
රුසියාව කියූ සැණින් අපේ මතකයට එන කරුණු කාරණා ගොඩකි. ලෙනින්, ස්ටාලින්, ගෝර්කි, තෝල්ස්තෝයි, පුෂ්කින්, යූරි ගගාරින්, තෙරෙස්කෝවා මෙන්ම පුටින් ඇතුළු නම් පෙළ ඉතා දිගු ය. එසේ ලොව හෙල්ලූ ලොව ලොකුම රටේ තරුණ තරුණියෝ පිරිසක් පසුගියදා ලේක්හවුසියට ගොඩවූහ. ඔවුහු නිකම් ම රුසියානු තරුණ කාණ්ඩයක් නොව රුසියාවේ මොස්කව් නුවර රාජ්‍ය විශ්වවිද්‍යාලයේ සිංහල භාෂාව හදාරන විද්‍යාර්ථයින් ය. මේ ඔවුන් සමඟ ගෙවුණු සොඳුරු හෝරාවක් අළලා ලියවුනකි.
රුසියාවේ සිංහල ඉගෙන ගන්නා මෙම ශිෂ්‍ය කණ්ඩායම හයදෙනෙකුගෙන් යුක්ත ය. මක්සිම්, වලඩ් හා මුසාන් යන තරුණයන් සහ බාබරා, වැලේරියා සහ දාර්ෂා යන තරුණියන් පසුගියදා ලංකාවට පැමිණ සිටියේ අධ්‍යයන චාරිකාවක් සඳහා ය. මෙරට රුසියානු තානාපති කාර්යාලය හරහා රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානය එය සම්බන්ධීකරණය කර තිබිණි.
“අපි මොස්කව් විශ්වවිද්‍යාලේ සිංහල ඉගෙන ගන්නවා. දැන් අවුරුදු දෙකක්. මම සිංහල ඉගෙන ගන්න කැමැතියි. කැම්පස් යන්න ඉස්සරත් ලංකාව ගැන හුඟක් දන්නවා. නමුත් දැන් අපි ලංකාවේ ඉතිහාසය, භූගෝලෙ, සංස්කෘතිය ඉගෙන ගන්නවා. ඉතින් දැන් ලංකාව ගැන හුඟක් දන්නවා” වලඩ් අප සමඟ කතාබහට මුලපිරුවේය.
දහනම හැවිරිදි වියේ පසුවන වලඩ්ගෙන් සිංහල ඉගෙන ගැනීම අපහසු නැත්දැයි අපි ඇසීමු.
“ටිකක් අමාරුයි. ඒත් අපි කොහොමහරි ඉගෙන ගන්නවා”ඔහු පිළිතුරු බැන්දේ හිනැහෙමෙනි.
ඔවුන්ගේ සිංහල උච්චාරණය හරි අපූරු ය. වචනයෙන් වචනයට මඳ විරාමයක් දෙමින් ඔවුන් සිංහල කතාකරන්නට තතනන හැටි බලා සිටීම පවා සුන්දර ය. එය බැරි බැරි ගාතේ අපි ඉංග්‍රීසි කතාකරන්නට හුරු වූ අන්දම සිහිපත් කරවයි.
“සිංහල ඉගෙන ගන්න නම් ටිකක් අමාරුයි. ලංකාවෙන් රුසියාවට ගිහින් ඉන්න මගේ යාලුවෙක් ඉන්නවා. මම ගොඩක් වෙලාවට එයා එක්ක කතාකරන්නෙ සිංහලෙන්. එයාගෙන් ලංකාව ගැන ගොඩක් විස්තර දැනගන්න ලැබුණා” මුසාන් ද අපේ කතාබහට හවුල්වුණේය.
ලංකාවට පැමිණි සති දෙකක කාලය තුළ අනුරාධපුර, හබරණ, මිරිස්ස, ගාල්ල, නුවරඑළිය, නුවර, ඇල්ල ඇතුළු බොහෝ ප්‍රදේශවල සංචාරය කිරීමට ඔවුන්ට අවස්ථාව ලැබී තිබුණි. “අපි අලිත් දැක්කා. අපේ රටේ අලි නෑනෙ” මූසාන් තම සංචාරයේ සොඳුරු තැන් සිහිපත් කළේය. එමෙන්ම ඔහුට ලංකාව ගැනත් ලංකාවේ ඔහු ආසා කරන දේ ගැනත් කියන්නට බොහෝ දේ තිබුණි.
“ලංකාවේ ගෑනු ළමයිනුත් හරි ලස්සනයි” එහාට මෙහාට ටිකක් ඇඹරුණු ඔහු වචන ගැළපුවේය. “ලංකාව බොහොම ලස්සන රටක්. මම ලබන අවුරුද්දෙත් ලංකාවට එනවා”
රුසියාවේ සිට පැමිණි අනෙක් තරුණයාගේ නම මක්සිම් ය. නිකම්ම මක්සිම් නොව මක්සිම් ගෝර්කි ය. තම නම කියූ පසු ඔහුට ද මඳ සිනහවක් පහළ වුයේ මක්සිම් ගෝර්කි ගැන නොදන්නා කෙනෙක් නැති බව දන්නා නිසා විය යුතු ය. මහා ගත්කතුවරයා මෙන්ම මේ ගෝර්කි ද සාහිත්‍යයට ලැදියාව ඇත්තෙකි.
“අපි සිංහල සාහිත්‍යයත් ඉගෙන ගන්නවා. ඒ වගේම දකුණු ආසියාවේ ඉතිහාසය ගැනත් ඉගෙන ගන්නවා. මම ලංකාවට බොහොම කැමතියි. ලංකාවේ ආගම් ගොඩක අය මිශ්‍ර වෙලා ජීවත්වෙනවා. එයාලව එහෙම දකිනකොට ගොඩක් ලස්සනයි”තවමත් දහ අට හැවිරිදි වියේ පසුවන අඩි හයකටත් වඩා උස කොල්ලා කීය.
ඔහු සිංහල සහ රුසියානු භාෂා සංසන්දනයකට ද ඉදිරිපත් වුණේය.
“සිංහලයි රුසියානු භාෂාවෙයි සමානකම් තියෙනවා. උදාහරණෙකට හතර කියන සිංහල වචනයට රුසියානු භාෂාවෙන් කියන්නේ චතරක් කියලයි”
වැලේරියා පැවසූ අන්දමට ඈ සිංහල ඉගෙන ගන්නේ අනාගතයේදී ලංකාවේ සේවය කිරීමේ අරමුණෙනි. එය බොහෝ දුරට ලංකාවේ රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානය විය හැකි බව ද ඈ පැවසුවාය.
“අපි ලංකාවට ඇවිත් වැඩකරන්න කැමතියි. සමහරවිට මෙහේ රුසියානු සංස්කෘතික ආයතනයේ වැඩට එන්න අපිට පුළුවන් වෙයි. ඒ වගේම සමහරවිට ගයිඩ් කෙනෙක් විදිහට ලංකාවේ වැඩ කරන්නත් මට පුළුවන් වේවි. විශේෂයෙන්ම ලංකාවේ දකුණු පළාත්වලට දැන් ගොඩක් රුසියාවෙ සංචාරකයෝ එනවා. ගොඩක් අය කසාද බඳින්න, විවේක කරන්න, සර්ෆ් කරන්න ලංකාවට එනවා. මම රුසියානු භාෂාවටයි සිංහලටයි අමතරව ඉංග්‍රීසි සහ ප්රංස භාෂාත් කතාකරනවා. ළඟදීම අපි සංස්කෘත සහ හින්දි භාෂාත් ඉගෙන ගන්න හිතන් ඉන්නවා”.
“රුසියාව කිව්ව ගමන් මිනිස්සු හිතන්නේ සමාජවාදෙ ගැන. තාම රුසියාව සමාජවාදී රටක් ද?” බාබරාට එල්ල කෙරුණේ දේශපාලන ප්රශ්නයකි.
“රුසියාවට සමාජවාදී කියල කියන්න බැහැ මං හිතන්නෙ. හැබැයි ගොඩක් අය තාමත් අපේ රට දිහා බලන්නේ සෝවියට් යූනියන් එක විදිහටයි. ඒක වැරදියි. අනික ඇත්තටම කිව්වොත් අපේ රටේ ආර්ථිකේ එච්චර හොඳ නැහැ දැන්”
සිංහල භාෂාවටත් එහි උච්චාරණයටත් බොහෝ ඇල්මක් දක්වන බාබරා ද සිංහල උගෙනුම අඛණ්ඩව කරගෙන යාමට අදිටන් කරගෙන සිටින්නීය.
“මගේ දැන් උපාධිය ඉවර වුණාට පස්සේ ලංකාවට ඇවිත් වැඩිපුර ඉගෙන ගන්න කල්පනා කරනවා. සමහරවිට කැලණිය යුනිවර්සිටි එකට යන්න පුළුවන් වේවි. මං සිංහල භාෂාවට කැමැති ඒක උච්චාරණ වෙන විදිහ නිසායි. සිංහලවල හරි ලස්සන ශබ්ද තියෙනවා”
දාර්ෂා තරමක් දාර්ශනික ය. ඈ ද සාහිත්‍යයට ඇල්මක් දක්වන්නියකි.
“මං සිංහල ඉගෙන ගන්න හිතුවේ ලංකාවේ සංස්කෘතියටයි බෞද්ධ ආගමටයි කැමැති නිසායි” කතාබහට ඈ එක්වූයේ එලෙසිනි.
“ඒ කියන්නේ ඔයා බෞද්ධයෙක් ද?”
“නැහැ මං බෞද්ධයෙක් නෙමේ. හැබැයි මං ඒ ආගමට කැමතියි”
“සිංහලයෝ හරිම ඉක්මණින් කතා කරන නිසා තේරුම් ගන්න අමාරුයි. ලියන්නයි කියවන්නයි ටිකක් ලේසියි. අපිට සිංහල පොත් කිහිපයක් තියෙනවා. ලංකාවේ ගුරුවරයෙක් මොස්කව්වල ජීවත් වෙනවා. එයත් එක්ක අපි සිංහල පුරුදු වෙනවා.අපි ලබන මාසෙ සංස්කෘතයි දෙමළයි ඉගෙන ගන්න පටන් ගන්නවා” ඈ පැවසුවාය.
සිංහල සාහිත්‍ය ගැනත් මාර්ටින් වික්‍රමසිංහ ගැනත් දාර්ෂා තරමක් දැන උන්නා ය. “සිංහල සාහිත්‍ය නම් අමාරුයි කියවන්න. අපි මාර්ටින් වික්‍රමසිංහගේ පොත් ටිකක් ගත්තා. තාම කියවූවේ නැහැ. මාර්ටින් වික්‍රමසිංහගේ මඩොල් දූව රුසියාවේ භාෂාවෙන් තියෙනවා. ඒක කියවලා තියෙනවා. රුසියාවේ ගොඩක් දෙනා වික්රමසිංහව දන්නවා”
“දාර්ෂා ලංකාවේ ආසම දේ මොකක්ද?”
“මම සිංහලයොන්ට ගොඩක් කැමතියි. එයාලා හරිම ෆ්‍රෙන්ඩ්ලි. තව,කට දන කෑමවලටත් ආසයි. රොටි, කොත්තු, ෆ්‍රයිඩ් රයිස්වලට කැමතියි” විසි හැවිරිදි යුවතිය කීවේ සොඳුරු සිනහවකින් ද මුව සරසාගෙන ය.
සමුගන්නා මොහොතේදී වැලේරියා තම අතේ තිබූ ජංගම දුරකථනය මා අතට දුන්නා ය. “ඔයා වට්ස්ඇප් ඉන්නවද? මේ අංකෙට ඔයා ලිපිය ලිව්වම මට එවන්න. මං අනිත් අයටත් පෙන්නන්නම්” ඇගේ සුහද ඉල්ලීම ද ඉටුකළ යුතුව ඇත.
ඡායාරූප - රංජිත් අසංක
රජිත ජාගොඩ ආරච්චි