
‘නොතිත් කුලඟන’ යනු යුකියො මිෂිම (1925 - 1970) නම් ජපන් ලේඛකයා විසින් 1950 දී එලි දක්වන ලද ‘අයි නො කවාකි’ නම් නවකතාවේ ඇල්ෆ්‍රඩ් එච්. මාර්ක් විසින් 1970 වසරේ කරන ලද Thirst ; Air Love ඉංගිරිසි පරිවර්තනය ඇසුරෙන් කරන ලද සිංහල පරිවර්තනයයි.
අවුරුදු 45ක් තරම් කෙටි සිය ජීවිත කාලය තුළ යුකියො මිෂිම නවකතා 15ක් සහ නාට්‍ය 33ක් ද 30ක් පමණ කෙටිකතා ද ඊට අමතර වශයෙන් වෙනත් විෂයයන් යටතේ කෘති දෙකක් ද එළි දක්වා ඇති අතර ඔහුගේ නවකතා සහ නාට්‍ය කිහිපයක් සිනමාවට නැඟී ඇත. ‘අයි නො කවාකි’ ද එසේ සිනමාවට නැඟුණු එක් කෘතියකි. එය 1967 වසරේ ජපානයේ නමක් දිනා ගත් චිත්‍රපට අධ්‍යක්‍ෂවරයකු වූ කොරෙයොෂි කුරහර විසින් අධ්‍යක්‍ෂණය කරන ලදී.
මේ කතාව කේන්ද්‍ර කරගනුයේ එත්සුකෝ නම් හතළිහ ඉක්මැවූ වැන්දඹුවකි. ඇයගේ සැමියා වූ ර්යොසුකෙ මිට වසර කිහිපයකට පෙර මිය යන්නේ දරුපල ලබා නොදෙමිනි. ඇය කියන අයුරින් ර්යොසුකෙගෙන් ඇය කිසිදා තෘප්තියක් ලබා නැත. එහෙත් ඇය තුළ වු කාමාසා පුබුදුවන ලද්දේ ඔහු විසිනි.
ර්යොසුකගේ පියා වන යකිචි විධායක නිලධාරියකු ලෙස සේවය කොට විශ්‍රාම ලැබුවෙකි. ඔහු තමන්ට ලැබුණු මුදලින් ගම්බද ඉඩමක් මිල දී ගෙන එහි පලතුරු සහ මල් වගාවක් පවත්වා ගෙන යයි. කණවැන්දුමකු වන යකිචිගේ ඉඩමේ ඇති සංකීර්ණ නිවසේ ඔහුගේ අනෙක් දරුවන් දෙදෙනා ද සබුරො නම් යොවුන් විය නොඉක්මැවූ කම්කරුවෙක් සහ මියො නම් සේවක ගැටවරියක් ද වෙසෙති.
හුදෙකලා චරිතයක් ඇති එත්සුකොගේ සිතේ සබුරො ගැන රාගයක් ඇති අතර ඇය හෙළිදරව් නොකරන නමුත් නිවසේ සියල්ලන්ට ඒවා රහස් නොවේ.
එත්සුකෝ භාවිත කරන්නේ යකිචිගේ කමරය ම ය. ඔවුන් දෙනො අතර ඉඳහිට කායික සබඳතම් පැවැත්වෙයි. ඒ බව ද ගෘහස්තයේ මතු නොව ගමේ ම මිනිස්සු ද දනිති. ඇගේ නිහඬ එනමුත් කාමුක බවට බර චරිතය නිසා ඇය සියල්ලන්ගේ ගර්හාවට පාත්‍ර වුවත් ඇයට ඒවායේ ගානක් නැති ගාණ ය.
කතාව ඇරඹෙන්නේ හෙට පැවැත්වෙන ර්යොසුකෙගේ වාර්ෂික සමරුම් පූජාවට ඔහු ඉතා ප්‍රිය කළ පලතුරක් වන දෙලුම් ගෙඩියක් සොයා නගරයේ ඇවිදින එත්සුකෝ පෙරළා එන්නට දුම්රියට ගොඩවන අවස්ථාවෙනි. ඇයට දෙලුම් ඵලයක් සොයා ගන්නට නොහැකි වන හෙයින් ඇය එන්නේ හිස් අතිනි. හිස් අතින්මත් නොවේ; මේස් කුට්ටම් දෙකක් රැගෙන ය. ඒවා සබුරොට ය.
නිවසට එන ඇය කාමරයට පිවිසෙන විට යකිචි ඇගේ දිනපොත කියවමින් සිටින අතර ඒ බව ඇගෙන් වසන් කරන්නට උත්සාහ කළත් ඇය එය දකියි. සබුරො ගැන ඒ දින පොතේ ලියා ඇති අතර එය ඔහු දැන ගත්තාට කම් නැතැයි ඇය සිතයි.
පසු දින ඇය මේස් කුට්ට්ම් දෙක සබුරොට දෙයි. එහෙත් ඊට පසුදා විමසන ඇයට අනාවරණය වන්නේ මියො විසින් ඒවා විසි කරන ලද බවයි. කසළ ගොඩෙන් ඒවා රැගෙන එන ඇය ඒවා අඳින ලෙස ඔහුට කියයි.
මේ අතර සබුරො කෙරේ නතුවන තම සිත පාලනය කර ගැනීම අපහසු බව ඇය මෙන් ම අනෙක් සියල්ලෝ ද වටහා ගන්නෝ ය.
සබුරො නිසා මියො ගැබ් ගනියි. එය එත්සුකොගේ කෝපයට හේතු වෙයි. සිය මවගේ කැමැත්ත ගෙන ඇය ආවාහ කැර ගන්නා ලෙස කියා සබුරො පිටත් කර හරින එත්සුකෝ ඒ අතරවාරයේ ඉතා අකාරුණික ලෙස දැරිය නිවෙසින් පිටුවහල් කරයි.
මවගේ කැමැත්ත නොමැති ව සබුරො තනිවම ආපසු එයි. මියො පළවා හැරියේ තමා බව එත්සුකො ඔහුට කියයි. තමා එය දන්නා බව සබුරො කියයි.
මියො ගැන සබුරොගේ සිතේ ඇටවුම් බැසගත් ආදරයක් තිබී නැත. එසේ ම මේ වැඩිහිටි කාන්තාව තුළ තමා කෙරේ ඇත්තේ කවරාකාර අදහසක් ද යන්න ද ඔහු වටහා ගනියි.
එක් දවසක් රෑ එත්සුකො සබුරොගේ කුටියට යයි. ඇයට අවශ්‍ය වන්නේ තමාගේ මුවින් ම ඇය ආදරේ යැයි කියනු අසන්නට බව වටහා ගන්නා සබුරො ඇයට එසේ පවසයි. මෙතෙක් කල් නොවුණත් දැන් ඔහු හොඳට ම ඇවිස්සිලා ය. ඔහු බලාත්කාරයෙන් ඇයට මෛථුන්‍යය සිදු කරයි. මේ අතර ඇය කෑගසයි.
මේ අතර කාමරයේ එත්සුකො නොමැති බව දැන ගන්නා යකිචි ඇය සිටිනු ඇත්තේ කොහි දැයි අනුමාන කර ඇය සොයා යයි. ඒ අතර ඔහු කෙටේරියක් ද රැගෙන යයි. එත්සුකොට අමුතු ශක්තියක් ලැබෙයි. පරල වුණාක් වැනිව ඇය සබුරො පෙරළා ගනියි. ඇය යකිචි දකින්නේ ඒ මොහොතේ ය. ඔහුගේ අතින් කෙටේරිය උදුරා ගන්නා ඇය ඉන් පහර දී සබුරො මරයි. ඉන්පසු ඔවුහු දෙදෙනා එක්ව ඒ මැදියම් රැයේ ම මිනිය වළ දමති. තමා ඔහු ඝාතනය කළේ යකිචි වෙනුවෙන් බව අවසානයේ එත්සුකො කියන්නී ය.
කල්පයක් තරම් දිගු වූ ඊළඟ මිනිත්තුව පසු වූ කල යකිචි නිහඬතාව බින්දේ ය ‘ඇයි උඹ ඌව මැරුවෙ?’
‘ඔබ ඒක නොකරපු නිසා’
‘මම ඌව මරන්න සූදානම් වෙලා හිටියෙ නෑ?’
එත්සුකො ඔහු වෙත හැරී උමතු රැවුමකින් ඔහුට දමා ගැසුවා ය. ‘උඹ බොරු කියන්නෙ. සබුරොව මරන්න උඹට උවමනා වුණා. මමත් බලාපොරොත්තුවෙන් හිටියෙ ඒක. සබුරො මැරීමෙන් මාව වළක්වා ගන්න උඹට බැරි වුණා. උඹ ඒකට පැකිලුණා. උඹ වෙව්ලන්න තියා ගත්තා විලි ලැජ්ජා නැතිව. මට ඌව මරන්න සිද්ද වුණේ උඹ වෙනුවෙන්.’
ගුණතිලක මැටියගනේගේ කෘතියක් වන ‘නොතිත් කුලඟන’ විදර්ශන ප්‍රකාශකයන් විසින් 2006 වසරේ ප්‍රථමවරට පාඨකයා අත පත් කරන ලදී.