පුස්තකාල සේවාවේ නොමැකෙන සලකුණ තබ්බෝවේ පඬිරුවන | සිළුමිණ

පුස්තකාල සේවාවේ නොමැකෙන සලකුණ තබ්බෝවේ පඬිරුවන

පියදාස රණසිංහයන් දැයට අහිමි වී තෙවසරයි 

ආචාර්ය ආර්. ඩී. ආනන්ද තිස්ස

ශ්‍රී ලංකාවේ පුස්තකාල හා විඥාපන විද්‍යාවත්, එකී සේවාවේ සංවර්ධනයත්, අනාගත දිසානතියත්, අතැඹුලක් සේ පිරිසිඳ දත්තා වූ ද, තම වෘත්තිය සඳහා අමරණීය සේවාවක් කළ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පියදාස රණසිංහයන් අභාවප්‍රාප්ත වී 2019 පසුගිය 04 වන දිනට තෙවසරකි. මේ ලිපිය පළවන්නේ එතුමන්ගේ නොනිමි මෙහෙවරට උපහාරයක් වශයෙනි.

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පියදාස රණසිංහ මහතා ප්‍රවීණ ආචාර්යවරයෙකි. ප්‍රාමාණික ග්‍රන්‍ථ කර්තෘවරයෙකි. පුස්තකාල හා විඥාපන විද්‍යාව මතු නොව සිංහල භාෂාව විෂයයෙහි හසළ දැනුමක් ඇති ශාස්ත්‍රධරයෙකි. එසේ ම, ඉංග්‍රීසි භාෂාවට අතිරේකව ප්‍රාචීන භාෂා භාෂා පිළිබඳ මනා දැනුමක් සහිත භාෂා වේදියෙකි. දේශීය ඥානය සංරක්‍ෂණයෙහිලා කැපවූවෙකි. මෙරට පුස්කොළ පොත්පත් සංස්කෘතිය පිළිබඳ නව අපේක්‍ෂාවන් සහිතව පර්යේෂණයෙහි නියුක්ත වූ ක්ෂේත්‍ර ගවේෂකයෙකි; පර්යේෂකයෙකි. අවුරුදු හතළිස් දෙකකට ආසන්න කාලයක් පුරා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පියදාස රණසිංහයන් විසින් කරන ලද අනූපමේය සේවාව එතුමන්ට උපහාරයක් වශයෙන් 2014 වර්ෂයේ දී ප්‍රකාශිත කෘතවේදී : ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පියදාස රණසිංහ අභිනන්දන ග්‍රන්‍ථයෙහි ප්‍රථම උල්ලාසය වන අපදානයෙහි සවිස්තරාත්මක ව සඳහන් වේ.

පියදාස රණසිංහ යන නාමය ශ්‍රී ලංකාවේ පමණක් නොව, ආසියාතික හා අන්තර් පුස්තකාලය සේවාවේ නොමැකෙන නාමයක් බවට පත් වනු නිරනුමාන ය. මේ නාමය ශ්‍රී ලංකාවේ පුස්තකාලය සේවාවේ ජාතික මට්ටමෙන් සම්භාවනාවට ලක් වන්නා සේ ම, එකී නාමය මේ ක්ෂේත්‍රයට ආගන්තුක ද නොවේ. පියදාස රණසිංහ යන නාමය පුස්තකාල හා විඥාපන විද්‍යාවට අනුවත්, සූචිකරණ සම්ප්‍රදායට අනුවත් ලියැවෙන්නේ රණසිංහ, පියදාස යනුවෙනි. රණසිංහයන් ස්වභාව සෞන්දර්යයෙන් ලත් ජීවන අත්දැකීම්වලින් පෙහොසත්ව සිය ජීවිත කාලය අර්ථාන්විතව ගත කළ, ගැමි සුවඳ හොඳින් හඳුනාගත් විරල පඩිරුවනකි. එතුමන් පරිසරයෙන් ලත් අත්දැකීම් කිසිවකුට කිසිම අධ්‍යාපන ආයතනයකින් ලබාගත නොහැකිය.

රණසිංහ ආරච්චිගේ චාර්ලිස් පෙරේරා නම් වූ තම පියාගේ මුල්ගම වූ කැලණිය, බියගම පදිංචිව සිට වර්ෂ 1949 දී වයඹ පළාතේ වියළි කාලගුණයක් සහිත දුෂ්කර දිස්ත්‍රික්කයක් වශයෙන් පිළිගැනෙන පුත්තලම දිස්ක්‍රික්කයේ තබ්බෝව යන නාමයෙන් අදටත් ප්‍රසිද්ධ ජනපද ව්‍යාපාරයට සම්බන්ධ වූ තම සහෝදරයා සමඟ එකතු වී තබ්බෝවට යෑමට සිත් වූයේ තම රැකියාව පිළිබඳ කලකිරීමෙනි. පිස්කල් දෙපාර්තමේන්තුවේ සේවය කරමින්, නාගරික පහසුකම් සහිත පරිසරයක තම සය වන දරුවා බිහිකරන්නට බලාපොරොත්තුවෙන් සිටි දෙගුරුගේ අම්මි නෝනාට ද මේ තීරණයත් සමඟ තබ්බෝව ජනපද ව්‍යාපාරයට යෑමට සිදු විය.

කෘෂිකර්මය, වී වගාව, හේන් ගොවිතැන හා පශු පාලනය පදනම් කරගත් සරල ආර්ථික රටාවකින් සිය ජීවන ගමන ආරම්භ කළ රණසිංහ ආරච්චිගේ චාර්ලිස් පෙරේරා පවුලේ බඩ පිස්සා වශයෙන් නිදහස ලබා වසර එකයි මාස අටකට පසු පුත්තලම රෝහලේ දී පියදාස රණසිංහයන් උපත ලැබීය. ඒ 1949 ඉල් මස දහවන දින දී ය. ආවිස් පෙරේරා නම් වැඩිමහල් සහෝදරයෙක් හා සහෝදරියන් සිව් දෙනකු මේ පවුලේ සෙසු සාමාජිකයෝ විය.

රණසිංහයන් උපත ලබා අවුරුදු තුනකින් එනම්. වර්ෂ 1953 සැප්තැම්බර් මාසයේ පුත්තලම තම්බපන්නි මහා විද්‍යාලයට ඇතුළත් වන්නේ ශ්‍රී ලංකා මාතාවට තවත් මහා ප්‍රාඥයෙක් දායද කිරීම සඳහා ය. උසස් පෙළ දක්වා පන්ති පැවති ඒ පාසැලෙහි මුල් ගුරුවරයෙක් හා තවත් ගුරුවරු කීපදෙනක් සේවය කර ඇත. රණසිංහයන්ගේ ජීවිතයේ සාර්ථකත්වය රහස කෘතවේදී : ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පියදාස රණසිංහ අභිනන්දයෙහි විස්තරාත්මකව සඳහන් වේ. එහි එන එක් සඳහනක් ම එයට කදිම නිදසුනකි. “මම වනාන්තරයට හා සතුන්ට සදා ණය ගැති වෙමි. මා වන ශ්‍රැතියෙන් ද, වෘක්ෂ ශ්‍රැතියෙන් ද සත්ව ශ්‍රැතියෙන් ද සුව පහසුවෙන් සැරිසරන්නෙකු බවට පත් කළේ වනය හා සතුන් ය. ඔවූහු මට මහත් ඥානස්කන්ධයක් දායාද කළ බව මා වටහා ගත්තේ පසු කලෙක ශාස්ත්‍රීය ජීවිතයට අවතීර්ණ වූ කල්හි ය. මට මුල් ගුරු වූ මහා වනාන්තරය, මම නුඹ බැති සිතින් සදා නමදිමි. මට ගුරු වූ වන සතුනි, තොප ද ඒ සා බැති සිතින් නමදිමි.”

මැඩියන්, මෙරුවන් වැනි සතුන්ගේ හැසීරීම් අනුව සිදුවන කාලගුණික වෙනස්කම් කල් ඇතිව දැන ගැනීමට තරම් පරිසර හිතෛෂයකු විය. අහසේ වළාකුළු නිරීක්‍ෂණයෙන් වැස්ස වැටෙන හෝරාව නිගමනය කිරීමේ ශක්‍යතාව නූතන කාලගුණ විද්‍යාඥයන් පවා පුදුමයට පත් කරවයි. ප්‍රාදේශීය සෞන්දර්ය මොනවට අත්විදි රණසිංහයන්ගේ දෙසුම්වල වාග් ශක්තිය විශේෂයෙන් සඳහන් කළ යුතුය. භාවිත භාෂාව ද සරල ය; නිර්මාණාත්මක ය. දේශීය පරිසරයෙහි සිසිල එ මඟින් ධ්වනිත කෙරේ. ස්වභාව සෞන්දර්යත්, ප්‍රදේශ සමෘර්ධියත් මනාව හඳුනාගත් රණසිංහයන් පසුකාලීන ඉගෙනිම් හා ඉගැන්වීම් ක්‍රියාවලියේ දී බෙහෙවින් ප්‍රයෝජනයට ගත් බව නිරන්තරයෙන් සිහිපත් කරන ලදි. පරිසර අත්දැකීම් ස්වකීය ප්‍රතිභාව පළ කිරිමට පසුබිම් කරගත් අයුරු එවක සෑම දෙනාගේම ඇගයීමට පාත්‍ර විය.

හෙතෙම තත් විෂය ක්ෂේත්‍රයට පමණක් නොව සිංහල භාෂාව හා සම්භාව්‍ය සාහිත්‍ය පෝෂණය සඳහා ද කැපවූවෙකි. ලේඛනයේ දී සිංහල භාෂාවෙන් හෝ පෙරපර දෙදිග භාෂා භාවිතයෙන් කිසියම් අදහසක් වඩාත් නිවැරදිව ප්‍රකාශ කළ යුත්තේ කෙසේ ද යන්න පිළිබඳව විශ්වවිද්‍යාලයේ මතු නොව අන් තැන්හි ද සෑම ඉගෙනුම්, ඉගැන්වීම්, ශාස්ත්‍රීය හා පර්යේෂණ කටයුතුවල දී මෙතුමාගෙන් වූ සේවාව අමිල ය. ඔහු තමාට පැවරෙන ඕනෑ ම කටයුත්තක් බලාපොරොත්තු වනවාටත් වඩා උපරිමයෙන් කරදීමට සැදී පැහැදී සිටි දුර්ලභ ප්‍රාඥයෙකි. සිය ජීවිත කාලය හරවත්ව ගෙන ගෙන ගිය එදත් අදත් නොව හෙටත් ගුරු ශිෂ්‍ය දෙපිරිසේ ම නිලලත් හා නිල නොලත් ගුරුවරයාණ කෙනෙක් ලෙස පිදුම් ලබති.

වෘත්තිකයන් අතර යහපත් වෘත්තිකයකු වශයෙන් ද, මිනිසුන් අතර යහපත් මිනිසකු වශයෙන් ද තමන් වෙත පැවරුණු සමාජ හා ශාස්ත්‍රීය මෙහෙවර නිමවා නිධනප්‍රාප්ත වූ මහාචාර්ය පියදාස රණසිංහ නාමය අමරණීය වන්නේ ඒ නිසා ය.

Comments