‘අම්මා’ ගේ මහි­මය ලෝක­යට පෙන්නූ නල්ල­ත­න්නියේ කිරි අම්මා­වරු | සිළුමිණ

‘අම්මා’ ගේ මහි­මය ලෝක­යට පෙන්නූ නල්ල­ත­න්නියේ කිරි අම්මා­වරු

“දොයි දොයි දොයිය බබා
බයි බයි බයි බයිය බබා
ඇගේ අම්මා කොතැන ගියා
සිරි­පාදේ වඳිනු ගියා...
හඬන ඇගේ කුස පුරවා
වෙන අම්මෙක් කිරි පෙව්වා...”

රාත්‍රිය සීත­ලය. විශේ­ෂ­යෙන්ම සම­නොළ ගිරි­හිස, සීත ගඟුල පිස එන සුළඟ ඒ සීතල වඩාත් දැඩි කරයි. නුහුරු නුපු­රුදු පරි­ස­රය තුළ මවගේ උණු­හුම නැතිව සීතල දරා­ගැ­නී­මට බිලි­ඳි­යට පුළු­වන් කමක් නැත. ඈ සිටියේ මිත්ත­ණි­යගේ තුරු­ලේය. විනාඩි පැය ගණන් ගෙවී යද්දි බිලි­ඳිය කුස ගින්නේ හඬ­න්නට වූවාය.

කුමක් කර­න්නද ? කාට කිය­න්නද? කිසි­වක් සිතා ගැන්මට බැරි වූ මිත්ත­ණිය බිලි­ඳිය තව තවත් තුරුල් කර­ග­නි­මින් නළ­වා­ග­න්නට දැඩි වෙහෙ­සක් දැරු­වාය. අට­මස් වියැති සිඟි­ත්තිය හඬා­වැ­ටෙ­මින් හෙම්බත්ව නින්දට වැටු­ණාය. ඒ නින්ද බොහෝ කෙටිය. අවදි වූ සැණින් යළිත් හඬ­න්නට වන්නීය. තව­මත් කිරි­ව­ලට පම­ණක් හුරු වී සිටින සිඟි­ත්ති­යගේ කුස පුර­වන්නේ කෙසේ­දැයි යන්න කාටත් ප්‍රශ්න­යකි.

සම­නොළ ගිර පාමුල දුෂ්කර රාත්‍රි­යක් ගෙවා දැමූ මිත්ත­ණිය හතර වටින් ඉර­එ­ළිය වැටෙන විට සතුටු කඳුළු සැලු­වාය. ඒ සිරිපා වඳින්න ගිය බිලි­ඳි­යගේ මව දැන් දැන් එනවා ඇතැයි සිත­මිනි. නමුදු හෝරා කිහි­ප­යක්ම ගෙවිණි. බිලි­ඳි­යගේ මව නොආ­වාය. කළ යුත්තේ කුම­ක්දැයි සිතා ගන්නට බැරි වූ මිත්ත­නිය අව­සා­නයේ හඬන බිලි­ඳිය ද කර­පි­න්නා­ගෙන නල්ල­තන්නි පොලි­සී­යට ගියාය.

“වේලාව උදේ අටට අට­හා­මා­රට විතර ඇති. මට ඇහුණා ශබ්ද විකා­ශන යන්ත්‍ර­යෙන් කිය­නවා බබෙක් බඩ­ගින්නේ ,අම්මා කෙනෙක් ඇවිත් කිරි දෙන්න කියලා. ඒ වේලාවෙ මම හිටියේ කඩේ ඇතුළේ. මට පුදුම දුකක් හිතුණා. මම අප්පච්චි යනවා කියලා කියා­ගෙන කඩෙන් එළි­යට බැස්සා. එත­කො­ටම මගෙ මහ­ත්ත­යත් ඉස්ස­ර­හට ආවා. අන්න දරු­වෙක් බඩ­ගි­න්නෙලු. කිරි ටිකක් දුන්නා නම්; කියලා කිව්වා. මම නල්ල­තන්නි පොලි­සි­යට ගියා. පොලි­සි­යෙන් කිව්වා එන­වුන්ස් කරන තැනට යන්න කියලා. මම ඊට පස්සේ එතැ­නට ගියා. එතැන අය මට කිව්වා බස්එ­කට යන්න කියලා. මම එතැ­නට ගියා.

අවු­රුදු හැට පහක විතර අම්මා කෙනෙක් බබාව වඩා­ගෙන ආවා. බබා අඬලා අඬලා හෙම්බත් වෙලා හිටියේ. මම බබාව අතට අර­ගෙන කිරි දුන්නා. අඬ­මින් හිටපු නිසා බබා මුලින් මුලින් කිරි බිව්වේ හරිම හෙමින්. බබා මගේ මුහුණ බල බලා හරි අමා­රු­වෙන් වගේ තමයි කිරි බිව්වේ. ටිකක් වෙලා ගියාට පස්සේ බබා හොදට කිරි බිව්වා. ඊට ටික­කට පස්සේ බබාගේ අම්මා ආවා. මම ඒ අම්මගේ පැත්තට මුහුණ හර­වලා බබාව අම්මගේ අතට දුන්නා. ”

සිරිපා හිමේ කුස­ගින්නේ හැඬූ අට­මස් වියැති සිඟි­ත්තිය ගැන සුනීතා පව­ස­න්නට වූයේ හැඬු­ම්බ­ර­වය.

නල්ල­ත­න්නියේ කාල­යක් තිස්සේ කඩ­යක් කර­ගෙන යන සුනිතා ද දරු­වන් තිදෙ­නෙ­කුගේ මවකි. ඇගේ බාලම දරු­වාගේ වයස මාස හයකි. දරු­වන් තිදෙ­නෙ­කුගේ මවක වන ඇය කොයි දරු­වා­ගෙත් කුස ගින්නේ දිග පළල හොදින් හඳු­න­න්නීය. සිඟි­ත්ති­යගේ කුස­ගින්න ඇසූ මොහොතේ ඇගේ පපුව දැවෙ­න්නට ගත්තේ එනි­සාය. කොහොම වුණත් බිලි­ඳි­යට කිරි දුන් සුනීතා හැරුණ විට තවත් අම්මා­වරු නව දෙනෙකු බිලි­ඳි­යට කිරි දෙන්නට ඇය සොයා පැමි­ණි­යහ. ඒ පොලිස් නිවේ­ද­නය කන­වැ­කී­මත් සම­ඟය‍.

අගක් මුලක් නොදන්නා මේ කතාවේ අග­මුල දැන ගන්නට අපට උදව් කළේ නල්ල­තන්නි පොලි­සි­යයි. නල්ල­තන්නි පොලි­සීයේ ස්ථානා­ධි­පති ලක්සිරි ප්‍රනාන්දු මහතා සිද්ධිය විස්තර කළේ මෙසේය.

“ඉකුත් විසි­හ­තර වැනි දා මතු­ගම ප්‍රදේ­ශයේ ඉඳලා වන්දනා නඩ­යක් ඇවිත් තියෙ­නවා සිරිපා කරුණා කර­න්නට. මේ නඩයේ මාස අටක දරු­වකු සමඟ පැමිණි මවක් ද ඉඳ තිබෙ­නවා. වන්දනා නඩය සමඟ ඇයත් සිරිපා කරුණා කර­න්නට පටන් අරන් තියෙ­නවා . නමුත් සිරි­පා­දය නඟිද්දි ඇයට තේරිලා තියෙ­නවා දරු­වාට සීතල වැඩියි කියලා. ඒ නිසා ඇය දරු­වාව මිත්ත­නි­යට දීලා තියෙ­නවා නැවත වාහ­න­යට යන්න කියලා . මිත්ත­නිය දරු­වත් තවත් ඥාති කාන්තා­ව­කත් සමඟ පහ­ළට ඇවිල්ලා.

සම­හර විට අර අම්මා දන්නේ නැතිව ඇති සිරිපා මළුවේ විශාල සෙන­ඟක් සිටින බව. සම­හර නිවාඩු දව­ස්ව­ලට සිරිපා කරුණා කර­න්නට ලක්ෂ­ය­කට වැඩි ජන­තා­වක් එනවා. කොහොම නමුත් මේ අම්මා ගිහින් තියෙන්නේ තවත් දරු­වකු සමඟ. ඒ අම්මා කියන විදි­හට සිරිපා වැන්දට පස්සේ මේ අම්මාට පහ­ළට එන පාර වැර­දිලා. හැටන් පැත්තෙන් මළු­වට නැඟලා සිරි­පා­දය වැන්ද අම්මා පහට බැහැලා තියෙන්නේ රත්න­පුර පාරෙන්. ටිකක් දුර යද්දි පාර වැර­දුණු බව දැන­ගත් අම්මාට හරි පාර හොයා­ගන්න ටිකක් වෙලා ගිහිල්ලා. රාත්‍රියේ සිරිපා නැග්ග මව උදෑ­සන තමයි පහ­ළට ආවේ. සිඟිත්තා කිරි නැතිව බඩ­ගින්නේ අඬන නිසා තමයි අපි කිරි දෙන්න අම්මා කෙනෙක් ඕන කියලා නිවේ­ද­නය කළේ. ඒ නිවේ­ද­න­යට කිරි අම්මා­ව­රුන් නව දෙනෙක්ම ආවා. සිරිපා වඳින්න එන හැමට ආරක්ෂා සැල­සීම පොලි­සීය සතුයි.” ලක්සිරි මහතා පව­සයි.

සිරි­පා­දය වඳි­න්නට එන කාගෙත් දුකට පිහිට වන්නේ දුක් අඳෝනා අසන්නේ එහි සේවයේ යෙදී සිටින පොලි­සි­යයි.

අම්මා සිරිපා වඳින්න ගිය අතරේ කුස­ගින්නේ හැඬූ සිඟි­ත්ති­යගේ දසුන දුටු වැඩි­හි­ටියෝ බොහෝ විස්සොප වූහ.

“මේ වගේ සිද්ධි­යක් මීට පෙර නම් වුණා කියලා මත­ක­යක් නැහැ. දැන් ඉන්නේ මොඩ් අම්ම­ලානේ. දරුවෝ ගැන මීට වඩා හිතන්න ඕන. කුස ගින්නේ අඬලා හෙම්බත් වෙලා හිටිය දරුවා අම්මා කවුද කියලා හෙව්වේ නැහැ. නාඳු­නන අම්මා කෙනෙ­කු­ගෙන් කිරි ටික බිව්වා. ඒ අම්මාට පින් සිද්ධ­වෙ­නවා මේ දරු පැටි­යගේ බඩ­ගින්න නිව්වට. වැඩි­හිටි කාන්තා­වක පව­සන්නේ දැනු­මු­ත්ති­යක ලෙසිනි.

අවු­රුදු දහ­යක් තිස්සේ දොදොල් කඩ­යක් කර­ගෙන යන සුනීතා චන්ද්‍ර­පාල බිලි­දි­යට කිරි පොදක් පොව­න්නට ලැබීම ගැන තුටු වන්නීය.

“ මට මගේ දරුවා විත­රක් නෙමෙයි. කොයි දරු­වත් එකයි. මගේ දරු­වගේ වගේම අනෙක් දරු­ව­න්ගෙත් බඩ­ගින්න මට හොඳින් දැනෙ­නවා.“සුනිතා පව­සන්නේ සතුටු කඳුළු හෙළ­මිනි.

කුමක් කළත් කොතැන ගියත් තම දරු­වන් ගැන අම්මලා වඩාත් සැල­කි­ලි­මත් විය යුතුය. දරු­වන් කුස ගින්නේ හඬද්දි දෙව්ලොව සැප ලැබු­ණත් කුම­කට දැයි කියා සිතෙ­න්නේද, එවන් කතා අසන දකින විටය.

ඉසවි

Comments