
2010 වර්ෂයේ මහා මැතිවරණය ඔබට මතක නම් පාර්ලිමේන්තු මැතිවරණයකට නාමල් රාජපක්‍ෂ ඉදිරිපත් වූයේ එවර ය. මේ සමයේ නාමල් රාජපක්‍ෂ විසින් ‘ලොකු අයියා’ වශයෙන් හැඳින් වූ පුද්ගලයකු විය. ඒ විමල් වීරවංශ ය. විමල් වීරවංශ නාමල් රාජපක්‍ෂගේ ලොකු අයියා නම්, ඔහු මහින්ද රාජපක්‍ෂගේ ලොකු පුතා ය. ඒ එදා ය.
'විමල්ගෙ දැන් හඬ බාල වෙලා...පංචායුදේ ගැලවිලා වගේ ''ඒ විතරක් නොවේ, කෝ ගම්මන්පිල? දැන් මොකෝ සද්ද නැත්තේ?' මේ දවස්වල සමහරු කියන්නේ එහෙමය. එහෙම කියන්න හේතුවක් තිබේ. එකක් විමල්ලාට ගම්මන්පිලලාට පොහොට්ටුවෙන් කැපිලි ය. පොඩි පහේ කැපිලි නෙවේ, ඔළුව උස්සන්න බැරි තරමේ කැපිලි ය.
මුලින් ම ප්‍රහාරය පටන්ගත්තේ පොහොට්ටුවේ පුංචි මන්ත්‍රීවරු ය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගොඩනැංවූ නායකත්වයට නිග්‍රහ කර පොට වරද්දා නොගන්නා ලෙස එ් පක්ෂය සමඟ එක්ව සිටින කුඩා කුඩා පක්ෂවල නායකයන්ට අනතුරු හඟවන බවට පළමු අහස් කූර පත්තු කළේ පළාත් පාලන නියෝජිතයෝ ය. විමල් 'හුම්' නොකියා නිහඬ වූයේය. ඊළඟ බෝම්බය බැසිල්, මහින්ද දෙදෙනාම දමා ගැසුවේ ගම්මන්පිලට ය. විජේරාම නිල නිවසේදී මහින්ද, බැසිල් දෙදෙනා ම ගම්මන්පිලට තමන්ගේ තරම කියා දුන්නේ ය. පළාත් පාලන නියෝජිත ආයතන වල පුරප්පාඩු පත් කරන විට තම පක්ෂය නොසලකා හැර තිබෙන බව ගම්මන්පිල කීවේය. බැසිල්ට යකා නැංගේ එවිට ය. 'උදය ඔයාලට ඕන විදිහට මෙතන වැඩ බෑ..පොදුජන පෙරමුණ අයිති අපිට; අපිට ඕන විදිහටයි වැඩ වෙන්න ඕන.' බැසිල්ගේ පිළිතුරෙන් ගම්මන්පිල තුෂ්නීම්භූත විය.' ඔහේට ඕන විදිහට නටන්න අපි ලෑස්ති නෑ.මහින්ද මහත්තය හින්දයි අපි මෙතන ඉන්නේ. එයා නැත්නම් පොහොට්ටුවෙන් ඉල්ලන්නෙත් නෑ' ගම්මන්පිල කීවේ කේන්තියෙනි. මහින්දට මුවා වී ගැලවෙන්න ගිය ගම්මන්පිලට 'ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්න දේ සිදු වුණේ ඒ එක්කමය.' වෙනම ඉල්ලුව නම් මන්ත්‍රීකමුත් නෑනේ' මහින්ද එහෙම කියද්දී ගම්මන්පිල උඩ බිම බැලුවේ ය. එතැන් සිට රැස්වීම වාග් ප්‍රහාර වලින් කෙළවර විය. දැන් ගම්මන්පිල 'නයා මැරුණු අහිකුණ්ටිකයා වගේ කියා පොහොට්ටුවේ මන්ත්‍රීවරු කිහිප දෙනෙක් කතා විය. විමල්, ගම්මන්පිල දෙදෙනාම දැන් අවලංගු කාසි වගේ ය. කොහොමත් විමල් බැසිල් එක්ක දිගු කාලීන ආරෝවක් තිබූ අයෙක් ය. මහින්දගේ ආණ්ඩුවේ අවසන් කාර්තුවේ විමල් බැසිල්ට කුඩු වෙන්න ගැසුවේ ය. එවක ආණ්ඩුව පෙරළෙන්න වෙස් වළාගත් ආශිර්වාදයක් තරමටම ඒ ප්‍රහාරය සැර විය. අනෙක් අතට විමල් කියන්නේ හිස් වගාලාප දොඩවන්නෙක් බවට ප්‍රකට ය. හැම දේටම 'ජාත්‍යන්තර කුමන්ත්‍රණ' කියා බෙරිහන් දීම හින්දා ම විමල්ට දැන් සිදුව තිබෙන්නේ 'කොටියා ආවෝ' කියා කෑ ගැසූ එකාට වූ දේම ය.' මං වීරයා' වීමේ නොතිත් ආශාවකින් මඬිනු ලැබ සිටින හෙතෙම සාමාන්‍යයෙන් පොල් කට්ටේ කිඹුලන් දකින්නකු බව ප්‍රකට ය.
තමන්ගේ චතුර කථිකත්වයෙන් සෑහෙන පිරිසක් වාර්ගික උන්මාදයකට තල්ලු කරන්නට සමත් වූ කිහිප දෙනෙක් අපට හමු වෙයි. ඉන් එක් අයෙක් වන්නේ හිට්ලර් ය. හිට්ලර් ස්වකීය විසුළු පෙනුම වසන්කොට ගත්තේ 'උන්මාදනීය' කථිකත්වයෙනි. එකී කථිකත්වයට වශී වූ ජර්මන් ජනයා ඔහුට පාලනය භාර දුන්නේය.
ඔහු නතර වුණේ ලොව තෙවැනි තැනට වැඩිම ජනඝාතන කළ ත්‍රාඩ මිනිසා බවට පත් වෙමිනි.
පොල්පොට් චතුර කථිකයෙකි. ඔහු රටේ පාලනය භාර ගත්තේය. නතර වුණේ මිලියන ගණනක ඝාතකයා වෙමිනි.
ඈත ඉතිහාසයෙන් මෑත යුගයට ආ විට අපට හමු වන චතුර කථිකයා විමල් වීරවංශය. ඕනෑම ජාතිවාදී දෙයක්, තම අරමුණු වෙනුවෙන් සූක්ෂ්ම ව පාවිච්චි කිරීමේ හැකියාව විමල් සතුව තිබේ. සමහරු කියන්නේ එය 'ලජ්ජාව' නැමති නහරය කැපූ විට සිදු වන සාමාන්‍ය තත්ත්වයක් බව ය. වරක්, රුපියල් කෝටි 9ක රාජ්‍ය දේපළ අවභාවිත කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ ඔහු රක්ෂිත බන්ධනාගාරගත කර තැබිණි. ඒ සඳහා අධිකරණයෙන් දුන් නියෝගයකට එරෙහිව මෑතකදී ඔහු උපවාසයක් ගෙන ගියේය.
ඊට පෙර වතාවක් ඔහු මෙලෙසම, එක්සත් ජාතීන්ගේ සංවිධානයට විරෝධය දක්වමින් තවත් උපවාසයක් කෙළේය. එය අවසන් කෙරුණේ එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ තැඹිලි වතුර ටිකක් ඔහුට පෙවීමෙනි.
මීට සති කිහිපයකට පෙර විමල් වීරවංශ පිළිබඳව අපූරු සටහනක් ප්‍රියන්ජිත් විතාරණ විසින් මුහුණු පොතේ සටහන් කොට තිබිණි. ප්‍රියන්ජිත් විතාරණ යනු විමල්ගේ පක්ෂයේ හිටපු ප්‍රධාන ලේකම් වරයා ය. එ් දිගු සටහනෙහි එක් තැනක මෙසේ සඳහන් වෙයි.
"වීරවංශ මහතාට අනුව මේ සියල්ල සිදුවන්නේ ඇමරිකානු – ඉන්දියානු න්‍යාය පත්‍රයකට යටත් ව ය. බටහිර හා ඉන්දියානු මැදිහත් වීම අසත්‍යයක් යැයි මම කිසි විටක නොකියමි. එය සම්පූර්ණ සත්‍යයකි. එසේම එය බරපතළ සංකීර්ණ ක්‍රියාවලියකි. එය වීරවංශ මහතා කියන තරම් සරල නැත. ඔහු කරන්නේ රස කතා කීපයක් කියා ඒ සංකීර්ණ ක්‍රියාවලිය ඔහුට ප්‍රතිවිරෝධී පුද්ගලයන් කීප දෙනෙකු මත පැටවීමයි. ඔහුට අනුව බැසිල් රාජපක්ෂ 'රෝ ඔත්තුකරුවෙකි.' හෙට දවසේ ගෝඨාභය රාජපක්ෂ 'Cඓඇ' නියෝජිතයකු යැයි කීමට ඔහුට බැරි නැත. යම් ලෙසකින් ගෝඨාභය රාජපක්ෂ මහතා ඔහු හා කිනම් හෝ ප්‍රශ්නයකට අමනාප වුණොත් එය එසේ සිදුවනු ඇත. මම ඊට එක් උදාහරණය කියන්නෙමි. අද වීරවංශ මහතාගේ ගජ මිතුරා වී සිටින්නේ ටිරාන් අලස් මහතා ය. නමුත් මීට වසර කීපයකට උඩදී වීරවංශ මහතාට අනුව ටිරාන් 'රෝ' ඔත්තුකරුවෙකි. ඒ ඔහු වීරවංශ මහතාගේ මතයට එකඟ නැති කාලයේ ය. දැන් ඔවුන් දෙදෙනා සිටින්නේ එක ම න්‍යාය පත්‍රයේය. වීරවංශ මහතාට අනුව ඔහු ලියයි. ඒ නිසා වීරවංශ මහතා දැන් ඔහුව 'රෝ' සංවිධානයෙන් මුදවාගෙන දේශප්‍රේමියකු බවට පත් කර තිබේ. මා කියූ එම උදාහරණය බොහෝ දෙනෙකුට මතක ඇතැයි සිතමි. එදා වීරවංශ මහතා දුන් පූර්ව නිගමන නිසා වටිනා මිනිසුන් කීදෙනෙකු දෙස අප වපර ඇසින් බලා ඇත්ද? ඊට හොඳම උදාහරණය පී.බී. ජයසුන්දර මහතායි. විමල්ට අනුව ඔහු බටහිරට විසින් මෙහෙයවූ ආර්ථික ඝාතකයායි. ඔහුගේ විග්‍රහයට අනුව නම් දැන් ඔහු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියානු කලාපය බාර නියෝජිතයා විය යුතුය. මා දන්නා පරිදි එතුමා කුරුණෑගල ප්‍රදේශයේ සිය ඉඩමක් වවාගෙන විශ්‍රාම සුවයෙන් කල් ගෙවයි. ඒ නිසා මා වීරවංශ මහතාගේ පූර්ව නිගමන කිසිවක් පිළිගන්නේ නැත. ඔහුගේ පුරෝකතන සම්පූර්ණයෙන් අසත්‍යය මත පදනම් වූ පුස් මතය."
වත්මන් ආණ්ඩුවේ 'සෙම්ප්‍රතිශ්‍යාව' ගැන කතා කරන විමල්ට එදා හිටපු ආණ්ඩුව ගැන කී කතා අමතක ය. කෝටි ප්‍රකෝටි ගානක ණය කන්දක් සහිත රටක් මහින්ද 'යහපාලන ආණ්ඩුවට' භාර දුන් බව අද විමල්ලාට අමතකය. නමුත් විමල් ඒ දවස්වල වරක් මෙහෙම කීවේය.
යුද්ධයෙන් පස්සේ අපේ ආර්ථිකය නවමු මාර්ගයකට අපි හැරෙව්වා. ඒ ආදායම වැඩි කරලා අපේ නිෂ්පාදන වැඩි කරන්න මාර්ගයක්. අපි චීනයත් එක්ක නිදහස් වෙළෙඳ ගිවිසුමට යනවා. සුළු පරිමාණ නිෂ්පාදකයන් මහ පරිමාණ නිෂ්පාදකයෝ කරන්න අපි ණය ගෙනාවා අඩු පොලියට. අපි දිරිගැන්වීම් කළා. අපි සහල්, බඩඉරිඟුවලින් ස්වයංපෝෂිතයි. හැබැයි අපි හිතපු තරමටම නිෂ්පාදනය වර්ධනය වෙලා නැහැ. ඒ වෙනුවට අපේ වෙළෙඳ පරතරය වැඩිවෙලා; රුපියල බංකොලොත් වෙලා; රුපියල අඩු නිසා ගෙවන්න තියෙන ණය ඩොලර් ප්‍රමාණය වැඩිවෙලා තියෙනවා; උද්ධමනයට බලපෑම් කරනවා; බැංකු පොලී අනුපාතයට බලපානවා. මේ වගේ අහිතකර බලපෑම් වෙලා. පී.බී. ජයසුන්දර කියන්නේ අද මුදල් අමාත්‍යාංශයේ ඉන්න එකම චරිතය. මුදල් අමාත්‍යාංශය සුද්ද කරලා තියෙන්නේ.
ඉන්න ඔක්කොටම උසස්වීම් දීලා, දඬුවම් මාරු දීලා යවනවා. මේක තනිකර හමුදා කඳවුරක නැති ඒකාධිපති පාලනයක් තියෙන්නේ. මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා අවුරුදු ගණනාවක් හිටියේ ජනාධිපතිවරයා මුදල් ඇමැතිවෙලා හිටිය ආණ්ඩුවල. චන්ද්‍රිකාගෙ කාලෙත් මෙයා.
දැන් බලන්න පොහොර, පොහොර හිඟයක් හදලා ප්‍රශ්නයක් හදලා පස්සේ පොහොර ගෙනැල්ලා දානවා. පෞද්ගලික අංශයේ විශ්‍රාම පත් හදන්න ඕනේ කම්කරු අමාත්‍යාංශයෙන්. හැබැයි හැදුවේ මුදල් අමාත්‍යාංශයෙන්. ඒ හදපු එක කම්කරු අමාත්‍යාංශයට දුන්නේ නැහැ. වෘත්තීය සමිති එක්ක කතා කරන්න දුන්නේ නැහැ. කෙලින්ම දැම්මා පාර්ලිමේන්තුවට. ඉතින් ගොවියෝ පාරට ආවා. එයාලා හැදුවාට කමක් නැහැ. අඩු ගාණේ කම්කරු අමාත්‍යාංශයට දුන්නා නම් වෘත්තීය සමිති එක්ක කතා කරලා අඩුපාඩු හදනවා.
ආණ්ඩුවේ පාර්ශ්වකරුවෙක් විදියට මම එන්නේ. මම තනියෙන් ආණ්ඩුව කරනවා නෙවෙයි; අපෙත් අදහස් තියෙනවා. ඒ අදහස් අපි කියනවා. ඒ නිසා මම බය නැතිව කියනවා ඔය ජයසුන්දර ඔය තනතුර දාලා යන්නේ නෑ ලේසියෙන්. යන්නේ ඊළඟට එන මිනිහකුටත් ඒක කරගන්න බැරි තත්ත්වයකට හදලා.
ඒකේ ආයේ දෙකක් නැහැ. මම කරුණාකරලා ඉල්ලනවා මේ ටේප් එක පරිස්සම් කරලා තව අවුරුදු දෙකක් තියාගන්න. අන්න ඒ අවුරුදු දෙකට පස්සේ මේ කෑල්ල දාන්න රටටම අහන්න.”
– විමල් වීරවංශ : 11. 06. 2013
අවුරුදු දෙකකින් රටේ බෙල්ල තොණ්ඩුවකට හිරවෙන බව විමල් කීවේ 2013 දීය. යහපාලන ආණ්ඩුව ආවේ හරියටම විමල් අර්බුදය පුපුරා යනවාය කීව වසරේදීය. ඒ කියන්නේ 2015දීය.
ඔහු මෙහෙමත් කීවේය.
''කුඩුවලට ඇබ්බැහි වුණා වගේ තමයි ණයවලට ඇබ්බැහි වුණාම. මේ රටේ ආර්ථික ඝාතකයෝ ඉන්නවා. පහුගිය අවුරුදු 10-15 ඇතුළත අර අඩු පොලියට ණය ගන්න කාලය පනිනකම් ඉඳලා වැඩි පොලියට ණය ගන්න යෝජනා ඉදිරිපත් කරන අය ආර්ථිකය පාලනය කරන අමාත්‍යාංශවල ඉන්නවා. මේවා කරන්නේ දේශපාලනඥයෝද? දේශපාලනඥයෝ වැරැදි මේවා හොයලා මේ තක්කඩින්ව හිර ගෙදර නොයවන එකට. ඒකට දේශපාලනඥයෝ වගකියන්න ඕනේ.
ණය ගේන්න අමුතුවෙන් කෙනෙක් ඕනේ නැහැ. ලෝකේ පුරා හෙට්ටියෝ ඉන්නවා. ඉල්ලන එකාට ණය දෙනවා. මේ මනුස්සයා පෙන්නන්නේ එයා නැත්නම් මේ රටට ණය ගේන්න බැහැ; එයා තමයි ණය දෙයියා කියලා. අපි කාවද රවට්ටන්නේ. මේ රටට අපි කියන්න ඕනේ නැද්ද එක බිලියනයක ණය අරගෙන රෝලක් ගහන රටක් කියලා. ඒ රෝල කවද වෙනකම් අපි ගහන්නද?
විමල් එදා එහෙම කීවේ මහින්දලා ගිය ගමන දැකලා ය. හැබැයි එහෙම කීව විමල් ආණ්ඩුවෙන් නම් එළියට බැස්සේ නැත. ඒ තබා ඊළඟ මැතිවරණයේදීත් ඔහු කළේ 'ආර්ථිකය' කාබාසිනියා කළ කල්ලියට උදවු කරන එක ය.
ඒ නිසාම විමල්ගේ කතාව බොල් උඩු බිරිල්ලක් පමණක් ම විය.
දැන් ඔහු පාර්ලිමේන්තුවේත්, මහ පාරේත්, පක්ෂ කාර්යාලයේත් 'සෙමෙන් මනස වැඩෙන' දරුවෙක් සේ හැසිරින්නේ ඇයි කියන්න නම් දන්නේ නැත.දැන් නොදරුවෙක් වුනත් දන්නා දෙයක් තිබේ .ඒ විමල්ට හෝ ගම්මන්පිලට තනියම ඉල්ලා ප්‍රාදේශීය සභාවක් හෝ දිනන්න බැරි බව ය. මේ අතර එක දෙයක් හෙළිදරවු වෙමින් තිබේ. ඒ මහින්දලා ,බැසිල්ලා තවමත් ඉතිහාසයේ ස්වරූපයෙන් අඟලක් හෝ වෙනස් නොවී ඇති බවය. රාජපක්ෂලා හැර අන් කිසිවෙක් නැති බව මහින්දගේ ආකල්පය වන අතර 'මං පොර' න්‍යාය බැසිල් නඩත්තු කරයි . විමල් ලා ගම්මන්පිලලා ඒ වේදිකාවල 'වොයිස් එක' පමණි . 'ඔය කෑ ගැහුවට තනියම ඡන්දෙට ඉල්ලුවොත් විමල්ටයි ගම්මන්පිලටයි සිද්ධ වෙන්නේ 'පොලේ ගිය නයාට'වෙච්ච දේ'බස් එකේ යමින් සිටි මඟියෙක් එහෙම කීවේ පත්තරේ දෙස බලමින් ය.
'ඒ මොකක්ද?'අසල සිටි තවත් මඟියෙක් ඇසුවේය .
'එක අහිකුණ්ටක මනුස්සයෙක් නයෙක් අල්ලාගෙන තියෙනවා. මේ මනුස්සයා මේ නයා හොඳට පුහුණු කරගෙන අරගෙන ගියා පොළේ. පොළට අරන් ගියා අහිකුණ්ටක මනුස්සයා නලාව ගහනවා; නයා නටනවා මිත්‍රවරුනි. නයා නටනකොට වට වෙලා ඉන්න අපි ඔක්කොම කස කස ගාලා අතේ තියෙන රුපියල, දෙක සල්ලි දානවා. නයා බැලුවා හැමදාම මම නටනවා; මේ යකා සල්ලි ගන්නවා; ඒ හින්දා නයා කල්පනා කළා මීට පස්සේ මෙයාට සල්ලි දෙන්නේ නැහැ; මන් යනවා තනියම මන් ගිහින් නටනවා කියලා. නයා පැන්නා එළියට හොර රහසේම ගියා එළියට, පොළට ගිහිල්ලා නටන්න ගත්තා, නටන්න යනකොටම මිනිස්සු වට වෙලා මේ නයෙක් නයෙක් කිව්වා. වට වුණා පොල්ල අර ගත්තා කෙලියා ඔළුවට.' ඒ කතාව ඇත්තද, නැත්තද කියා බලන්න වෙන්නේ ඉස්සරහට ය.