
ලොස් ඇන්ජලිස් නුවර අවුකන පිළිම අනුරුවක් හදන්න වැඩකරනවා
* ඒ කාලෙ නායකයන්ගෙ හිඟයක් තිබුණා
* ලොස් ඇන්ජලීස්වල ශ්‍රීලාංකික එකමුතුකම
* අපේ රටේ දරුවන්ට උදව් උපකාර
දැවැන්ත හොලිවුඩ් නාම පුවරුව බටහිර දෙසින් වැටුණු හිරු රැසින් දිලිසෙමින් තිබිණි. අහස සූරන දැවැන්ත ගොඩනැගිලි පිරුණු ජනාකීර්ණ ලොස් ඇන්ජලීස් නගරයේ ‘විල්ෂය බුල්වාඩ්’ නම් ප්‍රධාන වීදිය දිගේ ඇවිදිමින් සිටින සවස් වරුවක මගේ දෑස් එක් ගොඩනැගිල්ලක් අභියස නතර විය. එහි 11 වන මහලේ පියස්ස මත වූ උද්‍යානයේ අමෙරිකානු ධජයට යටින් ශ්‍රී ලාංකේය සිංහ ධජය ලෙළදෙනු දැකිය හැකිවිය. විදෙස් රටක අපේ ධජය දකින්නට ලැබීම නෑදෑයකු දැකීමක් වැනිය. එහෙයින්ම මේ ගොඩනැගිල්ල කාගේදැයි විමසීමි. ලොස් ඇන්ජලිස් පුරවරයම දන්නා ශ්‍රී ලාංකේය ශල්‍ය වෛද්‍යවරයකු වූ වෝල්ටර් ජයසිංහ මට මුලින්ම හමුවන්නේ එහිදීය. සැබවින්ම ඔහු පුදුම මිනිසෙකි. නගරය ඔහු හඳුන්වන්නේ ඩොක්ටර් ජේ නමිනි. මේ ඔහු සමඟ කළ කතාබහකි.
ඩොක්ටර් ජේ ලංකාවේ ඔබේ ගම් පළාත් සහ ළමා කාලය ගැන මතක් කරමුද?
උපන් ගම ගම්පහ - ජාඇල. මගේ පියා වෛද්‍යවරයෙක්. මම ඉපදුණේ 1937 දී. මට වයස අවුරුදු 7 ක් වෙද්දී මගේ පියා මියගියා. ඊට පස්සේ මගේ වැඩිමහලු සොයුරිය මාව බාර ගත්තා. අක්කලා පදිංචිව සිටියේ කොළඹ නිසා එතෙක් දි මැසිනොද් විද්‍යාලයට ගිය මාව කොළඹ ශාන්ත පීතර විද්‍යාලයට ඇතුළුකළා. ටික කලක් යනකොට මගේ සොයුරියගේ සැමියා සූදුවට ඇබ්බැහි වීම නිසා අයසට පත් වුණා. අපි ආයෙත් ගම්පහ අස්ගිරියේ පදිංචියට ආවා. ගෙදර සිට පයින් ගම්පහ දුම්රියපොළට ඇවිත් එතැනින් කෝච්චියේ මරදානටත් තවත් දුම්රියකින් බම්බලපිටියත් ආවා. ගමන් අපහසුව නිසා කොළඹ ආනන්දයට ඇතුළු වුණා. මරදානේ සිට ආනන්දයට සත 5හේ ටිකට් එකක් අරන් ට්රෑම් රථයෙන් ගියා.
ඔබ පාසල් යන කාලයේ දක්ෂ ශිෂ්‍යයෙක්ද?
හුඟාක්ම දක්ෂයි කියන්න බැහැ. පළමු දහදෙනා අතර නිතරම හිටියා. කොහොම හරි මුල්වරම කොළඹ සරසවියේ වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වුණා. ඒ කාලයේ තමා බණ්ඩාරනායක ඝාතනය සිදු වුණේ. එතුමාගේ තැන ගැනීමට කිසිවෙක් හිටියේ නෑ. අපේ රටේ නායකයන්ගේ හිඟයක් මම දැක්කා. මට දේශපාලනය කරන්න ඕනෑ කියා හිතුණා. මම වෛද්‍ය ශිෂ්‍ය සංගමයේ සභාපති වුණා .
කොහොමද ඇමෙරිකාවට එන්නෙ?
ඒ කාලයේ ඇමැතිවරයකු වූ ෆිලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතා වෛද්‍ය වෘත්තීය පිළිබඳ නීති ගෙනාවා. මම ඒවාට විරුද්ධව වර්ජන දියත් කළා. ආණ්ඩුව මා සමඟ තරහ වෙලා හිටියෙ. ඔය අතර වෛද්‍ය ශිෂ්‍ය සංගමයේ සභාපති ලෙස ජාත්‍යන්තර සමුළුවකට ඇමෙරිකාවේ බොස්ටන් නගරයට එන්නට අවස්ථාවක් ලැබුණා.
ඒකාධිපති පාලනයක් යටතේ වෛද්‍යවරයකු වෙනවට වඩා නිදහස් රටක කම්කරුවකු වෙන එක හොඳයි කියල මං මෙහෙ නතර වුණා! ඒ ආපු ගමන තමා මේ.
එතකොට වෛද්‍යවරයකු වීමේ සිහිනයට මොකද වෙන්නෙ?
වෛද්‍ය විද්‍යාලයේ අවසාන වසරේ විභාගය නොකර මම ආවේ. මෙහෙ අවුරුදු 5 ක් හිටිය. පස්සෙ මම යැවූ අභියාචනය අනුව ශ්‍රී ලංකාවේ වෛද්‍ය විද්‍යාලයේ අවසාන විභාගය කරන්න මට අවස්ථාව දුන්නා. මම ගිහින් නැවත පාඩම් කරල අවසාන විභාගය සමත් වෙලා වෛද්‍යවරයෙක් වුණා. පසුව දෙහිවල මෙඩිකල් සෙන්ටර් කියල ආයතනයක් පටන් අරන් වැඩකළා. ආයෙත් දේශපාලනයට ඇතුළු වෙන්න හිතනකොට 71 දී රටේ කැරලි පටන් ගත්තා. මම ආපසු ඇමෙරිකාවට එන්න හිතුවත් අතේ සල්ලි තිබුණේ නෑ. ඒ නිසා ලන්ඩනයට ගිහිල්ල වැඩ කරල සල්ලි ටිකක් හොයාගෙන ආපසු ඇමෙරිකාවට ආවා.
මෙහේ වෛද්‍යවරයකු වෙන්න විභාගයක් කරන්න ඕනේ. ඒ විභාගය සමත් වෙලා නාරිවේද විශේෂඥයකු ලෙස කටයුතු කළා .
කොහොමද ඔබ මේ තරම් සාර්ථක වුණේ. මොකද්ද රහස?
මම එකක් කියන්න ඕනේ. සාර්ථකත්වයට කෙටි මාර්ග නෑ. මම මෙහාට ආව දවසෙ ඉඳල අවුරුදු 44 ක් තිස්සේ සෙනසුරාදා ඉරිදාත් සමග උදේ 4 ඉඳල රෑ 11 වෙනකම් පැය 17ක් එක දිගට වැඩ කළා. දැන් අවුරුදු 82 ක්. මම තවමත් වැඩ කරනවා. මොන දේ කළත් වෙහෙස මහන්සියෙන් වැඩ කිරීම තමයි සාර්ථකත්වයට මඟ.
ඩොක්ටර් ජේ, ඔහුගේ මූලිකත්වයෙන් පවත්වාගෙන යනු ලබන ශ්‍රී ලංකා සංගමය මගින් ලොස් ඇන්ජලිස් ආසන්නයේ පැසදෙනා නගරයේ ශ්‍රී ලාංකික සැණකෙළියක් සහ පෙරහරක් වාර්ෂිකව සංවිධානය කරයි. දහස් ගණන් ලාංකිකයෝ ඊට සහභාගී වෙති. ඒ පෙරහරේ කෘත්‍රිම අලි ඇත්තු පවා ගමන් කරති. රටෙන් පිටත එවැනි දැවැන්ත විසිතුරු පෙරහරක් දැකීමෙන් මම විස්මයට පත් වුණෙමි.
බොහෝ රටවල පොදු කටයුතු සඳහා ලාංකිකයන් එකතු කර ගැනීම අපහසු කලෙක ඔබ කොහොමද මේ තරම් විශාල එකමුතුවක් නිර්මාණය කළේ?
පිටරටවල වෙසෙන ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනා වෘත්තීය වශයෙන් කණ්ඩායම් වලට බෙදී සිටීම දැකිය හැකියි. උදාහරණයක් ලෙස වෛද්‍ය වෘත්තිකයන් වෙනම එකමුතු වෙද්දි කම්කරුවන් වෙනම කණ්ඩායමක් ලෙස එකතු වෙනවා. පන්සල්වල බෞද්ධයන් එකතු වෙද්දි පල්ලිවල කතෝලිකයන් රැස් වෙනවා. මේ කණ්ඩායම් අතර හමුවීමක් සිදු වන්නේ නැතිතරම්. මගේ ශ්‍රී ලංකා සංස්කෘතික සංවිධානයේ පෙරහරට ලංකාවේ සියලුම ප්‍රධාන පාසල්වල ආදි සිසුන් සඳහා පෙරහරේ ගමන් කෙරෙන ප්‍රදර්ශන රථයක් නිර්මාණය කිරීමට අවස්ථාව දී තිබෙනවා. එතැනදී ඔවුන් රැස්වන්නේ පාසල මුල් කරගෙන. එවිට වෛද්‍යවරු කම්කරුවො බෞද්ධ කතෝලික ලිපිකරු ව්‍යාපාරික දුප්පත් පොහොසත් කිසිදු භේදයකින් තොරව පාසල් ධජය යටතේ එකමුතු වෙනවා.
අපේ රට දියුණු කිරීමට බාධක වශයෙන් ඔබට පෙනෙන ප්‍රධානම සාධකය කුමක්ද?
ක්‍රමවත් අධ්‍යාපනයක් නැතිව කොහොමද රටක් පාලනය කරන්නෙ? ඇතැම් අය හොර මැරකමින් කීයක් හරි හම්බ කරන් පාර්ලිමේන්තුවට යනවා. මේ ක්‍රමය වෙනස් කළ යුතුයි. ජන්දය ඉල්ලීම සඳහා අවම අධ්‍යාපන සුදුසුකමක් නම් කළ යුතුයි .
ඔබේ සමාජ සේවා කටයුතු සහ බලාපොරොත්තු මොනවද?
ලංකාවේ දරුවන්ට සිංහල, දේශීය නැටුම් ගැයුම් හා කලාව උගන්වන්න අපි වැඩ පිළිවෙළක් දියත් කරලා තියෙනව. අපේ ශ්‍රී ලංකා සංස්කෘතික සංගමය මගින් ස්වාමීන්වහන්සේට ඉංග්‍රීසි සහ පරිගණක අධ්‍යාපනය නොමිලයේ ලබා දීමට අප කටයුතු කරනවා. ගුරුවරුන්ට ගෙවීමක් කරනවා. ශ්‍රී ලාංකික සංස්කෘතික මධ්‍යස්ථානයක් පටන් ගන්නත් අදහසක් තියෙනවා.
මගේ බලාපොරොත්තුවක් තියෙනව ලොස් ඇන්ජලිස් නගරය මධ්‍යයේ ‘විල්ෂය බුල්වාඩ්’කියන ප්‍රධාන වීදියේ අඩි 32 ක් උස විශාල අවුකන පිළිමයේ ආකෘතියක් ඉදි කරන්න. එහි සැලැස්ම දැනටමත් අප අනුමත කරවාගෙන තිබෙනවා. ලංකාව පිළිබඳ යහපත් ආකල්පයක් ඇමෙරිකානුවන් අතර තහවුරු කිරීම මගේ බලාපොරොත්තුවයි.
ඇමෙරිකාව වගේ රටක මෙවැනි බෞද්ධ සලකුණක් ප්‍රසිද්ධ ස්ථානයක ඉදි කරන්න අවසරය ලබා ගැනීම පහසු කරුණක් කියල මට පෙනෙන්නෙ නෑ. කොහොමද ඒක කළේ?
ඔව්. ඔවුන් මගෙන් ඇහුව ක්‍රිස්තියානි බහුතරයක් ඉන්න මේ වගේ පළාතක ඇයි මේ පිළිමය ඉදිකරන්නෙ කියල. මම කිව්ව මේක බෞද්ධ සලකුණක් පමණක්ම නෙවෙයි. සංස්කෘතික කලා නිර්මාණයක් කියල. මෙහි නිර්මාණාත්මක ශිල්ප ක්‍රමවල වැදගත්කම මම ඔවුන්ට පෙන්නුව. පිළිමයේ සිරසෙන් විත් නාස් පුඩුවලින් බිමට වැටෙන වතුර බින්දුවක් හරියටම දෙපා මුලට වැටෙන හැටි මම පෙන්නුවා.
මෙය ලෝක උරුමයක් නිසා එහි ආකෘතියක් ඉදිකිරීමට අවසරය ගත්තා.
කොහොමද ඔබේ දු දරුවන් පිළිබඳ විස්තර?
මට පුතාල තිදෙනෙක් සහ දුවක් ඉන්නව. මගේ වැඩිමල් පුතා මගේ ව්‍යාපාරයේ මුල්‍ය පරිපාලන කටයුතු කරනව. දෙවැනි පුතා මේ රටේ ප්‍රසිද්ධ ගායකයෙක්. තුන්වැන්නා සංස්කෘතික පදනමේ ප්‍රධානියා. ඔහුගේම ව්‍යාපාරයකුත් කරනව. ඔවුන් සියලු දෙනාම බොහොම නිදහස් අදහස් දරන අය. හැමෝම ලංකාවට ආදරෙයි.
ලොස් ඇන්ජලීස් නගරය මධ්‍යයේ විශාල කාර්යාල සංකීර්ණයක් සහ වාහන අංගනයක් සහිත ඔහුගේ ගොඩනැගිලි දෙකෙන් එකක තවත් අපූරු දර්ශනයක් දැකිය හැකිය. එනම් ඉහළ පියස්සේ උද්‍යානයේ බෝ ගසක් රෝපණය කර තිබීමයි . ඈත හොලිවුඩ් කන්දත්, නගරයත් පෙනෙන මානයේ සිංහ ධජයත්, බෝ ගසකුත් දැකිය හැකි වීම ශ්‍රී ලාංකිකයෙකු වශයෙන් ඔහුගේ දර්ශනය පැහැදිලිව පෙන්වයි .
නාරද විජයසූරිය