මැද භාගයේ ඔහු “සිළුමිණ” පත්‍රයේ චිත්‍රපට විචාරකයාව සිටියේ ය. 70 දශකයේ විදේශ ගත වූ නාමෙල් එංගලන්තයේදී සිංහල හා ඉංග්‍රීසි නාට්‍ය කිහිපයක් ම නිෂ්පාදනය කළේය. එහි 48 ක නළු නිළියන් රඟ පෑහ. එංගලන්තයේ නිතීඥයකු සේ “නාමෙල් ද සිල්වා සහ සමාගමේ” ප්‍රධානියා ලෙස කටයුතු කොට පෙරළා ලංකාවට පැමිණ බොරැල්ලේ “නාමෙල් මාලිනී පුංචි තියටර් ආරම්භ කළේය. 1999 නාමල් පරිවර්තනය කළ සරච්චන්ද්‍රයන්ගේ sinhabahu English version and a pre – production Image නම් ඉංග්‍රීසි කෘතිය සරසවි ප්‍රකාශනයක් ලෙස නිකුත් වී ඇත. මේ කෘතිය නුගේගොඩ සරසවි ප්‍රකාශනයකි. 2000 සිංහලෙන් ඉංග්‍රීසියට නැඟු හොඳ ම පරිවර්තන රාජ්‍ය සම්මානය නාමෙල්ට හිමි විය.

තමාගේ ජීවිතයේ 85 වැනි උපන්දිනය නිමිත්තෙන් පසුගියදා ස්වයං රචිත අපදානයක් Sailed on Life a Lark in the sky නමින් ඉංග්‍රීසි බසින් ලියූ ග්‍රන්ථයක් නිකුත් කරයි. ඒ වෙනුවෙන් දොරට වැඩීමේ උළෙලක් බොරැල්ලේ නාමෙල් මාලිනි පුංචි තියර්ටර්හි දී පැවැත්විණි.

නාමෙල් මීට ඉහත ‘සත්ගව්වක්’ පද්‍ය සංග්‍රහය ද වංසක්කාරයෝ, නැට්ටුක්කාරි පරිවර්තන කෘති ප්‍රකාශයට පත් කළේය.

නාමෙල් හා මාලිනි සමඟ මගේ සමීප සම්බන්ධතාවය පනස් වසරකි. ‘සරසවිය’ පුවත්පතේ අප ඔවුන්ගේ කලා කාර්යයන්ට උපරීම සහාය දුන් අතර විදේශගත වූ පසු ලංකාවට පැමිණි බොහෝ අවස්ථාවල මම නාමෙල් පොතක් තෑගි කිරීමට තරම් නිහතමානී විය. ඒ පොත් අතර 1995.05.25 මට තෑගි කළ Barry Norman ගේ 100 Best Film පොත අදත් මා නිතර පරිහරණය කරණ සිනමාවේ අත්පොතක් බව ඔහුට කෘතඥතා පූර්වකව සඳහන් කරමි.

නාමෙල් කවදත් රසවතෙකි. හිත‍වතෙකි. මානව හිතවාදි මිනිසෙකි. ඔහු 70 දශසකයේ “සිළුමිණ” පුවත්පතේ විශේෂාංග කර්තෘ බෙනඩික්ට් දොඩම්පෙගම මහතා හමුවීමට නිතර පැමි‍ණියේය. ඔවුන් සිනමාව කලාව ගැන කරණ කතා යාබද මේසයක සිටින මා අසා සිටින්නේ නොතින් ආසාවෙනි. අපේ ඥාන මණ්ඩලය පෝෂණය කළ බොහෝ ඇසු පිරූතැන් ඇති මේ දෙදෙනා අපූරු මිනිස්සු දෙදෙනෙකි.

වරක් නාමෙල් තමාට විශ්වවිද්‍යාලයේ දී නවක වදය ලැබූ හැටිත්, ඔහුත් නවක සිසුන්ට දුන් නවකවදය දුන් අයුරුත් රස තොරතුරු කියා ඇත.

“මම විශ්වවිද්‍යාලයට ගිය මුල්ම දිනයේ මටයි අමරහේවා මද්දුමටයි නවක වධය දුන්නේ කේ. එච්.ජේ. විජේදාස (හිටපු ජනාධිපති ලේකම්) හා අමරදාස ගුණවර්ධන. (හිටපු දිසාපති, අමත්‍යාංශ ලේකම්) මට විජේදාසයි, අමරදාසයි මට ශත ½ ක කාසියක් (එදා එවැනි කාසි තිබුණි) මෙහෙම කිව්වා.

“අයිසේ නිව් කමර්, මේ සත භාගයේ කාසිය අරන් ගිහින් සිගරට් පැකට් එකක් අරන් එනවා.”

මම කඩේට ගිහින් හිස් සිගරට් පැකැට්ටුවක් ගෙනත් ශත භාගයේ කාසිය ආපසු දුන්නා.

“යකෝ මූ යකෙන්නේ. මූ නං මරු බඩුවක්.” විජේදාස අමරදාසට කිව්වා.

මට දුන්න දඬුවම තමයි උදේම රාමනාදන් ශාලාව ළඟ තිබූ පින්න සහිත තණ කොළ පිට්ටනියේ පිහිනීම. ඊළඟට රාත්‍රියේ සුදු කෝට් කලිසන් ඇඳන් පෝලිමේ ඉටිපන්දම් අරගෙන අඳුරේ (ලයිට් නිවලා) ගමන් කිරීමට මේවා සුන්දර නවක වධ. එතෙනින් පසු අපි හොඳ යාළුවෝ වුණා. ඊළඟ අවුරුද්දේ මමත් නවක සිසුන්ට නවක වධය දුන්නා. මම වැඩිම වධ දුන්නේ තමාට බව ඊ.එම්.ජී. එදිරිසිංහ (විචාරක, නාට්‍ය අනුමන් මණ්ඩලයේ හිටපු සභාපති) බොහෝ දෙනෙකුට කියා තිබුණා.

නාමෙල් හා මාලිනිට දරුවෝ තිදෙනෙකි. ලොකු දුව වෛද්‍යවරියකි. වෛද්‍ය සලස්නා නිර්මාණිකා ද සිල්වා වීරමුනි ඇගේ නමය. දෙවැනි පුතා හේෂාන් රශ්මි දසිල්වාය. අනික් පුතා තරිඳු ධාරිත ද සිල්වා වීරමුනි “රටගිය ඇත්තෝ” ටෙලි නාට්‍යයේ රඟ පෑවේය. මේ තිදෙනාම එංගලන්තයේ වෙසෙති.

කුමරජිත් 
ඡායාරූප පිටපත් කිරීම - ලාල් සෙනරත්

Comments