ජීවන බර බිම තියන්න අනුන්ගේ බර කරට ගෙන ‘සිරිපා කරුණා කරන්නෝ’ | සිළුමිණ

ජීවන බර බිම තියන්න අනුන්ගේ බර කරට ගෙන ‘සිරිපා කරුණා කරන්නෝ’

අනිද්දා නොව ඉන්අනිද්දාට යෙදි ඇත්තේ ලෝක කම්කරු දිනයයි. කම්කරුවා අමතක කර කම්කරු දිනය සැමරූ වාර අනන්තය. ඒ කොහොම වුණත් රට පුරා සිටින වැඩ කරන ජනතාව අතර කිසිවෙකුගේත් ඇස නොගැටුණ, ඇතැම් විටෙ කිසිවෙකුගේවත් ඇගයීමට ලක් නොවුණු සිරිපාදේ බර අදින්නන් පිළිබඳ ලියන්නට අපි මෙවර සිතුවෙමු.

සිරිපා වන්දනා සමය අවසන් වීමට ඇත්තේ තවත් එක් පොහොයක් පමණි. ගෙවුණ මාස කිහිපයේදී රටේ හතර දිග්බාගයෙන්ම සිරිපා වන්දනාවේ පැමිණි පිරිස ලක්ෂ ගණනකි. ඒ පිරිස අතර වන්දනා සමයේදී දවසට දෙතුන් වතාවක් සිරිපා කරුණා කරන පිරිසක් ද සිටිති. ඔවුන් ජීවත් වන්නේ සිරිපා කරුණාවේ පැමිණෙන වන්දනාකරුවන්ගේ ගමන්මලු මෙන්ම සිරිපා මළුවේ ඉදිකිරීම් සඳහා බර ඇදීමෙනි.

ඔවුන් බර අදින්නේ සිරිපාදයට වුවද මොවුන් ද කම්කරු වෘත්තියේ යෙදෙන එහෙත් කිසිදු තැනක ලියාපදිංචි නොවූ වෘත්තිකයන් පිරිසකි.

සිරි සිරි වැස්සක් නොව මහ වැස්සක් ඇද වැටුණ ද හිරු රැස් දැඩි වුව ද ඔවුන්ට එය ගානක්වත් නැත. වන්දනාකරුවන් අමාරුවෙන් සිරිපා නඟින විට ජීවත් වීම වෙනුවෙන් දිනපතා වරක් දෙවරක් සිරිපා නඟින්නවුන්ගේ කතාව ඊට හාත්පසින්ම වෙස්ය.

“දැන් මගේ වයස අවුරුදු හැට අටක් වෙනවා. අපේ ගෙවල් තියෙන්නේ නල්ලතන්නිය පහළ කොටසේ. මගේ අම්මයි තාත්තයි සිරිපාදයට බර ඇද්දා. ඒ මම පුංචි කාලේ. මම ඒ දෙන්නගේ පස්සෙන් යන්න පුරදු වුණා. මම බර අදින රස්සාව කරන්න ගන්න කොට මගේ වයස අවුරුදු දොළහයි. ඒ කාලේ බර අදිනවාට ලැබුණේ රුපියල් දෙකයි පනහයි. සිරිපාදේ ගල් පඩි හදන්න තමයි සිමෙන්ති ගල් වැලි ඇද්දේ. ඒ වස්වල ඉදිකටු පානෙන් එහාට ගල් පඩි තිබුණේ නැහැ. තිබුණේ යකඩ දම්වැල්. දැන් නම් සිරිපා මළුවට යන්න රුපියල් දෙදහස් පන්සියක් ගන්නවා. මඟට යන්න නම් රුපියල් එක්දහස් පන්සියක් විතර ගන්නවා. නල්ලතන්නියෙ ඉඳලා ගඟුලතැන්නට යන්න රුපියල් අටසීයක් ගන්නවා. ඉස්සර වගේ නෙමෙයි. දැන් බර උස්සගෙන කන්ද නඟින්න අමාරුයි.”

අවුරුදු පනස්හයක් තිස්සේ සිරිපා මළුවට බර අදින නාදන් පවසන්නේ තමන්ගේ වෘත්තිය ගැනය. ඔහු වාරයට පමණක් නොව අවාරයට ද සිරිපාදයට බර ඇද්දේය. දැනුත් ඔහු සිරිපාදයට බර අදින්නේය. අව්ව වැස්ස සීතල ගණන් නොගන්නා නාදන් හැම විටම රැකියාවට මුල්තැන දෙන්නෙකි.

“අවුරදු ගානක් තිස්සේ කරලා පුරුදු රස්සාව‍. මං වෙන රස්සාවල් කරන්න දන්නේ නැහැ. දැන් පුරුදු වෙලා මහන්සිය දැනෙන්නේ නැහැ. දවල් වෙනකොට වහින්න පටන් ගන්නවා. ඊට කලින් බරක් ගෙනිහිල්ලා කීයක් හරි හොයා ගන්න ඕන.”

ඒ හිමිදිරියේ එසේ පවසමින් නාදන් අපෙන් සමුගත්තේ රස්සාවට යෑමටය. නාදන් එහි සිටින පැරණිම බර අදින්නාය. වසර ගණනක් සිරිපා මළුවට ආව ගිය ඔහු දුටු සිදුවීමක් ද අප හා කියන්නට අමතක නොකළේය.

“හැම වාරයකම වගේ කතරගම සිට සිරිපා වඳින්න එන මහත්මයෙක් ඉන්නවා. ඔහුගේ බර අරන් යන්නේ මම. මේ මීට අවුරුදු ගානක් පරණ සිදුවීමක්. එ් මහත්තයා මළුවට නෙළුම් මල් එකසිය එකක් පූජා කරලා වැන්දා. මට කිව්වා අන්න බලන්න දෙවියෝ උඩ ඉඳලා බහිනවා කියලා. ඒ වෙලාවේ උඩ බලන විට මම දැක්කා කහපාට කුඩයක් ඉහලාගෙන ලස්සන කෙනෙක් සිරිපා මළුවේ සිට පහළට බහිනවා. ඒ කාලේ සිරිපතුල වහලා තිබුණේ නැහැ.”

නාදන් අප හා පැවැසුවේ බොහෝ විශ්වාසයෙනි.

ඇතැම් බර අදින්නන් සිටින්නේ සිරිපා සමයේ දී පමණි. මෙහි බර අදින රස්සාවේ නියැළෙන්නෝ තිහක් හතළිහක් පමණ සිටිති. සිරිපා වාරයේ මාස හයක් බර අදින රස්සාවේ නියැළෙන ඔවුහු අනෙක් මාස හය තම තමන්ගේ ගම්වල කුලියක් මලියක් කරගෙන ජීවත් වෙති. නැති නම් ගමෙන් පිට පළාත්වල රැකියාවල නියැළෙති.

මුරලි ද අපට හමුවූ බර අදින්නෙකි. ඔහු සිරිපා වඳින්නට යන වන්දනාකරුවන්ගේ බර අදින්නා සේම සිරිපා වඳින්නට යන්නට බැරිව අපහසුවෙන් සිටින වන්දනාකරුවන් මළුවට ඔසවාගෙන යන්නෙකි. මුරලි ඒ කාරිය කරන්නේ තනිවම නොවේ. ඔහු සමඟ ඒ කාර්යයේ යෙදෙන පස්දෙනෙකුගේ කණ්ඩායමක් සිටි. මුරලිගේ කණ්ඩායම හැරුණ විට එවැනි කණ්ඩායම් කිහිපයක්ම නල්ලතන්නියේ සිටි.

“මට වාරයක් අවාරයක් නැහැ. මම සිරිපාද මළුවට බර අදිනවා. මේක තමයි මගෙ රස්සාව. ඒ වගේම සමහර අය එනවා මළුවට නඟින්න අමාරු. ඒ අය මළුවට ගෙනියන්න අපි රුපියල් තිස්දාහක් විසිපන්දහසක් ගන්නවා. අපි එවැනි අය අරගෙන යන්නේ ගිලන් මැස්සක තියලා. අපේ පස් දෙනෙක් යනවා. හතර දෙනෙක් තමයි ගිලන් මැස්ස ඔසවාගෙන යන්නේ. ඒ හතර දෙනාගෙන් කාට හරි අමාරු වෙන කොට අමතර ඉන්න කෙනා කර මාරු කරනවා. බොහෝ වේලාවට එහෙම යන්නේ වයසක සිල්මැණිවරු, විදේශික භික්ෂුන් වහන්සේ වගේ අය. කරින් අරන් යන මේ අය ගැන අපි වගකීමෙන් කටයුතු කරනවා. ඔවුන්ගේ අවශ්‍යතා ගැන සොයා බලනවා.

සමහර වන්දනාකරුවන්ට ඉරසේවය බලන්න අවශ්‍යයි. අපි ඔවුන් කියන විදිහට තමයි කටයුතු කරන්නේ. ගමන අවසාන වුණාට පස්සෙයි අප අතට මුදල් ගන්නේ. කොහොමත් එවැනි ගමන් වාර දෙක තුනක් යන්නට ලැබෙනවා. අපේ දුරකතන අංක තියෙන නිසා වන්දනාකරුවෝ අප ගැන දැනුවත්.”

මුරලි පවසන්නේ බර ඇදීමට අමතරව කරන කාර්ය ගැනය. මුරලි අවාරයේද සිරිපාදයට බර අදියි. ඒ සිරිපා මළුවේ යම් යම් ඉදිකිරිම් කටයුතු සඳහා අමුද්‍රව්‍ය රැගෙන යෑමටය.

සිරිපාදයට බර අදින්නන් විටෙක ගෙන යන්නේ වන්දනාකරුවන්ගේ ගමන් මලුය. එක් බර අදින්නෙකු එක් වරකට ගෙන යන බර ප්‍රමාණය කිලෝ විසි පහකි.

නල්ලතන්නියේ සිට සිරිපා මළුවටත්, සිරිපා මළුවේ සිට නල්ලතන්නියටත් බර අදින්නෝ තම කාර්ය කරති.

වේලාව උදෑසන දහයාමාරට පමණ ඇත. අපි වෙ‍ෙළඳසල් මැදින් නල්ලතන්නියේ සිට ගගුලතැන්න දෙසට යමින් සිටියෙමු. රාත්‍රියේදි සිරිපා කරුණා කළ වන්දනාකරුවන් හා සිරිපා කරුණා කරන්නට යන වන්දනාකරුවන් අතරින් එහෙට මෙහෙට වෙමින් උසුලාගත නොහැකි තරම් බරක් කර මත තබාගෙන එන්නෝ ද අපට හමු වෙති. එක්කෙනෙක් නොව තුන් හතර දෙනෙක්ම අපට අතරමඟදි හමු වූහ. යන ගමන පසෙක දමා අපි ආපසු හැරී ඔවුන් පසුපස යන්නට වීමු.

ඔවුන් යමින් සිටියේ වන්දනාකරුවන් පැමිණි වාහන ගාල්කර තැබු දෙසටය. (මේ බර අදින්නන් හා වන්දනාකරුවන් අතර අතරමැදිකම් කරන අය ද ඉන්නට හැකි බව සිතුණේ ඔවුන් සමඟ ඇතැම් පුද්ගලයන් කරන කතා බහ ඇසීමේදිය.) බරකරුවෝ තමන් ගෙනා ගමන් මලු ආදිය අයිතිකරුවනට බාර දුන් පසු කඩයක් අසල නතර වී ගිමන් හරින්නට වුහ. අපි ඔවුන් හා ඒ මොහොතේ කතා කළෙමු.

“සිරිපාදයට දුර කිලෝමීටර හයක් තියෙනවා. පඩි 5800ක් පමණ තියෙනවා. දැන් අපිට මේ ගමන යන එක හුරුයි. මම දවසට තුන් වතාවක් විතර යනවා. එක් වතාවකට බර ගෙනියන්න රුපියල් දෙදහස් පන්සියක් ගන්නවා. මේකෙන් තමයි අපි ජීවත් වෙන්නේ.” ක්‍රිෂණන් පැවැසිය.

ඇතැමුන් මේ බර ඇදිල්ල පටන් අරගෙන අවුරුදු පහළොවකට විස්සකට වැඩිය.

අවුරදු විස්සක් විසි පහක් මේ රස්සාව කළ ද ඔවුන්ට ඔවුන් ගැන අනන්‍යතාවක් නැත. නගරවල සිටින නාටාමිවරුන්ට නම් හැඳුනුම් පතක් හෝ ඇත. කොහේ හෝ ලියාපදංචි වීමක් ඇත. සංගම් ඇත. එහෙත් සිරිපාදේ බර අදින්නන්ට ඒ කිසිවක් නැත.

“මේ අවට හෝටල් තියෙනවා. හෝටල්වල අය තමයි වන්දනාකරුවන්ට අප ගැන කියන්නේ. එහෙම නැත්නම් කලින් ඇවිත් ගිය අය අපි ගැන දන්නවා. අපේ දුරකතන අංක දන්නවා. ඒ නිසා අපට රස්සාව ලැබෙනවා. වන්දනාකරුවන්ගේ ගමන් මලු වගේම වෙළෙඳසල්වලටත් බඩු ගෙනියනවා. කඩහිමියන් අපිට කතා කරලා ඒ බඩු ගෙන්වා ගන්නවා.“

තම සීයාගේ කාලයේ සිට බර අදින්නට හුරු වු පනස් පස් හැවිරිදි අන්නවාගනම් අප හා පවසයි.

“මම උදේ හතහමාරට විතර නැග්ගේ. දැන් තමයි පහළ ආවේ. යනකොටත් බරක් අරගෙන ගියා. ඒක තියා එනකොට වෙන කෙනෙකුගේ බරක් අරගෙන ආවා. මම දවසට දෙපාරක් විතර බර අරගෙන යනවා එනවා. අවාරෙට වෙන රස්සාවක් කරනවා. අවුරුදු ගානක් තිස්සේ මේ රස්සාව කරන නිසා දැන් අපි හුරුවෙලා ඉන්නේ. කකුල් දෙකට දෙවියන්ගේ පිහිට විතරයි.”

රාජේන්ද්‍ර පවසන්නේ හිනැහෙමිනි. දැඩි මහන්සියෙන් ගිමන් හරින වන්දනාකරුවන් අතර මේ බර අදින්නෝ බර ඔසවාගෙන ගියද සිටින්නේ සැහැල්ලුවෙනි. මේ ඔවුන්ගේ රැකියාවය. බරක් ඔසවාගෙන පඩි පෙළ නඟිමින් එන යන ගමන පහසු නැත. එය ඔවුන්ගේ රැකියාවය. එය එසේ වුවද සිරිපා මළුවේදි ගිලන් වන ඇතැමුන් පහළට ගෙන ඒම සඳහා ස්වෙච්ඡාවෙන් කටයුතු කරන්නෝ පිරිසක්ද වෙති. ඒ නල්ලතන්නිය පොලිසියයි. නල්ලතන්නි පොලිසියට ඇති රාජකාරිය සීමා වන්නේ සිරිපා සමයට පමණක් නොවේ. නල්ලතන්නි පොලිස් වසමේ ජීවත් වන්නන්ගෙන් නවදහසක්ම දෙමළ ජනයාය.

සිරිපා මළුවේ සිට නල්ලතන්නිය දක්වා අසනීප අය ගෙන ඒම සිදු කරන්නේ පොලිස් මුර පොළින් මුර පොළට මාරුවෙමිනි. ඇතැම් විට ඒ සඳහා වන්දනා නඩවල සිටින තරුණයෝ ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වෙති.

“කවුරුන් හෝ ගිලන් වුණාම අපට දැනුම් දුන්නාම අපි ඒ කෙනාව පහළට ගෙන ඒමට උදව් කරනවා. මෙහෙම වෙන්නේ කාන්තා නඩ විතරක් ආවාම. ඒ නඩවලට ලෙඩෙක් පහළට ගෙන ඒම අමාරුයි. අපි ගිලන් මැස්සක තියලා ඒ කෙනාව ගේනවා. කෙනෙක් අසනීප වුණේ මළුවේදි නම් සිරිපා මළුවේ සිටින පොලිස් මුර පොළින් ඒ කෙනාව ගිලන් මැස්සක තබාගෙන ඉදිකටුපාන මුරපොළට ගේනවා. එතැන් සිට ඉදිකටුපානේ නිලධාරින් රතුඅම්බලම පොලිස් මුරපොළට ගේනවා. ඒ මුරපොළේ අය ගොළුතැන් මුරපොළට ගෙනෙනවා. එතැන අය සීතගඟුල පොලිස් මුරපොළ සඳහා ගේනවා. සීතගඟුල මුරපොළේ අය මකර තොරණ දක්වා ගිලන් පුද්ගලයා අරගෙන එනවා. මකර තොරණ ගාව සිට නල්ලතන්නියේ පොලිසීයේ අය රෝගියා ගෙන එනවා. නල්ලතන්නිය ගෙනාවට පස්සේ අවශ්‍ය නම් වෛද්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍යවරයා වෙත යොමු කරනවා.” නල්ලතන්නියේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලක්සිරි ප්‍රනාන්දු මහතා පැවැසීය.

සිරිපාදේ බර අදින්නන් ගැන ඇතැමුන් දන්නවා වන්නට ඇත. එමෙන්ම වන්දනාවේ යන වන්දනාකරුවන් සිරිපාදේ වන්දවන්නට කරින් ගෙන යන කණ්ඩායම් ගැන ඔබ නොදන්නවා වන්නට ඇත. කොහොම වුණත් ජීවත් වීම සඳහා බර අදින මේ මිනිසුන් ගැන ද අප කතා කළ යුතු බව හැඟේ.

Comments