බෙලි­අත්තේ මංගල දුම්රිය ගමන් මැද චීනුන්ට හැඬවුණු මංගල සීනු | සිළුමිණ

බෙලි­අත්තේ මංගල දුම්රිය ගමන් මැද චීනුන්ට හැඬවුණු මංගල සීනු

බ්‍රිතාන්‍ය යුගයෙන් පසුව පොදු මඟී ප්‍රවාහනයට එක් කළ පළමු දුම්රිය මාර්ගය වූ මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ගය පසුගියදා ජනතා අයිතියට පත් කෙරිණි. එහි මංගල ගමන පසුගිය 8 වැනිදා සිදු කෙරුණු අතර එම මංගල ගමන අවසන් වූයේ තවත් මංගල ගමන් 5කිනි.

මංගල දුම්රිය ගමන බෙලිඅත්තෙන් ගමන නිමා කළ ද දුම්රියේ මංගල ගමනට යොදා ගත් උත්සව සභාව අවසානයේ මංගල සභාවක් බවට පත්විණි.

මංගල්‍යය සිදුවුණේ දුම්රියෙන්ම පැමිණි චීන ජාතික මනාල යුවළ 5ක් වෙනුවෙනි.

උඩරට ගැමි සිරිතට අනුව හැඩවුණු නිලමේවරුන් 5 දෙනෙක් සහ ඔවුන්ගේ අත ගන්නට මැණිකෙලා 5 දෙනෙක් උත්සව සභාවේ කොනක රැදී සිටියහ. මංගල දුම්රිය ගමනේ උත්සව සභාව අවසන් වීමත් සමඟම මංගල සභාව ආරම්භ වූ අතර හෙළ සිරිතට අනුව මඟුල් බෙර නාද මධ්‍යයේ මනාල යුවළ පහ පෙරහරින් කැන්දාගෙන ආහ. ඔවුන් ප්‍රධාන වේදිකාවට නංවනු ලැබිණි.

ඔවුන් සඳහාම වෙන් කළ මංගල පෝරු 5ක් එහි විය. අලංකාර පුන් කළස් ඇතුළු සියලු මංගල උත්සව භාණ්ඩ එහි විය. මඟුල් බෙර හා ආශිර්වාද ගාථා මෙන්ම අෂ්ටක කියවීමෙන් ඔවුන් පෝරුවට නැංවිණ.

අෂ්ටක කියවන ලද්දේ සිංහල භාෂාවෙන් වුවත් මනාල යුවළට ඒ සම්බන්ධව චීන බසින් තේරුම් කර දෙන්නට භාෂා පරිවර්තකයෝ පස් දෙනෙක් ඔවුන් අසල රැදී සිටියහ.

පෝරුවට නැංවීමෙන් අනතුරුව බුලත් හුරලු ඔවුන් අතට දී ඒවා සිංහල සම්ප්‍රදායානුකූලව පෝරුවේ බිමට මුදා හළ යුවළ මංගල මුදු මාරු කිරීමත් අත පැන් වත් කිරීම මෙන්ම දෑගිලි එක්කොට බැදීම් ඇතුළු සියලු චාරිත්‍ර මෙහිදී සිදු කළහ. තමන්ට නුහුරු නුපුරුදු ඒ සියල්ල ඔවුන් උපේක්ෂාවෙන් හා සතුටින් දරා සිටිනු අපට පෙනිණි.

චීනයේ විවාහ මංගල්‍යය උත්සවවලදී සිදු කෙරෙන්නේ මනාලයා විසින් මනාලියගේ නිවෙසට ගොස් ඇයට මුදු මාල පලඳා කැන්දාගෙන ඒමකි. අෂ්ටක, ජයමංගල ගාථා, අත පැන් වත් කිරීම් හා පොල් බිඳීම් එහි නැත.මේ යුවළ වෙනුවෙන්ම පැවැත්වුණු ඒ මංගල්‍යයට සිනාමුසු මුහුණින් ඔවුන් එක්වූයේ සිංහල භාෂාවෙන් කියන ලද අෂ්ටක මොනවාදෝ හෝ නොදැනය. එහෙත් ඒ සියල්ලම තමන්ට ලබා දෙන ආශිර්වාද බව ඔවුහු දැන සිටියහ.

අෂ්ටක කියැවීමෙන් පසු බාලිකාවන් සිවු දෙනකු විසින් ජයමංගල ගාථා කීමෙන් අනතුරුව යුවළ පෝරුවෙන් බිමට බසින ලද්දේ පොල් ගෙඩි බිඳීමෙන් සිදු කළ චාරිත්‍රයද ඉටු කරමිනි. පෝරුවෙන් බැසගත් මනාල මනාලියන් රැස්ව සිටි සභාවට දොහොත් මුදුන් දී පළමුව ආචාර කෙළේ තමන්ට ලබා දුන් සහායට කෘත ගුණ සැලකීමක් ලෙසිනි.

මේ අවස්ථාවට සහභාග වූ මැති ඇමැතිවරු එදින විවාපත් චීන මනාල යුවළ 5ටම වේදිකාවට නැඟී සුබ පැතූහ. ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග, රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ, හිටපු කතානායක චමල් රාජපක්ෂ, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර, හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු මැති ඇමැතිවරු රැසක්ම මේ සඳහා සහභාගි වූහ. පැමිණ සිටි සියලුම මැති ඇමැතිවරු පක්ෂ විපක්ෂ භේදයෙන් තොරව මෙසේ සුබ පැතූහ.

එමෙන්ම ශ්‍රී ලංකාවේ චීන නියෝජ්‍ය තානාපති හූ වෙයි මහතාද විවාහ මංගල උලෙළට එක් වෙමින් මනාල යුවළ වෙත සිය සුබපැතුම් එක් කළේය. පෝරු මස්තකයෙන් බැස ගත් මනාල මනාලියන් පැවසුවේ චීනයේ ද ආධාර ඇතිව හා චීන ඉදි කිරීමක්වූ ශ්‍රී ලංකාවේ නව දුම්රිය මාර්ගයක මංගල ගමන යෙදෙන දින තමන් ශ්‍රී ලංකාවේ දී ශ්‍රී ලංකා චාරිත්‍රානුකූලව විවාහ වීමට දැඩි කැමැත්තක් දැක් වූ බවයි. මීට පෙර පසුගිය දෙසැම්බර් මාසයෙදී චීන පවුල් 100ක් මේ අයුරින් කොළඹදී විවාහ වූ බවත් ඒ සඳහා චීනයේ විශාල පිළිගැනීමක් තිබුණු බවද ඔවුහු පෙන්වා දුන්හ.

තම දෙමවුපියන් පවා මේ සිරිතට ආශිර්වාද කළ අතර ඔවුන්ට සහභාගි වීමට නොහැකි වීම ගැන ඔවුන් කනගාටු වූ බවත් එසේ වුවත් මේ ඇඳුමින් ඉදිරියේදී දෙමවුපියන් වෙත යෑමට තමන් අපේක්ෂා කරන බවද ඔවුහු අපට පැවසූහ.

ශ්‍රී ලංකා ඉතිහාසයේ දුම්රියක මංගල ගමන තවත් මංගල ගමනක්ම වූ පළමු හා එකම අවස්ථාව මෙය වේ. මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රයටද ආශිර්වාද එක් කරමින් පැවැති මේ මංගල උලෙළ දෙරටේ මිතු දම වැඩීමට හේතු වනු ඇතැයිද චීන නියෝජ්‍ය තානාපතිවරයා මෙහිදී පැවසුවේය. දෙරට අතර ඇති සබඳතාව වඩාත් වැඩි දියුණු කිරීම පිණිස විශේෂයෙන්ම දෙරටේ සංස්කෘතික අංගයන් දෙරට අතර හුවමාරු කර ගැනීම වැදගත් වන බව ඔහු මේ අවස්ථාවේදී පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාවේ සියලු සංවර්ධන වැඩ කටයුතු සඳහා ඉදිරියේදීත් අත හිත දීමට චීන රජය නිරතුරුවම බලාපොරොත්තුවෙන් සිටින බවත් විශේෂයෙන්ම මේ දිනවල සිදු කරනු ලබන බහු කාර්ය යෝජනා ක්‍රම රැසකටම චීන රජයේ ආධාර උපකාර ලබා දීම සිදු කර ඇති බවද ඔහු පැවසීය.

මෙහිදී වඩාත්ම වැදගත් වන්නේ දෙරටේ සිරිත් විරිත් පිළිබඳ ඇතිවූ අවබෝධය බවද චීන ජාතිකයෝ මෙහිදී පෙන්වා දුන්හ. චීනය හා ලංකාව අතර ඇති බැඳීම අනුව ඉදිරියේදි දෙරට අතර සහ සම්බන්ධතාවය මීට වඩා තහවුරු වනු ඇති බවටද ඔවුහු විශ්වාසය පළ කරති.

රටකට ආවේණික සිරිත් විරිත් අනෙක් රටකට දායාද කිරීමෙන් ඒ රටවල් දෙක අතරේ ඇතිවන බැඳීම අඛණ්ඩ බැඳීමක් වන බවද මෙම මංගල්‍යයට සහභාගි වූ චීන උසස් නිලධාරීහු රැසක් අවධාරණය කළහ. අතීතයේ සිට චීනය හා ලංකාව අතර ඇති සබඳතා ගැන මේ අවස්ථාවේදී එම නිලධාරීන් පෙන්වා දුන් අතර මාතර - බෙලිඅත්ත දුම්රිය මාර්ග ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ හ පෙර්ෂි මහතා පැවසුවේ තමන් බාර ගත් ව්‍යාපෘතියේ මංගල ගමන තවත් මංගල ගමන් 5කින් අවසන් කිරීමට හැකි වීම තම ජීවිතයේ ලද භාග්‍යයක් බවයි.

මංගල සභාව අවසානයේ මනාල මනාලියේ ‍දිවා භෝජනය ලබා ගැනීමට පිටත්ව ගිය අතර තම මධුසමය ද සුන්දර ශ්‍රී ලංකාවේ ගත කිරීමට ලැබීම වාසනාවක් බව ඔවුහු පැවසූහ. දුම්රියට සමුදුන් ඔවුන් මංගල සභාවෙන් පිටත්ව ගියේ චීන හා ශ්‍රී ලංකා සම්ප්‍රදායන්ට අනුව ආචාර කරමිනි. 

Comments