
වේදිකාවල පොත් තබාගෙන විකිණීමක් ඒ කාලයේ තිබුණේ නැත. පොත් මිටි බැඳ ගෙන කරේ තබාගෙන ඇවිද විකිණීම වැඩි වශයෙන් තිබුණ සිරිත විය. මේ අය බොහෝ කොට පන්සල්වල ඉස්කෝලවල නවාතැන් ගත්හ.
මීට වසර 150 කට පමණ පෙර කොළඹ සිටි ප්‍රසිද්ධ පොත් වෙළෙන්දන් අතර මුලටම සිටියේ කොළඹ වේල්ල වීදියේ ජේ.ඩී.ප්‍රනාන්දු සහ කේ.ඩී. පෙරේරා මහතුන් බව ‘පැරැණි යුගයේ පොත් වෙළෙඳ තොරතුරු’ මැයෙන් ‘නවයුගය’ සඟරාවට ලිපියක් ලියූ මොරවක පී.එෆ්. අභයවික්‍රම පඩිකාර මුහන්දිරම්තුමා කියා තිබිණි.
“ජේ.ඩී. ප්‍රනාන්දු මහතා ‘ග්රන්ථ ප්‍රකාශ යන්ත්‍රාලය’ නමින් අච්චු කන්තෝරුවක් පිහිටුවා බොහෝ පොත්පත් මුද්‍රණයෙන් ප්‍රකාශයට පැමිණවීය. වැඩි වශයෙන් මුද්‍රණය කෙළේ බුද්ධ ධර්මය පිළිබඳ පොත් ය. ඒ අතර ජ්‍යොතිශ්ශාස්ත්‍ර පොත් ද හුඟාක් ප්‍රසිද්ධ කළේ ය. ක්‍රි.ව. 1888 – 90 එහා මෙහා වර්ෂ වෙළෙඳාමට ඉතා දීප්තිමත්ව පැවැත්තේ ය. ඒ මහතාගේ පුත්‍ර ජේ.ඩී. ධර්මසේන මහතා ද පියාගේ අඩි පාරේ ගමන් කරමින් දීප්තිමත්ව වෙෙළඳාම ගෙන ගියේ ය. නමුත් අවසාන කාලය ඒ තරම්ම ඵලදායි වූහයි කියන්ට බැරි ය. ජේ.ඩී. ප්‍රනාන්දු මහතා 1845 ඉපිද 1924 දී පරලෝකප්රාප්ත විය. කොළඹ සමහර සිද්ධස්ථාන දියුණු කිරීමට ද මුදල් වියදම් කෙළේ ය.
අභයවික්‍රම පඩිකාර මුහන්දිරම් පවසා ඇති අන්දමට කේ.ඩී. පෙරේරා මහතා ‘විද්‍යාදර්ශී’ නමින් මුද්‍රණාලයක් පිහිටුවා ඒ මගින් ශාස්ත්‍රීය වූ ද ආගමික වූ ද බොහෝ පොත්පත් ප්‍රසිද්ධ කළ බවත්, මහනුවර ඩබ්ලිව්.ඩී. පෙරේරා සහ පුත්‍රයා යන නමින් වෙළෙඳාම ගෙන ගිය බව ද සඳහන් කරයි. පුත්‍රයා එංගලන්තයට ද ගොස් පැමිණ ඇති අතර ටී.පී. එදිරිසිංහ නම් මහතෙක් ද මහනුවර කොළඹ වීදියේ පොත් සාප්පුවක් විවෘත කර තිබූ බව ද පවසා තිබිණි. කේ.ඩී. පෙරේරා මහතා පානදුරේ ඩී.එච්.ඇස්. අභයරත්න මහතා විසින් සංස්කරණය කරන ලද කුස ජාතකය, උම්මග්ග ජාතකය, ජිනරාජවංශය යන පොත් සිතියම් සහිතව ප්‍රසිද්ධ කර ඇත. මේ පිළිබඳව අභයවික්‍රම මුහන්දිරම් වැඩිදුරටත් මෙසේ කියා තිබුණි. ‘කාලිදාස චරිතය’ ලක්මිණි යන්ත්‍රාලයෙන් නිකුත් විණි. 1890 දී වේරගම පුංචි බණ්ඩා මහතාගේ ‘සම්බුද්ධ චරිතය’ පළ විය. මේ වනාහි වර්තමාන කාලයේ රචනා කරන ලද ප්‍රථම බුද්ධ චරිතය විය. 1896 දී ලංකා ආගමික ලිපි ප්රචාරක සමිතිය (The Ceylon Religious Tract Society) මගින් ඩී.සී.එච්. රත්නායක මහතා විසින් ලියන ලද ක්‍රිස්තු ජීවිත කතාවක් ප්‍රකාශ කරන ලදී. ජේ.එච්.ඇස්. අභයරත්න මහතා ලියූ බුද්ධ චරිතයක් රිචඩ් හෙන්රිකස් නම් චිත්‍ර ශිල්පියා විසින් අඳන ලද සිතියම් සහිතව 1897 දී ‘ජිනරාජ වංශය’ නමින් පළ විය.
සයිමන් ද සිල්වා වාසල මුදලි මුදලිතුමා විසින් සංස්කරණය කළ ‘උම්මග්ග ජාතකය’ අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් ද ප්‍රසිද්ධ කර ඇති අතර 1875 දී මුල්ලේරියාවේ ගුණරත්න ස්වාමින් වහන්සේ හා නීතිඥ ඩබ්ලිව්.පී. රණසිංහ මහතාගේ සංස්කරණයෙන් ද උම්මග්ග ජාතකය ප්‍රසිද්ධ කර තිබූ බව ද පැවසේ. ඒ කාලයේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශයට පත් කරන ලද කියවීම් පොත්, සාහිත්‍ය පොත්, ව්‍යාකරණ පොත්වලට එකල විශේෂ වටිනාකමක් ලැබී ඇත. මේ සඳහා විශාල මෙහෙයක් කරමින් මේ ග්රන්ථ සංස්කරණය කළ සයිමන් ද සිල්වා වාසල මුදලිතුමා (1840 – 1922) ය. කළුතර ඒ.බී.ඇම්. අමරසේකර මහතාගේ ව්‍යාකරණ පොතත්, තියඩෝර් ජී. පෙරේරා, දේවගැතිතුමා විසින් ලියූ ‘සිංහල ව්‍යාකරණය’ පොතත් ‘පොත් අවතුදුස්වක හඳ එළිය මෙන් වූ බවත් එදා අධ්‍යාපන කාර්යාලය ප්‍රසිද්ධ පොත් සාප්පුවක ස්වරූපය ගෙන තිබුණා” යි අභයවික්‍රම මුහන්දිරම් තුමා කියා තිබිණි.
මීට වසර 100කට පෙර පසු කලෙක මහා ගත්කරුවන් දෙදෙනෙකුට ප්‍රසිද්ධ පොත් වෙළෙඳුන්ගෙන් හා පොත් විකුණන පොත් ශාලාවලින් මුහුණපාන්නට කටුක අත්දැකීම් ගැන ද අසන්න ලැබේ.
සාහිත්‍යකීර්ති ඩබ්ල්යු.ඒ. සිල්වා මහතා තම ප්‍රථම නවකතා වූ ‘ශ්‍රියාලතා හෙවත් අනාථ තරුණිය’ (පසුව මේ නවකතාව ‘සිරියලතා’ නමින් හැඳින්විණි.) ලියන විට ඔහුගේ වයස සතළොසකි. මේ නිසා එහි කර්තෘහු කිසි තලතුනා පෙනුමක් නැති නිකම් අමු කොල්ලෙකු වූ හෙයිනි. පොත් වෙළෙඳුන් එකල ද කිහිප දෙනෙකු සිටි නමුත් එය ප්රකාශනය ඔවුනට බාරදීමට තමා කිසි වෑයමක් නොකළ බව ඩබ්ල්යු. ඒ. සිල්වා මහතා විසින් 1956 නොවැම්බර් 09 වැනි සිකුරාදා ‘ලංකාදීප’ පුවත්පතට ‘මගේ මුල් පියවර’ ලියන ලද ලිපියෙන් හෙළි කර තිබේ.
“විකුණා මුදල් දෙන කොන්දේසි පිට, පොත් වෙළෙඳුන් හට පිටපත් ටික ටිකවත් බාර දෙන්නට සිතාගෙන එකල ප්‍රධාන පොත් වෙළඳුන් හැටියට ප්‍රසිද්ධ වූ ජේ.ඩී. ප්‍රනාන්දු මහතුන් වෙත ගියෙමි. මම ම පිටපත් විසි පහක් පාර්සල් කරගෙන පෝස්ටරයක් ද කාඩ්බෝ්ඩයක අලවා, ඊට නූලක් ලාගෙන, එසේ ගිය නමුත් තම වෙළෙඳ සලේ කළමනාකරු, නිකමටවත් බැලීමට පිටපතක් අතට නොගෙන මට පලා බෙදූ හැටි මෙසේ ය.
“මොකක්ද මේ පොත”
“සිරියලතා”
“මොකක්ද? සිරියලතා කියන්නේ”
කළමනාකරුගේ මේ දෙවැනි ප්‍රශ්නයට හරි නම් මවිසින් දිය යුතු වූයේ ‘මේ පොත’ යන පිළිතුරයි. එහෙත් මම මෙහිදී එවැනි හයි හපන්කමක් පෙන්වන්න නොගොස් “මේක නවකතාවක්” යි කීවෙමි.
“න- ව-ක-තා-ව-ක්” යනුවෙන් කළමනාකරු පණ අදින්නාක් මෙන් එය උච්චාරණය කොට ‘කවුද කත්තුරු’ කියා ප්‍රශ්න කළේ ය.
“මම”
“මහත්තයද?”
“ඔව්”
“එහෙනම් හොඳට ඇති” යනුවෙන් කළමනාකරු අහක බලාගෙන තොල් මතුරා,
“ඕව විකුණන්න බැහැ මහත්තයා, පියදාස සිරිසේන මහත්තයාගේ නවකතා විතරයි විකිණෙන්නේ” නැවත කීවේය.
“විකුණුණොත් කොමිස් අඩු කරගෙන මුදල් දෙන්න. නොවිකුණොත් මං පොත් ආපසු ගෙනියන්නං” මම කී වෙමි.
“බෑ බෑ නිකමටවත් අපි ඕවා බාර ගන්න සතුටු නැහැ. මෙහෙ තියන්න එපා” යනු ඔහුගේ අවසාන පිළිතුර විය.
ඩබ්ල්යු. ඒ. සිල්වා මහතා තමාට වූ පළමු අත්දැකීම විස්තර කොට ඊළඟ යාබද පොත් සාප්පු වූ ‘කේ.ඩී. පෙරේරා සහ පුත්‍රයා’ වෙත ගිය ගමන විස්තර කොට ඇත. එහි එදා සිට ඇත්තේ කේ.ඩී. පෙරේරා මහතාගේ පුත්‍රයා වූ කේ.එස්. පෙරේරා මහතා වඩා හොඳ මුහුණක් පෙන්වා සිල්වා මහතා සමඟ කතා කොට ඇත.
“මහත්තයා නවකතා පොත් විකිණෙන්නේ සිරිසේන මහත්තයාගේ විතරයි. දැන් ඉතින් ගෙනාව වෙනුවට පොත් මිටිය තියලා යන්න. විකුණුනොත් සල්ලි දෙන්නං නැති නම් පොත් ආපසු ගෙනියා ගන්න බැරිවැයැ” යනුවෙන් ඒ මහතා කී විට මගේ සිතට ලොකු ධෛර්යයක් විය.
තවත් සති දෙකෙන් තුනෙන් පොත් වෙළෙඳාම කිහිප ගුණයෙන් දියුණු විය. කේ.ඩී. පෙරේරා සහ පුත්‍රයාගෙන් එකවරටම පොත් සියයක ඕඩරයක් ලැබුණේ ය. නැවත සතියකින් පමණ තවත් පොත් දෙසිය පණහකට ඕඩරයක් ලැබුණෙන් මගේ සිතේ සතුට ද දියුණු විය. මේ අතර ජේ.ඩී. ප්‍රනාන්දු මහතුන්ගෙන් ද පොත් සියයක ඕඩරයක් ලැබුණ නමුත් මම ඔවුනට පොත් නුදුන්නෙමි. කීයටවත් මගේ පොත් ඔවුනට නොදෙන බව කියා වුවමනා නම් පෙරේරා මහතුන්ගෙන් ලබාගන්නට කීවෙමි. මා කෙළේ හරිකමක් නොවේ. එහෙත් කොලු වයසේ සිටි මට එවේලේ එය පෙනුණේ පලිගැනීමට නිසි අවස්ථාව හැටියටයි. ඉනික්බිති පෙරේරා මහතුන් කොතරම් ඉක්මනින් පොත් විකුණන්නට යෙදුණේ ද යත් නොබෝ කලකින් තවත් මුද්‍රණයක් අවශ්‍ය විය.”
ජේ.ඩී. ප්‍රනාන්දු සහ කේ.ඩී. පෙරේරා යන මහත්වරුන් තරගයට මෙන් කටයුතු කළ බව සාධක තිබේ.
මහගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතා තම ප්‍රථම නවකතාව වූ ‘ලීලා’ පළ කරන්නේ සිය 25 හැවිරිදි වියේ එනම් 1914 වසරේදී ය. ඩිමයි අටේ පිටු සීයක පමණ වන ‘ලීලා’ නවකතාව විකුණා ඇත්තේ සත පනහකට ය. කඩදාසි, තීන්ත මුද්‍රණය ලාබ වූ බැවින් පොතෙන් පිටපත් දෙදහසක් මුද්‍රණය කරවන්නට වික්‍රමසිංහයන් වියදම් කර ඇත්තේ රුපියල් 300 කටත් අඩු ගණනකි. නවකතාවේ පිටකවරය මුද්‍රිත අකුරුවලින් සැරසී ඇති අතර පොතේ ඇතුළු පිටුවක චිත්‍රයක් ඇතුළත් කොට තිබුණි. ‘ලීලා’ යනුවෙන් ලොකුවට මුද්‍රණය වී ඇති අතර එහි පහළ වරහන් තුළ “රසවත් කතාතරය’ නමින් කුඩාවට කොටසක් මුද්‍රණය වී ඇත. මේ නවකතාව ජී. ඩබ්ලිව්. චාර්ල්ස් ද සිල්වා සුභද්‍ර මුද්‍රණාලයේ අච්චු ගස්වා ප්‍රසිද්ධ කරන ලදී” යන්නය. ඇතුළත තිබූ චිත්රයේ ශිල්පියා ගේ නම ජෝර්ජ් ඇලෝසියස් ය. මරදානේ ආනන්ද විද්‍යාලයට සමීපව පොත් ප්‍රකාශ කරමින් මුද්‍රණය කළ පී.කේ.ඩබ්ලිව්. සිරිවර්ධන ‘ලීලා’ නවකතාව කියවන්නට එපා යැයි තරුණයන්ට අවවාද කරන්නට වූ බව වික්රමසිංහත් තම ‘උපන්දා සිට’ කෘතියේ සඳහන් කර ඇත. එහි මෙසේ ද සඳහන්ව ඇත.
“1915 ලක්දිව පැතුරුණු මුස්ලිම් කැරලි කෝලහලය නිසා කොළඹ හැර ගමට යන්ට පෙර මම ඉතිරිව තිබුණ ‘ලීලා’ පොත් සියල්ලම මගේ යහළුවකුට දුන්නෙමි. ඒ පොත්වල ඔහු කුමක් කෙළේ දැයි සොයන්නට මම වෑයම් නොකෙළෙමි. ඒ පොත් වේල්ල වීදියේ කේ.ඩී. පෙරේරාගේ පොත් සාප්පුවට ඉතාම අඩු මිලකට විකුණා මගේ යාළුවා මුදල් ලබා ගත්තේ යයි බොහෝ කලකට පසු මට අසන්නට ලැබිණ.”
මරදානේ අංක 520 ස්ථානයේ ග්රන්ථාදර්ශී අධිපති පී.කේ.ඩබ්ලිව්. සිරිවර්ධන විසින් ටිබෙට් ජාතික ඇස්. මහින්ද ස්වාමින් වහන්සේගේ ‘නිදහසේ මන්ත්‍රය’, ‘නිදහසේ දැහැන’, ‘ළමා කව් කලඹ, ලංකා මාතා, දරු නැළවිල්ල හෙවත් ජාතික තොටිල්ල ආදී පොත් මෙන් ම ආනන්ද සමරකෝන්ගේ කුමුදුනී, සීගිරිය ගීත සහිත නාට්‍යය ද ආනන්ද රාජකරුණාගේ ළදරු කවි මී - සාගර පළන්සූරියගේ සුදෝ සුදු ඇතුළු ධර්මප්‍රිය, මායාදුන්නේ, විජයසූරිය, දෙපොරගොඩ, තිබ්බොටුවේ සුමන, ශ්‍රී ධර්මවංශ යන හිමිවරුන්ගේ ද ඩී.ජේ. දන්ගෙදරයෝ ආදී ලේඛකයන්ගේ නවීන කවි හා වෙනත් පොත් පළ කර ඇත. පී.කේ. සිරිවර්ධන ගැන අපූරු සටහනක් මීමන ප්‍රේමතිලක විසින් 1965 වසරේ ලියා පළ කළ “මගේ ප්‍රේමය කලාව හා ජීවිතය” කෘතියේ එයි. ඒ මීමන කොළඹ ආනන්ද විද්‍යාලයේ ඉගෙන ගනිමින් සිටිය දී ලියූ කවි මුල්ම පොත ගැන ය.
“ආනන්ද විද්‍යාලයේ උගන්නා සමයෙහි මම අම්මා සහ තාත්තා සමඟ රජරට වන්දනාවක ගියෙමි. පැරණි ගල් කණු, ගල් කැටයම්, සඳකඩ පහන්, විහාර, බුදු පිළිමයක් තදින්ම මගේ සිත් ගනී. මේ මගේ ජාතියේ උපන් මුතුන් මිත්තන්ගේ වැඩ යැයි මා තුළ ඇති වූ ආඩම්බරය නිම් හිමි නොවීය. ආනන්දයේ ශිෂ්‍යයකුට සිටියදීම ‘ශ්‍රී ලංකා’ නමැති කවි පොත මා අතින් ලියැවුණේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. එය මගේ පළමු වැනි පොත ය. මරදානේ පී. කේ.ඩබ්ලිව්. සිරිවර්ධන මහතා විසින් ප්‍රසිද්ධ කරන ලද එම පොතට මම රුපියල් දෙකකුත් සත පනහක් ලබාගතිමි. පොතේ සම්පූර්ණ අයිතියත් ඔහුගේ ය.
සිරිවර්ධන විසින් ප්‍රකාශයට පත් කළ ආනන්ද සමරකෝන්ගේ ‘කුමුදුනී’ පොතේ වර්තමානයේ භාවිතා කරන ‘ජාතික ගීය’ ද ඇතුළත්ව තිබුණි. 1951 නොවැම්බර් 22 වැනිදා ‘නමෝ නමෝ මාතා’ නම් එම ගීතය ජාතික ගීය විය යුතු යයි කැබිනට් මණ්ඩලය තීරණය කොට එයට ගරු කිරීමක් වශයෙන් රුපියල් 2500ක් ප්රදානය කරන්ට රජය තීරණය කර ඇත. මේ වනවිට ආනන්ද සමරකෝන් සිටියේ ඉන්දියාවේ ‘සැඩසුළං’ චිත්‍රපටයේ වැඩකටයුතුවල නියැළෙමිණි. ගීයේ අයිතිය ගැන කරුණු තුනක් මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් ලියූ ‘ආනන්ද සමරකෝන් අධ්‍යයනය’ කෘතියේ සඳහන් කරයි.
“1953 පෙබරවාරි 15 වැනිදා සමරකෝන් එවූ ලිපියක් ඉදිරිපත් කරමින් ඔහුගේ බිරිය එම මුදල ලබාගන්නට උත්සාහ කිරීමයි. දෙවැන්න කුමුදිනි පොතෙහි ප්‍රකාශක පී.කේ.ඩබ්ලිව්. සිරිවර්ධන එම මුදලට අයිතිවාසිකම් කියා සිටීමයි. ඇටර්නි ජනරාල්වරයාගේ තීරණය වූයේ මුදලෙහි අයිතිය ප්‍රකාශකයා සතු බව ය.
ලංකාදීප පත්‍රයෙහි චිත්‍ර ශිල්පී ජී.ඇස්.ප්‍රනාන්දු විකට චිත්‍ර දෙකකින් සමරකෝන්ට අත්වූ ඉරණම පෙන්වා දුන්නේ ය. පළමුවන කාටූනය ඇඳ තිබුණේ “හිඟන්නාගේ පාත්තරේ හෙනහුරා’ යන මාතෘකාවෙනි. රජය නමැති ගැහැනිය සමරකෝන් නමැති හිඟන්නාට රු. 2500 නමැති ආප්පය පිනට දෙයි. සිරිවර්ධන නමැති හෙනහුරා ඉගිල විත් එය හොටෙන් ඩැහැගෙන යයි.”
එදා (පනහ දශකයේ) මෙරට සිටි පොත් ප්රකාශකයින්ගේ අපූරු ගති ලක්ෂණ මෙයින් පිළිබිඹු වෙයි.
මීමන ප්‍රේමතිලක එතෙක් ලියූ පොත් ප්‍රසිද්ධ කළේ මරදානේ පී.කේ.ඩබ්ලිව්. සිරිවර්ධන මහතා ය. සොහොන් බිම, කිරිහාමි, මිනිහා, මරණය පාළුගම ආදී සියලුම පොත් පළ කළේ සිරිවර්ධන මහතා බව පවසා ඇති මීමන ප්‍රේමතිලක තම වැඩිමහල් පුතු සුනිල් මාධව ප්‍රේමතිලක ඉපදී දිනකින් ‘එතෙර’ නමැති පොත ඇම්.ඩී. ගුණසේන සහ සමාගමේ පාලක අධ්යක්ෂ ඇම්.ඩී. සිරිසේන මහතා ගත්තේ සිරිවර්ධන මහතා පොතකට ගෙවූ මුදල මෙන් දහ ගුණයකටත් වැඩි මුදලක් ගෙවීමෙන් බව සඳහන් කර තිබුණි. එකල නොරිස් පාරේ ඇම්.ඩී. ගුණසේන සමාගම ද පොත් මුද්‍රණයට පිවිස සිටියහ.
අභයවික්‍රම පඩිකාර මුහන්දිරම් තුමා පවසා ඇත්තේ පොත් වෙළෙඳ මහත්වරුන්ගෙන් වැඩි දෙනෙක් ස්වකීය ව්‍යාපාර ගෙන ගියේ පිටකොටුවේ වේල්ලවීදියේ හා හතර වැනි හරස් වීදිවල බවය. රථවාහන තදබදය කවදත් එකසේ පැවැති නමුත් පොත් වෙළෙඳාමේ ජයභූමිය වී ඇත්තේ නොරිස් වීථියය. පොදුජන සාහිත්‍ය ග්රන්ථ 150 ක් පමණ ප්‍රකාශයට පත් කළ ඇන්.ජේ. කුරේ සහ පුත්‍ර මහතුන් විසින් විද්‍යාසාගර මුද්‍රණාලයෙහි මුද්‍රාපිත අභයවික්‍රම පඩිකාර මුහන්දිරම්තුමා විසින් රචිත ‘ප්රාතිහාර්ය ශතක විස්තාරාර්ථ වර්ණනා’ නම් කවි සිලෝ ඒ අතර මුල් තැන ගෙන ඇත. ඩබ්ලිව්.ජෝන් පෙරේරා මහතා කුමාර විථියේ සුබෝධ යන්ත්‍රාලය නමින් අච්චු කන්තෝරුවක් පිහිටුවා පොත් මුද්‍රණය කර ඇති අතර මරදානේ පී.ජේ. කරුණාධාර මහතා සුභාෂිතය, ලෝවැඩ සඟරාව ආදී පොත් බහුලව වශයෙන් වෙළෙඳාම් කර ඇත. ‘ශ්‍රී ලංකෝදය’ නමින් අච්චු කන්තෝරුවක් පිහිටුවා පාඨශාලා පොත් ආගමික පොත් රාශියක් ආර්.ටී. පෙරේරා මහතා ද පිටකොටුවේ පස්වැනි හරස් වීදියේ ‘ශ්‍රී භාරතී’ පොත් සාප්පුව අයිති යූ.පී. ඒකනායක මහතා බෞද්ධ ධර්මය පිළිබඳ පොත් බොහොමයක් ප්‍රසිද්ධ කළේ ය. දහම් පොත් මිලදී ගැනීමට බෞද්ධ භික්ෂූන්වහන්සේලා වැඩි වැඩියෙන් පැමිණීම නිසා ඒ මහතාට මුලදී හොඳ වෙළෙඳාමක් තිබී ඇත.
බෞද්ධ පොත් මුද්‍රණය කිරීමෙන් මුළු රටම හඳුනන දීර්ඝ කාලීන පළපුරුද්දක් ඇති කොළඹ මාලිගාකන්ද පාරේ (අද පූජ්‍ය හික්කඩුවේ සුමංගල නාහිමි මාවත) පිහිටි සමයවර්ධන මුද්‍රණාලයේ අධිපතිව සිටියේ දොන් මාටින් වීරමන් මහතා ය. යූ.පී.ඒකනායක පඩිතුමන් ඇරඹූ ශ්‍රී භාරතීය පොත් හලේ සේවයට පැමිණි මාටින් මහතා තම ස්වාමියා මෙන් ම මහජනතාවගේ ප්‍රසාදය දිනා දියුණුවට පත්ව ඇත. තමන්ගේ ම ව්‍යාපාරයක් සමයවර්ධන නමින් අරඹා බෞද්ධ පතපොත මුද්‍රණය කිරීමට අවසරය ලබා ගත්තේ සත් පුරුෂයෙකු සේ මාටින් මහතා සැලකූ බව පැවසේ. සමයවර්ධන නාමය ශත වර්ෂයකට අධික කාලයක් සිට බෞද්ධ පත පොත මෙරට ප්‍රචලිත කිරීමේ පුරෝගාමී වූ මුද්‍රණාලයකි. අද සමයවර්ධන අධිපති ආරියදාස වීරමන් මහතා තම ලොකු තාත්තා වූ මාටින් ආරියදාස මහතාගේ බෞද්ධ පොත් ප්‍රකාශන ව්‍යාප්ත කරමින් නවතාක්ෂණය යටතේ අඛණ්ඩව කරගෙන යයි.
ඒ කාලයේ දැන් මෙන් නොව පොත් තබා ගැනීමට පොත් සාප්පුවකට පොඩි ඉසතෝප්පුවක් හෝ අඩි 10 ක 12 ක කාමරයක් තිබුණොත් හොඳටම සෑහෙන බව අභයවික්‍රම පඩිකාර මුහන්දිරම් සඳහන් කර තිබුණි. අවුරුද්දේ හැම මාසයේම පාඨශාලාව සංවත්සරික විභාග පවත්වාගෙන ගිය නිසා පොත් තමුන්ට පහසු සෙනසුරාදා, ඉරිදා දිනයක පැමිණ හෝ මුදල ගෙවා භාර ගන්නා ක්‍රමයට හෝ ලබාගත හැකි වීලු. සාමාන්‍ය පොත් සාප්පුවල ආණ්ඩුවේ පොත්වලට සියේට පහක් ද අනික් කොයි පොත්වලටත් සියයට දහයක කොමිස් එකක් දී ඇති අතර පහළොහේ කොමිස් දෙන පොත් ද නොතිබුණේ නොවේ.
අභයවික්‍රම පඩිකාර මුහන්දිරම් පැරණි පොත් වෙළෙඳුන් ගැන අගනා විස්තර කර ඇත.
“වේදිකාවල පොත් තබාගෙන විකිණීමක් ඒ කාලයේ තිබුණේ නැත. පොත් මිටි බැඳ ගෙන කරේ තබාගෙන ඇවිද විකිණීම වැඩි වශයෙන් තිබුණ සිරිත විය. වැඩි වශයෙන් ඒ අය ගෙන ගිය පොත් නම් දෙව්දත් කථාව, තුන් සරණය, කළ ගෙඩි මාලය, උංචිල්ලාවාරම, ගජබින්නාලංකාරය, අන්ධභූත ජාතකය, යසෝදරාවත යනාදියයි. සමහර අය අනාගතවංශ දේශනාව, සතිපට්ඨාන සූත්‍රය, පිරිත් පොත යනාදිය ගෙන ගියහ. මේ අය බොහෝ කොට පන්සල්වල ඉස්කෝලවල නවාතැන් ගත්හ. කෑම බීමට වියදමක් නොයනු පිණිසය. ජනගහනය වැඩි වී පාඨශාලා සුලභවීමත් මොනිටර් ක්‍රමය නැති කොට කණිෂ්ට ජ්‍යෙෂ්ඨ විභාග ඇති කිරීමත් පොත් වෙළෙඳාමට මහත් වාසියක් විය. ඒ එක්කම ඇවිද ඇවිද පොත් විකිණීම ද නැති විය.”
මෑතක් වනතුරු අපේ ඈත ගම්බද පොළවල කුඩයක් මුනින් අතට නවා එහි බෞද්ධ පොත් හා වෙනත් සඟරා විකුණන වෙළෙන්ඳන් ඉඳහිට දක්නට ලැබිණ.
කුමරජිත්