
කුරුණෑගල රෝහලේ සේවයේ නිරත ප්‍රසව හා නාරි වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඩ් සාෆි මේ වන විට අපේ රටේ ආන්දෝලනයට තුඩුදී ඇති චරිතයක් බවට පත් වී හමාරය. ඒ සිංහල බෞද්ධ මවුවරුන් සිසේරියන් සැත්කම් අතර තුර වඳ භාවයට පත් කර ඇතැයි ඔහුට එරෙහිව චෝදනාවක් එල්ල වී ඇති බැවිනි.
එම චෝදනාව සුළුපටු එකක් නම් නොවේ. එකී චෝදනාව ඇත්තක් නම් වෛද්‍ය වෘත්තීයේ මූලික ආචාර ධර්ම සාහසික ලෙස බිඳ දමමින් කළ බරපතළ අපරාධයකි. ඒ තත්ත්වය මත ඔහුගෙන් ප්‍රතිකාරගත් සහ ප්‍රතිකාර ගනිමින් සිටින ගැබිනි මවුවරුන් දැන් සිටින්නේ තිගැස්සීය. එසේම සිසේරියන් සැත්කමින් පළමු දරුවා බිහි කර දෙවැනි දරුවෙකු අපේක්ෂාවෙන් සිටින මවුවරු සිටින්නේ හූල්ලමිනි. සාප කරන්නේ සාෆිටය. එහෙත් තවමත් සාෆිට එරෙහිව ඇත්තේ චෝදනාවක් පමණි. එකී චෝදනාවේ ඇත්ත නැත්ත හරිහැටි පරීක්ෂාකර කඩිනමින් රටට හෙළි කිරීමේ වගකීම ඇත්තේ සෞඛ්‍ය බලධාරීන්ටය.
සාෆිට එරෙහිව ඇති පැමිණිලි
මේ වන විට සාෆිට එරෙහිව කුරුණැගල සහ දඹුල්ල යන රෝහල් වෙත ලැබී ඇති පැමිණිලි ගණන දෙසීයකට වැඩිය. එම පැමිණිලි ඉදිරිපත් කර ඇත්තේ සාෆිගෙන් සිසේරියන් සැත්කම් කරගත් මවුවරුය. ඔහුට එරෙහිව ඒ සියලු මවුවරු පැමිණිලි කරන්නට පැමිණි ඇත්තේ මාධ්‍ය මඟින් සාෆි වෛද්‍යවරයා සම්බන්ධයෙන් පළ වූ පුවත් දැකීමෙනි. පැමිණිලි කරන්නැයි කළ ඉල්ලීමට අනුවය.
එසේ ඉදිරිපත් වූ පැමිණිලි විවිධාකාරය. පළමු දරුවා සිසේරියන් සැත්කමින් බිහි කිරීමෙන් පසු දෙවැනි දරුවා නොලැබුණු බවට චෝදනා කරන මවුවරුන්, පළමු දරුවා සාමාන්‍ය ලෙස බිහි කර දෙවැනි දරුවා සිසේරියන් සැත්කමකින් බිහි කිරීමෙන් පසු තෙවැනි දරුවා නොලැබුණු බවට චෝදනා කරන මවුවරුන්, පළමු සහ දෙවැනි දරුවන් සිසේරියන් සැත්කමින් බිහි කළ පසු තෙවැනි දරුවා නොලැබුණු බවට චෝදනා කරන මවුවරු, සිසේරියන් සැත්කමින් පසු මුත්‍රා ආසාදන, හිසේ රුදාව, කොන්දේ රුදාව, ඇවිද ගන්නට පණ නැති වැනි දීර්ඝ කාලීනව රෝගාබාධවලට සිටින මවුවරුන් මෙන්ම පළමු දරුවා සිසේරියන් සැත්කමකින් බිහි කර අනාගතයේ දෙවැනි දරුවෙකු අපේක්ෂාවෙන් සිටින මවුවරුන් වශයෙන් එම පැමිණිලි වර්ගීකරණය කළ හැකිය.
පළමු දරුවා සිසේරියන් සැත්කමින් බිහි කිරීමෙන් පසු දෙවැනි දරුවා නොලැබුණු බවට පැමිණිලි ඉදිරිපත් කරන මවුවරු පළමු දරුවා ලැබී වසර හය හතක් තිස්සේම දරුවන් අපේක්ෂාවෙන් සිටින්නෝය. ඔවුන්ගෙන් වැඩි දෙනෙක් සිසේරියන් සැත්කම්වලට භාජනය වී ඇත්තේ 2011, 2012 සහ 2013 යන වර්ෂවලදීය.
ඒ අතර වයස අවුරුදු 26 දී පළමු දරුවා බිහි කළ මවක්ද සිටී. ඇය පවසන්නේ දෙවැනි දරුවා අපේකෂාවෙන් ගෙවී ගිය වසර හය හතක කාලය තුළ මුණගැසීමට නොගිය වෛද්‍යවරයෙකු නොමැති බවය. නොකළ පරීක්ෂණයක් නැති බවය. ඇය සඳහන් කරන ආකාරයට අනුව රුපියල් ලක්ෂ පහළොවක් දහසයක් පමණ වෛද්‍යවරුන් සහ වෛද්‍ය පරීක්ෂණ සඳහා වැය කර ඇත. එතරම් විශාල මුදලක් වැය කර ඇතත් ඒ කිසිදු පරීක්ෂණයකින් ඇයට දෙවැනි දරුවා පිළිසිඳ ගැනීමට බාධාවක් වී ඇත්තේ පැලෝපීය නාලයේ ගැටලුවක් බව හෙළි නොවීම මෙන්ම ඇය චැනල් කළ විශේෂඥ වෛද්‍යවරුන් පවසා නොතිබීම ද ගැටලුවකි.
අවසානයේදී ඇය කුරුණෑගල රෝහලට පැමිණෙන්නේ සාෆි විසින් පළමු සිසේරියන් සැත්කමේදී තමන්ට දෙවැනි දරුවා බිහි නොවීමට පැලෝපීය නාලයට හානිකර ඇත්දැයි සැකහැර දැන ගන්නටය. ඇයට පමණක් නොව, දැන් බොහෝ මවුවරුන්ට ඒ අවස්ථාව උදා වී තිබේ. වැල නොකැඩී පෝලිමේ මවුවරු කුරුණෑගල රෝහලට එන්නේ එබැවිනි.
එසේ කුරුණෑගල රෝහලට පැමිණෙන මවුවරු අතර අනාගතයේදී දරුවෙකු බිහි කිරීමට සූදානමින් සිටින අයද සැලකිය යුතු පිරිසක් සිටිති. ඒ අය කුරුණෑගල රෝහලට පැමිණ පැමිණිලි කර ඇත්තේ පළමු සිසේරියන් සැත්කම සිදු කළේ වෛද්‍ය සාෆි බැවින් දෙවැනි දරුවා පිළිසිඳ ගැනීමට නොහැකි ආකාරයට පැලෝපීය නාලයට හානි කිරීමක් ඔහු විසින් කර ඇතිදැයි දැන ගන්නටය.
සිසේරියන් සැත්කමින් පසු දීර්ඝ කාලීනව පීඩා විදින රෝගයන්ට ගොදුරුවූ මවුවරු ද පැමිණිලිකරුවන් අතර වැඩි පිරිසක් සිටිති. ඒ අය කුරුණෑගල රෝහලට ගොස් පැමිණිලි කරන්නේ වෛද්‍ය සාෆි විසින් සිසේරියන් සැත්කම කිරීමේදී කළ යම් ක්‍රියාවක් නිසා තමන් දීර්ඝ කාලීන රෝගීන් බවට පත්ව සිටින්නේදැයි සැකහැර දැන ගන්නටය. ඒ අය අතර සිසේරියන් සැත්කමින් පසු තමන්ගේ දෑස්වල පෙනීම අඩු වූ බව කියන මවක්ද සිටින්නීය. ඇය ඒ වන විට වෛද්‍යවරු ගණනාවක් වෙත ගොස් ප්‍රතිකාර ලබා ඇතත් දෑස් පෙනීම දුර්වල වීමට කිසිදු නිශ්චිත හේතුවක් ඒ කිසිදු වෛද්‍යවරයෙකු ඇයට පවසා නැත.
ඇය කුරුණෑගල රෝහලට පැමිණිල්ලක් ඉදිරිපත් කරන්නේ තමන්ගේ දෑස් පෙනීමේ දුර්වල තාවය සහ සාෆි වෛද්‍යවරයාගේ සිසේරියන් සැත්කම අතර සම්බන්ධයක් තිබේදැයි දැන ගන්නටය.
මේ ආකාරයේ විවිධාකාර සංවේදී කතාවලින් මේ වන විට කුරුණෑගල රෝහල පිරී ඇත. ඇතැම් මවුවරු සිටින්නේ නිහඬව කඳුළු වගුරුවමිනි. කුමක් කරන්නද කුමක් කියන්නදැයි ඒ අය දන්නේ නැත. ඒ මවුවරු තැතිගෙනය.
සාෆි ගැන කෙරෙන විමර්ශනයේ විකෘතිය
සිසේරියන් සැත්කම් මුල් කරගෙන වෛද්‍ය සාෆි සම්බන්ධයෙන් මේ වන විට කෙරෙන විමර්ශන කෙතරම් දුරට විද්‍යාත්මකදැයි ඇත්තේ ගැටලුවකි. සිසේරියන් සැත්කම් මඟින්පැලෝපීය නාළයට හානි කරමින් කාන්තාවන් වඳභාවයට පත් කළ හැකි බව මෙරට සිටින නමගිය මෙන්ම දක්ෂ ප්‍රසව හා නාරි වෛද්‍යවරුන් වැඩි දෙනෙකු පිළිගන්නා පොදු කරුණකි.
එහෙත් ඒ අය නඟන තර්කය වන්නේ සිසේරියන් සැත්කමක් කිරීමේදී හතර පස් දෙනෙකුගේ කාර්ය මණ්ඩලයක්ම සිටින බැවින් තනි වෛද්‍යවරයෙකුට ඒ අයට නොදැනෙන සේ එවැන්නක් කිරීම එතරම් පහසු කටයුත්තක් නොවන බවය. සාෆි වශේෂඥ වෛද්‍යවරයෙකු නොව සාමාන්‍ය වෛද්‍යවරයෙකි. සාෆිට ඉහළින් ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යවරයෙක් සිටී. සිසේරියන් සැත්කමක් සිදු වන විට විශේෂඥ වෛද්‍යවරයාද ශල්‍යාගාරයේ රැඳී සිටිය යුතුය. සියල්ල අධික්ෂණය කරන්නේ විශේෂඥ වෛද්‍යවරයාය. සාෆි මෙතරම් දෙයක් කරන තුරු බලා සිටි විශේෂඥ වෛද්‍යවරයාවත් ඒ අනුව අත්අඩංගුවට ගත යුතුය. කියන ආකාරයට අනුව කාන්තාවන් වඳභාවයට පත්කිරීම් සිදු වී ඇත්තේ එකක් දෙකක් නොව. දහස් ගණනකි.
වෛද්‍ය සාෆි එතරම් විශාල මවුවරුන් පිරිසකගේ පැලෝපීය නාළය අවහිර කරන තුරු සෙසු කාර්ය මණ්ඩලය සිටියේ ශල්‍යාගාරයේ නිදාගෙනදැයි ඇත්තේ ගැටලුවකි. එසේ නම් එම මහා අපරාධයට සාෆි සමඟ ශල්‍යාගාරයේ රැඳී සෑම නිලධාරියෙකුම වගකිව යුතුය. මේ මහා අපරාධය ගැන කල්තියාම තොරතුරු ලැබී තිබුණු බව දැන් මාධ්‍යට කියන රෝහල් බලධාරීන්ද මෙතෙක් කලක් නිහඬව සිටීමෙන් කර ඇත්තේ සාෆිට අනුබල දීමකි. ඒ අනුව සාෆිට යම් අපරාධ චෝදනාවක් ගොනු වන්නේ නම් එකී අපරාධයට ආධාර හා අනුබල දීමේ වරදට මේ කියන රෝහල් බලධාරීන්ටද චෝදනා ගොනු විය යුතුය.
විද්‍යාත්මක පර්යේෂණයක අවශ්‍යතාව
එයින් සාෆිගේ සිසේරියන් සැත්කම් සහ වඳ භාවය පිළිබඳව සැබෑව එළියට එන්නේ නැත. කවුරුන් හෝ කළ යුතුව ඇත්තේ ඒ ගැන ගැඹුරු අධ්‍යනයක නිරතවීමය. ඒ සඳහා මුලින්ම කළ යුතුව ඇත්තේ සාෆි විසින් මෙතෙක් කලක් කළ සිසේරියන් සැත්කම් ප්‍රමාණය කොපමණදැයි නිශ්චිතවම සොයාගැනීමය. එය සොයාගැනීම එතරම් අපහසු කටයුත්තක් නොවනු ඇත. ඒ ඔහු සේවයේ නිරතව සිටි කුරුණැගලත්, දඹුල්ලත්, ගලේවෙලත්,රෝහල්වල එකී වාර්තා ඇති බැවිනි. අනතුරුව කළ යුතුව ඇත්තේ එම වාර්තාවන්ට අනුව ජාති ආගම් කුල පන්ති භේදවලින් තොරව ඒ මවුවරු මුණ ගැසී විද්‍යාත්මක පදනමක් ඇතිව කරුණු අධ්‍යනය කිරීමය. සාෆිගේ සිසේරියන් සැත්කම්වලින් පසු මවුවරු කීදෙනෙකු වඳ භාවයට පත් වී ඇතිදැයි සැබෑ ලෙසම තහවුරු කරගැනීමට හැකි වන්නේ එවිටය.
එමෙන්ම පළමු සිසේරියන් සැත්කමින් පසුව වසර ගණනාවක් තිස්සේම දරුවන් නැතිව සිටින්නේ සාෆිගෙන් සිසේරියන් සැත්කම් කළ මව්වරුන් පමණක් ද?, වෙනත් වෛද්‍යවරුන්ගෙන් සිසේරියන් සැත්කම් කරගෙන දරු පල ප්‍රමාද වූ හෝ අහිමි වූ මවුවරුන් නැති ද?, එවැනි මවුවරුන් වෙත්නම් ඔවුන් සිය පළමු සිසේරියන් සැත්කමට මුහුණ දී ඇත්තේ මුස්ලිම් වෛද්‍යවරුන් යටතේද?, ඒ අතර සිංහල හෝ දෙමළ වෛද්‍යවරු නොසිටිත්ද? යන්න විමසා නොබලන්නේ ඇයි දැයි ගැටලුවකි. මේ අවිචාරවත් වටපිටාව නිරවුල් කළ හැක්කේ විද්‍යාත්මක පදනමකින් කරුණු අධ්‍යනයකින් පමණි. සිසේරියන් සැත්කම්වල ඇති නොවිසඳුණු අතුරු ආබාධ වේ නම් ඒවා ද විමසිය හැකි විද්‍යාත්මක පරීක්ෂණයක් කළ හැක්කේ විශ්ව විද්‍යාලයක වෛද්‍ය පීඨයකට පමණි.
මෙවන් නිශ්චිත පරියේෂණයකින් තොරව මහා පාරේ කෑ කෝ ගසන මට්ටමේදී ත්‍රී විල් රියැදුරාගේ සිට ගමේ ගස් නඟන ජෙමාත් ප්‍රසව හා නාරිවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුය. පර්යේෂණ කාර්යය නිශ්චිත රාමුවක අරැඹීමට වෘත්තිකයන් පිරිසකට භාරදීම මේ මොහොතේ රටට යහපත්ය. එසේ නොවන තාක් එවැනි විකෘති සහගත අවස්ථාවන් නිර්මාණය කරන්නෙ අශික්ෂිත මජර දේශපාලනයේ දඩබිම්ය. අප සියල්ලෝ ඒ දඩබිමෙහි ගොදුරුය.