
ගල්ඔය ව්‍යාපාරය යටතේ හිඟුරාන සීනි සමාගම ආරම්භ කර දැන් වසර 60කි. මුළු දිගාමඬුල්ලටම පණ දුන් මහා ආර්ථිකය නිර්මාණය කළේ මේ කර්මාන්තශාලාවය. ප්‍රදේශයේ ආර්ථිකය ව්‍යසනයට ලක් කරමින් මේ යෝධ කර්මාන්තය ව්‍යසනයට ලක් වී තිබී යළි පණ ලැබුවේ මීට අවුරුදු 12 ට පමණ පෙරය.
ඒ ගල්ඔය වැවිලි සමාගම නමින් පෞද්ගලික හා රාජ්‍ය අංශයේ එකතුවෙන් ස්ථාපනය කළ සමාගමෙන් හිඟුරාන සීනි කර්මාන්තය ආරම්භ කිරීමෙනි. උක් වගාව ඇරඹිණි. සීනි නිෂ්පාදනය ආරම්භ විය.
ඉතිහාසයේ වැඩිම උක් වගාව
මේ වන විට උක් වගාව ජයටම සිදු වෙමින් තිබේ. මේ වසරේ දී ඉතිහාසයේ හෙක්ටයාර් 6000ක උක් වගා කර ඇත. ඒ ඉතිහාසයේ වැඩිම උක් වගාවය. ලබන ඇඹරුම් වාරයේ උක් දඬු මෙට්‍රික් ටොන් ලක්ෂ 04ක පමණ අස්වැන්නක් අඹරන්නට ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඒ අනුව මේ කන්නය ලාංකික සිනී කර්මාන්ත ඉතිහාසයේ වැඩිම සිනී නිෂ්පාදනය වන අවුරුද්දය. අපේක්ෂාව සිනී මෙට්‍රික් ටොන් 35000ක් නිපදවීමය. වසරකට එම කර්මාන්ත ශාලාවෙන් ලක්ෂ 20,000ක් පමණ හිඟුරාන ප්‍රාදේශීය ආර්ථිකය වෙත මුදාහැරේ. මෙවර මුදාහැරෙන මුදල ඊට ඉහළය.
වසර 60ක් පැරණි යන්ත්‍ර
මේ වන විට එම සිනි කම්මලේ වසර 60ක් පැරණි යන්ත්‍ර සුත්‍ර ලෙඩ දෙන්නට පටන්ගෙන ඇත. කම්හලේ විදුලි ජනක යන්ත්‍රය කැඩී දින ගණනක් උක් අඹරන්නට නොහැකි විය. ආයතනය තුළ හා උක් වගා බිම්වල උක් දඬු වියළි ගියේය. යන්ත්‍රය අලුත්වැඩියාව සඳහා ඉන්දියාවට යැවිය යුතු බව කියැවිණි.
ඒ සඳහා ගත වන බව කී කාලය මාස 03කි. මුළු කර්මාන්තයම බිඳ වැටෙන්නට මේ කාලය ප්රමාණවත්ය. විදුලි ජනක යන්ත්‍ර 02ක් යොදා උක් අඹරන්නට අවසානයේදි ආයතනයේ බලධාරිහු කටයුතු කළහ. ඒ සදහා දිනකට රුපියල් ලක්ෂ දෙකහමාරක් පමණක් වැය විය.
වසර 60ක් පරණ යන්ත්‍ර වයසට ගොස් ඇත. වයසක යන්ත්‍ර සූත්‍ර ලෙඩ වෙමිනි. කාර්යක්ෂමතාව අඩුය. උක් ගසෙන් වැඩි සීනි ප්‍රමාණයක් උකහා ගැනීමට බැරිය. ඒ නිසා උක් මෙට්‍රික් ටොන් එකකින් නිපදවන සීනි ප්‍රමාණය අඩුය. හරියටම කියන්නේ නම් ටොන් එකකින් නිෂ්පාදනය කළ හැක්කේ සීනි කිලෝ 70ක් පමණය. ඒ අනුව සීනි කිලෝවක් නිපදවන්නට වැය වන මුදල රුපියල් 140කට ආසන්නය. ලාභයක් ගන්න නම් අඩු මුදලට සිනි නිපදවන නවීන යන්ත්‍ර සවි කළ යුතුය.
අසල්වැසි ඉන්දියාව සීනි නිෂ්පාදනයට දෙන්නේ ප්රමුඛ දිරියකි. සිනි කිලෝ 50ක කවරයක් සඳහා ඉන්දියානු රජය රුපියල් 10ක් පමණ සහනාධාරයක් සිනි කර්මාන්තකරුවන්ට ලබාදෙයි. අලුත් තාක්ෂණයෙන් පිරිපුන් ඔවුන් සීනි කිලෝවක් නිෂ්පාදනය කරන්නේ රුපියල් 45කටය. අලෙවි කරන්නේ කිලෝවක් රුපියල් 65 බැගිනි.
එතනෝල්
හිඟුරාන සිනි ආයතනයේ ස්කාගාරය විශාල වියදමක් දරා හැදුවත් එතනොල් ලීටරයක් රුපියල් 400කට විකුණන්නට අපහසු වී තිබේ. නමුත් රටින් එනනොල් ලීටරයක් රුපියල් 1300කට ලංකාවට ගෙන්වයි.
ඒ අතර එතනොල් සෑදීමට ගනු ලබන සීනි නිෂ්පාදනයේ අතුරු ඵලයක් වන මොලසැස් කිලෝවකට රජය රුපියල් 10ක බදු අය කරයි. එක් ඇඹරුම් වාරයකයට ගල්ඔය වැවිලි සමාගම විශාල මුදලක් රජයට බදු වශයෙන් ගෙවයි. එසේ ගෙවුවද නිපදවු එතනොල් ලිටර් මිලියන 3.5ක් විකුණාගැනීමට නොහැකිව ආයතනයේ ගබඩාවලය. එමෙන්ම වෙළෙඳපළ තත්ත්වය මත තමන් නිපදවන සීනි කිලෝවක් රුපියල් සියයකටවත් අලෙවි කිරිමට සමාගමට ඉඩක් නැත.
මාස තුනකින් ඉතිහාසයේ ඉහළම උක් අස්වැන්න අපේක්ෂා කරන්නේ මේ පසුබිමේය. ඉදිරි මාස 03 දී ආයතනය එම අභියෝගයට සූදානම් විය යුතුව ඇත. මේ අවස්ථවේ එම නවීකරණ කටයුතු සිදු නොවන්නේ නම් නැවත ඊට ඉඩක් ලැබෙනු ඇත්තේ ලබන වසරේ ඔක්තෝම්බරයේය.
නවීකරණයක් නොකළහොත් උක්දඬු මෙට්‍රික් ටොන් ලක්ෂ 04ක් අඹරාගන්නට මේ වියපත් යන්ත්‍ර ටිකට හැකිවේදැයි සැකයක් උපදී.
මඟදී යන්ත්‍ර සූත්‍ර ලෙඩ දුන්නොත් නැවතත් කර්මාන්තයම අනතුරකය. කෝටි ගණන් වියදම් කර ඉතා අපහසුවෙන් ගොඩ නැඟූ සීනි ආයතනය නැවතත් කඩා වැටෙනු දැකීමට දිගාමඬුල්ලේ මිනිසුන් සූදානම් නැත.
මේ වන විටත් ගල්ඔය වැවිලි සමාගම විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ආදායම් උත්පාදනය කිරීම අරඹා ඇත. ලංකාවේ ලොකුම කාබනික නිෂ්පාදනය සිදු වෙන්නේ මෙම ආයතනයේය. වසරට කාබනික පොහොර මෙට්‍රික් ටොන් 7000ක් නිපදවේ. ඉදිරියේ මෙගා වොට් 10ක විදුලිය නිෂ්පාදනය කිරීමටත් ගල්ඔය වැවිලි සමගම අපේක්ෂාවෙන් සිටී.
ලංකාවට අවශ්‍ය සීනි නිෂ්පාදනයෙන් තවමත් රට තුළ නිපදවන්නේ 8% ප්රතිශතයකි. එයිනුත් වැඩි ප්‍රමාණයක් නිපදවන්නේ හිඟුරානසිනි සමාගමෙනි. සුවඳ විලවුන් , ඖෂධ, මත්පැන් සඳහා රටට අවශ්‍ය එතනෝල් ප්‍රමාණය වසරකට ලීටර් මිලියන 35කි. එයින් ලංකාවේ නිපදවනු ලබන්නේ මිලියන 8 -9 අතර ප්රමාණයකි. එයින්ද වැඩි ප්‍රමාණයනක් නිපදවන්නේ ගල්ඔය වැවිලි සමාගමෙනි. ඒ මිලියන 4ත් 5ත් අතර ප්රමාණයකි. මිලියන 850ක් වැනි මුදලක් වියදම් කර සෑදු ස්කාගරයෙන් ඉහළ තත්ත්වයේ එතනෝල් නිපවනු ලැබුවත් එම ලීටරයක් රුපියල් 400කටත් විකුණාගැනිමට නොහැකි වී තිබේ.
ගල්ඔය වැවිලි සමාගමේ දහසකට අධික පිරිසක් සේවය කරති. ගොවීහු 4500ක් සමාගමට අස්වනු සපයමින් යැපෙති. වක්‍රාකාරයෙන් තවත් 15 000ක පමණ පිරිසක් කර්මාන්තශාලාවෙන් දිවි සරි කරගනිති.
බිඳ නොවැටී පවත්වා ගත යුත්තේ දිගාමඬුලු ආර්ථිකයේ හදවතය. ජාතියට මහා සම්පතක් වන හිගුරානේ යෝධයා රැක ගැනීමට කටයුතු කිරිම බලධාරින්ගේ යුතුකමය.