පස් දේශපාලනය | සිළුමිණ

පස් දේශපාලනය

 ගම්පහ නගරයේ සිට කිලෝමීටර් 22ක් දුරින් පිහිටි ස්වාභාවික සම්පත්වලින් පිරුණු දිවුලපිටිය වෙත ගෙවුණු සතියේ රටේ වැඩි අවධානයක් යොමු වූයේ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක හා එහි ප්‍රාදේශීය ලේකම් එච්.එම්.එල්.එස්. හේරත් අතර වූ දුරකථන සංවාදයක් නිසාය. එම දුරකථන සංවාදය විද්යුත් මාධ්‍ය විසින් 'ප්‍රාසංගිකකරණය' කිරීමත් සමඟ ඒ පිළිබඳ ප්‍රබල කතිකාවක් සමාජය තුළ නිර්මාණය විය. එහිදී අමාත්‍යවරයා හැසිරුණු ආකාරය ඇතැමුන් තදබල ලෙස ප්‍රශ්න කළත් එම සිදුවීමත් සමඟ මෙතුවක් කල් ප්‍රධාන දහරාවේ කතිකාව තුළ සංවාදයට බඳුන් නොවූ අඳුරු කලාපයක් පිටතට විවර වීම සිදු විණි. කළුගල්, පස් හා වැලි සමඟ බැඳී ඇති දිවුලපිටිය, කටාන අවට 'කැත දේශපාලනය' සමාජය ඉදිරියේ නිරාවරණය වීම අනපේක්ෂිතව මතු වූ මේ සිදුවීම තුළ සිදු වූ සාධනීය දේය. ඒ පිළිබඳ කථා කිරීමට පෙර නියෝජ්‍ය අමාත්‍යවරයා සම්බන්ධ වූ සිදුවීම පිළිබඳ කෙටි “කියවීම”ක් ඉදිරිපත් කිරීමට කැමැත්තෙමු.

කතාබහට ලක්වූ දුරකථන සංවාදයේදී නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රාදේශීය ලේකම්වරියගෙන් විමසුවේ පෞද්ගලික කාරණයක් පිළිබඳ නොවේ. මහජන නියෝජිතයකු ලෙස සමාජයට බලපාන්නා වූ කාරණයක් පිළිබඳ රාජ්‍ය නිලධාරියකුගෙන් ප්‍රශ්න කිරීමට ඔහුට ඇති අයිතිය, ප්‍රශ්න විරහිතය. ඒ විමසීමට ප්‍රාදේශීය ලේකම්වරිය පිළිතුරු දුන් ආකාරයෙන් හා ඇය දුරකථනය විසන්ධි කළ ආකාරයෙන් පෙනුණේ එය ඇයට විශාල බරක් වූ බවය. නියෝජ්‍ය අමාත්‍යවරයා විමසු කාරණය ඇතැම් විට ඇයගේ බල වපසරියෙන් පිටත පැවතිය හැකිමුත් බල ධූරාවලිය තුළ තමනට වඩා ඉහළින් සිටින්නෙකු කළ විමසීමකට මීට වඩා සාවධානව හා සංවර ලීලාවෙන් ප්‍රතිචාර දැක්වීමේ යුතුකමක් ඇයට තිබිණි. ඒ හඬ පටය, ශ්‍රවණය කිරීමේදී බැලු බැල්මටම සිතෙනුයේ ඇය කිසියම් 'දේශපාලන හයියක්' සහිතව හැසිරෙන බවයි. 2010 වසරේ සිට දිවුලපිටියේ රාජකාරි කරන හේරත් මහත්මිය පිළිබඳ පැතිර ඇති කථා බොහෝ මුත් අප ඒවා මෙහි සඳහන් නොකරන්නේ ඒ ගැන දිගින් දිගටම කථා කිරීම අපගේ ප්‍රධාන ප්‍රස්තුතයට බාධාවක් වන බැවිනි.

විල්පත්තුව මහා වන සංහාරයක් සිදු වන බවට උස් හඬින් ඝෝෂා කරන පරිසර සංවිධාන දිවුලපිටිය කටාන අවට නීති විරෝධි ආකාරයෙන් සිදුවන්නා වූ පස් හා බොරලු කැපීම්, කළුගල් කැඩීම්, වැලි ගොඩ දැමීම් පිළිබඳ අවධානය යොමු නොකිරීම එක් අතකින් පුදුම සහගතය. දිවුලපිටිය අවට මහා පරිමාණයෙන් සිදු කරමින් සිටින පස් ජාවාරම පිළිබඳ මීට පෙර අවස්ථා ගණනාවකදී පැමිණිලි ඉදිරිපත් කර ඇති මුත් මේ සිදුවීම සිදුවන තෙක්ම ඒ සම්බන්ධව කිසිවක් සිදු නොවීම පෙන්වනුයේ 'පස්' සමඟ ගැටගැසී ඇති දේශපාලනයේ ප්‍රබලත්වයයි. කථාබහට ලක්ව ඇති දිවුලපිටිය බටහිර අකරගම ග්‍රාමයේ මොරකන්දවත්ත ඉඩමේ පස් හා බොරලු කැපීම තුසිත හේරත් හා වසන්ත දංගල්ල යන ව්‍යාපාරිකයන් දෙදෙනකුගේ මූලිකත්වයෙන් සිදු වන අතර ඔවුහු ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධගේ සමීපතම ඥාතීහුය. තුසිත හේරත් ඉන්දිකගේ සොහොයුරා වන අතර, වසන්ත මවු පාර්ශ්වයෙන් මන්ත්‍රීවරයාගේ මාමා කෙනෙක් වේ. රන්ජන් රාමනායක නියෝජ්‍ය මන්ත්‍රීවරයා හා ඈ‍ඳෙන සිදුවීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරනවා යැයි කියන ඉන්දික එතරමටම කලබල වූ හේතුව වටහා ගැනීම දැන් ඔබට අපහසු නැතැයි සිතමි.

ඉන්දික අනුරුද්ධලා ව්‍යාපාරිකව සවිමත් වූයේ පස්, බොරලු වෙළෙඳාම නිසා බව දිවුලපිටියේ සැම කෙනෙක්ම පාහේ පිළිගනිති. එදා දිවුලපිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට මුල් වරට ඉදිරිපත් වූ අවස්ථාවේ ඔහු තම ඡන්ද ව්‍යාපාරය මෙහෙයවූයේ “බොරලු ඉන්දික” නමිනි. ඒ තරමට ම 'බොරලු' ඔහුට විශේෂ අනන්‍යතාවක් නිර්මාණය කර තිබිණි. ප්‍රාදේශීය සභා මැතිවරණය වෙනුවෙන් අත දිග හැර වියදම් කළ ඉන්දික අපහසුවකින් තොරව ඉන් ගොඩ ගියේ ඉහළ දිනුමක් ලබමින් ඉහළ තැනකට පිවිසීමෙනි. මහජන නියෝජිතයකු වූ පසු තමන්ගේ නමින් ව්‍යාපාර කළ නොහැකි පසුබිමක ඔහු පවුලේ සාමාජිකයන්ට එම ව්‍යාපාරය භාර දී නාමිකව ඉන් ඉවත් වූ මුත් එම පවුලේ සාමාජිකයන් ව්‍යාපාර කළේ ඉන්දිකගේ 'දේශපාලන හයිය' මත බව කිසිවකුට හෝ රහසක් නොවීය. මොරකන්ද වත්තේ පස් කැපිල්ල නිසා සිදුවන හිරිහැර සම්බන්ධයෙන් දෙවතාවක් දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම්වරිය වෙත පැමිණිලි ඉදිරිපත්ව ඇතිමුත්, ඒ පිළිබඳ පියවර ගැනීම කෙසේ වෙතත් ඒවා සම්බන්ධව කටයුතු කළ හැකි වෙනත් වගකිවයුතු ආයතනවලට හෝ ඒවා යොමු කිරීමට ඇය කටයුතු නොකළ බව ගම්වැසියෝ පවසති. තමන්ට පස් කැපීම නතර කිරීම සම්බන්ධයෙන් බලයක් නොමැති බව ප්‍රාදේශීය ලේකම්වරිය පවසනමුත්, මහජන විරෝධතාවක් මතු වූ අවස්ථාවක මීට වඩා වගකීම් සහගත හැසිරීමක් ඇය ප්‍රදර්ශනය කළ යුතුව තිබිණි.

මොරකන්ද වත්ත ඉඩම වෙනුවෙන් මසකට පස් කියුබ් 500කට වඩා අඩු 'බී' ශ්‍රේණියේ කුඩා පරිමාණ පස් ඉවත් කිරීමේ බලපත්‍රයක් ලබාගෙන ඇතත්, පසුගිය වසර 06 ක කාලය තුළ නීති විරෝධී ලෙස පස් කියුබ් 61000කට වඩා ඉවත් කර ඇති බවට මේ වන විට තොරතුරු හෙළිව තිබේ. පස් කැපීමෙන් පසු මරියානා ආගාධය බවට පත්වූ මෙබඳු භූමි භාග ගණනාවක්ම දිවුලපිටිය කටාන අවට දක්නට ලැබේ. පස් කැපීම ද නරක නැත. එය මෙසේ එක් නිදර්ශනයකින් පැහැදිලි කරමි. මොරකන්ද වත්ත ඉඩමේ පස් කපන එක් ව්‍යාපාරිකයකු හට පස් ප්‍රවාහනය කරන ලොරි රථ 24ක් පමණ ඇති අතර එයින් පමණක් ඔහු දිනකට උපයන ශුද්ධ ආදායම රුපියල් දෙලක්ෂ හතළිස්දාහක් පමණක් බව කියවෙයි. පස් කැපීම සඳහා අවසර ලැබී ඇත්තේ පෙරවරු අටේ සිට පස්වරු පහ පමණ වන තෙක් පමණක් වුවද එම නියෝග නොතකමින් පෙරවරු හතරේ සිට රාත්‍රී අට වන තෙක් දිවුලපිටියේ පස් කැපීම් සිදු වන ආකාරය දැකගත හැකි ය.

මෙසේ නීතිවිරෝධීව සිදු වන්නා වූ මේ පස් ජාවාරම දැවැන්ත සමාජ, පාරිසරික ප්‍රශ්න ගණනාවක් නිර්මාණ්‍ය කර ඇත. දැවැන්ත බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් බොරලු හැරීම සිදු වන බැවින්, ප්‍රදේශයේ ළිංවල ජලය සිඳී යාම, ජල උල්පත් විනාශ වීම, වටිනා වෘක්ෂලතා විනාශ වීම, කිසි දිනෙක ගොඩකළ නොහැකි විශාල වළවල් හැරීම, ප්‍රවාහනයේදී නැ‍ඟෙන දූවිලි නිසා සෞඛ්‍ය ගැටලු රැසක් ඇතිවීම, මාර්ග පද්ධතිය කැඩිබිඳී යෑම, වී වගාවට අවශ්‍ය ජලය හිඟවී විශාල කුඹුරු ඉඩම් ප්‍රමාණයක් පුරන් වීම, මිනිස් වාසයට නුසුදුසු ප්‍රදේශ බවට මේ ගම් පළාත් පත්වීම යනාදි ලෙස ගැටලු රැසක් එහිදී පෙළගැස්විය හැකිය. මේ පස් කැපිල්ල සමඟ සම්බන්ධව ඇති අනෙක් අමිහිරිතම අත්දැකීම වනුයේ පස් ජාවාරමේ ආධිපත්‍යය වෙනුවෙන් 'මිනීමැරුම්' රැසක් මේ ආශ්‍රිතව සිදුව තිබීමයි. පහළ මඩම්පැල්ල, කොටුගොඩ, කෙහෙල්බද්දර, හීනටියන, උඩුගම්පොළ ආදි ප්‍රදේශ රැසක මිනිස් ඝාතන වැළක් පස් ජාවාරම මුල් කරගනිමින් පසුගිය කාලයේ සිදුව තිබේ.

එසේ මියගිය පුද්ගලයන්ගේ නම් සඳහන් කිරීම ඒ හැටි ශිෂ්ට නොවන බැවින් අපි එය නොකරන්නෙමු. කෙසේ වෙතත් තම මුල් නමට ඉදිරියෙන් බොරලු, පස්, වැලි, විශේෂන සහිතව ජනප්‍රියව සිටි සෑහෙන පිරිසක් දිවුලපිටිය, කටාන හා මිනුවන්ගොඩ අවට පසුගිය කාලයේ අකාලයේ මිය පරලොව ගිය බව ප්‍රකට කාරණයකි.

කාලයේ වැලි තලාවෙන් වැසී තිබුණ, බොහෝ දෙනෙකු නොදන්නා බොහෝ දෙනා අමතක කළ මේ බරපතළ සමාජ ඛේදවාචකය පිළිබඳ සංවාදයක් රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමැතිවරයා හා සම්බන්ධ සිදුවීමත් සමඟ දැන් රට තුළ ගොඩනැඟී තිබේ. එය වඩාත් යහපත් වූ අවසානයක් බවට පත්කර ගැනීමේ වගකීම දැන් සමස්ත සමාජය වෙත පැවරී තිබේ. වඩාත් වැදගත් වන්නේ එයයි.

අවසාන වශයෙන් මෙය ද සඳහන් කිරීමට කැමැත්තෙමු. රන්ජන්ගේ දුරකථන ඇමතුම පිළිබඳව අද නාහෙන් අඬන ඒකාබද්ධ විපක්ෂය ලෙස පෙනී සිටින කණ්ඩායම අන් හැම දේකදී මෙන්ම මෙහිදීත් සිදු කරනුයේ බොරු රඟපෑමකි. රන්ජන් 'රඟපාන' බව කියමින් රජයේ සේවකයන්ට සැලකිය යුතු ආකාරය කියා දෙන ඔවුන් සිදු කරමින් සිටිනුයේ ඊටත් එහා ගිය රඟපෑමකි. මර්වින් සිල්වා, සමෘද්ධි නියාමකවරයකු ගස් බඳිත්දී, රූපවාහිනියට කඩා පනිත්දී ආනන්ද සරත් කුමාර නවගත්තේගම පාසලක ගුරුවරියක දණ ගස්සවත්දී කිසිවක් නොදැක්කා සේ නිහඬව සිටි මේ ඊනියා සුචරිතවාදීහු අද අමුතුම 'බණක්' දේශනා කරමින් සිටිති. දේශපාලනිකව ප්‍රතික්ෂේප වූ කුණු බක්කියට වැටි ඇති ඔවුනට අනුකම්පා කිරීම හැර අන් යමක් මේ මොහොතේ අපට සිදු කළ නොහැකිය.

 

Comments