කුමටද කව් ලැකියක්? | සිළුමිණ

කුමටද කව් ලැකියක්?

පැරණි සිංහල කවියා පද්‍ය රචනය පිණිස 'කව් ලැකිය' යනුවෙන් වෙන ම භාෂා ශෛලියක් පිහිටුවා ගත්තේ ඇයි? පද්‍ය රචනයෙහි ලා සංස්කෘත හෝ පාලි තත්සම පද යොදා නොගත යුතු යැයි තීරණය කෙරුණේ ඇයි? ගද්‍ය රචනය සඳහා තත්සම පද යෝග්‍ය නම් පද්‍ය රචනය සදහා පමණක් ඒ පද යෝග්‍ය නොවුණේ ඇයි?

දැනට අප අතට පත් ව ඇති සිංහල පද්‍ය කාව්‍ය කෘති විමර්ශනය හසු කළ විට හෙළි වන්නේ සිංහල කවියා සංස්කෘත හා පාලි යන භාෂා ද්විත්වය මැනවින් ප්‍රගුණ කොට සිටි බව යි. දැනට අප අතට පත් ව ඇති පැරණිතම පද්‍ය කෘතිය වශයෙන් සැලකෙන 'සියබස්ලකර' භාරතීය විචාරකයෙකු වූ දණ්ඩීන්ගේ 'කාව්‍යාදර්ශ' නමැති සංස්කෘත විචාර ග්‍රන්ථයේ ඡායානුවාදයකි.

දැනට අප අතට පත් ඇති පැරණිතම ගද්‍ය කෘතිය වශයෙන් සැලකෙන 'දම්පියා අටුවා ගැටපදය' පාලි භාෂාව මැනවින් ප්‍රගුණ කළ ගැටපදකරුවකුගේ කෘතියකි. 'දීපවංස' හා 'මහාවංස' යන මහා කාව්‍ය දෙක ම රචනා කොට ඇත්තේ පාලි භාෂාවෙහි හසළ දැනුමක් ඇති සිංහල යතිවරුන් දෙදෙනකු විසිනි. 'දාඨාවංස', 'බෝධිවංස' හා 'ථූපවංස'. යන සියල්ල පාලියෙනි.

සංස්කෘත හා පාලි භාෂා මැනවින් දත් සිංහල ලේඛකයන් සිංහල පද්‍ය රචනයෙහි දී පමණක් සංස්කෘත හා පාලි තත්සම පද බැහැර කොට 'කව්ලැකියක්' සකස් කොට ගත්තේ කවර හෙයින් දැයි තේරුම් ගැනිම උගහට ය. මෙහි ලා කළ හැකි එක් අනුමානයක් ඇත. එනම් සංස්කෘත හා පාලි යන භාරතීය භාෂාවලට විරුද්ධව එක්තරා බලවේගයක් සිංහල කවියන් අතර වී ද යන්න යි.

'කව්ලැකිය' යනු සිංහලයාගේ ම අනන්‍යතාව හෙළි කරන සංකේතයක් වශයෙන් සැලකුණු බවක් පෙනේග මෑත කාලයෙහි දී කුමරතුඟු මුනිදසුන් 'සුබස' යනුවෙන් 'හෙළ බස' ඔසොවා ලීමට දැරූ වෑයම මීට අසමාන නොවේ යැයි සිතේ. සංස්කෘතය යනු හින්දු දහම වැළඳ ගත් බමුණන්ගේ භාෂාව යිග දඹදිව උපත ලත් එය 'දෛවී භාෂා' යන නමින් ද එහි අක්ෂර මාලාව 'දේවනාගරී' යන නමින් ද හැඳින්විණ. එබැවින් බෞද්ධයන් වන සිංහලයන් සංස්කෘත භාෂාවෙන් ගත් තත්සම පද බැහැර කිරීම තේරුම් ගත හැක්කකි.

Comments