තී හා තා සංස්කෘතිකව හික්මවිය නොහැකි මිනිස් හැඟීම්වල යථාර්ථවාදී රූපණය | සිළුමිණ

තී හා තා සංස්කෘතිකව හික්මවිය නොහැකි මිනිස් හැඟීම්වල යථාර්ථවාදී රූපණය

විශිෂ්ට නවකතාකරුවෙකු පිළිබඳ සොඳුරු සුබ ලකුණු පහළ කරන නිර්මාණයක් එළි දැක තිබේ. සිංහල නවකතාවේ විශේෂ කඩඉමක් සටහන් කර ඇතැයි සිතෙන එම නිර්මාණය තී හා තා ය. නිර්මාණකරු සුරත් ද මැල්ය. තී හා තා එළි දකින්නේ සුරත්ගේ කුලුඳුල් නවකතාව ලෙසිනි.

කුහක සදාචාරයේ වැරහැලි පටලාගත් මුත් නිගණ්ඨයන් සේ ජීවත් වන සමාජයක මිනිසුන්ගේ හැසිරීම නිර්මාණයක චරිත අතරට ගොනු කරගැනීම පහසු නැත. මේ සමාජයේ නම් එය දිවි පරදුවට තබා කළ යුතු කටයුත්තකි. මක්නිසාද යත් තමන් ජීවත් වන පරිසරයේ පදනම් සාධය වන ව්‍යාජත්වය විසින් නිර්මාණය කරගත් සුදු චරිත තුළ දියවී කටුවට වැදුණු ගොලුබෙල්ලන් සේ ජීවත්වන්නට තතනන මිනිසුන් සහිත සමාජයක යථාර්ථය පිරිසිඳිමින් සාහිත්‍ය කෘතියක් කිරීම අනතුරක් නොව අනතුරු වැලක් නිර්මාණය කරන බැවිනි. ඒ ව්‍යසනයට මුහුණ දිය හැකි නිර්මාණ පෞරුෂයක් සහිත නිර්මාණකරුවන් බිහි වන්නේ නැති තරම්ය. බිහි වේ නම් ඒ ඉතාම විරලවය. ඒ විරල නිර්මාණකරුවා තී හා තා නිර්මාණය කරමින් අප අබියසට පැමිණ තිබේ.

තී හා තා නවකතාවේ ප්‍රධාන චරිතය ගීත්ය. උත්තම පුරුෂ දෘෂ්ටියකින් කතාව ගලාගෙන යයි. ඔහුගේ ප්‍රේමය දිව්‍යාය. ගීත් දිව්‍යාගෙන් පටන්ගෙන, හසිනි, කාව්‍යයා, නිසංසලා, මන්දාකිණි වැනි නිමක් නැති චරිත ගණනාවක් ඔස්සේ නමක් නැති දෙදරු මවක ඇතුළු බොහෝ ස්ත්‍රී චරිත පසු කර යයි. දිව්‍යා ඒ අතර සමිඳු, රුවන් පමණක් නොව, ගීත් ද පසු කර ගොස් ප්‍රදීප් ළඟ නවතී. ගීත් දිව්‍යා තුළ බහා ඔහු විසින්ම ගොඩ නඟාගන්නා අතිමානුෂික ගුණයක් සහිත ප්‍රේමණීය වූ පරමාදර්ශී ස්ත්‍රී චරිතය සුණු විසුණු කර දමන නිර්මාණකරුවා මානුෂික බැඳීම්වල පවතින සංස්කෘතිකව හික්මවිය නොහැකි යථාරූපී ගුඪ බව පාඨකයාට පසක් කරයි.

කෙසේ වෙතත් තී හා තා නවකතාව අසීමිත ආදර බැඳීමක සාහිත්‍යයික ප්‍රකාශනයක් ලෙස හඳුන්වන්ට බොහෝ දෙනා රුචි වෙති. සුරත් ඒ සංකල්පය ඔස්සේ අප බොහෝ දුරකට රැගෙන යනු පෙනේ. අසීමිත ආදරය ලෙස මටසිලුටුව හඳුන්වනු ලබන යම් අදහසක් වේ නම් ඒ තුළ ගැබ්ව ඇති චමත්කාරය, මුග්ධබව, අශිෂ්ටත්වය, ආත්මාර්ථකාමී තිරිසන්කම, කාමුක පීඩකත්වය සහිත සංකීර්ණ යථාර්ථය මෙතරම් විචිත්‍ර ලෙස චිත්‍රණය වූ අවස්ථාවක් මෑත ඉතිහාසයේ සිංහල නවකතාව තුළ හමුවන්නේ නැත. ඒ වෙනුවෙන් ඔහු නවකතාවේ චරිත නිර්මාණ කිරීමට සාම්ප්‍රදායික සදාචාරායේ මල බැඳි රාමු සුණු විසුනු කරමින් තම අත්දැකීම් සහිත පරිකල්පනාව නිදහසේ හසුරුවයි. තමන්ගේ ඉදිරියේ ඇති මැටි පිඩකින් මූර්තියක් නෙළන විචක්ෂණ ශිල්පියෙකු සේ සේ ඔහු චරිතය තමන්ගෙන් බැහැරට ගෙන නිර්මාණය කරන චමත්කාරය හා පරිපූර්ණත්වය විස්මය දනවන සුලුය. එම චරිත නිරූපණය ලාංකික සමාජයේ අධ්‍යාත්මය නිරුවත් කර පෙන්වා දෙනු දකිමි.

ඒ සඳහා වූ ඔහුගේ භාෂා භාවිතය නිසැකවම වික්‍රමයකි. කෙටි වැකි වලින් යුතුව සරලව, නිරවුල්ව කෙරෙන ප්‍රකාශනයක් සඳහා භාෂාව මෙහෙයවීම තරම් දුෂ්කර ක්‍රියාවක් ලේඛනයේදී නැත. එවන් භාෂා භාවිතයක් ප්‍රකට කරන්නේ ලේඛනයේ විශිෂ්ටත්වයේ පරිසාධන මට්ටමය. ඒ පරිචය දේශීය මෙන්ම දේශාන්තර සාහිත ඇසුරෙහි ඵලයකි. ඔහුගේ සරල සුගම බස්වහර, කෙටි වැකි, මෙන්ම ඉන් උත්පාදනය කරන උත්ප්‍රාසයත්, ඒ වැකි අතර ගැබ්වූ අර්ථපූර්ණ යටිපෙළත් පාඨකයා මවිත කරවන සුලුය. මුළු නවකතාවම කවක් සේ රසවත් කිරීමට ඒ භාෂා භාවිතය සමත් වී තිබේ.

එය කලකින් අත්විඳිය හැකි අපූර්ව නිර්මාණ අත්දැකීමක් වන්නේ එබැවිනි. එහෙත් තී හා තා එහි නිර්මාණාත්ම ගැඹුරින්ම නොගෙන අපට හුරු පුරුදු සම්ප්‍රදායේ කෝදුවෙන් මනින්නට ගියහොත් මේ කෘතිය ඊට හසු වන්නේ නැත. එය ඇත්තේ ඒ මිනුම් සීමාවට ඔබෙනි. එමෙන්ම අප දකින තවත් එක් ව්‍යසනයක් වන්නේ සාහිත්‍ය සමාජය තුළ පවත්නා ගෝත්‍රික කල්ලි වාදයය. එම කල්ලිකරුවෝ තමන් රැකෙන්නට තනාගත් පවුරු බඳු වූ තම කල්ලියට එපිටින් නිර්මාණකරණයේ යෙදෙන්නන් අශිෂ්ට ව්‍යසනයට ලක් කරති. මෙවැනි ගෝත්‍රික වටපිටාවක ස්වකීය අනන්‍යතා සහිතව පෞරුෂවත් ස්වාධීන නිර්මාණකරුවෙකු බිහි වීමත් ප්‍රහර්ෂයකි. මේ මොහොතේදී අපි ඒ අරුමයේ ප්‍රහර්ෂය විඳිමින් හිඳිමු.

ජානක ලියනආරච්චි

Comments