නික්ගේ ජීවිත කතාව පොත් පෙළ­කට... | සිළුමිණ

නික්ගේ ජීවිත කතාව පොත් පෙළ­කට...

ඔබට ජීවිතයේ කවදහරි දවසක... “මං මහා අවාසනාවන්තයෙක් කියලා හිතිලා තියෙනවද? අපි එකිනෙකාගේ ආශාවන් විවිධයි. මට ඒ දේ තිබුණා නම් මේ දේවල් මීට වඩා වෙනස් වුණා නම්... මට මේ... මේ... දේවල් නැහැ... ඒක නිසා මට මේක කරන්න බැහැ... ඔන්න ඔහොම දේවල් අපි හිතනවා නේද? අපි මේ දේවල් ගැන හිතන්නත් ළතවෙන්නත් මෙච්චරම කාලයක් නාස්ති කරන්නෙ කොයි තරම් දේවල් හිමිවෙලා තියෙද්දිද? ඔබටත් මටත් උපතින් ම හිමිවුණු අත් පා වත් හරියට පිහිටලා නැති කී දෙනෙක් ලෝකය ජයගන්න කොයිතරම් දේවල් කරලා තියනවද? ඕස්ට්‍රේලියාවේ මෙල්බන්වල 1982 දෙසැම්බර් 04 දා උපන් නිකලස් ජේම්ස් වුයෙච්චි අත් පා හතරම නැති කෙනෙක්. කලාතුරකින් දක්නට ලැබෙන ‘ටෙට්‍රා ඇමේනියා ‍රෝගියෙක්.” මේ ‍‍රෝග ලක්ෂණ සහිත කලලයක මුහුණ හදවත ස්නායු, අස්ථි, පෙනහලු, ලිංගික අවයව නිසියාකාරව වර්ධනය නොවන අතර මේ දරුවන් උපතට පෙර මිය යෑම හෝ උපන් විගස මිය යෑම සිදු වේ. මේ තත්ත්වය තිබියදී ජීවත්වන්නෙ බොහොම අතළොස්සයි. නික් එවැනි කෙනෙක්.

නික්ගේ මව වින්නඹුවක්. ගැබ් කාලයේදී මොනයම් හෝ වරදක් ඇති බව දැනුණු නිසා සියලු පරීක්ෂණ කළත් අත්පා නැති බව සටහන් නුවූ අතර නික් ඉපදුණු පසු මව කම්පනයටත්, පියා ක්ලාන්ත බවටත් පත්ව ඇත. ආබාධිත බව නිසා පාසලේ සම වයස් කණ්ඩායම් අතර අඩම්තේට්ටම් සහ හිරිහැරවලට ලක්වූ නික් ‘විෂාදය’ නම් රෝගයට පත්ව අවු. 10 දී දිවි නසා ගැනීමට පවා සිතා ඇත.

ඔහු වැනි ම අත්පා නැති දරුවකු දැකීමෙන් ජීවිතය ගැන දිරිමත්ව සිතන නික් අවු. 17 දී ‘Life Without Limbs නම් ආයතන‍යක් පිහිටුවා අවු. 19 දී මිනිසුන් දිරිමත් කිරීමේ දේශන ඇරඹීය.

රටවල් 58 අධික ප්‍රමාණයක සංචාරය කරමින් සමාජයේ විවිධ ස්ථර අමතමින් ජනප්‍රිය දේශකයකු බවට පත් විය. ජපන් ඇමෙරිකන් සම්භවයක් ඇති කානෙයි මියහාරා සමඟ විවාහයෙන් පසු දරුවන් සිව් දෙනෙකුගේ පියකු බවට පත් වේ.

අත් පා නැති නික් ගොල්ෆ් පාපන්දු පිහිනීම් හිම මත ලිස්සීම් ගුවන් කරණම් හා Surfing වැනි ක්‍රීඩාවල නිරතවෙන්නෙ අත් පා ඇතියවුන් පුදුමයට පත් කරමින්.

ඔහුගේ පළමු කෘතිය “Life Without Limits. Inspiration for a Ridiculously Good Life 2010 දී ප්‍රකාශයට පත්වූ අතර Life’s Greater Purpose D.V.D පටය 2005 දී එළිදැක්වුණි.

2005 දී නික් වසරේ හොඳම තරුණ ඕස්ට්‍රේලියානුවාට හිමි සම්මානය වෙනුවෙන් ද නම් කෙරුණි. වර්ෂ 2009 දී නික් රංගනයෙන් දායක වූ ‘The butterfly Circus’ කෙටි චිත්‍රපටය Doorpost film Project හි හොඳ ම චිත්‍රපටය වූ අතර එය Method Fest film festival හි හොඳම කෙටි චිත්‍රපට සම්මානය ද දිනීය. ඔහු හොඳ ම නළුවා වූ ඒ චිත්‍රපටය හොලිවුඩ් The feel Good film Festival හි 2010 හොඳම කෙටි චිත්‍රපටයට හිමි සම්මානය ද දිනීය.

උපතින් ලද අසම්පූර්ණභාවය නිසා කුඩා කල පටන් බොහෝ අපහසුතාවන්ට මුහුණ දෙන්නට සිදුවූවත් අවසානයේ සියලු නොහැකියාවන් පරාජය කරමින් ජීවිතය ජයගත් නික් මහා ආදර්ශවත් යුග පුරුෂයෙක්. දෙවියන් කෙරෙහි මහත් විශ්වාසයක් තැබූ නික් වුයෙච්චි අද ලේඛකයෙක්, සංගීතඥයෙක්, රංගන ශිල්පියෙක්. පිහිනුම්, මසුන් ඇල්ලීම, චිත්‍ර ඇඳීම ඔහුගේ විනෝදාංශ ලැයිස්තුවේ ඇත.

ලෝකයේ කොයි කාටත් ආදර්ශවත් නික්ගේ කතාව සමන් ආතාවුදහෙට්ටි මහතා ග්‍රන්ථ කිහිපයක් ලෙස එළිදක්වන්න ස‍ූදානම් වන්නේ නික්ගේ ජීවන මඟේ සේයාරූ ද සමඟිනුයි. නික්ගේ ජීවිත කතාව කියෙව්වාම, ජීවිතේ හැමදේටම නෑ, බෑ කියමින් ළතවෙන අයට හුඟාක් ලජ්ජා හිතේවි. තමන් ගැනම තමන්ට නැති දේවල් කියලා කියන්නේ, තමන්ට ජීවිතයේ හුඟාක් දේවල් ලබාගන්න පුළුවන් වෙස්වළා ගත්ත ආශිර්වාදයක් කියලා ඔබටත් දැනේවි. ඒක ජීවිතයේ ලොකු හැරවුම් ලක්ෂ­්‍යයක් බව පෙනේවි.

බොහෝ ජයග්‍රාහකයන් කියලා කියන්නේ ඊට කලින් මොන යම් හෝ අංශයකින් පරාජයට පත්වූවන් වුවත් ඒ පරාජයේ අභියෝගයට සාර්ථකව මුහුණ දෙන්නෙ කොහොමද කියලා ඔබට සිතේවි.

ජීවන ගමනේ උපතින් හෝ වේවා මොනයම් අංශයකින් හෝ වේවා ආබාධ අඩුපාඩු දුබලතා සහිතව උපදින්නේ නැත්නම් අතරමගදී ජීවිතය කඩා වැටෙන්නේ ඔබව තවත් පැත්තකින් විශිෂ්ටයකු බවට පත් කරන්න. එහෙම නැත්නම් අමරණීයභාවයට පත් කරන්න කියලා ඔබ හොඳින් ම අවබෝධ කර ගනීවි.

නික්ගේ වම් උකුළේ කුඩා පාදයෙන් ශරීරයේ සමබරතාව පවත්වා ගන්නා’යුරු පහර එල්ල කිරීමට, ටයිප් කිරීමට, ලිවීමට යම් යම් දේවල් ‍ඔසවා ගැනීමට එය අපූරු ලෙස උප‍යෝගි කරන යුරු දැකීමෙන් ඔබ මවිතයටත් අමන්දානන්දයටත් පත් වේවි. මෙකී නොකී හැම දෙයක් ම කියවන්න.

නික් වුයෙච්චිගේ ජීවිත කතාව සීමා නැති ජීවිතේ... සමාජ ජාලා වෙබ් අඩවිවලත් නික්ගේ ජීවිතය ගැන ‍බොහෝ දේ අහන්න දකින්න ඇති අතර එයිනුත් ආදර්ශයක් අරගෙන ජීවිතයට අලුත් විදිහට හිතන්න පුරුදුවෙන්න.

‘ජීවිතයේ පැරදුම් කියන්නේ ජයග්‍රහණයේ පදනමයි වේ’ කියන ප්‍රස්තාව පිරුළ හිතට අරන් කටයුතු කළොත් ඔබ කොයි කාටත් කොයි පැත්තකින් හරි ජීවිත දිනන්න හැකිවෙන බව නම් නොඅනුමානයි.

 

Comments