
* බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවට බැඳුණේ 1943...
* දෙවැනි ලෝක යුද්ද කාලෙ ත්‍රීකුණාමල වරායට වැඩිපුර ආවෙ රුවල්නැව්
* රාජකාරිය දේවකාරිය වගේ ඉටු කිරීම අප සුද්දන්ගෙන් ලද ලොකුම දායාදයයි
ඔහු නමින් අමරසේනද සිල්වාය. වයස අවුරුදු 95කි. ඔහු නාවික හමුදාවට එක්වූයේ බ්‍රිතාන්‍යයන් අප රට යටත් කරගෙන සිටි කාලයේය. එකල රාජකීය නාවික හමුදාවය. නාවික හමුදාවේ කියුම් කෙරුම් ගැන ඔහු දන්නා දේ බොහෝය.
“යුද්දෙ නිසා කන්න බොන්න තරම්වත් ඉස්පාසුවක් නැති තරමට අපිට වැඩ තිබුණා. දවස් ගාණක් එක දිගට වැඩ කරල මහන්සියෙන් හිටපු මට පැය 6ක් වත් නිදා ගන්න ලැබුණෙ නැහැ. උදේ පාන්දර 4 ඉඳල 8 වෙනකල් ඩියුටියක් තිබුණා. ඒ ත්‍රිකුණාමලය වරාය පිවිසුම ආසන්නයේ මුහුද මැද තියෙන පොඩි දූපතක. චැපල් හිල් කියල තමයි ඒ දවස්වල ඒ දූපතට කිව්වෙ. මට තිබුණෙ දූපතේ ඉඳල වරායට ඇතුළුවන නැව් ගැන මෝස් කෝඩ් එකෙන් සංඥා දෙන එකයි. ඒ සංඥාව ත්‍රිකුණාමලයේ ප්‍රධාන නාවික මූලස්ථානයට යනවා. ඒකෙන් සියලුම නිලධාරීන් දැන ගන්නව වරායට ඇතුළු වන නැව අපට සම්බන්ධ එකක් කියලා. මොකද ඒ දවස්වල අපි නොදන්න නැව් පවා එනවා. ඒවායින් ලබා දෙන මෝස් සංඥා රහස් පණිවුඩ අනුව තමයි අපි දැන ගන්නේ නැව ගැන විස්තරය.
මට දිනේ මාසෙ නං මතක නැහැ. ඒත් අවුරුද්ද නම් 1944 කියල හොඳටම මතකයි. උදේ 4 ට රාජකාරි බාරගත්ත මට උදේ 5 ට විතර තද බල බඩේ කැක්කුමක් ආවා. කලින් දවසෙ කාපු කෑම නිසා අජීර්ණයක් වෙලා කියල මට තේරුණා. කොහොම හරි විනාඩි 30කට කිට්ටු වෙලාවක් මට අජීර්ණය හින්ද වැසිකිළියේ ඉන්න සිද්ධ වුණා. මම මගේ රාජකාරි ස්ථානයට එනකොට මෝස් සංඥා පුවරුවට දිගට හරහට පණිවිඩ එනවා. මුහුද වැඩියෙන් කැලඹෙන්නෙ මොකද කියල ඒ එක්කම මම බැලුවා.
දෙයියනේ! නැවක් වරාය ඇතුළටම යන්න ඇවිත්”
නොදැන ආ නැවක්
දෙවැනි ලෝක මහා යුද්ධය මුළු ලෝකය පුරා පැතිර තිබූ එම වකවානුවේ ත්‍රිකුණාමලයේ කුඩා දූපතක සේවය කළ හෙතෙම එදා වූ සිද්ධිය අප හා විස්තර කළේය.
“තව පොඩ්ඩෙන් අපේ අය නැවට පහර දෙනවා. පුදුමාකාර විදිහට ඒක වැළැක්වුණේ. ඒ දවස්වල ලෝකෙ හැම තැනම යුද්දෙ. සතුරු නැව් එන්න පුළුවන් හින්ද ත්‍රිකුණාමලයේ පොඩි දූපතක අපේ නාවික සංඥා මධ්‍යස්ථානයක් පිහිටුවා තිබුණා. වරයාට ඇතුළු වන සියලුම නැව් සම්බන්ධව එතැනින් ත්‍රිකුණාමලය නාවික හමුදා ප්‍රධාන කාර්යාලයට දැන්විය යුතුව තිබුණා. අසනීප තත්වය නිසා නැව වරාය ඇතුළට යන්න පටන් ගන්න තුරුම මට ඒ ගැන දන්වන්න බැරිවුණා.
මොස් කෝඩ් එක භාවිතා කරල එන නැව් ගැන විස්තර දැනුම් දෙන්න බැරි වුණු නිසා ප්‍රධාන කාර්යාලයෙන් නැවට පහර දෙන්න සුදානම් කරලයි තිබුණේ. දැන් නැවට ගහන්න ලෑස්තියි. ඒ නැව බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවට අයත් එකක්. මම ඉක්මනට මෝස් කෝඩ් එකෙන් පණිවුඩය දුන්නා ඒක අපේ රාජකීය නාවික හමුදාවට අයත් නැවක් බව. මම තවත් තත්ත්පර 90ක් පමා වුණා නම් එදා ඒ නැව එතැනම මුහුදු බත්වෙන්න තිබුණා.” අමරසේන මහතා ඒ අතීත අත්දැකීම විස්තර කළේය.
අදටත් මතක මෝස් කෝඩ්
“මෙච්චර වයසට ගිහිල්ලත් මට අදත් මෝස් කෝඩ් මතකයි.” ලෝක යුද සමයේ කතා රැසක් සමගින් සිය නාවික හමුදා ජීවිතයේ අත්දැකීම් අප හා බෙදා හදා ගැනීමට ඔහු සූදානම්ය.
“මම ඉපදුණේ 1924 අවුරුද්දේ සැප්තැම්බර් 7 වැනිදා. අහුන්ගල්ල ගල්වෙහෙර සිංහල පාසලේ 4 වන පංතියට වෙනකල් ඉගෙන ගෙන අහුන්ගල්ල රාජපක්ෂ විද්‍යාලයට ගියා. ඒත් අපට දිගින් දිගටම අධ්‍යාපනය ලබන්න බැරි වුණා. දෙවන ලෝක යුද්ධය ආරම්භ වුණාට පස්සෙ ලංකාවටත් ඒකෙ බලපෑම තිබුණා.
ඒ දවස්වල රාජකීය නාවික හමුදාවට ලංකාවෙන් සාමාජිකයින් බඳවා ගනිද්දි මමත් 1943 මැයි 18දා බ්‍රිතාන්‍ය නාවික හමුදාවට බැඳුණා. මට වැඩකරන්න වුණේ සංඥා අංශයෙ. නාවික සංඥාකරු ලෙස. මට නැව්වල වගේම ගොඩබිමත් වැඩ කරන්න ලැබුණා. බොහෝ විට මම රාජකාරි කෙළේ ත්‍රිකුණාමලයේ. එහි චැපල් හිල් දූපතේ වැඩ කරද්දි ලැබුණු අත්දැකීම් වැඩියි.
අපි දූපතට ඕන කරන දේ ගැන ගොඩබිමට දැනුම් දුන්නේ වර්ණ කොඩි වලින් කරපු සංඥාවලින්. ඒත් රෑට කොඩි සංඥා නොපෙනෙන නිසා අපි ඒ වෙනුවට මෝස් සංඥා භාවිතා කළා. මෝස් කෝඩ් එක භාවිත කරන්න අපි පොඩි යන්ත්‍රයක් පාවිච්චි කළා. ඒකට ටෝච් බැටරි දාල එළිය පෙන්නුම් කරල ඇතැම් පණිවුඩ දුන්නා. අනෙක් වෙලාවට ‘මෝස් කෝඩ්‘ හරහා තමයි පණිවුඩ යැව්වේ. අද අය මෝස් කෝඩ් (මෝස් සංකේත සංඥා) කියන්නෙ මොනවද කියල දන්නෙත් නැතුව ඇති. අපි ශබ්ද යවන ක්‍රමය අනුව අනෙක් තැනැත්තා දන්නවා ඒ පණිවුඩය මොකක්ද කියලා, ඒ වගේම අපි ශරීර අංගයන්ගෙන් පවා සංකේත නිර්මාණය කරගෙන තිබුණා.
ඒක පුදුමාකාර අත්දැකීම් බහුල ජීවිතයක්... අද කාලෙ වගෙ අපට පහසුකම් තිබුණේ නැහැ. ත්‍රිකුණාමලයේ ඉඳල කොළඹ එන එකත් හරියට ඉන්දියාවට ගිහින් එනව වගේ වැඩක්. දූපතේ ජීවිතය කියන්නේ හරියට වෙනත් රටක ඉන්නවා වගේ. අපිට ගොඩබිමට එන්න ලැබුණේ මාසයකට දෙකකට වරක්. ඒත් අපි රාජකාරිය දේවකාරිය වගේ ඉටු කළා. ඉංග්‍රීසි ජාතිකයින්ගෙන් අපට ලැබුණු ලොකුම දායාදයක් තමයි ඒ. අනෙක් එක තමයි නාවික හමුදාවේ සිටි අයට හොඳට ඉංගිරිසි දැනුම ලැබුණා. අපි වැඩ කෙළේ සුදු ජාතිකයින් එක්ක. ඒ දවස්වල ලංකාවට නිදහස ලැබිල තිබුණේ නැහැ. රාජකීය නාවික හමුදාවෙ කොටසක් තමයි අපේ රටේ ස්ථාපිතව තිබුණේ. කාලතුවක්කුත් ඒ දවස්වල භාවිතා කළා. ගාලු මුවදොර තියෙන කාලතුවක්කු අතර ඒ දවස්වල පාවිච්චි කරපුවත් තිබෙනවා.
නැවක් බෙල්ලන් කඩනතුරු වරායේ
ඒ කාලෙ සමහර නෞකා ගමන් කෙළේ රුවල් ආධාරයෙන්. අද මෙන් තාක්ෂණයෙන් ඉහළ මට්ටමේ නෞකා තිබුණානම් ඒ ඉතාම අතළොස්සක්. ත්‍රිකුණාමලය වරායේ ස්වභාවික පිහිටීම ගැන බ්‍රිතාන්‍ය ජාතිකයෝ බොහෝ සතුටු වුණා. එකල තිබුණු ගොඩක් නෞකා කරදරයක් නැතිව වරායට ඇතුළු කිරීමට හැකියාව තිබුණා. ත්‍රිකුණාමලය වරාය ආසන්නයේ මුහුද සමහර තැන්වල කිලෝමීටරයකට ආසන්න ගැඹුරක් තියෙනවා.
රාජකීය නාවික හමුදාවට අයක් නැවක් ත්‍රිකුණාමලය අසල දවස් ගණනාවක් නැංගුරම් දමා තිබුණා. ඒ නැව පාවෙන තටාකාංගනයට අරගෙන එහි අවර පෙත්තේ වගේම වතුරින් යටව ඇති කොටස්වල එල්ලී සිටින බෙල්ලන් අයින් කරන්නයි එසේ නැංගුරම් දමා තිබුණේ. අපි නොසිතුවාට නැවක අවරපෙත්තේ නැත්නම් ‘රඩරය‘ (අවරපෙත්තෙන් බලය ලබා දෙන අතර නැව හැරවෙන අරිත්රය) බෙල්ලන් එල්ලී සිටි විට බලයට සැලකිය යුතු බලපෑමක් එල්ල වනවා. නැවේ වේගයට මෙන්ම නැව හැරවීමටත් එය විශාල බාධාවක්.
කපිතාන්වරයා ඒ බව දැන්වීමෙන් පසු අද වගේ වියළි තටාකාංගන (Dry Dock) නොතිබූ ඒ කාලෙ නැව පාවෙන තටාකාංගනයකට ගන්නවා. එහි පතුළට වන්නට තියෙන්නේ හුළං පිරවූ අතිවිශාල කොට්ට සමූහයක්. පාවෙන තටාකාංගනයේ කිමිදෙමින් තමයි අලුත්වැඩියා කටයුතු කරන්නේ.
අපි රාජකීය නැව අපි තටාකාංගනයට ගත්තා. ඒත් ඒ නැව හුඟක් බර නිසා හුළං පිරවූ එක කොට්ටයක් පුපුරලා ගියා. ඒ වෙනකොට නැව ලොකු දම්වැල්වලින් බැඳල තිබුණේ. ටිකෙන් ටික නැව පුපුරපු හුළං කොට්ටයේ තිබුණු තැනින් ගිලෙන්න ගත්තා. මම ඉක්මනට දුවලා ගිහින් අනෙක් අයට කියලා කෑගහලා දම්වැල් කපා දැමුවා. ඒ අතරේ කපිතාන්ට කිව්වා නැව පාවෙන තටාකාංගනයෙන් ඉවත් කරගන්න කියලා. අපි ඉක්මන් නොවුණානම් ඒ නැව එදා ගොඩ ගන්න බැරිවෙන විදිහට ගිලෙනවා.” අමරසේන මහතාගේ කතාබහ සෙමිනි. එහෙත් එකල සිදුවීම් සියල්ල ඔහුට හොඳින් මතකය.
“මට දරුවො හතර දෙනෙක් ඉන්නවා. එයින් තුන්දෙනෙක්ම පුතාල. ඒ සියලු දෙනාම රටට වැඩ දායක අය කරන්න මට පුළුවන් වුණා. ඒක මට ලොකු සතුටක්.”
යළිත් අතීත මතකයන් අතර සැරිසරන අමරසේන මහතා තවත් එක් අමතක නොවූ සිදුවීමක් ගෙන හැර පෑවේය.
තටුවක් කඩාගෙන ආ ගුවන් යානය
“රාජකීය නාවික හමුදාවේ සේවය කරපු එඩින්බරෝ ආදිපාදවරයා ලෝක යුද්ද කාලෙ ලංකාවට ආවා. ත්‍රිකුණාමලයේ නාවික කටාකාංගනයේ ඔහු සිටින විට නැවක තිබුණු ප්‍රහාරක යානා දෙකක් (Ship Aircraft) ගුවන් ගත වුණේ ආදිපාදවරයාට පෙන්නන්නයි. ඒත් එක් ප්‍රහාරක යානාවක් වේගයෙන් පහත් කරනකොට අනෙක් ප්‍රහාරක යානාවට ඒ වේගයෙන් ඉහළට යන්නට බැරි වුණා. වේගයෙන් ආපු යානාව අනෙක් යානයේ තටුවක් කඩාගෙන නියමුවාත් එක්කම මුහුදු බත් වුණා. තටුව කැඩුණු යානාව සැලකිය යුතු වේලාවක් මුහුදේ පාවෙමින් තිබුණු නිසා එහි නියමුවා බේරා ගන්නට හැකියාව ලැබුණා. මගේ රාජකාරි ජීවිතයේ දැකපු දුක්මුසුම සිදුවීම එයයි. ආදිපාදවරයාත් ඒ සිදුවීමෙන් දැඩි සේ දුක් වුණා.
රාජකිය නාවික හමුදාවේ හිටපු හැම කෙනෙක්ම දැන් විශ්‍රාම ගිහින්. සමහර අය මිය ගිහින්. ඉන්න අපි එක්වෙලා පොඩි පොඩි සතුටු සාද පවත්වලා තියෙනවා. දැන් අපේ බොහෝ අයට අවුරුදු 84ක් 85ක් ඉක්මවලා තියෙන්නේ.. ඉතුරුවෙලා ඉන්න අපි ටිකට නිල උත්සවයන්ට ආරාධනා ලැබුන්නෙ නැහැ. ඒත් වත්මන් නාවික හමුදාපතිවරයා ශ්‍රී ලංකාවටට ඇමරිකාවෙන් අපට ලැබුණු නවීන යුද නෞකාව දියත් කිරීමේ උත්සවයට අපටත් ආරාධනා කළා. අපිටත් එහිදී ලොකු පිළිගැනීමක් තිබුණා. ඒක අපට කරපු ලොකු ගෞරවයක් ලෙස මා දකිනවා. අපිට ජනාධිපතිවරයා, ආරක්ෂක රාජ්‍ය ඇමැතිවරයා මෙන්ම ත්‍රිවිධ හමුදාපතිවරුන් සමඟ එකට ඉන්නට අවස්ථාව ලැබුණා.
1947 අවුරුද්දේ මම නාවික හමුදාවෙන් අස්වුණා.”
මෝස් සංඥා ක්‍රමය ගැන ඔහු සතු දැනුම අති මහත්ය. ඒ දැනුම එක්තැන් කර ‘මෝර්ස් හා (සැමෆෝ) මුද්‍රා සංදේශනය’ නමින් අමරසේන මහතා ග්රන්ථයක් ද සම්පාදනය කර ඇත්තේය.
සේයාරූ-විමල් කරුණාතිලක හා සමන් වෙදගේ