කව් ලැකියෙන් කළ හෙළටුවා | සිළුමිණ

කව් ලැකියෙන් කළ හෙළටුවා

දැනට පවත්නා සාක්ෂ්‍ය අනුව කව් ලැකියෙන් කළ පැරණිතම ලේඛන සේ සැලකිය හැක්කේ 'හෙළටුවා' යන නමින් හැඳින්වෙන ලේඛන සමූහය යි. මේ ලේඛන එකක් වත් අද ශේෂ වී නැත. එවැනි පොත් පෙළක් තිබූ බවට සාක්ෂ්‍ය ලැබෙන්නේ පාලි අටුවාවලිනි. පස්වෙනි සියවසෙහි දී ලක්දිවට පැමිණි බුදුගොස් හිමියන් පාලියෙන් අටුවා ලීවේ මේ හෙළටුවා ඇසුරෙන් බව ප්‍රකට ය.

'හෙළටුවා' හැඳින්විමට පාලියෙන් 'සීහළට්ඨකථා' යන නම ද ලෙව් ලැකියෙන් 'සිංහල අර්ථකථා' යන නම ද කව් ලැකියෙන් 'හෙළටුවා' යන නම ද යෙදුණු බව පෙනේ. මේ පිළිබඳව මහාචාර්ය පුංචිබණ්ඩාර සන්නස්ගල මෙසේ පවසයි.

'බුදුගොස් හිමියන් දඹදිව සිට ලක්දිවට පැමිණියේ ථෙරවාදයත් මහායානයත් බොහෝදුරට මෙසේ සංකුල වෙමින් පැවති විටකය. ඒ හිමියන් මෙහි පැමිණයේ සිංහල අටුවා පාලියට නඟා දඹදිවට ගෙන යනු සඳහා ය‍. ඒ අවස්ථාව වනවිට දඹදිව සමහර ප්‍රදේශවල ථෙරවාදය නැගෙමින් තුබූ වෙලාවකි. පාලියෙහි හුරු පුරුදු බුදුගොස් හිමියන් මෙහි පැමිණ අටුවා පාලියට නගා එහි ගෙනගියේ ඒ නිසාය.' (සිංහල සාහිත්‍ය වංශය, 37 පිට)

හෙළටුවා අතුරින් පහක නම් පාලි අට්ඨකථාවල සඳහන් වී ඇත.

'මහා අට්ඨකථා' (මහ අටුවා)

'මහා පච්චරියට්ඨකථා' (මහ පසුරු අටුවා)

'කුරුන්දියට්ඨකථා' (කුරුඳු අටුවා)

'අන්ධකට්ඨකථා'

'සංඛෙපට්ඨකථා'

මේ හෙළටුවාවලින් ගත් පාඨ කීපයක් 'දම්පියා අටුවා සන්‍යයෙහි' සඳහන් වේ. හෙළටුවා කරන ලද්දේ සිංහල කව් ලැකියෙන් බව ඒ පාඨවලින් සනාථ වේ.

'සාළිත්ථක සිප්පේ' යන පාඨය විවරණය කරන සන්‍යකරුවා මෙසේ කියයි. 'පයත් හකුරුලන සිප්හි හෙළටුවායෙහි සාළින් තහක් කරලනක සිපැයි යෙත්,

කව් ලැකියෙන් ලියූ දොළොස් මහ කිවීහු

හයවෙනි සියවසෙහි රජ කළ පළමුවෙනි අග්බෝ රජුන්ගේ සමයෙහි විසූ මහ කවියන් දොළොස් දෙ‍නෙකු ගැන අසන්නට ලැබේ. ඔවුන් ද ස්වකීය නිර්මාණ බිහි කළේ කව් ලැකියෙන් බව පෙනේ. මේ කවියන් සම්බන්ධයෙන් මහාචාර්ය සන්නස්ගල මෙසේ සදහන් කරයි.

දඹදිව හින්දූන්ගේ සකු කවියේ නැගීමත් ඇති වූයේ මේ කාලයේදී ම යග ලක්දිව කවි කලාවේ දියුණුවට එය රුකුලක් වූවාට සැක නැතග දඹදිව වික්‍රමාදිත්‍ය රජුට නවරත්න කවියන් සිටියාක් මෙන් අපේ අග්බෝ 1 රජුට දොළොස්කවියන් සිටිබව මෙහිදී සැලකුව මනාය, (සිංහල සාහිත්‍ය වංශය 39 පිට)

මේ කවියෝ දොළොස් දෙනා මෙසේ ය.

සක්දාමල අසක්දාමල

දැමි බෑබිරි

දළ බිසෝ අනුරුත් කුමරු

දළගොත් කුමරු දළසළ කුමරු

කිත්සිරි කුමරු පුරවඩු කමරු

සූරියබාහු කසුප්කොට ඈපා

මොවුන් අතුරින් අසක්දාමල නම් කවියා ලියූ කෘතිය 'අසක්දාකව' නමින් හැඳින්වුණු බව පෙනේ.

මේ කාව්‍යවලින් උපුටා ගත් පද්‍ය පාඨ කීපයක් සිදත් සඟරායෙහි එයි. ඒ සියල්ල ලියා ඇත්තේ කවි ලැකියෙන් බව ඉතා පැහැදිලි ය.

තම වදන පොමින් - නොඉකතැයි හැංගේ, (1.6)

තුනු හොළවට හළ යතලබ සතොස්සිත් හළ - ඈහි යම් යම් ලබ යතලබ,(5.2)

සක් කැබිලි සියො අඟිනි එක්පසක් යව්දිවු, (5.2)

Comments