
වෘත්තියෙන් වෛද්‍ය නිලධරයකු වන අජිත් කල්‍යාණ අමරසිංහ දිගු කලක් තිස්සේ ග්‍රන්ථකරණයෙන් මෙන්ම පුවත්පත්වලට කවි, කෙටිකතා රචනා කිරීමෙන්ද පාඨකයන් අතර ජනප්‍රියත්වයට පත්ව සිටින සාහිත්‍යවේදියෙකි. දෙදහස් හතර වසරේ විශිෂ්ටතම කෙටිකතා සංග්‍රහයට හිමි ගොඩගේ සම්මානයෙන් පිදුම් ලැබූවේ ඔහුගේ ප්‍රථම කෙටිකතා සංග්‍රහය වන ‘මහීෂ ප්රශ්නය සහ තවත් ප්‍රශ්න’ කෘතියයි. ‘රස්කින් බොන්ඩ්ගේ තෝරාගත් කෙටිකතා එකතුවක්’ ද සිංහලයට නැඟූ ඔහු අතින් මේ වන විට යොවුන් නවකතා සහ පද්‍ය සංග්‍රහ පහක් ලියවී තිබේ. ඉකුත් වසර අග නිකුත් වූ ඔහුගේ දෙවැනි ස්වතන්ත්‍ර කෙටිකතා සංග්‍රහය වන 'අකුණු සමඟ තවත් කතා’ ග්‍රන්ථය මේ සංවාදයට ප්රස්තුත වෙයි.
‘අකුණු සමඟ තවත් කතා’ කෙටිකතා සංග්‍රහයේ ඇතුළත් බොහෝ කතා පාඨකයා ආනන්දයෙන් ප්‍රඥාව කරා රැගෙන යන බවක් මට දැනෙනවා. මේ පිළිබඳ ඒවායේ රචකයා හැටියට ඔබේ අදහස කෙබඳුද?
ඕනෑම කලා නිර්මාණයක් මඟින් රසිකයා ආනන්දයෙන් ප්‍රඥාව කරා රැගෙන යෑම සිදු විය යුතු බවට සමාජයේ පිළිගැනීමක් තිබෙනවා. ඒ දේ මගේ පොතෙන් සිද්ධ වනවා නම් මා ගොඩාක් සතුටු වෙනවා. මා විශ්වාස කරන පරිදි ඒ දේ තීරණය කළ යුත්තේ පාඨකයන් මිස මා නොවෙයි. කොහොම වුණත් මම මේ කෙටිකතා එකතුවට අනුභූතීන් සපයාගත්තේ මා සමාජයේ අත්වින්දා වූ සැබෑ අත්දැකීම්වලින්. ඒ අත්දැකීම් බොහෝ කාලයක් මා සිත තුළ සුරක්ෂිතව තබාගෙන ‘මෙය මේ විදියට වුණා නම් මොකද වෙන්නේ? - ඒ විදිහට වුණා නම් මොකද වෙන්නේ?’ කියා ඒ-මේ අතට කරකවා දාලා බලනවා. කොහොම නමුත් මගේ අලුත් කෙටිකතා පොතට මම බලාපොරොත්තු නොවූ ආකාරයේ ඉහළ ප්‍රතිචාර ලැබෙනවා. ඒ ලෙස ප්‍රතිචාර ලැබෙන්නේ ඔබ කියූ ගුණාංග මෙහි අනතර්ගතව ඇති නිසා වෙන්න ඇති.
ඔබ මේ කෙටිකතා පොත ප්‍රකාශයට පත් කරන්නේ ඔබේ ප්‍රථම කෙටිකතා සංග්‍රහය පළ කර වසර දාහතරකට පසුවයි. කෙටිකතා කලාව අරබයා ඒ තරම් දීර්ඝ කාලයක් ඔබ නිහඬව සිටියේ ඇයි?
එයට හේතුව මගේ අතෘප්තියයි. මා අතින් කෙටිකතා ලියවුණාට, පොතකට ඇතුළත් කරන්න තරම් ඒවා හොඳ මදි කියා මට බොහෝ විට සිතෙනවා. ඒ නිසා මම ඇතැම් කෙටිකතාවක් හත්-අට වතාවක් ලියනවා. මේ විදියට කෙටිකතා පහළොවක් විතර කලක් තිස්සේ ලියා තබාගෙන හිටියා. අවසානයේ මට තෘප්තිමත් වන ආකාරයේ කෙටිකතා අටක් පමණයි මේ පොතට තෝරාගත්තේ.
ඔබේ කුලුඳුල් කෙටිකතා කෘතිය වන ගොඩගේ සාහිත්‍ය සම්මානය පවා හිමි වූ ‘මහීෂ ප්රශ්නය සහ තවත් ප්‍රශ්න’ කෘතිය ගැනත් සිහිපත් කරමු...
ඇත්තටම මම සම්මානයක් ගැන හීනෙකින් වත් හිතුවෙ නැහැ. මම ‘හා හා පුරා’ කියලා පුවත්පතකට කෙටිකතාවක් ලියන්නේ එක්දහස් නවසිය අනූවෙදී රාවය පත්තරයට. ඒ විධියට පුවත්පත්වලට ලියූ කෙටිකතා අතරින් දහයක් තෝරලා තමයි මගේ ‘මහීෂ ප්රශ්නය’ ප්‍රකාශයට පත් කළේ. එයට සම්මානයක් ලැබුණාම මට අදහාගන්න බැරි වුණා. හැබැයි මම දැන් ඒ කෙටිකතා පොතේ කෙටිකතා දහයෙන් හතරකට විතරයි කැමැති. අනෙක් කෙටිකතා තවදුරටත් සංස්කරණය වුණා නම් හොඳයි කියා දැන් මට හිතෙනවා.
ඔබ කෙටිකතා ප්‍රබන්ධකරණයට අමතරව කෙටිකතා පරිවර්තනයේද නිරත වී සිටින ලේඛකයෙක්. වඩාත් කැමැති ස්වතන්ත්‍ර නිර්මාණකරණයටද? පරිවර්තන ක්ෂේත්රයටද?
ස්වතන්ත්‍ර නිර්මාණ කරන්න පුළුවන් නම් කොච්චර හොඳද? ඒත් සාර්ථක ස්වතන්ත්‍ර නිර්මාණයක් බිහි වන්නේ පරිපාකයට පත් වූ අත්දැකීම් සහ පරිකල්පන ඇසුරෙන්. සමහර අත්දැකීම් තිබෙනවා, ඒවා කෙටිකතා වශයෙන් ඉදිරිපත් කළොත් පාඨකයා මොන විදිහට හිතයිද කියලා දෙපාරක් හිතන්න වනවා. ස්වතන්ත්‍ර කෙටිකතාවකට අත්දැකීම් පත්තු කරගන්න අමාරු වුණාම මම පරිවර්තනයට අත ගහනවා. පරිවර්තනයේදී පාඨකයා ගන්න විදිහ ගැන හිතන්න දෙයක් නැහැ. ඒවායේ අන්තර්ගතය හා ශෛලිය පූර්ව නිර්මිතයි.
ඒ නිසා එය වඩාත් විශ්වාසයෙන් නිම කරන්න පුළුවන්. කොහොම වුණත් මම වඩාත් කැමැති ස්වතන්ත්‍ර කෙටිකතා නිර්මාණයටයි.
වත්මන් කෙටිකතා කලාව තුළ බොහෝ වර්ධනීය ලක්ෂණ පෙන්නුම් කළත්, කෙටිකතාව තවමත් නවකතාව තරම් පාඨකයාට සමීප නැහැ නේද?
අද ජනතාවගේ කාර්යබහුලත්වය - අවිවේකය මැද කෙටිකතාව වඩාත් ජනප්‍රිය විය යුතු වුණත්, එය එසේ වී නැහැ. අද ඇත්ත වශයෙන්ම කෙටිකතා පොත් ඉක්මනින් අලෙවි වන්නේත් නැහැ. මේ නිසා පොත් ප්රකාශකයනුත් කෙටිකතා කෘති පළ කරන්න වැඩි කැමැත්තක් දක්වන්නේ නැහැ. ඉස්සර නම් කෙටිකතාවල මුල මැද අග තිබුණා. ඒත් අද කෙටිකතාව කියන්නේ අධ්‍යයනයක්; නැත් නම් අත්හදාබැලීමක්. ඒවායේ යටි අරුත තේරුම් ගැනීමට කිහිප වරක් කියවන්න වනවා. ඒත් වත්මන් පාඨකයන් කෙටිකතා දෙ-තුන් පාර කියවලා අවබෝධ කරගැනීමට උනන්දු වන්නේ නැහැ. ඒ නිසා මුල මැද අග නැති කෙටිකතාවකට වඩා, මුල මැද අග තිබෙන නවකතාවක් කියවීමට පාඨකයන් කැමැති බව පෙනෙන්න තිබෙනවා. පාඨකයන්ගේ වැඩි කැමැත්තක් තිබෙන්නේ නවකතාවට බවයි මගේ පෞද්ගලික අදහස.
ශ්‍රී ලාංකේය කෙටිකතා කලාව කෙරෙහි විශ්ව සාහිත්‍යයේ නව ප්‍රවණතාවල බලපෑම සිදු වන්නේ මොන ආකාරයටද?
විශ්ව සාහිත්‍යයේ නව ප්රවණතා රාශියක් තිබෙනවා. ලෝක ප්‍රවණතාවල ආභාසය ලැබීමටත්, නව මාන ඔස්සේ පරිකල්පනය කිරීමටත් අලුත් පොත් කියවිය යුතුයි. ඒත් නව ප්රවණතා සහිත සාහිත්‍ය කෘති අපේ රටට ලැබෙන්නේ ප්‍රමාද වෙලා. වර්තමානයේ ලතින් ඇමෙරිකානු සාහිත්‍යයේත් ජපන් සාහිත්‍යයේත් විශේෂයෙන් හරුකි මුරකමිගේ නිර්මාණ කෘති තුළත් නව ප්රවණතා දකින්න ලැබෙනවා. ඒත් ඒ කෘති අපේ රටට එන්න බොහෝ කාලයක් යනවා. ඒ නිසා අපේ රටේ ලේඛකයන්ට අලුත් විශ්ව සාහිත්‍ය කෘති පරිශීලනය කරන්න අවස්ථාව අඩුයි. මමත් ළඟදි දවසක හරුකි මුරකමිගේ පොතක් දේශීය පොත්හලක් මාර්ගයෙන් ඇණවුම් කළා. අපට විශ්ව සාහිත්‍යයේ ශ්‍රේෂ්ඨ පොත් නිරන්තරයෙන් පරිශීලනය කරන්න තිබුණා නම් මීට වඩා අලුත් ඉසවු අපේ කෙටිකතා කලාව තුළත් වර්ධනය විය හැකියි.
අද වන විට නව ප්රවණතා ලෙස හඳුන්වමින් ඇතැම් ලේඛකයන් ආකෘතික හරඹ කරනවා. එහෙත් එවැනි පොත් පාඨකයන් කෙරෙන් ගිලිහී යනවා. ඒ පිළිබඳ ඔබේ අදහස කුමක්ද?
ඕනෑම නිර්මාණයක් ප්‍රහේලිකාවක් නොවිය යුතුයි. ආකෘතික වෙනස්කම් කියලා හරස්පද ප්‍රහේලිකා හැටියට පොත් රචනා කිරීම මම නම් අනුමත කරන්නේ නැහැ. යම් නිර්මාණයක් කිරීමේදී එක දිගට කියවාගෙන යෑමේ හැකියාව හෙවත් ‘සුපාඨනීය ගුණය’ රඳවාගත යුතුයි. ඒ සුපාඨනීය ගුණය රඳවාගනිමින් තමයි කතාවේ ආකෘතික වෙනස්කම්, සඟවා ලිවීම් වැනි දේ සිදු කළ යුත්තේ. තම තම නැණ පමණින් කතාව තේරුම් ගැනීම පාඨකයාගේ වගකීමක්.
අද ඇතැම් කෙටිකතා, නවකතා තරම් දීර්ඝයැයි සමහරුන් නඟන චෝදනාවට ඔබ දෙන පිළිතුර කුමක්ද?
මම ප්‍රතිපත්තියක් වශයෙන් දීර්ඝ කෙටිකතා රචනා කරන්නේ නැහැ. ඒත් කෙටිකතාවක දීර්ඝකම එතරම් ප්‍රශ්නයක් කියලා මම හිතන්නේ නැහැ. ‘සාගර ජලය මදි හැඩුවා ඔබ හන්දා’ කෙටිකතාව පිටු 135ක් පමණ දීර්ඝව රචනා වූවක්. ඒත් එය පාඨකයාගේ රස වින්දනයට බාධාවක් වුණේ නැහැ. කෙටිකතාවකට ආවේණික ලක්ෂණ වන ඒකීය ධාරණව, ප්‍රබල සංසිද්ධිය යම් නිර්මාණයක් තුළ ගැබ්ව තිබෙනවා නම් එය ‘කෙටිකතාවක්’ ලෙස අප හඳුන්වනවා. එහිදී කතාව දිගද කෙටිද කියලා ප්‍රශ්නයක් නැහැ. කතාවේ දීර්ඝකමට වඩා නවකතාව සහ කෙටිකතාව අතර ශෛලීය වෙනස මතු වීමයි වැදගත්.
මේ දිනවල ඔබේ අලුත් නිර්මාණ කටයුතු කොහොමද?
අයර්ලන්ත තුන් ඈඳුතු නවකතාවක පළමු පොත වන පැට්රික් ගැල්වින්ගේ ‘සෝංග් ෆෝ අ රැගි බෝයි’ පරිවර්තනය කර තිබෙනවා. එය මම නම් කර තිබෙන්නේ ‘කඩමාලු කොලුවා’ නමින්. එය මේ වසර අවසානය වන විට ප්‍රකාශ කරන්න කටයුතු කරනවා. ඊට අමතරව තවත් කෙටිකතා කීපයක් පරිවර්තනය කරගෙන යනවා.