ලබුනෝරුව ආරණ්‍ය සේනාසනාධිපති
පූජ්‍ය මානංකඩවල සුදස්සී හිමි
පාලි වී පූර්ව භජ ධාතුවෙන් නිපත් “ විභජති” යන ක්‍රියාපදය බෙදා දැක්වීම්, විස්තර කිරීම්, වෙන් කොට දැක්වීම්, ආදී අර්ථයන්හි යෙදේ. මෙයින් බිඳුනු “විභජ්ජි” යන පදය ද බෙදා දැක්වීම අර්ථවත් කරයි. “විභජ්ජ වදතීත විභජ්ජවාදී” (වජිරබුද්ධි ටීකා) යනුවෙන් දැක්වෙන විග්රහයන්ට අනුව බෙදා දක්වා අරුත් ප්‍රකාශ කරන නිසාම විභජ්ජවාද යන නම් යෙදී ඇත. සාරත්ථදීපනී ටීකාව ට අනුව විභජ්ජවාද යන පදය ආකාර කිහිපයකට අර්ථ නිරුක්ති ගන්වා ඇත. එහිදී
1.වේනෙය භාවයන් බෙදා දක්වන හෙයින්ද
2.ශාස්වත උච්ඡෙද ආදීය බෙදා දක්වන නිසාද
3.ඨපනීය ප්‍රශ්න තැබූ නිසා ද රාගාදි ධර්මයන්ගේ සිඳීම නිසාද
4.අන්තයකට නොපැමිණ මැදුම් පිළිවෙලෙහි වූ පටිච්චසමුප්පාදය දෙසූ නිසා ද බුදුරජාණන් වහන්සේ විභජජවාද යන නාමයෙන් හඳුන්වා ඇත.
විභජජවාද යන යෙදුම විමසීමේදී ඉතාමත් වැදගත් ම භාවිතය ලෙස බුදුරජාණන් වහන්සේගේ චතුර්විධ පඤ්හ ෙවෙය්යාකරණය හැඳින්විය හැකිය.
1.ඒකාන්ත ලෙස කරන විස්සර්ජනය
2. විභජ්ජවාද හෙවත් බෙදා දක්වා විසඳීම
3.තවත් ගැටලුවකින් සිදු කරන විස්සර්ජනය
4.ඨපනීය විස්සර්ජනය
මෙම ප්‍රශ්න විස්සර්ජන ක්‍රමවේද සතර තාර්කික පදනමක් මත ගොඩ නැගී ඇති ආකාරය මෙය විමර්ශනය කරන්නකුට පෙනී යයි. නමුත් බොහෝ විට මේ ක්‍රමවේද සතරින් සමස්ත බුද්ධ දේශනයම හැඳින්විය හැකි එකම න්‍යාය නම් විභජ්ජවාද න්‍යායයි.
මේ විභජ්ජවාද යන පදයට තවත් වැදගත් කරුණක් වජ්ජියමාහිත සූත්‍රය තුළ දැක්වෙයි. එහිදී වජ්ජියමාහිත බ්‍රාහ්මණ තුමන් විසින් බුදුරජාණන් වහන්සේ පිළිබඳව අන්‍ය තීර්ථකයන්ට හඳුන්වා දෙනු ලබන්නේ සියලු තපස සහ දුෂ්කර පැවැත්ම ඒකාන්ත වශයෙන් ප්‍රතික්ෂේප නොකරන අතර ගැරහිය යුත්තාට ගරහන ප්‍රශංසා කළ යුත්තාට ප්‍රශංසා කරන නිසාම විභජ්ජවාදී නම් වන බවයි.
මේ අනුව ගත් කළ විභජ්ජවාද යන්න බෞද්ධ දර්ශනය හා එහි ස්වභාවය අර්ථකථනය කිරීමෙහි භාවිත වූවක් ලෙස සැලකිය හැකිය.
නිකායාන්තර සම්භවය විමසීමේදී ද විභජ්ජවාද යනුවෙන් ථේරවාදයෙන් බිඳිගිය එක් කොටසක් හැඳින්වූ අතරම එය වෙනම ශාඛාවක් ලෙස ප්‍රවර්ධනය වූ බවට කිසිඳු සාධකයක් නැත.
විභජ්ජවාදය යන යෙදුම ශාසනික ඉතිහාසයේ පරිභාවිත ඉතාමත් සුවිශේෂතම අවස්ථාව ලෙස හැඳින්විය හැක්කේ තෙවන ධර්ම සංගායනාවයි. එකල ශාසනික ප්‍රදීප්ත භාවය නිසාම ශාසනයට අන්‍ය තීර්ථකයන්ගෙන් එල්ල වූ බලපෑම ඉතා විශාල විය.
ලාභ කීර්ති කතා සසුනට ඇතුළු වූ අන්‍ය තීර්ථකයන් විසින් සසුන තම මතවාදයන් ඔස්සේ වනසමින් පැවති කාලවකවානුවක බුදු සසුන එම තත්ත්වයෙන් බේරා ගැනීම සහ ථේරවාද බෞද්ධ භික්ෂූන් වහන්සේලා සිවුරු පෙරවාගත් අන්‍යාගමික පැවිද්දන්ගෙන් වෙන් කොට හඳුනා ගැනීමට භාවිත කරන ලද ප්‍රධානතම නිර්ණායකය විභජ්ජවාද යන්නයි.
එහිදී “කිංවාදී සම්මාසම්බුද්ධ” ති? බුදුරජාණන් වහන්සේ කිනම්වාදීදැයි සියලු භික්ෂූන්ගෙන් විමසන ලද අතර විභජ්ජවාදය මත පිහිටා පිළිතුරු දුන් හා විග්‍රහ කළ භික්ෂූන් වහන්සේලා හැරෙන්නට අනෙක් සැට දහසකට පමණ ප්‍රමාණයක් සිවුරු හරවා බැහැර කරන ලදී. ඒ අනුව විභජ්ජවාද යන යෙදුම හුදෙක් ප්‍රශ්න විසඳීමේ ක්‍රමයකට පමණක් සීමා නොවුණු බව පැහැදිලිය. එය ශාසනය නිරුපද්‍රැතව පවත්වන්නට උපකාර වූ න්‍යායාත්මක ක්රමෙව්දයක පරිභාවිත වූවැකයි කීම යුක්ති සහගතය.
විභජ්ජවාදයේ නූතන මුහුණුවර
විභජ්ජවාදයේ නූතන මුහුණුවරද අපට අර්ථ ගැන්විය හැක්කේ එදා තෙවන සංගායනාව කළ සිදු වූ සිද්ධිය හා සාම්‍ය සමාජ තත්ත්වයක් මතය. එදා චීවර ධාරීවූ අන්යතිර්ථකයන්ගෙන් එල්ල වූ අර්බුදයම අද ශ්‍රමණ ප්රතිරූපකයන් වෙතින් ද එල්ල වී ඇත. ඉතාමත් සංවිධාන ගතව සිදු කරන එම ක්‍රමන්ත්‍රණකාරී පිළිවෙත මෙතෙක් නිරුපද්‍රැතව පැවත ආ ථේරවාද සම්ප්‍රදායට මෙන්ම පෙළ, අටුවා, ටීකාවන්ට දැඩි බලපෑමක් එල්ලකොට ඇත.
ධර්මය වේශයෙන්ම සිදුවන එම අධර්ම මතවාද පිරිසිදු ධර්මයේ පැවැත්මට බාධාවක් ව ඇත. සැගවුණු බොදුමග අලුතෙන් මතු වූ බවට පාරම් බාන ඔවුන් විසින් අපූර්ව නිරුක්ති සැපයීමක්ද කරනු ලබයි. නමස්කාරයේ බුදුගුණ නවයේ සිට පටිච්චසමුප්පාදය වැනි ගැඹුරු ධර්ම සිද්ධාන්ත දක්වාම අවිධිමත් පද බෙදීම මගින් අර්ථ කථන සපයන අතර එය කිසිසෙත්ම පෙළ දහමට අනුගත නැත.
මෙවැනි මිථ්‍යාමතයන් මථනය කොට පිරිසිදු ථේරවාද බුදු දහම සුරැකීම නූතන විභජ්ජවාදයේ අරමුණ බවට පත්ව ඇත.
එහිදී මහාසංඝරත්නය හා ගිහි පිරිස වෙත පිරිසුදු පෙළ දහම සම්ප්‍රේෂණය කිරීම පරමාර්ථයක් වන අතරම එහි ප්‍රධානතම වැඩසටහන ජුනි මස 29 වැනි දින කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට අවශ්‍ය කටයුතු දැනටමත් සූදානම් වෙමින් පවතී. එහිදී 5000 මහ සංඝරත්නය උදෙසා විද්යුත් ත්‍රිපිටක (ත්‍රිපිටක පරිශීලනය සඳහාම වෙන් වූ) ටැබ් 5000ක් පූජා කිරීමට බලාපොරොත්තු වන අතරම එමගින් මහා භික්ෂූන් වහන්සේලාගේ ධර්මඥානය වැඩි දියුණු කිරීමට ප්‍රබල හේතුවක් වනු ඇත.